පුරවැසි කොලම

පසුගිය දිනවල මහා සංඝ සංඝරත්නය පෙළපාලියකින් වැඩම කොට තමන් වහන්සේලාට සංඝාධිකරණයක් අවශ්‍ය බවට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව රූපවාහිනී නාලිකා තුළින් දැකගත හැකි විය. එය දුටු මේ ලියුම්කරුගේ විදේශගත අන්‍යාගමික උගත් මිත‍්‍රයෙක් දුරකථනයෙන් ප‍්‍රශ්නයක් යොමු කරන්නට යෙදුණි. එය ඉතා කෙටියෙන් මෙසේ දැක්විය හැක. ‘‘වරදවා හිතන්න එපා. මේක මට තේරෙන්නේ නැහැ. ඇයි හාමුදුරුවරු උන්වහන්සේලාට විශේෂිත අධිකරණයක් පිහිටුවන්න කියන්නේ? දැන් භික්ෂූන් වහන්සේලා කරන අපරාධ වැඩි වෙලාද? සමාවෙන්න මම එහෙම කියන්නේ අපි පුංචි කාලේ රථවාහන පොලීසියක් හෝ රථවාහන අධිකරණ තිබුණෙ නැහැනේ. මං හිතන්නේ විශේෂ රථවාහන අධිකරණ පිහිටුවෙව්වෙ රථ වාහන වැරදි වැඩි උන නිසා කියලා.’’

එවැනි ප‍්‍රශ්නයක් කිසිවෙකු විසින් ප‍්‍රසිද්ධියේ මතු නොකළද එවැන්නක් යමෙකුගේ මනසේ මතුවිය හැකි නොවේද? මෙම ලිපියේ මූලික අරමුණ එවැනි ප‍්‍රශ්නවලින් පීඩා විඳින ගිහි භවතුන් අතර බුද්ධිමය සංවාදයක් ඇති කිරීමය. මහා සංඝරත්නයට උපදෙස් දීමට හෝ උන්වහන්සේලා විවේචනය කිරීමට මෙම ලියුම්කරු අදහස් නොකරන බව උන් වහන්සේලාගේ දෙපා නැමද සදහන් කළ යුතුය. ගිහියන්ට මෙන්ම මහා සංඝරත්නයට ද වෙනස් මත දැරිමේ අයිතියක් ඇත. එය ඓතිහාසික සත්‍යයකි. පසුගිය දිනවල මහා සංඝරත්නයෙන් අතිබහුතරය කතිකාවත් පනත ප‍්‍රතික්ෂේප කරන විට යම් සුළුතරයක් ඊට පක්ෂව අදහස් ප‍්‍රකාශ කරන්නට යෙදුණි. යම් නිකාය කතිකාවත් වලට අනුව එ්වා ක‍්‍රියාත්මක කිරීමේ අවසන් බලය මහනායක හිමිවරුන් ප‍්‍රමුඛ කාරක සංඝ සභාවට හිමිවෙයි. නමුත් තවත් කතිකාවතට අදාලව එම කතිකාවට අනුව ගනු ලබන තීන්දු රටේ පවතින නීතිය යටතේ බලාත්මක කළ යුතුය. එනම් බුද්ධ නීතිය රාජ නීතිය උපයෝගී කරගනිමින් ක‍්‍රියාත්මක කළ යුතුය. එ් අනුව මහා සංඝරත්නයේ යම් සාමාජිකයෙකුට එරෙහිව විනය විරෝධී හෝ සම්ප‍්‍රදාය විරෝධී ක‍්‍රියාවක් පිළිබඳව මහනායක හිමිවරුන් විසින් ලබාදෙන තීන්දුවක් ක‍්‍රියාත්මක කිරීමට රාජ නීතියේ බලය අවශ්‍ය වේ. නමුත් සාමාන්‍ය ජනතාවගේ දැනුම අනුව බුද්ධ නීතිය මහා සංඝ සංඝරත්නයට අදාළව ස්වායක්තව ක‍්‍රියාත්මක වේ. එහෙත් බුදුන් වහන්සේ ජීවමානව ශාසනයට නායකත්වය දුන් සමයේදී පවා භික්ෂූන් වහන්සේලා බුද්ධ නීතියට මෙන්ම රාජ නීතියටද යටත් විය යුතු වූ බව ප‍්‍රකට කරුණකි.

