පුරවැසි කොලම

සිංහල ජාතිකවාදය මත පදනම් වී සුළු ජන ඡන්ද පදනම අහිමි කරගැනීමට තමා සූදානම් නොමැති බව පසුගියදා ප්‍රබල දේශපාලනඥයෙකු විසින් පවසා තිබුණි. පුවත්පතකට සිදු කළ එම ප්‍රකාශය පිළිබඳව යම් පිරිසක් දැඩි විරෝධය පළ කරන අතර තවත් පිරිසක් ‘ඒකනම් ඇත්ත තමා’ යනුවෙන් නිහඬව සිටිති. එහෙත් සැබෑ ලෙසම සුළු ජන ඡන්ද විසින් ජාතික දේශපාලනය හසුරුවන ආකාරය පිළිබඳව තර්කානුකූල විග්‍රහයක් සමාජය තුළ සාකච්ඡාවට ලක්වන්නේ නැත. ඒ නිසාම මතුපිටින් කෙරෙන විග්‍රහයන් මත ජාතික උපාය මාර්ගික දේශපාලන තීන්දු නීර්ණය කෙරෙන අවුල්සහගත තත්වයක් නිර්මාණය වී ඇත. මෙම තත්වය ජාතිවාදී බෙදුම්වාදී බලවේග විසින් ඉතා සාර්ථකව තම වාසියට යොදා ගෙන ඇත. මෙම ලිපියේ මූලික අරමුණ උදාහරණ මගින් සුළු ජන ඡන්ද වල සැබෑ බලපෑම සමාජ අවධානයට ලක් කොට සත්‍ය සහ මිත්‍යාව වෙන්කර ගැනීමය.

නිදහසට පෙර සිටම සුළු ජාතික දේශපාලන බලවේග තරගකාරීව ගොඩනඟන්නේ ජාතිවාදී පදනමිනි. ජාතික නිදහස් ව්‍යාපාරය තුලද ඔවුන් නියෝජනය වන්නේ සුළු ජාතීන්ගේ නියෝජිතයින් ලෙස හඳුන්වා ගනිමිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් එම දේශපාලන ප්‍රවණතාවය තවදුරටත් වර්ධනය කරමින් ජාතිකත්ව පදනමින් රාජ්‍ය සභා නියෝජිතයින් පත්කිරීමටද ක්‍රියා කරනු ලැබීය. කෙසේවෙතත් සුළු ජාතික ඡන්ද තොග හෙවත් ‘බ්ලොක් වෝට්‘ එක පෙන්වා කේවල් කිරීමේ උපාය මාර්ගය ඉතා සාර්ථකව යොදා ගැනෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය තුළය. නමුත් එම කේවල් කිරීම් වල දී සුළු ජාතිකත්ව මුහුණ දෙන සැබෑ පොදු ප්‍රශ්ණ වලට වඩා ජාතිවාදී බෙදුම්වාදී වුවමනාවන් සහ නායකයන්ගේ බලය රැක ගැනීමේ උවමනාව ඉස්මතුවිය. ජාතිවාදය බෙදුම්වාදය සහ ආගමික අන්තවාදය අප රට තුළ ප්‍රචලිත කිරීම සඳහා විවිධ බාහිර බලවේග ක්‍රියාත්මක වන්නේ එම දේශපාලන ප්‍රවනතාවය තම වාසිය සඳහා යොදා ගනිමිනි. ඒ නිසාම අලුතින් බිහිවන සුළු ජාතික දේශපාලන ව්‍යාපාර වලට සහ නායකයින්ට තරගකාරීව ඉස්මතු වීම සඳහා එම සුලු ජාතික ජාතිවාදය බෙහෙවින් උපකාරී වේ. එම තත්ත්වයවය තුල නාමිකව හෝ යම් මධ්‍යස්ථ භාවයකින් ක්‍රියාත්මක වූ සුළු ජන පදනම සහිත දේශපාලන ව්‍යාපාර වලට ද මෙම අන්තවාදී ප්‍රවණතාවයන්ට යටත්වීමට සිදුවිය. යම් ව්‍යාපාර එසේ කැමැත්තෙන් යටත් වූ අතර තවත් ව්‍යාපාර තුවකුවක්කුවට බියවී තම ස්ථාවරය වෙනස් කර ගත්හ. ඒ නිසා ජාතික දේශපාලන පක්ෂ ද අඩුවැඩි වශයෙන් පවතින ප්‍රවණතාවය අනුමත කරමින් දේශපාලන තීන්දු ගැනීමට පෙලඹී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට සුළු ජාතික කප්පන්කාර දේශපාලකයින්ගේ බලය පිළිබඳව අහේතුක බියකින් කතා කිරීමට ජාතික දේශපාලන නායකයින් පෙළඹෙන්නේ ඒ ඓතිහාසික සන්දර්භය තුළය. ඒ තුළ මාරුවෙන් මාරුවට ජාතික දේශපාලන පක්ෂ සමග කේවල් කරමින් තම බලය ක්‍රමයෙන් තහවුරු කර ගැනීමට සුළු ජාතික දේශපාලන නායකයින් සමත්වී ඇත.

