පුරවැසි කොලම

ආණ්ඩු වෙනස: කාගේ වැඩක්ද?

November 3, 2018 12:14 pm | Lanka Lead News

නොවේර්ජියානු ආධාර සංවිධානය හෙවත් ‘’නොරාඩ්” ආයතනය විසින් 2010 දී ශ්‍රී ලංකාවට අදාළව විද්වත් වාර්තාවක් නිකුත් කරන්නට යෙදුණි. සාමයේ ඉත්තෝ නමින් ප්‍රකාශයට පත් කළ එම වාර්තාව සකස් කරනු ලබන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග අධ්‍යාපන පීඨයේ මහාචාර්යවරුන් පස් දෙනෙකු විසිනි. එම වාර්තාව කැඳවීමේ මූලික අරමුණ වන්නේ නොවේර්ජියානුවන්ගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාව තුළ දියත් කෙරුණු සාම ක්‍රියාවලිය අසාර්ථක වූයේ කුමක් නිසා දැයි සොයා බැලීමය. එනම් නොර්වේජියානුවන් විසින් සුඩානයේ දී දියත් කළ සාම ක්‍රියාවලිය හරහා එම රට බෙදා වෙන් කළ හැකිවුවත් ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට නොහැකි වූයේ කුමක් නිසා දැයි සොයා ගැනීමය. එම සොයා ගැනීම වැදගත් වන්නේ වැරැද්ද නිවැරදි කිරීම සඳහා බව එම වාර්තාව කියවීමේ දී ඉතා හොඳින් පැහැදිලි වේ.

එම වාර්තාවට අනුව නොවේර්ජියානුවන් අතින් සිදුවන ප්‍රබල වරදක් වන්නේ එදා සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ප්‍රතිවිරෝධය සමනය කිරීමට නොහැකි වීමය. එම වාර්තාව මගින් ගම්‍ය වන්නේ එම දෙපළ අතර ගැටුමට මුල් වන්නේ චන්ද්‍රිකා මැතිනිය බවය. ඒ අනුව වැරදුනු තැන් නිවැරැදි කර ගනිමින් නැවත පටන් ගැනීමට නම් චන්ද්‍රිකා පෞරුෂය වෙනුවට වෙනත් පෞර්ෂයක් ආදේශ කළ යුතුය. එනම් බලවත් සහ හිතුවක්කාර පෞර්ෂයක් වෙනුවට ඉවසිලිවන්ත සහ මධ්‍යස්ථවාදී පෞරුෂයක් ආදේශ කළ යුතුය. ඒ අනුව 2015 දී ඒ වෙනත් පෞර්ෂය සමඟ රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන එනු ලැබීය‍. ඉන්පසුව ජනපති සහ අගමැති අතර මතුවිය හැකි ප්‍රතිවිරෝධතා අවම කරගත හැකි බවට අදාළ පාර්ශ්ව උපකල්පනය කළ බව පිළිගත් හැක.

එම උපකල්පනය පසුගිය වසර තුනක කාලය තුළ බරපතල ලෙස අභියෝගයට ලක් නොවූ අතර එම පාර්ශ්ව අපේක්ෂා කළ ඉලක්ක බොහොමයක් සපුරා ගත්හැකි විය. නමුත් මූලික අපේක්ෂාව වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අවසානය තෙක් තල්ලු කර ගැනීමට ඔවුන් අසමත් විය. නමුත් දැන් එදා වසර තුනකට පෙර එළඹුණු උපකල්පන සියල්ල වැරදී ඇත. එදා සිටි ඉවසිලිවන්ත සහ මධ්‍යස්ථ මතධාරී ජනාධිපතිවරයා තමා පත් කිරීමට උර දුන් සියලු පාර්ශ්ව පුදුමයට පත් කරමින් දැඩි මතධාරී සහ සෘජු තීන්දු ගන්නා චරිතයක් බවට පරිවර්තනය වී ඇත. ඊට හේතුව ආසන්නතම සිදුවීම ලෙස සැලකෙන්නේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් එළිදරව් වීම සහ ඊට ආණ්ඩුවේ යම් පාර්ශ්ව සම්බන්ධ බවට සාක්ෂි හෙළිදරව් වීමය. එසේ වුවත් පසුගිය වසර තුනක කාලය තුළ ජනාධිපතිවරයාගේ කතා, හැසිරීම් සහ යම් ක්‍රියාමාර්ග විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ එම විපර්යාසය ක්‍රමයෙන් සිදු වූ බවය.

