පුරවැසි කොලම

පසුගිය වසර 05ට ආසන්න කාලයක් තිස්සේ බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දෙමළ ඩයස්පෝරාව සහ ටී.එන්.ඒ පක්ෂය මෙන්ම බටහිර තානාපතිවරුන් ද මන්නාරම් සමූහ මිනී වළ කෙරෙහි මහත් බලාපොරොත්තු සහගතව සිහින දකිමින් සිටි බව රහසක් නොවේ. විශේෂයෙන්ම මෙවර මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ හමුදාවට සමූල ඝාතන චෝදනාව බරපතළ සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට ඔවුන් සිහින දකිමින් සිටි බව පැහැදිලි ව පෙනුණි. නමුත් එම මිනී වළෙන් සොයාගත් ඇටකැබලි සාම්පල් 6ක් ඇමරිකාවේ බීටා ඇනලිටිකා නම් වූ පරීක්ෂණාගාරය වෙත යවා සිදු කළ කාබන් නිර්ණ පරීක්ෂණ අනුව එම ඇට කැබලි ක්‍රිස්තු වර්ෂ 1499 සිට 1719) දක්වා වන කාලයකට අයත් වන බව ඔප්පු විය. එනම් එම මිනීවළේ මිහිදන්ව ඇත්තේ පෘතුගීසි සහ ලන්දේසි පාලනය යටතේ ජීවත් වූ යම් වැසියන්ගේ සිරුරු බව දැන් පැහැදිලිව ඔප්පු වී ඇත. මානව හිමිකම් සමුළුව ඉලක්ක කරමින් අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ මැදිහත්වීම මත එම ඇට කැබලි සාම්පල ඇමෙරිකාවට යවන්නේ කැනීම් කටයුතු අවසන් කිරීමට පෙරය. ඒ සදහා ඔවුන් අදාල නිලධාරීන්ගේ අනුමැතිය ලබාගෙන නොමැති බවද වාර්තාfවි. ඒ අනුව දැන් ඔවුන්ගේ ප්‍රහාරාත්ම සැළසුම අතේ පත්තුවී ඇති බව පැහැදිලිවේ.

එම මළ සිරුරු පෘතුගීසි පාලනය යටතේ ආගම වෙනස් කිරීමට අකමැති වූ බෞද්ධයන්ගේ හෝ හින්දුන්ගේ විය හැක. එසේ නැතහොත් ලන්දේසි සමයේදී මර්දනයට ලක් වූ කතෝලික ආගම වැළඳගෙන සිටි දෙමළ ජනතාව විය හැක. එසේත් නැතහොත් ලන්දේසි පාලන කාලයේදී දුංකල වැවීම සහ මුතු කැඩීම සඳහා ඉන්දියාවෙන් ගෙන එන ලද කම්කරුවන් අතර පැතිරී ගිය බෝවන රෝගයක් නිසා මියගිය අයගේ සිරුරු එසේ මිහිදන් කළා විය හැක. සමහරවිට පෘතුගීසින් විසින් යාපනය පාලනය අල්ලා ගැනීමට පෙර යාපනය පාලනය කළ කෲර පාලකයෙකු ලෙස සැලකෙන සංගිලිගේ කෲරකම් වලට ගොදුරු වූ සිවිල් වැසියන් එසේ වළ දැමුවා විය හැක. දැන්ට කරන ලද පරීක්ෂණ අනූව මළමිනී තට්ටු දෙකක් ලෙස වල දමා තිබෙන බවක් පෙනෙන බැවින් එම ජනතාව අවස්ථා දෙකක දී ඝාතනය වූවන් විය හැක. ඒ අනුව දැන් යටත් විජිත පාලකයින් විසින් දෙමළ ජනතාව ඝාතනය කළ ආකාරය පිළිබදවද පරීක්ෂණය කළ යුතු යයි ඉල්ලා සිටිය හැක. ඒ වෙනුවට දැන් එන්.ජී.ඕ මහත්වරු අදාළ පරීක්ෂණ නැවත සිදු කළ යුතු බවට ඉල්ලා සිටිති.