රාජ නීතිය ඉදිරියේ වරදකරුවන්වන් වූ භික්ෂූන් වහන්සේලාට දඬුවම් ලබාදී ඇති අවස්ථා ඉතිහාසයේ සඳහන් වේ. නමුත් බුද්ධ නීතියට අනුව කටයුතු නොකරන භික්ෂූන් වහන්සේලාට දඬුවම් කරන ලෙස මහා සංඝරත්නය විසින් රජුගෙන් ඉල්ලා සිටි අවස්ථා පිළිබඳව අප අසා නැත. කතිකාවත් වලට අදාලව විශේෂයෙන්ම එ් තුළ අඩංගු විය යුතු විනය කරුණු හෝ නිකාය හෝ විහාර සම්ප‍්‍රදායන්ට අදාළ කරුණු පිළිබඳව රජුන් විසින් ප‍්‍රමිතීන් පැන වූ අවස්ථා පිළිබඳව ද අප අසා නැත. පොළොන්නරු යුගයේ දී මහා පරාක‍්‍රමබාහු රජතුමා විවිධ නිකායන් අනුගමනය කළ කතිකාවත් සමායනුයෝජනය කොට එක් කතිකාවතකට මහා සංඝරත්නය එකඟ කරවා ගැනීමටට කටයුතු කළ බව අප කියවා ඇත. නමුත් එතුමා විසින් එසේ එකඟ වූ කතිකාවත් ක‍්‍රියාත්මක කිරීම සඳහා රාජ නීති යොදා ගැනීමට උත්සාහ කළ බවක් හෝ එවැනි ඉල්ලීමක් එතුමාට ඉදිරිපත් වූ බවක් අසන්නට නැත.

සාමාන්‍ය මහජනයාගේ දැනුම අනුව සහ නිකාය කථිකාවත් අනුව භික්ෂූන් වහන්සේලා විසින් විනය හෝ සම්ප‍්‍රදායක් කඩ කරන අවස්ථාවල දඬුවම් නියම කිරීමේ බලය අදාල නිකායේ කාරක සංඝ සභාව සතු වේ. එම දඬුවම් ක‍්‍රියාත්මක කිරීමේ බලය ද සංඝ සභාව සතුවේ. එසේ නම් එය බුද්ධ නීතිය ක‍්‍රියාත්මක කරන සංඝාධිකරණයකි. එ් අනුව රාජ නීතිය බලපැවැත්වෙන සංඝාධිකරණයක් අභිනවයෙන් පිහිටුවීමේ උවමනාවක් තිබේද? එසේ නැතහොත් පවතින සංඝාධිකරණ නියෝග ක‍්‍රියාත්මක කිරීම සඳහා රාජ නීතිය යටතේ විශේෂ විධිවිධාන හෙවත් නව පනතක් අවශ්‍ය වන්නේ කුමක් නිසාද? එසේ විය හැක්කේ සංඝාධිකරණය විසින් ලබාදෙන දඬුවම් ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අධ්‍යාත්මික සහ සදාචාරමය බලය එම අධිකරණයට නොමැති නිසා ද? එසේ නැතිනම් මහා සංඝරත්නය විසින් එම නියෝග හෝ තීන්දු ප‍්‍රතික්ෂේප කරන නිසාද? එසේත් නැතිනම් එ් දෙකම නිසා ද?