ජනපති-අගමැති සුසංයෝගය මඟින් ඉටු කර ගැනීමට අෙපක්ෂා කළ න්‍යාය පත්‍රෙය් බරපතලකම නිසාම එහි පැවැත්ම අභියෝගයට ලක් වූ බවට විවාදයක් නැත. එහෙත් එම දෙපළ අතර ප්‍රතිවිරෝධතා වර්ධනය වීමට එම චරිත වල යම් ලක්ෂණ සහ පන්ති පදනම මෙන්ම සංස්කෘතික මූලයන් හේතු වූ බව පිළිගත හැක. නමුත් චන්ද්‍රිකා මැතිනිය සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පන්තිමය සහ සංස්කෘතික ප්‍රතිවිරෝධතා නොතිබූ බව පිළිගැනීමට සිදුවේ. ඒ අනුව එදා ගැටුම මූලික වශයෙන්ම පුද්ගල ප්‍රතිවිරෝධතා මත වර්ධනය වූ බව ද පිළිගැනීමට සිදුවේ. ඒම විග්‍රහයට අනුව අළු යට ගිනි පුපුරු මෙන් සැඟවී තිබුණ ද මෛත්‍රී – රනිල් ප්‍රතිවිරෝධතා චන්ද්‍රිකා – රනිල් ප්‍රතිවිරෝධතා වලට වඩා ප්‍රබල බව ද පිළිගැනීමට සිදු වේ. කෙසේ වෙතත් යම් බාහිර පාර්ශ්ව එම ප්‍රතිවිරෝධතා සමනය කිරීමට යම් උත්සාහයක් ගත් බව පෙනුණි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා විශේෂ උනන්දුවක් දක්වන බවක් බාහිරින් ප්‍රකට වූයේ නැත. බොහෝ විට ඊට හේ තුවිය හැක්කේ ඔහු මත පැටවී ඇති න්‍යාය පත්‍රයේ බරපතලකම විය හැක. හොඳින් හෝ නරකින් න්‍යාය පත්‍රය ඉදිරියට තල්ලු කිරීමේදී ප්‍රතිවිරෝධතා චක්‍රීයව වර්ධනය වෙන බව පිළිගත හැක.

කෙසේ වෙතත් විපක්ෂ බලවේග එම ප්‍රතිවිරෝධයන් උත්සන්න කොට ඒවා දේශපාලන වශයෙන් තමාගේ වාසියට යොදා ගැනීමට උත්සාහ කරන බවක් ද දක්නට ලැබුණේ නැත. ඒ නිසා එම ප්‍රතිවිරෝධයන් ස්වභාවිකව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ බව පිළිගැනීම වරදක් නොවේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ගේ දීර්ඝ කාලීන දේශපාලන පදනම සහ අනාගත අපේක්ෂාවලට හානිකර තීන්දු ගැනීමට එතුමාට දිගින් දිගටම බල කෙරෙන තත්ත්වයක් යටතේ එම ප්‍රතිවිරෝධතා වර්ධනය වීම ස්වභාවික තත්වයකි. උදාහරණයක් ලෙස රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට ජනාධිපතිවරයාගේ විරෝධය යම් අවස්ථාවල සෘජුව සහ බාහිරව පෙනෙන ලෙස ප්‍රකාශයට පත් විය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස ගනු ලබන සියලු තීරණවල අවසාන වගකීම තමා වෙත පැටවෙන බව ජනාධිපතිවරයා අවෙබාධ කොටගෙන තිබූ බව නව අගමැති පත්කිරීමට අදාල ඔහුගේ විශේෂ ප්‍රකාශෙයන් පැහැදිලි විය. ඒම ප්‍රකාශය මගින් ඔහු තමාගේ තීන්දුව ඉතා ප්‍රබල ලෙස සහ ප්‍රශස්ථ ලෙස තහවුරු කිරීමට සමත්විය. එසේ වුවත් තමා විසින් ගනු ලැබූ දේශපාලන තීන්දුව ව්‍යවස්ථානුකූල බවට ප්‍රබලව තහවුරු කිරීමට ඒතුමා අසමත්විය. විශේෂයෙන්ම ජාතික ආණ්ඩුව බිදවැටීම නම් වූ දේශපාලන සංසිද්ධිය මුල්කරෙගන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හුවා දැක්වීමක් සිදුවූයේ නැත. ඊට අමතරව බෙහෝ නීති විශාරදයින්ද ව්‍යවස්ථවේ වගන්ති තුළින් දේශපාලන අර්බුදය විග්‍රහ කිරීමට යාම නිසා දේශපාලන අර්බුදෙය් බැරෑරැම්කම සහ වලංගුභාවය යටපත් විය.