එසේ මාරුවෙන් මාරුවට බලයට පත්වන ඕනෑම පක්ෂයක් හෝ සන්ධානයක් යටතේ ඇමතිධූර ලබා ගැනීමට එම කප්පම්කරුවන් සමත් වන්නේ ඒ නිසා ය. එක් ආණ්ඩුවක ඇමති ධූරයක් ලබා ගනිමින් නීතිවිරෝධීව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ආගමික පදනමින් ජනාවාස ඉදි කිරීමට විදේශීය ආධාර ලබා ගන්නා එවැනි සුළු ජාතික දේශපාලන නායකයකුට ආණ්ඩු වෙනසකින් පසුව දඬුවම් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට නව ආණ්ඩුව යටතේ ඊට වඩා බලවත් අමාත්‍ය ධූරයක් ලබා ගනිමින් එම වරද තවදුරටත් නීත්‍යානුකූල කිරීමට ඉඩ ලැබේ. ඔවුන් තම කේවල් කිරීම අවස්ථා දෙකකදී ආකාර දෙකකට සිදු කරන බව පෙනේ. පළමු ක්‍රමවේදය අනුව ජනාධිපතිවරණයකදී දිනන අපේක්ෂකයා කවුරුන්ද යන්න තක්සේරු කෙරේ. එසේ නැතහොත් විවිධ සුළු ජාතික බලවේග වලට උපදෙස් දෙන විවිධ ජාත්‍යන්තරතර ඔත්තු සේවා වල උවමනාවන් නියෝජනය කරමින් දිනවිය යුත්තේ හෝ දිනවිය හැක්කේ කවුරුන් දැයි තීරණය කෙරේ. ඉන්පසුව එම දිනන අපේක්ෂකයා දිනන්නේ ඔවුන්ගේ ඡන්දය නිසා බවට මතය සකස් කෙරේ. දෙවන ක්‍රමවේදය යොදා ගනු ලබන්නේ පාර්ලිමේන්තු මැතිවරණවලදී ය. එහිදී සුළු ජාතික කණ්ඩායම් තමාට තනිව තරග කොට ජයග්‍රහණය කළ හැකි ප්‍රදේශවල අදාල පක්ක්ෂයෙන් තරග කරන අතර එසේ කළ නොහැකි ප්‍රදේශවල බහුතර ඡන්ද පදනම සහිත පක්ෂය හෝ සන්ධානය සමග සන්ධානගතව තරඟ කරති. එහිදී ඔවුනට තමා සතු සුළුතරයේ සියලු මනාප යොදාගනිමින් බහුතරය විසින් ජයග්‍රහණය කරවන ලැයිස්යිස්තුවට ඇතුල්වීමට ඉඩ ලැබේ. නමුත් එම ප්‍රදේශවල එසේ පත‍්වන සුළු ජාතික අපේක්ෂකයින් වෙන්ව තරග කළහොත් ඔවුනට ජයග්‍රහණය කළ නොහැක.
එම උපක්‍රමය තුළ ජාතිවාදී සුළුජන නායකයන්ට ව්‍යාජ බලයක් පෙන්වීමට අවස්ථාව ලැබී ඇති අතර ඔවුන් සතු සැබෑ ජන බලය මැන බැලීම දුෂ්කර වේ. එම නිසා ඔවුනට කප්පම් ලබා දී ඔවුන්ගේ සහාය ලබා ගන්නා අපේක්ෂකයා හෝ පක්ෂය ජයග්‍රහණය කරන බවට ජනප්‍රිය මතයක් ප්‍රචලිත කිරීමට එම නායකයින් සමත්වී ඇත. නමුත් ජාතිවාදී පක්ෂ විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව නියෝජනය කරන බව කියන පක්ෂ මුස්ලිම් බහුතරය සහිත ප්‍රදේශවල දී ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව එම ජනතාව අතර ඔවුනට තිබෙන සැබෑ බලය කුමක් දැයි වටහා ගත හැක. එම ජනතාව සුළුතරයක් වාසය කරන ප්‍රදේශවල ඊට වඩා වෙනස් තත්ත්වයක් තිබෙනවා යැයි තර්ක කළ හැකිද? උදාහරණ ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මුස්ලිම් ජනතාව අතර ඉහළම ජනප්‍රියතාවයක් දිනා සිටි යුගයක් ලෙස සැලකෙන 1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් දිස්ත්‍රික් 13 කින් ලබාගන්නේ සමස්ත මුස්ලිම් ඡන්දවලින් 32%කි. කෙසේවෙතත් 2014දී අශ්රොෆ් මහතාගේ මරණය නිසා ඇති වූ මහජන අනුකම්පාව තුළින් නැගෙනහිර පළාතේ දී පමණක් එම ඡන්ද ප්‍රතිශතය 66% දක්වා ඉහළ දමා ගැනීමට එම පක්ෂය සමත් විය. එසේ වුවත් 2012 දී නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබා ලබාගන්නේ මුස්ලිම් ඡන්ද වලින් 37% ක ප්‍රතිශතයකි. ඉන්පසුව 2014 බස්නාහිර පළාත් සභා මැති මැතිවරණයට සන්ධානයක් ලෙස එකතු ව තරග කළ මුස්ලිම් පක්ෂ වලට ලබාගගත හැකි වූයේ මුස්ලිම් ඡන්ද වලින් 17% ක ප්‍රතිශතයකි. එසේම එම වසරේ ඌව පළාත් සභා මැතිවරණයේදී මුස්ලිම් පක්ෂ සන්ධානය විසින් දිනාගන්නේ මුස්ලිම් ඡන්ද වලින් 12.5% ක් පමණි. දෙමළ ජාතික සන්ධානයේ තත්ත්වය ඊට වෙනස් නොවේ. 2018පෙබරවාරි පළාත් පාලන මැතිවරණයේදී උතුරු පළාත් සමස්ථ ඡන්ද වලින් ඔවුන් ලබාගන්නේ 34.7% ක් පමණි. එසේම දෙමළ ජාතික සන්ධානය නැගෙනහිර පළාතේ සමස්ත ඡන්ද වලින් ලබාගන්නේ 24.8% ක් පමණි.
ඒ අනුව ඉතා සරලව ගතහොත් උතුරේ දෙමළ ජනතාවගෙන් 65%ක් ටී.එන්.ඒ පක්ෂයේ දේශපාලනය අනුමත කරන්නේ නැත. නමුත් එසේ බෙදුම්වාදී, ජාතිවාදී, කුලවාදී ප්‍රතිපත්ති අනුමත නොකරන බහුතර ජනතාව ඇමතීම සඳහා ජාතික දේශපාලන පක්ෂ වලට විකල්ප වැඩපිළිවෙළක් නැත. ඔවුන් තවදුරටත් උත්සාහ කරන්නේ බහුතර ජනතාව අනුමත නොකරන අන්තවාදී දේශපාලන නායකයින් හරහා පමණක් ජනතාව ඇමැතීමට ය. වෙනත් වචනවලින් කියනවා නම් ජාතික දේශපාලන නායකයන් දෙවියන් හෙවත් ඡන්දදායකයා ඇමතීමට උත්සාහ කරන්නේ දූෂිත කපුරාළලා මගින් පමණි. නමුත් පැහැදිලිව පෙනෙන ආකාරයට අති බහුතරයක්යක් දෙවියෝ කපුරාළලා ට සවන් නො දෙති. ඉහත සඳහන් කළ ආකාරයට ජාතික දේශපාලන පක්ෂ දේශපාලන කප්පම්කාරයින් ගේ මානසික යුද උපක්‍රම වලට ගොදුරු වන්නේ කරුණු අධ්‍යයනය නොකොට ඔවුන් විසින්ම පනවා ගන්නා මානසික බාධක නිසාය. එම බාධක තනා ගැනීමේදී නොදැනුවත්කම ප්‍රබල හේතුවක් වුවද විවිධ උපදේශකයින් විසින් සදා නිම කළ සංකල්ප, උපකල්පන සහ වැරදි දත්ත අපරික්ෂාකාරීව ගිල දැමීම ද ඊට හේතු බව පෙනේ. ඉහත සඳහන් කළ ආකාරයට මෙම ලිපියේ මූලික අරමුණ එවැනි උපකල්පන වල සත්‍ය අසත්‍යතාවය සාකච්ඡා කිරීමය. නමුත් ඒ සඳහා එක් උපකල්පනයක්ය පිළිබඳව සාකච්ඡා කිරීම පමණක් උවද සෑහෙන බව පෙනේ.