මෙම උභතෝකෝටිකයට මුහුණදීමේදී පවතින වාතාවරණය තුළ, විශේෂයෙන්ම මහා සංඝරත්නය සතු සමාජ බලය බිඳ දැමීම සඳහා දියත් වන සැලසුම් සහගත ක‍්‍රියාවලිය තුළ, කළ හැක්කේ කුමක් ද? ඊට මුහුණ දීමේ දී ප‍්‍රධාන වශයෙන් එකිනෙකට පරස්පර ක‍්‍රමවේද දෙකක් යෝජනා කළ හැක. පළමුවැන්න රජය ඉදිරියේ බැගෑපත්ව සහාය ඉල්ලා සිටීමය. එනම් මහා සංඝරත්නයේ අභ්‍යන්තර ගැටලූ විසඳා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටීමය. දෙවැන්න මහා සංඝරත්නය සතු ව පැවැති ඓතිහාසික සමාජ බලය නැවත අත්පත් කරගැනීමය. ඓතිහාසිකව අප රටේ මහා සංඝ සංඝරත්නය විසින් ඉටු කරනු ලැබුවේ ව්‍යවස්ථාදායකයේ සහ සිවිල් අධිකරණයේ භූමිකාව නොවේද? විධායකය හෙවත් රජු විසින් අනුගමනය කළ යුතු නීති රීති සහ ප‍්‍රමිතීන් නිර්දේශ කරනු ලැබුවේ මහා සංඝ සංඝරත්නය විසිනි. එසේම එ්වා ක‍්‍රියා ක‍්‍රියාත්මක කිරීමේ දී පැන නගින ප‍්‍රතිපත්තිමය ගැටළු නිරාකරණය කරනු ලැබුවේද මහා සංඝරත්නය විසිනි. එය සිවිල් අධිකරණ බලය ලෙස හැඳින්විය හැක. ඊට අමතරව රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට අදාළ පසු විපරම සහ ඊට අදාලව මහජනයාට සහ රජුට උපදෙස් දීමේ භූමිකාවද මහා සංඝරත්නය සතු විය. එපමණක් නොව අවසාන වශයෙන් රජු කවුද යන්න තීරණය කිරීමේ බලය ද මහා සංඝරත්නය සතු විය. එය හුදු තීරණය කිරීමේ බලය පමණක් නොව රජුන් තැනීමේ සහ රැුකීමේ ජාතික වගකීමක් ලෙසද හැන්විය හැක.

එදා මහානාම හිමියන් ධාතුසේනයන් හදා වඩා උගන්වා පුහුණු කොට සිහසුනේ හිඳුවන්නට ක‍්‍රියා නොකළා නම් එම නිශ්චිත යුගයේදී පමණක් නොව ඊට පසු යුගයේදී ද රටේ ඉරණම කණපිට පෙරළීමට ඉඩතිබුනි. උන්වහන්සේ විසින් මහා වංශය නොලියන්නට අද අප වල්මත් වූ ජාතියකි. උන්වහන්සේ විසින් මගපෙන්වා තිබියදී අප ජාතියක් ලෙස මග සොයාගත නොහැකිව ඉබාගාතේ ඇවිදින බව සත්‍යයකි. එහෙත් අනාගතයේ දී හෝ නිවැරදි මගට ගමන හැරවිය හැක්කේ උන්වහන්සේ විසින් විහිදුවාලූ ආලෝකය යොදාගනිමින් නොවේද?