කෙසේවෙතත් ජනාධිපතිතුමාගේ පැත්තෙන් ගත්විට මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතගේ ඉල්ලීම හෝ බල කිරීම මත දෙවතාවක දී ව්‍යවස්ථාව ඉතා බරපතළ ලෙස උල්ලංඝණය කිරීම නිසා ප්‍රබල විග්‍රහයක් ඉදිරිපත් කිරීම වලක්වමින් යම් මානසික බාධකයක් ඒතුමා විසින්ම පනවා ගැනීමට ඉඩක් ඇත. එදා 2015 ජනවාරි 09 දින ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරන්නේ ඒ වනවිට ධුරය හෙබවූ දි මු ජයරත්න මහතා ඉවත් කිරීමෙන් තොරවය. එදා එවැන්නක් සිදුවන්නේ 19 වැනි සංශෝධනය සම්මත කිරීමට පෙර අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපති සතුව තිබිය දීය. එපමණක් නොව එදා ජනාධිපතිවරයාගේ තීන්දුව වෙනස් කොට හිටපු අගමැති නැවත පත් කරන ලෙස ඉල්ලා සිටීමට අවශ්‍ය සාමාන්‍ය බහුතර බලය පමණක් නොව විශේෂ බහුතර බලය පවා පරාජිත පාර්ශවය සතුව තිබුණි. එදා පත්වූ අගමැතිවරයාට බහුතර බලය පෙන්වීමට හෝ ඊට ආසන්න වීමට හෝ බලයක් නොතිබුණි. ඔහු සතු වූයේ මන්ත්‍රි ආසන 46ක් පමණි. අද මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කරන්නේ ඔහු සතු ව ආසන 96ක් තිබියදීය. නමුත් එදා කිසිදු විදේශීය තානාපති වරයෙක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එම ව්‍යවස්ථා විරෝධීක්‍රියා හෙළා දැකීමට කටයුතු නොකළේය. එදා පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමිව තිබූ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ද ඊට විරෝධය පළ නොකොට ඉතා ඉවසීමෙන් බලා සිටියහ. කෙසේ වෙතත් මහින්ද පාර්ශ්වෙය් ඉවසීම ෙෙම්‍රතී පාර්ශ්වය ඉවසීමට වඩා ඉතා බලවත් බව එදා මෙන්ම අද ද ඔප්පුවී ඇත.

එම ඉවසීම හෙවත් අක්‍රීයව බලා සිටීමේ ගුණය කොතෙක්දයත් නව අගමැතිවරයා පත් කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රමුඛතම සහ අසීරුතම භූමිකාව ඉටු කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. එහිදී ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන බලය කෙරෙහි විශ්වාසය නොතබා තම නිල බලය භාවිතා කොට අගමැතිවරයාගේ ධුරය අහෝසි වූ බව ප්‍රකාශයට පත්කොට මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළේය. නමුත් මහින්ද පාර්ශ්වය තම දේශපාලන බලය භාවිතා කොට එම ක්‍රයාවලියට අවශ්ය මූලික දේශපාලන පදනම හෙවත් තල්ලුව ලබාදීමට සක්‍රීයව දායක වූයේ නැත. ජනාධිපතිවරයා විසින් බිම්බෝම්බ ඉවත් කොට ස්නයිෆර් තුවක්කු කරුවන් බිම දමා ගුවනින් ආරක්ෂාව ලබාදී නැකතට අනුව කැඳවූ විට පමණක් මහින්ද රාජපක්ෂ මහාතා ආරක්ෂණවාදී දේශපාලන කුටුම්බයෙන් එළියට පැමිණියේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන න්‍යාය පත්‍රය පරාජය කිරීම සදහා මෛත්‍රීපාල සිරිසේන සාධකය දේශපාලනිකව කළමනාකරණය කිරීමේ වැදගත්කම මහින්ද පාර්ශ්වය විසින් අවබෝධ කොටගෙන නොමැති බවට ඔවුන්ගේ හැසිරීම් වලින් දිගින් දිගටම පැහැදිලි විය. කුමන හේතුවක් නිසා හෝ ඔවුන් ඊට බියක් දැක්විය. ඊට අදාල මහජන සංවාදයකට හෝ අඩියක් පෙරට තබා පළමුව ක්‍රියාත්මක වීම සදහා අවශ්‍ය දේශපාලන ධෛර්ය හෝ පෞර්ශය ඔවුන් තුළ නොමැති බව පැහැදිලිව දක්නට ලැබුණි. ඒම තත්වය වෙනස් වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික නිර්භිතභාවය නිසා බව සාධාරණව පිළිගැනීමට සිදුවේ. ඒ ආකාරයට මෛත්‍රී – මහින්ද සන්ධානය බිහිවීමේදී දක්නට ලැබුණු ‘‘උපන්ගෙයි‘ දුර්වලතා අගමැති පත්කිරීමට අදාල අර්බුදයට මුහුණදීමේදී ද ප්‍රකටව පෙනේ. මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකව විවේචනය කිරීම දක්වා ප්‍රහාරාත්මක ප්‍රවේශයකට ඒළබුණද මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකරන්නේ ඉතා පරිස්සෙමන් බව පැහැදිලිව පෙනේ.