එවැනි එක් උපකල්පනයකට අනුව 2015 ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දකුණේ දිස්ත්‍රික්කවලින් මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා ඡන්ද ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ලබා ගනියි. එහෙත් ඔහු පරාජය වන්නේ මෛත්‍රීපාලිපාල සිරිසේන මහතා විසින් උතුරේ දී ඔහුට වඩා ඡන්ද ලක්ෂ 6ක් ලබා ගන්නා නිසාය. එම උපකල්පනය අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නම් සුළු ජාතික ඡන්ද ප්‍රතිශතය බෙහෙවින් වැඩි කරගත යුතුය. අංක ගණිතය පමණක් දන්නා දේශපාලන උපාය මාර්ගික ඥානය දුර්වල පිරිස් වලට මෙම උපකල්පනය නිවැරදි යැයි පෙනී යා හැක. එහෙත් සත්‍යය ඊට වඩා බෙහෙවින් වෙනස් වේ. මහින්ද රාජපක්ෂ මහතා 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා සමග තරග කොට උතුරේ දිස්ත්‍රික්ක 5න් ඡන්ද 345, 221 ලබා ගනියි. එම ප්‍රමාණය 2010 දී ඔහු ෆොන්සේකා මහතා සමග තරග කොට ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට දළ වශයෙන් සමාන වේ. එම ප්‍රමාණය 332,360 කි. එසේනම් ඔහු 2010 දී වැඩි ඡන්ද ලක්ෂ 18 කින් ෆොන්සේකා මහතා පරාජය කරන්නේ කෙසේද?

