කලා පුවත්

පෙර අපර දෙදිග සාහිත්‍ය අලළා ටෝල්ස්ටෝයි සහ සමකාලීනයෝ, චෙකොෆ් ගේ ජීවන දෘෂ්ටිය, දැදුරු කළ සියපත, නමින් විචාර කෘති කිහිපයක් පළ කළ සමුද්‍ර වෙත්තසිංහ සුභාවිත ගීත සාහිත්‍යයේ ප්‍රගමණය උදෙසා විචාර හා සංස්කරණ වශයෙන් කෘති කිහිපයක්ද පළ කළේය. ඔහු පළකළ ආනන්ද මෛත්‍රී මහ නාහිමියන්ගේ අප්‍රකට ලිපි එකතුව සහ දැදුරු කළ සියපත යන කෘති දෙකට 2010 වසරේ බෞද්ධ සාහිත්‍ය සම්මානයද හිමි විය. දිගු කලක් සාහිත්‍ය පිටු සංස්කරණය කරමින් මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කළ සමුද්‍ර වෙත්තසිංහ ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවෙක් ලෙස පාඨක අවධානය දිනා ගත්තේය. මේ ඔහුගේ අලුත්ම නවකතාව ‘හිම බිම අරණ’ අරභයා දිවයින පුවත්පතේ වටමඬල කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනක් වන අතර කාලීන වැදගත්කම සලකා මෙසේ පළ කරන බව සලකන්න….

Q .බොහෝ දෙනෙක් ඔබව හඳුනා ගත්තේ සාහිත්‍ය පිළිබඳ ලිපි ලියූ ලේඛකයෙක් විදිහට. ඊළඟට ගීතය පිළිබඳ විවිධ විචාර කෘති පළකළ කෙනෙක් විදිහට. මෑත කාලයේ ඔබ නවකතා ලිවීමට උත්සාහ කරන්නෙක් ලෙස. ඔබ කලින් නියැලී සිටි කේෂත්‍ර වලින් ඉවත් වෙලාද?

මම වඩාත් ප්‍රිය කරන ක්ෂේත්‍ර තුනක් තිබෙනවා. ගීතය, සාහිත්‍ය, හා බුදු දහම යනු ඒ විෂය ක්ෂේත්‍ර තුනයි. මේ විෂය ක්ෂේත්‍ර තුනට අදාලව මා පොත පත සම්පාදනය කර තිබෙනවා. ගීතයත්, සාහිත්‍යයත්, බුදුදහමත් ඇසුරු කරන විට අපේ ජීවිතය ඉතාම සාරවත් වෙනවා. ජීවිතයේ නිම් වළලු පුළුල් වෙනවා. ඉතිං ඒ විෂය කේෂත්‍ර තුනට අදාළ දේවල් ලිවීම මහත් ආත්ම තෘප්තියට හේතුවක්.

Q .බුද්ධ චරිතය පාදක කරගෙන ඔබ මීට පෙර හිමදිය නදිය නමින් නවකතාවක් රචනා කළා. එහි බුදුන් වහන්සේ හිමාලයේ වැඩ වාසය කළ තෙමසක් පිළිබඳව සදහන් වෙනවා. ඔබේ අලුත්ම නවකතාව වන හිම බිම අරණ එම මුල් නවකතාවෙන් වෙනස් වෙන්නේ කොහොමද ?

මේ පොත් දෙකටම මූලාශ්‍ර වන්නේ ත්‍රිපිටකය. ත්‍රිපිටකයේ දුර්ලභ තොරතුරු ඇසුරින් තමයි මේ පොත් දෙකම ලියවෙන්නේ. පසුගිය කාලය පුරාම මම ත්‍රිපිටකය විධිමත්ව හදාරන්න උත්සාහ කළා. කුඩා කාලයේ අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන් ‘දික් සහිය‘ නමින් පොතක් මා අතට පත් කළා. එය උන්වහන්සේම සම්පාදනය කළ කෘතියක්. ඒත් එය හරිහැටි කියවා අවබෝධ කර ගැනීමට මට හැකියාවක් තිබුණේ නැහැ. ඒත් ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන් මා තුළ ත්‍රිපිටකය පිළිබඳ ගුප්ත කුතුහලයක් ඇති කළා. උන්වහන්සේ තායි බසට පරිවර්තනය කළ ත්‍රිපිටක පොත් පරිත්‍යාග කර තිබුණ අවස්ථාවක මට ඒවා පෙන් වූ සැටි මතකයි. ඒ සමගම උන්වහන්සේ ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්තනය කර පරිගණක ගත කළබව මට මතකයි. මෙබඳු කරුණු කාරනා නිසා ත්‍රිපිටකය අධ්‍යයනය කිරීමට, ගවේෂණය කිරීමට මා උනන්දු වුණා. එහි ප්‍රතිඵලයක් හැටියටයි ත්‍රිපිටකාගත දුර්ලභ තොරතුරු ඇසුරින් නවකතාවක් ලියන්න මා පෙළඹෙන්නේ.