නමුත් අවසානාවකට අද වන විට මහා සංඝරත්නය විනිසුරුගේ භූමිකාව අතහැර පැමිණිලිකරුගේ භූමිකාවට ආරූඪ වී ඇත. උන්වහන්සේලා විනිසුරු අසුන විධායකට භාරදී නූගත් විනිසුරන්ගෙන් සහන ඉල්ලා සිටිති. තමා සතු වගකීම් ඉටු කිරීම සඳහා රාජ්‍ය බලයෙන් බිඳක් ඉල්ලා සිටිති. කෙතරම් අසරණ වී ද යත් යම් සුළු ජාතිකත්ව සදහා විශේෂ තත්වයන් සැලකිල්ලට ගෙන පිහිටුවා ඇති අර්ධ අධිකරණයක බලය හෝ ලබා දෙන ලෙස උන්වහන්සේලා ඉල්ලා සිටිති. කුඩා පවුල් එ්කකයක ගැටලූ විසඳීම සහ රටේ මහ ප‍්‍රවාහය වන මහා සංඝරත්නයට අදාල ගැටළු විසඳීම් සමාන කළ හැකි ද? අනෙක් පැත්තෙන් ගත්විට ‘‘කාති ’’ අධිකරණය වැනි අර්ධ අධිකරණයක බලය හෝ ලබා දෙන ලෙස ඉල්ලා සිටියද එ් මගින් ඇතිවිය හැකි අනර්ථය පිළිබඳව එසේ ඉල්ලා සිටින නායක හිමිවරුන්ට අවබෝධයක් තිබෙනවා ද යන්න සැක සහිතය. එවැනි අධිකරණයක තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළ හැක. එවැනි අවස්ථාවක ගෞරවනීය මහා සංඝරත්නයේ තීන්දු පිළිබඳව නීතිමය විග‍්‍රහ ඉදිරිපත් කිරීමට ගිහියන්ට අවස්ථාව ලැබෙයි. එසේම උන්වහන්සේලාට අධිකරණවල රස්තියාදු වීමට සිදුවේ.

යම් විටෙක භික්ෂූන් වහන්සේලා එම අර්ධ අධිකරණයේ නියෝග පිළිනොපදින අවස්ථාවක ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියකට යොමුවීමට ද සිදු වේ. බොහෝ විට එවැනි අවස්ථාවක අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට සිදුවේ. එ් සෑම අවස්ථාවක්ම විවෘත අධිකරණයේ සිදුවන බැවින් මහා සංඝරත්නය රාජ නීතිය ඉදිරියේ පමණක් නොව ගිහි නීතිඥයන් සහ විනිසුරන් ඉදිරියේ හෑල්ලූවට ලක් වෙන ආකාරය මහජනයාට අසරණව බලා සිටීමට සිදු වේ. එවැනි තත්වයකදී මහා සංඝරත්නය පොදු මහජනයා ඉදිරියේ හෑල්ලූවට ලක්වීම වැළැක්විය හැකිද? එවැනි අවස්ථා ප‍්‍රයෝජනයට ගෙන දැනටමත් මහා සංඝරත්නයේ ගෞරවය කෙළෙසීමට සැලසුම් සහගතව ක‍්‍රියාත්මක වන එන්.ජී. ඕ කාක්කන් කෑකෝ ගැසීමට පටන් ගනු ඇත. පුවත්පත් පිටු පුරා ඒවා ආලවට්ටම් දමා ප‍්‍රසිද්ධ කිරීම මගින් ඔවුන් බොහෝ ආදායම් උපයනු ඇත. එ් සියල්ලටම වඩා බුද්ධ නීතිය රාජ නීතියට යටත් කළ පසුව ඕනෑම වසලයෙක්ට අධිකරණය හමුවට ගොස් රීට් ආඥා ඉල්ලමින් මහා නායක හිමිවරුන් පවා අපහසුතාවයට පත් කිරීමට ඉඩ ලැබේ.