එම සංසිද්ධිය මෙසේ පැහැදිලි කළ හැක. ඒ සඳහා සිංහල බහුතරයක් ජීවත් වන කොළඹ, ගම්පහ, කළුතර ,කුරුණෑගල, ගාල්ල යන දිස්ත්‍රික්ක 5ක ඡන්ද ප්‍රතිඵල විග්‍රහ කිරීම තුළින් පමණක් වුවද පිළිතුරු සොයාගත හැක. එම දිස්ත්‍රික්ක පහෙන් මහින්ද රාජපක්ෂ මහතා 2015 දී ලබාගන්නේ 2010 දී ඔහු ජයග්‍රහණය කිරීමේ දී ලබා ගත් ප්‍රමාණයට වඩා ඡන්ද 158,928ක් අඩුවෙනි. මෛත්‍රීපාල සිරිසේන මහතා එම දිස්ත්‍රික්කයෙන් 2010දී ෆොන්සේකා මහතා ලබාගත් ඡන්ද ප්‍රමානයට වඩා ඡන්ද 684,298 ක් ලබා ගැනීමට සමත්වේ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 දී ජයග්‍රහණය කිරීමේ දී එම දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ මහතාට අහිමිවූ ඡන්ද ප්‍රමාණයට අමතරව නව ඡන්ද හෙවත් තරුණ ඡන්ද වලින් අති බහුතරය ලබා ගත් බව පැහැදිලි වේ. එම මැතිවරණයේදී සමස්ත රටේම වැඩි වූ ඡන්ද ප්‍රමාණය හෙවත් නව ඡන්ද ප්‍රමාණය 955,990 කි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන්නේ ඔහු ඊට පෙර උතුරින් ලබාගත් ඡන්ද ප්‍රමාණය බරපතල ලෙස අඩුවීම නිසා නොව දකුණේ දිස්ත්‍රික්ක වලින් ලබාගත් ඡන්ද ප්‍රමාණය බරපතල ලෙස අඩුවීම නිසා බව පැහැදිලිව ඔප්පු වේ. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට සිංහල ඡන්ද වලින් 60% ක් ලබාගත හැකි යැයි උපකල්පනය කළ ද 2015 දී ඔහු ඉතා ඉහළින්ම ඡන්ද බලාපොරොත්තු වූ දිස්ත්‍රික්කය වන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගන්නේ සිංහල ඡන්ද වලින් 45% ක් පමණි. එය බරපතල කඩා වැටීමකි. එදා 2015දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සිංහල ඡන්ද ප්‍රතිශතය 60% දක්වා ඉහළ දමා ගත්තේ නම් එම දිස්ත්‍රික්ක දෙකේ මහින්ද රාජපක්ෂ මහතාට අමතරව ඡන්ද 145,362ක් ලබා ගැනීමේ හැකියාව තිබුණි. එම ප්‍රමාණය ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක පහෙන් මහින්ද රාජපක්ෂ මහතාට අහිමි වූවා යැයි සැලකෙන මුස්ලිම් ඡන්ද ප්‍රමාණයට දළවශයෙන් සමාන වේ.
නමුත් එසේම ඔහු පරදින්නේ මුස්ලිම් ඡන්ද වල අඩුව නිසා නොව බහුතර සිංහල ජනතාවගේ විශේෂයෙන්ම නව තරුණ ඡන්ද වලින් බහුතරය ලබා ගැනීමට නොහැකි වීම නිසා බව දැන් රහසක් නොවේ . කෙසේ වෙතත් සමස්තයක් ලෙස ගත් විට මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයේ දී ඉතා නරකම තත්ත්වයක් යටතේ පවා බහුතරයෙන් හෙවත් සිංහල ජනතාවගෙන් 58.2%ක් ඡන්ද ලබාගත් අතර සුළුතරයෙන් හෙවත් දෙමළ-මුස්ලිම් ඡන්ද එකතුවක් ලෙස ගත් විට සියයට 12.7% ක් ලබාගෙන ඇත.
ඉදිරි ජනාධිපතිවරණයේ දී වැඩිවන තරුණ ඡන්ද ප්‍රමාණය සමග භාවිතාවෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 130 දක්වා වැඩිවනු ඇත. ඒ තුළ බහුතර සිංහල ඡන්ද ප්‍රමාණය ලක්ෂ 98ක් පමණ වන අතර සුළු ජාතික ඡන්ද ප්‍රමාණය ලක්ෂ 32ක් පමණ වේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී බහුතරයෙන් බහුතරය හෙවත් සිංහල ඡන්ද වලින් 65% ක් යනු ලක්ෂ 63කි. එමෙන්ම සුළුතරයෙන් සුළුතරය වන 15% ක් යනු ලක්ෂ 5කි. එහි එකතුව ලක්ෂ 68ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 52 %කි. පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වය හෙවත් පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිශතය සහ එම පක්ෂයේ මෛත්‍රී පාර්ශවය ලබාගත් ඡන්ද ප්‍රතිශතයේ එකතුව ගත්විට එය 52.2% කි. ඒ අනුව අනාගත ජයග්‍රහණයක රහස හෙළිදරව් වේ.