කෙසේ වෙතත් මෛත්‍රී මහින්ද දෙපාර්ශවයම තමා විසින් ගනු ලැබූ තීන්දුව මහජන ඇස් ඉදිරියේ සාධාරණීකරණය කිරීම සහ තම බලය පෙන්වීම සඳහා කරනු ලබන මැදිහත්වීම සාපේක්ෂව දුර්වල මට්ටමක පවතී. ඊට අදාළ සංවාදය තුළ ව්‍යවස්ථාවේ වගන්ති හුවා දැක්වීමට වඩා වැදගත් වන්නේ ජාතික ආණ්ඩුව බිඳ වැටීමට හේතුවූ කරුණු විග්‍රහ කිරීම ය. ව්‍යවස්ථාවේ වගන්ති හුවා දැක්වීම සහ සෙසු කරුණු වැදගත් වන්නේ ඉන් පසුවය. ජනාධිපතිවරයා අයත් වන දේශපාලන පක්ෂයට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඇත. ඊට අදාළව පොදු මහජනයාට හේතු දැක්වීමට ඔවුන් බැඳී සිටියද ඒවාට අභියෝග කිරීමේ අයිතිය ඇත්තේ එම පක්ෂයේ සාමාජිකයන්ට පමණි. එම පාර්ශවය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විම සමග ජාතික ආණ්ඩුව බිඳ වැටේ. ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන අනුව අමාත්‍ය මණ්ඩලයය පදනම් වන්නේ ජාතික ආණ්ඩුවේ පැවැත්ම මතය. ඒම පැවැත්ම අහෝසි වූ විට අමාත්ය මණ්ඩලෙය් පැවැත්මද අහෝසි වේ. එවිට විවස්ථාවේ 46/2 වගන්තියේ පැහැදිලිව සඳහන් වන ආකාරයට අග්රාමාත්යවරයා විසින් ධුරය දැරීම ද අහෝසි වේ. අගමැතිගේ ධුරය පවතින්නේ අමාත්‍ය මණ්ඩලය පවතිනතෙක් පමණි‍.

ඒ අනුව පාසල් ළමයෙකුට වුවද තේරුම් ගත හැකි ආකාරයට ජනාධිපතිවරයා විසින් වහාම අමාත්‍ය මණ්ඩලයක් සහ අගමැතිවරයෙක් පත් කළ යුතු වේ. එය ව්‍යවස්ථාවෙන් එම ධුරයට පැවරී ඇති මූලික බලයක් සහ වගකීමක් වේ. එහිදී ඔහුට විකල්ප තීන්දු දෙකක් ගත හැක. පළමුවැන්න හිටපු අගමැතිවරයා පිළිබඳව තවදුරටත් විශ්වාසය පවතී නම් නව ජාතික ආණ්ඩුවක් ලෙස හෝ තනි සුළුතර ආණ්ඩුවක් ලෙස අමාත්‍ය මණ්ඩලයක් යෝජනා කරන ලෙස ඔහුට දන්වා ඔහු අගමැති ලෙස නැවත පත් කිරීමය. ව්‍යවස්ථාවේ 44 /2 වගන්තිය අනුව අගමැතිවරයා පත් කිරීම සඳහා තීන්දුව ගැනීමේදී තමන්ගෙන් හැර අන් කිසිවකුගේ විමසීමට ජනාධිපතිවරයා බැඳී නැත. දෙවැන්න, හිටපු අගමැති පිළිබඳ විශ්වාසයක් නොමැති නම් පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි යැයි ඔහු තක්සේරු කරන වෙනත් මන්ත්‍රීවරයකුට අගමැති ලෙස දිවුරුම් දෙන ලෙස ඉල්ලා සිටීමේ පරම බලය ජනාධිපති සතු වේ. ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ හිටපු අගමැතිවරයා පිළිබඳ විශ්වාසය පළුදු වීම් නිසාය. එසේම ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී සංඛ්යාත්මකව ඔහු බේරා ගන්නේ ජනාධිපති ගේ පුද්ගලික මැදිහත් වීමෙනි. ඒ නිසා හිටපු අගමැතිවරයා සතු බහුතර කැමැත්ත පිළිබඳ සංඛ්යාත්මක අවබෝධයක් ජනාධිපතිවරයාට ඇත. ජාතික ආණ්ඩුව බිඳ වැටීම තුල මහින්ද රාජපක්ෂයන්ට පක්ෂපාතී විය හැකි මන්ත්‍රී සංඛායව 95 දක්වා වැඩි වේ. ඒ පිළිබඳව ජනාධිපතිවරයාට තක්සේරුවක් ඇත. රනිල් වික්රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය සතුව ඇත්තේ මන්ත්‍රී ආසන 87ක් පමණි.