මහා සංඝරත්නය එවැනි මහා උගුලකට ගොදුරු කිරීම සඳහා උපදෙස් දෙන්නේ කවරහු ද? අඩු තරමින් පොදු මහා සංඝ සංඝරත්නය අතර හෙවත් නිකාය ත‍්‍රිත්වය අතර හෝ එකඟතාවක් නොමැති ව කඩිමුඩියේ හෙවත් නොසැලකිලිමත් ලෙස එවැනි යෝජනා ඉදිරිපත්පත් කිරීමට මහා සංඝ සංඝරත්නයට උපදෙස් දෙන්නේ කවරහු ද? එ් මගින් සංඝ භේදය ඇති කිරීමට හෝ එවැන්නක් තිබෙන බව මහා සමාජයට එ්ත්තු ගැන්වීමේ උවමනාව ඇත්තේ කවුරුන්ට ද? මේ සියලූ සංකීර්ණ කරුණු පසෙක තැබුව ද සාමාන්‍ය ජනයාගේ ඇසින් බලන විට මහා නායක හිමියන්ගේ වචනය පිළිනොගන්නා භික්ෂූන් වහන්සේ නමකට එම වචනය පිළිගන්නා ලෙස බලකරීමට අධිකරණයකින් ඉල්ලා සිටීම මගින් සමාජයට දෙන පණිවිඩය කුමක් ද? මේවාට තාක්ෂණික පිළිතුරු ඉදිරිපත් කරන පිරිසක්ද සමාජයේ දක්නට ඇත. ඔවුන්ට අනුව විසඳුම විය යුත්තේ සංඝාධිකරණය සාමාන්‍ය අධිකරණයක් ලෙස පිහිටුවා තෝරාගත් භික්ෂූන් වහන්සේලා පිරිසක් අධිකරණ නිලධාරීන් ලෙස පත් කිරීම ය. එය තාක්ෂණිකව නිවැරදි විය හැකි වුවත් එවැන්නක් අධිකරණ පද්ධතියෙන් පිටත පිහිටුවිය නොහැක. එවැනි අධිකරණයක් පිහිටුවීම සඳහා මෙන්ම භික්ෂූන් වහන්සේ නමක් අධිකරණ නිලධාරියෙකු ලෙස පත්කිරීම සඳහා ද රටේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිදුවනු ඇත.

ඊට අමතරව මහා සංඝරත්නය සාමාන්‍ය අධිකරණයකදී අධිකරණ කොමසාරිස්වරුන් ලෙස කැඳවා උපදෙස් ලබා ගනිමින් සංඝරත්නයට අදාල නඩු ඇසීමේ බලය විශේෂ අධිකරණයකට ලබාදීමේ වරදක් නොවන බවටද මතයක් ඇත. එහෙත් විනය හෝ සම්ප‍්‍රදාය කැඞීමට එරෙහිව භික්ෂූන්ට දඬුවම් කිරීමේ බලය ගිහියකුට ලබාදීම බුද්ධ නීතියට අනුකූල ද? අනෙක් පැත්තෙන් ගත් විට රාජ නීතියට අනුව වරදක් වන වරදකට එරෙහිව භික්ෂුවකට එරෙහිව නඩු ඇසීමට ‘‘භික්ෂු විනිසුරන්ගෙන්’’ සමන්විත විශේෂ අධිකරණයක් පිහිටුවීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. එවැනි ඉල්ලීමක් කිරීම ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට ද විරුද්ධ යැයි සැලකිය හැක. පවතින තත්වය යටතේ රාජ නීතිය යටතේ සාමාන්‍ය අධිකරණයක දී භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව නඩුවක් විභාග කිරීමේදී දැනුම්වත් භික්ෂූන් වහන්සේ නමකගෙන් උපදෙස් ලබා ගැනීමට අධිකරණයට බාධාවක් නැත. එවැනි අවස්ථා අප විසින් අත්දැක ඇත.
කෙසේවෙතත් රාජ නීතිය යටතේ භික්ෂූන්ට එරෙහිව නඩු අසන්නේ භික්ෂු විනිසුරුවරුන් නම් එවැනි තත්ත්වයක් ඉල්ලා සිටීමට අන්‍ය ආගමික පූජකයින්ට ද සදාචාරමය සහ දේශපාලන බලයක් ලැබේ. මෙම තත්ත්වය තුළ මහා සංඝරත්නය සතු ඓතිහාසික සමාජ බලය පූර්ණ ලෙස අත්පත් කරගන්නා දිනය පැමිණෙන තෙක් ප‍්‍රශ්නය විසඳීම සඳහා බලා සිටිය හැකි ද? එහි අනෙක් අන්තය වන මෙතෙක් කතා කළ බුද්ධ නීතිය රාජ නීතියට යටත් කිරීමේ පිළිතුර හැර අන් පිළිතුරක් නොමැති ද? පවතින තත්වය යටතේ පවා යම් මධ්‍යස්ථ පිළිතුරක් ඉදිරිපත් කළ හැකිද? එ් සඳහා කළ යුත්තේ කුමක්ද? යම් භික්ෂූන් වහන්සේ නමකට බුද්ධ නීතිය යටතේ පවතින සංඝාධිකරණයකින් ලබා දිය හැකි උපරිම දඬුවම් සසුනෙන් නෙරපීම ය. එසේ සසුනින් නෙරපූ භික්ෂුවක් තවදුරටත් බලහත්කාරයෙන් හෝ වංචනිකව සිවුරු දරා සිටී නම් එය පුද්ගලවේශයන් වෙනස් කොට පෙන්වා මහජනයා රැුවටීමකි. එ් සඳහා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් කළ හැක.