එම පැහැදිලි කිරීමට අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම්ට නම් ඔහු විසින් මහින්ද රාජපක්ෂ මහතා 2015 ලබාගත් සිංහල ඡන්ද ප්‍රතිශතය 6.8% කින් ඉහළ දමා ගත යුතුය. එනම් 58.2% සිට 65% දක්වා ඉහළ දමා ගත යුතුය. සුළු ජාතික ඡන්ද ප්‍රතිශතය 2.3% වැනි ඉතා කුඩා ප්‍රතිශතයකින් ඉහල දමා ගත යුතුය. එනම් 2015 ට සාපේක්ෂව 12.7% සිට 15% දක්වා ඉහළ දළ දමා ගත යුතුය. එසේ නම් සැබෑ අභියෝගය කුමක්දැයි ඉතා හොඳින් පැහැදිලි වේ. මෙම තර්කය මගින් අදහස් කෙරෙන්නේ ජයග්‍රහණය සඳහා සුළු ජාතික ඡන්ද වැදගත් නොවන බව නොවේ. ඉන් අදහස් වන්නේ සුළු ජාතික ඡන්ද පදනමට බලපෑම් කළ නොහැකි ව්‍යාජ කප්පන් කාර ජාතිවාදී බෙදුම්වාදී සුළු ජන පක්ෂ නායකයින් අබියස දණින් නොවැටී එම නායකයන්ට ගරු නොකරන සුලු ජාතික ඡන්ද ඇමතීම මගින් ඉහත සඳහන් කළ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් සුළු ජාතික ඡන්ද මෛත්‍රි – මහින්ද සමගි සන්ධානයට ලබාගත හැකි බවය. ඒ සදහා කළ යුත්තේ ව්‍යාජ නායකයින්ට කප්පම් දීම වෙනුවට ජනතාවට අයිතිවාසිකම් දීමය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



One thought on “සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිත්‍යාව”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රට බෙදී යාම වළක්වා ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය තුළින් -අභයතිස්ස හිමි

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හොත් රට දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අ...


Read More

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More