පුරවැසි කොලම

1. පළමු වටයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කෙරෙන්නේ ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වීම සඳහා ඔහු පෙළඹවවීම මගින් සහ එම ජනාධිපතිවරණයට සතුරා විසින් පොදු අපෙක්ෂකයකු ඉදිරිපත් කරන බවට වූ තක්සේරුව ප්‍රතික්ෂේප කරමින් සහ රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන බවට ළදරු මතයක් ඉදිරිපත් කරමින් ඊට අනුව දේශපාලන උපායමාර්ග තේරීමට එතුමා පෙළඹවීම මගිනි.

2. දෙවැනි වටයේදී එතුමා පරාජයට පත්කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම බන්දේසියක තබා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමීමට පෙළඹවීම මගිනි.

3. තුන්වන වටයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ සිවිල් අයිතිවාසිකම් අහිමි කරමින් ඔහු පරාජය කරන්නේ සුළුතර ආණ්ඩුවට බහුතර බලය ලබාදෙමින් 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙළඹවීම මගිනි.

4. හතරවැනි වටයේදී එතුමා පරාජය කරන්නේ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු ගිවිසුමකින් තොරව මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සන්ධානගතව තරග කිරීමට එකඟකරවා ගැනීම මගිනි.

5. පස්වැනි වටයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කෙරෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද පාර්ශ්වය ලෙස පෙනී සිටීම මගින් ඉන්දිරා ගාන්ධි ආදර්ශය අනුව නැවත පක්‍ෂය අත්පත්කර ගැනීමට උත්සාහ කිරීම වෙනුවට වෙනත් පක්‍ෂයක් ගොඩනැගීම මගිනි. (එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ශ්වයක් ලෙස සෙසු පක්‍ෂ සමඟ නව සන්ධානයක් ගොඩනැගීමට සහ මැතිවරණවලට තරඟ කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොතිබුණි)

6. හයවැනි වටයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කෙරෙන්නේ ජාතික ආණ්ඩුව බිඳ වැටීමෙන් පසුව නැවත අගමැති ලෙස පත්කිරීමෙන් පසුව එම ආණ්ඩුව ආරක්‍ෂාකර ගැනීම සඳහා කළ හැකි සහ කළ යුතු සියල්ල නොකර සිටීම මගින් සහ කරන බව පෙන්වා නොකෙරෙන තැනට වැඩ සැලසීම මගිනි. එම ක්‍රියාවලිය තුළ සිදුවූ පාවාදීම් ලෙස සැලකිය හැකි ප්‍රභල දේශපාලන වැරදි 15ක් හඳුනාගත හැක.

ඉන් පළමු වැන්න මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීන්දුව ගැනීමෙන් පසුව රහසිගතව ඔහු හමුවී ඉදිරි ක්‍රියාවලිය සැලසුම් කළ පිරිස් මනෝවිද්‍යාත්මක උපක්‍රමවල “අ”යන්නවත් නොදන්නා ලෙස කටයුතු කිරීමය. එනම් පළමුව ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතු වූ කරුණු ප්‍රබල ලෙස සමාජ අවධානයට ලක්කොට එම ඉවත්වීම සාධාරණිකරණය කිරීමෙන් පසුව සහ මහජනයාට එම තීන්දුව බාර ගැනීමට අඩුතරමින් පැය කිහිපයක කාලයක් හෝ ලබාදීමෙන් පසුව නව අෘණ්ඩුව පිහිටුවීම වෙනුවට එම දේශපාලන සංසිද්ධීන් දෙක එකට ගැටගැසීම මගින් ජනකාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත්කළ බවට හෝ ව්‍යවස්ථා විරෝධීව ආණ්ඩුව පෙරළු බවට ප්‍රභල මතයක් ගොඩනැගීමට ඉඩ සැලසීම.

වැරදි ආකාරයට අදාල ගැසට් නිවේදන නිකුත් කිරීම මගින් එම වැරදි මතය තවදුරටත් තහවුරුවීමට ඉඩ සැලසීම.

නව ආණ්ඩුව පත්කිරීමෙන් පසුව එකඟවූ පරිධි බහුතරය හෙවත් මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ කැමැත්ත දිවුරුම් ප්‍රකාශ මගින් ප්‍රදර්ශනය කිරීමට අසමත්වීම හෝ ඒ සඳහා උපරිම කැපවීමෙන් ක්‍රියා නොකිරීම.

ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව මහජනයා විදි බස්සවා ජන බලය පෙන්වීම මගින් දේශපාලන පෞරුෂය ප්‍රදර්ශනය නොකිරීම හෙවත් ආරක්‍ෂාකාරී ප්‍රවේශයෙන් ප්‍රහාරාත්මක ප්‍රවේශයකට මාරු නොවීම නිසා ආණ්ඩුවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට බටහිර තානාපතිවරුන් ප්‍රමුඛ එන්.ජී.ඕ. බල ඇනියට ඉඩ සැලසීම.

මාස දෙකක කාලයකට පාර්ලිමේන්තුව කල්තැබීමට අවකාශය තිබියදී ඉතා කෙටි කාලයකට එනම් දින 11කට පමණක් කල්තැබීම.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර එසේ කිරීමට සිදුවන්නේ කතානායකවරයා විසින් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් නිර්මාණයය කිරීම නිසා බවට එම තීන්දුව මහජන ඇස් ඉදිරියේ ප්‍රබල ලෙස සාධාරණීකරණය නොකිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය පවා ප්‍රතිවිරෝධතා සහිතව නිකුත් කිරීම.

විසුරුවා හැරීමේ තීන්දුව ගැනීමෙන් පසුව සහ විරුද්ධ පාර්ශවයන් විසින් ඊට එරෙහිව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව එම ක්‍රියාවලියට අයුතු බලපෑම් සිදුවීම වැළැක්වීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් සිදු නොකිරීම.

උදාහරණ ලෙස නොවැම්බර් 12 වැනිදා අධිකරණයට බාර දුන් පෙත්සම් අදාළ ගැසට් නිවේදනය නිකුත්කළ දිනයට එනම් 11/09 දිනට පෙර දිනයක් වූ 11/8 වැනි දින යොදා න්‍යායපත්‍රගත කිරීම.

අධිකරණය විසින් නීතිපතිවරයාට පවා අවශ්‍ය කාලය ලබා නොදීම පිළිබඳව ප්‍රබල විරෝධයක් මතු නොකිරීම සහ ජේ්‍යෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා නොසිටීම.

බැඳියාවන් පිළිබඳ ගැටුම් විශේෂයෙන්ම පෙත්සම්කරුවන් සමග විනිසුරු මඩුල්ලේ සාමාජිකයන්ගේ සබඳතා පිළිබඳව ප්‍රතිවිරෝධතා මතු නොකිරීම සහ මුලික අයිතිවාසිකම් පෙත්සම් නඩු විභාගයකදී ව්‍යවස්ථාව නිර්වචනය කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට ප්‍රබල මූලික විරෝධතා ඉදිරිපත් නොකිරීම.

අධිකරණය මගින් අතුරු තහනම් නියෝගය ලබා දීමෙන් පසුව අවසන් තීන්දුව ලබා දෙන තෙක් අධිකරණයට ගරු කිරීම නැමැති නිදහසට කාරණය යටතේ පාර්ලිමේන්තුව කල් තැබීමේ නියෝගය දීර්ඝ නොකිරීම සහ එසේ දීර්ඝ කළ යුතු බවට වූ ප්‍රබල මතය යටපත් කිරීම.
( එසේ වුවානම් විශ්වාසභංග, මිරිස්කුඩු අපවාද හෝ අභියාචනාධිකරණ අතුරු තහනම් නියෝග ආදිය අසන්නට ලැබෙන්නේ නැත)

කතානායකවරයා විසින් අතුරු තහනම් නියෝගය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් කටයුතු කිරීමේ දී ඒ පිළිබඳව අධිකරණයට කරුණු දැක්වීම්ට ක්‍රියා නොකිරීම මෙන්ම ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ 129(1) වගන්තිය මගින් ලැබී ඇති බලතල අනුව අධිකරණයේ මතය විමසීමට කටයුතු නොකිරීම හෝ ඒ සඳහා පෙළඹවීමක් සිදු නොකිරීම.

එසේ නීති විරෝධීව රැස් වූ පාර්ලිමේන්තුවට සහභාගිවෙමින් එම ක්‍රියාවට සුජාත භාවය ලබාදීම.

විදේශීය තානාපතිවරුවරුන්ගේ අයුතු මැදිහත්වීම පිළිබඳ නිල වශයෙන් හෝ නිල නොවන ආකාරයට විරෝධය පළ නොකිරීම.