නමුත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව කටුයුතුකරන කතානායකවරයා විසින් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ ටීඑන්ඒ පක්ෂය විසින් පාර්ලිමේන්තුව වහා කැඳවා අර්බුදය විසඳන ලෙස ඉල්ලා ඇත. එහෙත් අප රටේ ව්‍යවස්තාව් අනුව පාර්ලිමේන්තුව කල් තබා ඇති විට එය කැඳවීමට බලයක් කතානායකවරයාට හෝ අගමැතිවරයාට නැත. ඊට අදාළව කතානායකවරයාට නියෝග දීමේ බලයක් අගමැතිවරයාට නැත. කල් තැබීමේ නියෝගයට අදාළව ජනාධිපතිවරයාගෙන් යම් ඉල්ලීමක් කිරීමේ බලය පමණක් කතානායකවරයාට ඇත. පාර්ලිමේන්තුව දින 11 කින් කල් තැබීම මහා බරපතළ ප්‍රශ්යක් ලෙස මහජනයාට නම් පෙනෙන්නේ නැත. එසේ කල් තැබීමට හේතුව කුමක් වුවත් මාස දෙකක් දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය ජනාධිපතිවරයාට ඇත. නමුත් ඔහු කල් තබා ඇත්්තේ ඊට වඩා කෙටි කාලයකට පමණි.

ජනතාවගේ පැත්තෙන් බලන විට ඔවුන් සතු පළාත් පාලන ඡන්ද අයිතිය වසර දෙකක් තිස්සේ සහ පළාත් සභා ඡන්ද අයිතිය වසරකට අධික කාලයක් තිස්සේ කල් දමන විට විදේශීය තානාපතිවරු සහ දේශපාලන පක්ෂ කිසිදු කලබලයක් නොකළේ ය. දැන් දින 11ක් පිළිබඳව වීථි බැස හලා හලා සටන් කිරීමේ උවමනාවක් තිබේ ද? ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කරමින් නීති විරෝධීව පාර්ලිමේන්තුව කැඳවීමට ගන්නා උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා ගනු ලබන උත්සාහයක් ලෙස සැලකිය හැකිද? විපක්ෂයට වැදගත් බව පෙනෙන්නේ පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවා නව ආණ්ඩුව අස්ථාවර කිරීමය. නව ආණ්ඩුවට වැදගත් වන්නේ කෙසේ හෝ බලය රැකගැනීමය. එහෙත් ජනතාවට වැදගත් වෙන්නේ නව ආණ්ඩුව විසින් තත්කාලීන සමාජ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන යෝජනා මොනවාද යන්න පිළිබඳව ය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මැතිවරණ කොමිසම අවුල් කිරීමේ එජාප අන්තිම තුරුම්පුවට සැරසේ

මැතිවරණ කොමිසන් සභාව සාමාජිකයන් තිදෙනෙකකුගෙන් සමන්විත වන අතර ව්‍යවස්ථාදායක සභාව විසින් එහි නියෝජිතයන් පත් කරනු ලබයි. මෙකි තත්වය තුළ ය...


Read More

රනිල් – සජිත් ගල උඩ සටන ඇරඹෙයි..

හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ...


Read More

අධිකරණයට යාමේ අවශ්‍යතාවයක් නෑ.. ගැසට් නිවේදනය අනුව මැතිවරණය තියනවා.. මැ.කො.

ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගි...


Read More