ඊට අදාලව කඩිනමින් දඩුවම් කිරීම සඳහා අවශ්‍යනම් දණ්ඩනීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කළ හැක. එවිට බුද්ධ නීතිය හෑල්ලූවට ලක් වීමක් හෝ එය රාජ නීතියට යටත් කිරීමක් සිදු නොවේ. කෙසේ වෙතත් යම් භික්ෂුන්වහන්සේ නමක් සසුනින් නෙරපූ පසුව එම පුද්ගලයා තවදුරටත් භික්ෂුවක් නොවේ. එතැන් පටන් එම පුද්ගලයාට එරෙහිව විශේෂ නීතියක් යටතේ පිහිටුවන සංඝ අධිකරණයකින් දඬුවම් කිරීමට හැකියාවක් නැත. සංඝාධිකරණයක් ඉල්ලා සිටින භික්ෂූන් වහන්සේලා එ් පිළිබඳව වදාරන්නේ කුමක්ද?

අවසාන වශයෙන් නොකළ යුතු දේ පිළිබඳව කරුණු දැක්වීමට සාපේක්ෂව කළ යුතු දේ පිළිබඳව ද යමක් පැවසීම සාධාරණ වේ. පළමුවැන්න ඉහත සඳහන් කළ ආකාරයට ශාසනයෙන් නෙරපූ භික්ෂූන් මහජනයා රැුවටීම සඳහා තවදුරටත් සිවුරු දැරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නම් දණ්ඩ නීති සංග‍්‍රහයට සංශෝධන එක් කිරීමයි. දෙවැන්න ව්‍යවස්තාවේ 9වැනි වගන්තිය ප‍්‍රායෝගික සැබැවින්ම ක‍්‍රියාත්මක කිරීම සඳහා බුද්ධ ශාසනයේ සීමා මායිම් ලකුණු කරන බුද්ධශාසන පනතක් සම්මත කිරීමයි. තුන්වැන්න විහාර දේවාලගම් පනත සංශෝධනය කොට ඓතිහාසිකව සඟ සතු ව තිබූ සියලූ දේපළ නැවත සඟසතු කොට ආරක්ෂා කිරීමය. හතරවැන්න ආගමික ප‍්‍රකාශන නියාමන පනතක් මගින් ආගමික ඉගැන්වීම් විකෘති කිරීම හෝ ආගමික ශාස්තෘවරුන්ට අවමන් කිරීම වැලැක්විය යුතුය. එහිදී ආගමික ඉගැන්වීම් නාමයෙන් සමාජය තුළ ප‍්‍රචණ්ඩත්වය හෝ වෙනත් සමාජ විරෝධී ක‍්‍රියා ප‍්‍රචලිත කිරීම ද වැළැක්විය යුතුය. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් රාජ නීතියට කළ හැකි දෙය එය නොවේද?

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

දිවයින පුවත්පත



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට සූදානම්!

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ල...


Read More

117ගන්න සහාය දුන් දෙමළ සන්ධානයට රනිල් දුන් පොරොන්දුව

අලුත් ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් සෑම දෙනාටම පිළිගතහැකි විසදුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම...


Read More

‘‘ජනතාවට තියෙන එකම විකල්පය ජනමත විචාරණයක් ලබා ගැනීමයි’’ ආචාර්ය ගුණදාස අමරසේකර මහනායක හිමිවරුන් බැහැදකිමින් කියයි (Video)

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ඇතුළු කාර්ක සංඝ සභාවේ හිමිවරුන් අද දින බැහැ දු...


Read More