කෙසේවෙතත් 2014 අප්‍රේල් 8 වැනි දින මන්නාරම් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය අනුව වාර්තාවක් ලබාදුන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ගේ මතය අනුව මෙම සමූහ මිනී වල තිබූ ප්‍රදේශය 1930 පමණ කාලයේ පටන් පවත්වාගෙන යනු ලැබූ සොහොන් පිටියකි. මහාචාර්ය රාජ් සෝමදේව මහතාට අනුව එම භූමියේ එක් කොටසක් සාමාන්‍ය සොහොන් බිමක් ලෙස සැළකිය හැක. ඒ අනුව පැහැදිලි වන්නේ ඉහත සඳහන් කල කුමන හේතුවක් නිසා හෝ මියගිය හෝ ඝාතනය කළ වැසියන් විසින් සොහොන් බිමක් තුළ හෝ ඒ ආසන්න භූමියක වළ දමා ඇති බවය. එම සමූහ මිනීවලෙන් හමුවී ඇත්තේ ළමුන් 29 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 325 දෙනෙකුගේ සිරුරු ප්‍රමාණයකි. ඒ අනුව එල්ටීටීඊ සංවිධානය විසින් මඩකලපුවේ දී නිල ඇඳුම් සහිත ව සිටියදී අත්අඩංගුවට ගෙන ඝාතනය කොට වළ දැමූ පොලිස් නිලධාරීන් 600 දෙනෙකුගේ සමූහ මිනී වළ තරම් එය විශාල නැත. නමුත් 2003 දී පලමු ඇට කැබැල්ල හමු වූ දින සිට මේ දක්වා තානාපතිවරුන් සහ එන්.ජී.ඕ කාරයන් එම මිනී වල හැරීමට දැක් වූ උනන්දුව එම පොලිස් නිලධාරීන්ගේ සමූහ මිනීවල පිළිබඳව දක්වා නැත. ශ්‍රී ලංකාවේ රජය පැත්තෙන් ගත් විට ද තත්වය එසේමය. ඊට අමතරව එල්ටීටීඊ සංවිධානය විසින් ලක්ෂ තුනකට ආසන්න සිවිල් වැසියන් ප්‍රාණ ඇපකරුවන් ලෙස දුක් පීඩා දෙමින් ඇදගෙන යන විට ටැමිල්නෙට් වෙබ් අඩවිය හෝ එන්.ජි.ඕ. කාරයන් කට හෙල්ලුවේ නැත. එසේම බල්ලන් බළලුන් ලෙස ඇදගෙන ගිය එම ජනතාව අතරින් මියගිය පිරිස් වළදමා ඇති සමූහ මිනී වළවල් ගැන සෙවීමටද දැන් ඔවුන්ට කිසිදු උනන්දුවක් නැත.

නමුත් ඉහත සඳහන් කළ ආකාරයට මන්නාරම මිනී වල පිළිබඳව තොරතුරු අනාවරණය වූ දින සිට ටැමිල්නෙට් වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට දිගින් දිගටම ඒ පිළිබඳව චෝදනා එල්ල කරනු ලැබීය. එම මිනීවල දෙමළ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වූ සමූලඝාතන යුද්ධයේ පිළිබිඹුවක් ලෙස හුවා දක්වමින් ඊට අදාළ පරීක්ෂණු ජාත්‍යන්තර නිරීක්ෂකයින් ගේ අධීක්ෂණය යටතේ සිදුකළ යුතු බවට ද විශාල ඝෝෂාවක් එම වෙබ් අඩවිය හරහා ඇති කරනු ලැබීය. මෑතකදී ආරම්භ කළ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය ද එම චෝදනාවට සුජාත භාවය භාවය ලබාදෙමින් එම මිනීවලේ අතුරුදහන්වූ පුද්ගලයින්ගේ සිරුරු තිබේදැයි පරික්ෂා කළ යුතු බවට ප්‍රකාශ නිකුත් කලේය. ඒ අනුව එම ප්‍රදේශයෙන් අතුරුදන් වූ වැසියන් 240කගේ සිරුරු එම සමූහ මිනීවලේ තිබිය හැකි බවට යාපනය රදගුරු රායප්පු ජොෂප් පියතුමා විසින් සඳහන් කරන්නට යෙදුනි.