Q .රහතුන් සරණ ඝන වන අරණක කතාව ලෙසයි ඔබ මේ කෘතිය පාඨකයාට හදුන්වා දෙන්නේ. බුද්ධ කාලීන මහ රහතන් වහන්සේලාගේ අප්‍රකට ජීවන සිද්ධි ඔබ මේ කෘතියෙන් ගෙනහැරපාන බව පවසනවා. එම තොරතුරු අධ්‍යනය කිරීමට ඔබට ඉවහල් වූ මුලාශ්‍ර මොනවාද ?

මේ කෘතියට පාදක වෙන්නේ මහා ඝන වනාන්තරයක බවුන් වඩන භික්ෂූන් වහන්සේලා පිරිසක් පිළිබඳවයි. වනාන්තරයට බුදුන් වහන්සේ වැඩම කරනවා. ඒ අය එක්ක කතාබහ කරන සැටි, ධර්මය උගන්වන සැටි, භාවනා ක්‍රම පුරුදු කරන සැටි මේ කෘතිය තුළින් නිරූපණය වෙනවා. මා මේ තොරතුරු සොයා ගත්තේ ථෙරගාථවත්, ථෙර අට්ඨකංතාවත්, සූත්‍ර පිටකයත් විනය පිටකයත් එකසේම අධ්‍යයනය කිරීමෙන් ථෙරගාථා පරිශීලනයෙන්. මීට පෙර අගනා කෘති කීපයක්ම පළවී තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘තේරි ගී‘ කෘතියත්, පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ ‘රශ්මි‘ භාව කාව්‍යයත් ඒ අතරින් ප්‍රධානයි. ඒත් මේ හිම බිම අරණ කෘතිය හුදෙක් ථෙර ගාථාවලට සීමා වන්නේ නෑ. ථෙරගාථා අට්ඨකතාව ඇසුරිනුත් මහ රහතන් වහන්සේලාගේ චරිත අධ්‍යයනය කර තිබෙනවා. ඊට ඉවහල් වූයේ භදන්තාචාර්ය ධම්මපාල මහා තෙරපාණන් සම්පාදනය කළ ථෙරගාථා අට්ඨ කතාවයි. ථෙරගාථා අට්ඨකතාව පාදක කරගෙන මෙතෙක් කිසිඳු සාහිත්‍ය නිර්මාණයක් බිහි වී නැහැ. මෙහි බොහෝ දුර්ලභ තොරතුරු උකහා ගත්තේ ත්‍රිපිටකයත් අටුවාවත් ඇසුරිනුයි. මූලාශ්‍ර පරිශීලනය කරන විට ඒ අතීත යුගය අපේ මනසෙහි මැවෙනවා. ඒ මනසින් මැවෙන දේ තමයි මේ කෘතිය ලිවීමේදී මට බොහෝ ඉවහල් වුණේ.

Q .නුතන සාහිත්‍යකරුවන් විවිධ වස්තු විෂයන් විවිධ අනුභූතීන් සොයා යද්දී ඔබ බෞද්ධ තේමාවන්ට පමණක් ලඝු වූ නිර්මාණ කිරීමට විශේෂ හේතුවක් තිබෙනවද ?

මේවායේ අන්තර්ගත වෙන්නේ හුදෙක් බෞද්ධ තේමාවන් නෙමෙයි. සර්වකාලීන තේමාවන්. අපේ විශිෂ්ටතම නාට්‍යකරුවා වන මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ වැඩිපුරම නාට්‍යවලට පසුබිම් වුණේ ජාතක කතා ප්‍රමුඛ බෞද්ධ තේමාවන්. සරච්චන්ද්‍රයන්ගෙන් සමකාලීන සමාජ යථාර්ථය නැත්තේ ඇයි? කියා ප්‍රශ්න කරන විට ඊළග නාට්‍යයේදී ඒක දාගන්නම් කියා එතුමා හාත්ස්‍යයෙන් කියා තිබෙනවා. කෙසේ වෙතත් මමත් ඉදිරියට නව අනුභූතීන් නව වස්තු විෂයයන් පාදක කරගෙන නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා මා හොදට දන්න දේ. ඒ හොදට දන්න දේවල් වඩාත් අපූර්වත්වයෙන් නිර්මාණශීලීව ලිවීමේ හැකියාව මට තිබෙනවා කියා මා තුළ විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා මා ලියනවා. ඊටත් මේ දේවල් ලියනකොට හිත ගොඩාක් ශාන්ත වෙනවා. සංසුන් වෙනවා. පහන් සංවේගයෙන් සිත ඇළලී යනවා. ඒ සුන්දර හැඟීම් පොකුරටත් මම හරි ආසයි. හිත පහන් සංවේගයෙන් ඇළලෙන නිර්මාණයක් කරන්න තිබෙනවා නම් වෙන මොනවා නොලිව්වත් කමක් නෑ කියා මට හිතෙනවා.