විපක්ෂය විසින් අභියාචනාධිකරණයට ‘කෝ වොරොන්ටෝවක්’ ඉල්ලමින් පෙත්සම් ඉදිරිපත් කළ අවස්ථාවේදී නිසි බරින් ඊට ප්‍රතිචාර නොදැක්වීම සහ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් සහ වගඋත්තරකරුවන් අතර පැවතිය හැකි බැඳියාවන් පිළිබඳ ගැටලු නිසි ලෙස මතු නොකිරීම. (නමුත් එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමේදී විරුද්ධ පාර්ශව විසින් එසේ විනිසුරුවරුන්ගේ බැඳියාවන් පිළිබඳ ගැටලු සීමාව ඉක්මවා යමින් ඉදිරිපත් කළ ආකාරයක් දක්නට ලැබුණි)

අධිකරණ තීන්දුව මගින් මහජන පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට බාධාවක් එල්ල වූ බැවින් සැබෑ ලෙසම පරමාධිපත්‍ය බලය උරගා බැලීම සඳහා ජනමත විචාරණයක් කැඳවීමට ක්‍රියා නොකිරීම. (කෙසේවෙතත් එවැන්නක් කළ හැක්කේ මෛත්‍රි – මහින්ද සමගිය සහ එහි ශක්තිය රැකීමට සියලු පාර්ශව භේදයකින් තොරව කටයුතු කරන තත්ත්වයක් තුළ සහ ආණ්ඩුව දැනුම්වත්ව ප්‍රහාරාත්මක ප්‍රවේශයක කටයුතු කරන තත්ත්වයක් තුළ පමණි)

මෛත්‍රි – මහින්ද සමගිය සහ එහි බලය ප්‍රබල ලෙස සමාජයට සහ රාජ්‍ය ආයතන පද්ධතියට දැනෙන ලෙස නොපෙන්වීම පමණක් නොව ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයට එම සමගියට එරෙහිව කටයුතු කිරීම සහ ප්‍රබල මහා ජාතික පොදු දේශපාලන සන්ධානයක් ගොඩනැගීම පමා කිරීම හෝ වැළැක්වීම.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම නම් වූ එම පක්ෂයේ සාමාජිකයන්ට හැර අන් කිසිදු පුද්ගලයෙකු හෝ අධිකරණයක් විසින් අභියෝගයට ලක් කළ නොහැකි දේශපාලන තීන්දුව ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඇතිවූ දේශපාලන අර්බුදය ව්‍යවස්ථා අර්බූදයක් බවටත්, ඉන් පසුව එක්තරා ආකාරයක ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවටත් පරිවර්තනය වූ ක්‍රියාවලිය තුළ ව්‍යවස්ථාදායකයට විධායකයට හෝ අධිකරණයට අයුතු බලපෑම් සිදු කිරීමට කිසියම් පාර්ශව ක්‍රියාත්මක වුව ද යන්න පිළිබඳ විධිමත්ව සොයා නොබැලීම (උදාහරණයක් ලෙස මේ නිශ්චිත මොහොතේ දී පවා මෙම කාර්්‍යය සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමේ බාධාවක් තිබිය නොහැක)

7. හත්වැනි වටයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කිරීමට උත්සාහ ගනිමින් සිටින්නේ එතුමාට විපක්ෂ නායනායක ධුරය පවා අහෝසි කිරීමෙනි. එහි අරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට සියලු වැදගත් රාජ්‍ය ආයතන සඳහා පත් කිරීම් කරනු ලබන ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය රැක ගැනීම පමණක් නොවේ. ඒ මගින් එතුමාගේ දේශපාලන පෞරුෂය සහ මානසික ශක්තියට අභියෝග කිරීම ද සිදු වේ. බෙදුම්වාදී බලවේග තමාගේ උවමනාව සාධාරණීකරණය කිරීම සඳහා ඉතා මුග්ධ ළදරු සහ හාස්‍යජනක තර්ක ඉදිරිපත් කරති. නමුත් ඒ අතරින් එක් තර්කයක් වන එතුමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් බවට වන චෝදනාව එල්ල කිරීමට ඉඩක් තැබීම බලවත් වරදක් බවට ද ප්‍රබල සමාජ මතයක් ගොඩනැගී ඇත.

’‘මහින්ද රාජපක්‍ෂයන්ගේ පරාජය අනිවාර්යෙන්ම රටේ පරාජයෙන් අවසන්වන්නකි. එය රටට හතුරු බෙදුම්වාදී බලවේගවල මූලික උවමනාවක් හෙවත් ඔවුන්ගේ සටනේ පූර්ව කොන්දේසියකි. ඒ නිසාම ඊට එරෙහි සටන ජාතික සටනේම කොටසක් බවට පත්වේ. මෛත්‍රී – මහින්ද සමගියට හතුරු බලවේග වලට එරෙහි සටනද ඊටම අයත්වේ. මෙම විවේචනය වැදගත් වන්නේ එම සංදර්භය තුළ මිතුරු ප්‍රතිවිරෝධතාවයක් ලෙසය.”

වෛද්‍ය වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More

පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට තියන් ඉන්නේ අපි-ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය...


Read More