රායප්පු ජෝසප් පිය පියතුමා 2014 ජනවාරි මාසයේ දී එනම් අදාළ පරීක්ෂණ විධිමත්ව ආරම්භ කිරීමට පෙර බී.බී.සී සේවයට ලබාදුන් ප්‍රකාශයකට අනුව ශ්‍රී ලංකාවේ හමුදාව විසින් බස් රථයක ගමන් කළ ළමුන් ඇතුළු දෙමළ වැසියන් ඝාතනය කොට එම ස්ථානයේ වල දමා ඇත. නමුත් වසර තිහකට අධික කාලයක් එම ප්‍රදේශය පාලනය කළේ එල්ටීටීඊ සංවිධානය විසිනි. එසේනම් එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කළ සිංහල හෝ දෙමළ සිවිල් වැසියන් ගේ සිරුරු එහි තිබිය හැකි බවට එක වචනයකින් හෝ උපකල්පනය කිරීමට උන්වහන්සේ මැළිවිය. මේ සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ මන්නාරම සමූහ මිනීවල බෙදුම්වාදී ප්‍රචාරක ව්‍යාපාරය විසින් මැණික් ඉල්ලමක් ලෙස සැලකූ බව නොවේද? එම ඉල්ලම හැරීමට දෙස් විදෙස් වලින් පැමිණි විවිධ පිරිස් ඉදිරිපත් වුවද අවසානයේදී පතල පතුලෙන් ඔවුන් බලාපොරොත්තු වූ දේ හාරා ගැනීමට නොහැකි විය.

බෙදුම්වාදී බලවේග වලට ඕනෑම සමූහ මිනී වළක් ඉල්ලමක් බවට පත් වන්නේ එක් ප්‍රධාන හේතුවක් නිසා මිස එසේ මියගොස් සිටින හෝ අතුරුදහන් වී සිටින කුමන හෝ ජන කොටසකට සාධාරණය ඉටු කිරීම සදහා නොවේ. එනම් ශ්‍රී ලංකාවේ රජයට එරෙහි ව සමූල ඝාතන චෝදනාව එල්ල කිරීම් සඳහා ප්‍රබල සාක්ෂි සොයා ගැනීමේ වුවමනාව නිසාය. ටී.එන්.ඒ. පක්ෂ නායකයින් දිගින් දිගටම සමූල ඝාතන චෝදනාව මතුරන්නේ කෙසේ හෝ ඊට අදාළව සාක්ෂි ප්‍රමාණයක් එකතු කර ගැනීමේ අරමුණ සහිතව ය. ඊට හේතුව වන්නේ ජාත්‍යන්තර නීතිය අනුව සමූල ඝාතනයකට ලක් වූ ජනතාවකට හෝ ජන කොටසකට වෙන්වයාමේ අයිතිය ඇතැයි පිළිගැනීම ය. නැගෙනහිර ටිමෝරය බෙදාවෙන් කිරීමේ ක්‍රියාවලියට අදාලව ඔස්ටේ්‍රලියාවට එරෙහිව පෘතුගාලය විසින් ජාත්‍යන්තර අධිකරණය (අයි.සී.ජේ)හමුවේ පැවරූ නඩු තීන්දුව මගින් ඒ බව තහවුරු වේ.

එම නඩු තීන්දු අනුව යම් රාජ්‍යයක ජනතාවක් ලෙස හඳුන්වන ජන කොටසකට පරමාධිපත්‍ය බලය බෙදී යන ලෙස ව්‍යවස්ථාව මගින් හෝ ජාත්‍යන්තර ගිවිසුමක් මගින් බලය බෙදීමක් සිදු කොට ඇති විටෙක එම ජනතාවට අදාළ බලය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම ආණ්ඩුව විසින් ඉඩ ලබා නොදේ නම් එම ජනතාවට වෙන්වයාමේ හෙවත් වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමේ අයිතිය ලැබේ. ඊට අමතරව එම ජනතාව සමූල ඝාතනයකට ලක් ව සිටින අවස්ථාවකදී ද වෙන්ව යාමේ අයිතිය ලැබෙන බව එම නඩු තීන්දුවේ සඳහන් වේ. ඒ අනුව මන්නාරම සමූහ මිනී වළ ඔවුන්ට ඉල්ලමක් වන්නේ කෙසේදැයි ඉතා හොඳින් පැහැදිලිවේ. මෙතෙක් සමූල ඝාතන චෝදනා විධිමත් ව එල්ල කිරීම සඳහා ප්‍රබල සාක්ෂි සොයා ගැනීමට හෝ නිර්මාණය කිරීමට නොහැකි වී ඇති නිසාය.

නමුත් දැන් බෙදුම්වාදී බලවේග වල බිඳීගිය බලාපොරොත්තුව හෙවත් බොදවී ගිය සිහින සැබෑ කිරීම සඳහා මානව හිමිකම් කොමිසම් ඉදිරිපත් වී ඇත. මානව හිමිකම් මාර්තු සැසියට කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් 2016 දී ආරම්භ කළ සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසමට අදාල පනත සකස් කිරීමේ ක්‍රියාවලිය අවසන් කොට එම පනත් වහා සම්මත කළ යුතුය. බි්‍රතාන්‍ය විසින් නායකත්වය සපයන ‘මධ්‍ය කණ්ඩායම’ ලෙස හඳුන්වන රටවල් විසින් මෙවර සමුළුවට ඉදිරිපත් කරන 40/1 යෝජනාව මගින් එම වාර්තාවේ අඩංගු යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව බැඳී සිටියි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාගේ මතයට පිටුපාමින් එම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට තීරණය කොට ඇත.