Q .ඔබ ඔබේ නවකතා දෙකම ස්ථානගත කරන්නේ Spiritual Novel හෙවත් අධ්‍යාත්මික නවකතා ගණයට. මෙය ලංකාවේ පාඨකයාට සමීප කරවන පළමු ලේඛකයා ඔබ ද? මීට පෙර අධ්‍යාත්මික නවකතා ගණයට ගැනිය හැකි කෘති රචනා කළ ලේඛකයන් සිටිනවද?

ලංකාව් ආධ්‍යාත්මික නවකතා ලිවීම හා පරිවර්තනය කිරීම ආරම්භ කළේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන් බවයි මගේ හැඟීම. 1920 ගණන් වලදී ‘නයිගම පන්සලේ නායක හාමුදුරුවො ‘ නමින් උන්වහන්සේ කෙටිකතාවක් ලිව්වා. එය ඉතාමත් අපූරු පුංචි පොතක් ඉන් පසු ‘කාම නීත‘ ”කාරුණික තාරා” මැයෙන්ද උන්වහන්සේ නවකතා දෙයක් පරිවර්තනය කළා. ඒවාද ශාන්ත රසයෙන් යුක්ත නවකතා. ඒවා කියවනකොට හිත සමාධිමත් වෙනවා. සැහැල්ලු වෙනවා. ජීවිතාවබෝධය ලැබෙනවා. විකෘති කාමය ගැන ලියනවාට වඩා, අසම්මත ප්‍රේමය ගැන ලියනවාට වඩා, කුණු රසය දනවන නවකතා ලියනවට වඩා මෙබඳු නවකතා ලිවීම සමාජයට සේවයක් බව මගේ අදහසයි. මෑත කාලීන එබඳු නවකතා ලියූ තවක් විශිෂ්ට ලේඛකයෙක් ලෙස ජයසේන ජයකොඩි හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු ලියූ ‘අමා වැස්ස‘ ‘පිච්චමල‘ වැනි කෘති විශිෂ්ටතම ආධ්‍යාත්මික නවකතා බවයි මගේ හැඟීම.

Q .ඓතිහාසික තොරතුරු හා මුලාශ්‍ර පාදක කරගෙන නිර්මාණකරුවකු නවකතාවක් ප්‍රතිනිර්මාණය කිරීමේදී ජයගත යුතු අභියෝග මොනවාද ?

අභියෝග රාශියක් තිබෙනවා. විශේෂයෙන් ත්‍රිපිටකය ආශ්‍රිතව නිර්මාණයක් කරනවානම් එම චරිත ගෞරවණීයව නිරූපණය කිරීම වැදගත්. සත්‍යය නිසි නියමාකාරයෙන් නොදන්නා ඇතැම් වෙන්ට රැඩිකල් ලේඛකයන් බුද්ධ චරිතයට හානි කරමින් පොත් ලියනවා. සිද්ධාර්ථ කුමාරයා ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙලුණු කෙනෙක් බවට එබඳු අල්පශ්‍රැත ලේඛකයෙක් නිගමනය කර තිබෙනවා. රාහුල යනු අනාචාරයේ හැසිරුණු යසෝදරාවගේ දරුවෙක් බව සඳහන් කරනවා. සිද්ධාර්ථ හා චන්න අතර සමලිංගික සම්බන්ධයක් තිබූ බවට කෙටිකතා ලියනවා. බුදුන් වහන්සේ හෝ බුදු දහම මිනිසාගේ චින්තන නිදහස හෝ ලේඛන නිදහස නැතිකර නැහැ. තමාට එරෙහිව මත පළ කරන්නෙකුට පවා මෛත්‍රී සහගත වීමට තරම් බුදුදහම අහිංසාවාදියි. එහෙත් ඉස්ලාමයට විරුද්ධව පොත් ලියූ තස්ලිමා නස්රින්ට, සාල්මාන් රෂ්ඩිට, හෝ නජීබ් මාෆුස්ට ආගමික අන්තවාදීන්ගෙන් ගැලවීමක් ලැබුනේ නැහැ. අරාබි ලෝකයේ ශ්‍රේෂ්ඨම ලේඛකයා ලෙස සැලකෙන නජීබ් මාෆුස්ගේ සමහර නවකතා අරාබි රටවල තහනම් කර තිබෙනවා. ඔහු දේවත්වය කෙලෙසා ඇතැයි කුපිත වූ එක්තරා ආගමික අන්තවාදියෙක් ඔහුගේ බෙල්ලට පිහියෙන් ඇන්නා. මෙබඳු ආගමික අන්තවාදයක් බුදුදහම තුළ නැහැ. ඒ චින්තන නිදහසට ලේඛන නිදහසට මුවාවී ශ්‍රේෂ්ඨ චරිතවලට හානි කිරීම සුදුසු නැහැ. ලේඛකයෙකුට සමාජ වගකීමක් තියෙනවා. තමන්ගේ හිසෙහි පිරුණු මනස්ගාත නිර්මාණ තුළින් ඉදිරිපත් කිරීම සාහිත්‍යකරණය නෙමෙයි.

Q .නූතන නවකතාව පිලිබඳ ඔබේ ආකල්පය කෙබඳුද?

නූතන සිංහල නවකතාවේ විශාල දියුණුවක් තිබෙනවා. මෙතෙක් නිෂ්ක්‍රීයව සිටි දක්ෂ ලේඛකයන් අද වේගයෙන් නවකතා ලියන්න පටන් අරන්.වස්තු විෂය අතින්, ආඛ්‍යාන විලාසය අතින්, භාෂා ශෛලිය අතින් නූතන නවකතාව ඉතාමත් දියුණුයි. මේ දියුණුව ගැනත් නූතන නවකතාකරුවාගේ උනන්දුව ගැනත් මා තුළ ඇත්තේ ලොකු සතුටක්. පසුගිය කාලයේ ලංකාවේ සිංහල නවකතාවට හෝ සිංහල නවකතාකරුවන්ට තැනක් තිබුණේ නැහැ. පරිවර්තන රැල්ලකින් සිංහල නවකතාව වැසී ගොස් තිබුණා. ඒ නිසා ගබ්රියල් ගර්ෂියා, මාකේස්, මිලාන් කුන්දේරා, අරුන්දතී රෝයි, සල්මාන් රුෂ්ඩි වැනි ලේඛකයන් ඔසවා තබා ඔජ වඩන ලේඛකයන් බිහිවුණා. ඒ අය විශිෂ්ටයන් බව ඇත්ත. ඒත් ඒ විදේශීය ලේඛකයන් ඔජ වඩවමින් ඇතැම් විචාරකයින් කළේ ලාංකික ලේඛකයන්ට පහර දෙන එක. ලංකාවෙත් ලේඛකයො ඉන්නවාද? ඒගොල්ලො මොනවාද ලියලා තියෙන්නේ? වැනි ගැරහීම් ඇතැම් පශ්චාත් නූතනවාදී විචාරකයෝ ප්‍රකාශ කරනවා මා අසා තිබෙනවා. අද ලංකාවේ සිංහල නවකතාව තුළ තිබෙන වර්ධනය ඒ අයට හොද පිළිතුරක්.

Q .අද සිංහල නවකතා වැඩි වැඩියෙන් බිහිවෙන්නේ ස්වර්ණ පුස්තක සම්මානය ඉලක්ක කරගෙන බව ඔබට හිතෙන්නේ නැද්ද?

කවර හෝ හේතුවක් නිසා සිංහල නවකතාකරුවන් අතර ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා නම් අලුත් ජවයක් අලුත් උනන්දුවක් ඇතිවෙලා තිබෙනවා නම් ඒක සාධනීය ලක්ෂණයක්. පසුගිය කාලයේ සිංහල නවකතාකරුවන්ට තැනක් තිබුණේ නැහැ. හරිහමං පිළිගැනීමක් තිබුණේ නැහැ. විදේශීය ලේඛකයන් ගේ පශ්චාත් නූතනවාදී අදහස් වලින් ලාංකික ලේඛකයන් වැසී ගිහින් තිබුණේ. පරිවර්තන විතරයි විකුණුනේ. සිංහල නවකතා අලෙවි වුණේ අඩුවෙන්. දැන් ඒ තත්ත්වය වෙනස්. දැන් සිංහල නවකතාකරුවා විදේශීය නවකතාකරුවන්ට වඩා ලංකාව තුළ ජනප්‍රියයි.

– සංවාදය –
රත්තනදෙණියේ මේධානන්ද හිමි
(2019 ජූලි 06 දිවයින ඉරිදා සංග්‍රහය)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More