එසේ එම යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ විට 2015 දී සම්මත කළ 30/1 යෝජනාවේ අඩංගු සියලු යෝජනා සහ මෙවර වාර්තාව මගින් අවධාරණය කරන කරුණ ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බැඳී සිටියි. එසේ සම අනුග්‍රහය දැක් වූ විට එම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවක් ඉක්මවා යන රටවල් අතර අත්සන් කෙරෙන එම බහු පාර්ශවීය ජාත්‍යන්තර ගිවිසුමක් බවට පත් වෙයි. එවිට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ (2)7 වගන්තියේ සඳහන් වන ආරක්ෂාව ශ්‍රී ලංකාවේ රජයට හිමිවන්නේ නැත. එනම් රටක අභ්‍යන්තර කටයුත්තක් පිළිබඳව බලපෑම් කිරීමට නොහැක. යන ප්‍රතිපාදනයේ ආරක්ෂාව ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැත. එවිට ගිවිසුම මගින් එකඟ වූ දේ ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තර නීතියට අනුව බැඳී සිටියි. ඒ අනුව 40/1 යෝජනාවෙන් අවධාරණය කරන ආකාරයට ජාත්‍යන්තර මැදිහත්වීම් සහිතව සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවහොත් එම කොමිසම හරහා සමූල සමූලඝාතන චෝදනාවට සුජාත භාවය ලබාදීමට නීතිමය වශයෙන් අවකාශය නිර්මාණය වෙයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ යම් හමුදා නිලධාරීන් පිරිසක් ලබා ව්‍යාජ පාපොච්චාරණයක් ලබා ගැනීම පමණි. එවැනි පාපොච්ඡාරණයක් චෙම්මනි මිනී වලට අදාලව ලබාගැනීමට හැකිවිය. නමුත් සත්‍ය සෙවීමේ කොමිසමට ලැබෙන සාක්ෂි අනුව සමූලඝාතන ක්‍රියාවලියක් පැවති බව තහවුරු කළහොත් ඊට ප්‍රබල පිළිගැනීමක් ලැබේ. ඊට හේතුව සත්‍ය සෙවීමේ කොමිසම ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව පිහිටුවීමය.

ඊට අමතරව දැන් 40/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම මගින් මානව හිමිකම් කොමිසමේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ද බලපෑම් කරනු ඇත. එසේ සත්‍ය සෙවීමේ කොමිසමක් සමඟ මානව හිමිකම් කොමිසමේ කාර්යාලයක් ද ශ්‍රී ලංකාවේ පිහිටුවහොත් බිම්බෝම්බ සෙවීමට වඩා වැඩි ප්‍රමුඛතාවයක් සමූහ මිනී වළවල් සෙවීමට හිමිවන බවට සැකයක් නැත. ඒ නිසා මන්නාරම් සමූහ මිනීවලේ සිහිනය නැවත යථාර්ථයක් කරගැනීමට වෙනත් අවස්ථා අනාගතයේ දී නිර්මාණය විය හැක. එම තත්ත්වය තුළ බෙදුම්වාදීන්ගේ ව්‍යවස්ථා සංශෝධන සිහිනය බොඳ වී ගිය ද ඍජු ජාත්‍යන්තර මැදිහත්වීමක් යටතේ බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම තරණය කිරීමට ද අවස්ථාව නිර්මාණය විය හැක. ඊට හේතුව 30/1 යෝජනාවේ 16 වගන්තිය අනුව පොරොන්දු වී ඇති ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකළහොත් ජාත්‍යන්තර මැදිහත්වීමෙන් ජනමත විචාරණයක් කැදවීමේ හැකියාව ලැබීමය. ඉහත සඳහන් කළ ආකාරයට එම හැකියාව ලැබෙන්නේ 40/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම මගිනි. ජාත්‍යන්තර ගිවිසුම් කාලය තවදුරටත් වසර දෙකකින් දීර්ඝ කිරීම මගින් ජාත්‍යන්තර ගිවිසුමේ සුජාතභාවය සහ බැඳීම තවදුරටත් තහවුරු වේ.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More

පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට තියන් ඉන්නේ අපි-ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය...


Read More