පුරවැසි කොලම

2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රාජ්‍යය ඇද දැමු ප්‍රධාන අනතුර වූයේ, 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම මගින් මේ රට බෙදා වෙන් කොට, කොටි සංවිධානයට වෙනම රාජ්‍යයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කොට 12 වන වසර සමරන මේ මොහොතේ එම ජයග්‍රහණයේ බර වඩාත් තදින් දැනෙනු ඇත්තේ එම ගිවිසුම මගින් මෙරටෙහි ඇති කළ බිහිසුණු තත්ත්වය පිළිබඳ අවබෝධයක් තුළ බව අපගේ විශ්වාසයයි. එකී අවබෝධතා ගිවිසුමෙන් පසු වසරක කාලයක් ඇතුළත ලංකාව තිබූ තත්ත්වය මේ සටහන මගින් ඔබට සිහිපත් කරනු ඇත.

2002 ඔක්තෝබර්

ශ්‍රී ලංකා රජය කොටි සැකකරුවන්ගේ නඩු කඩිනමින් විසඳීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ මහාධිකරණයක් පිහිටුවයි.

තමිල් ඊළාම් පොලීසිය නැඟෙනහිර ප්‍රදේශයේ ද ආරම්භ කිරීමට කොටි සංවිධානය කටයුතු කරයි.

අම්පාර කාන්චන්කුඩා විශේෂ කාර්ය බලකා කඳවුරට කොටි සංවිධානය ප්‍රහාර එල්ල කරයි. කඳවුර බේරා ගැනීම සඳහා සෙබළුන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී 06දෙනෙක් මිය යති. මෙහි දී මිය ගිය කොටි සාමාජිකයින් දෙදෙනා පසුගිය කාලයේ රජයේ අත්අඩංගුවේ සිට අවබෝධතා ගිවිසුමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරනු ලැබූ දෙදෙනෙකු බව අනාවරණය වේ.

කොටි සංවිධානය “තමිල් ඊළාම් කාන්තා දිනය” ප්‍රකාශයට පත්කර කිලිනොච්චියේ දී “කොටි කතුන්ගේ නැඟිටීම” නම් උළෙලක් පවත්වයි. මෙහි දී පැවැත්වූ පෙළපාලියට කොටි කාන්තා බලකායේ ඒකක 11ක් සහභාගී වෙති.

“පසුගිය දා කාන්චන්කුඩා කඳවුරේ සිට (ජනතාවට) වෙඩි තැබූ සෙබළුන්ට දඬුවම් කරන ලෙස” දෙමළ ජාතික සංධානය රජයෙන් ඉල්ලා සිටී.

කොටි සංවිධානය යාපනය විශ්ව විද්‍යාලයේ දී කලා උළෙලක් පවත්වයි. දකුණේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හා මාධ්‍යවේදීන් පිරිසක් ද මෙයට සහභාගී වෙති.

බාලසිංහම් යුවළ කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් හෙලිකොප්ටරයකින් වන්නිය බලා යති.

සාම සාකච්ඡා සඳහා කොටි සංවිධානයේ බාලසිංහම් යුවළ, තමිල් සෙල්වම්, කරුණා ඇතුළු පිරිස සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස එක ම ගුවන් යානයකින් තායිලන්තය බලා පිටත්ව යති.

රජයේ ආරක්ෂක අංශවලට උතුරේ අලුතින් බංකර් හා මුරකුටි ඉදිකිරීමට ඉඩ නො දෙන ලෙස කොටි සංවිධානය සටන් විරාම නිරීක්ෂණ කමිටුවට දැනුම් දෙයි.

2002 නොවැම්බර්

තායිලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡාවල දී උතුරේ අධි ආරක්ෂිත කලාපවල ජනතාව නැවත පදිංචි කිරීමට කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා රජයත්, කොටි සංවිධානයත් එකඟ වෙති. යෝජිත උතුර නැඟෙනහිර කාර්ය සාධන බලකායේ මූලස්ථානය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ක්‍රියාත්මක නො කිරීමටත් ඊට රජයෙන් හා කොටි සංවිධානයෙන් සිව්දෙනා බැගින් පත් කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වෙති.

උතුර නැඟෙනහිරට අන්තර් පාලන මණ්ඩලයක අවශ්‍යතාව දැනට මතු නො වන බැවින්, අනුකමිටු 03ක් පිහිටුවීමේ යෝජනාවට තමන් එකඟ වූ බව බාලසිංහම් පවසයි.

ත්‍රිකුණාමල වරාය ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක තිබී ක්ලේමෝ බෝම්බ 35ක් ඇතුළු භාණ්ඩ තොගයක් සහ බෝට්ටුවේ සිටි කොටි සාමාජිකයින් හය දෙනෙක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලබති.

කොටි සංවිධානය නැඟෙනහිර පළාතේ ‘කොටි පොලීසි’ 2ක් හා ‘කොටි උසාවි’ 2ක් පිහිටුවා ඇති බව වාර්තා වේ. එක් පොලීසියක් මඩකලපුව පලුගාමම්හි ද, අනෙක් පොලීසිය ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ද පිහිටුවා ඇති බව අනාවරණය වේ.

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට අදාළ ව පැවති නඩු විභාගයේදී අධිකරණය විසින් ප්‍රභාකරන්ට පනවන ලද වසර 200ක සිර දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා කොටි සංවිධානය මඩකලපුවේ උද්ඝෝෂණ පවත්වයි.

කාන්චන්කුඩා කඳවුරේ අණදෙන නිලධාරියා ඇතුළු භට පිරිසක් වහා ම ක්‍රියාත්මක වන පරිදි මාරු කෙරෙති.

කොටි සංවිධානය සඳහා මඩකලපුව රෝහලේ වෙන ම ඒකකයක් ආරම්භ කෙරේ. රෝහලේ ප්‍රධාන දුරකතන පද්ධතිය හරහා මෙම නව ඒකකයට දුරකතන පහසුකම් ලබා දී ඇති අතර, ශල්‍ය කර්ම, එක්ස් කිරණ පරීක්ෂණ ආදිය කිරීමේ පහසුකම් ද මෙයට ලබා දී ඇත.

“කොටි පොලීසි හා අධිකරණ ඇත්තේ තම බල ප්‍රදේශවල බැවින් ඒවා වසා දමන ලෙස නියෝග කිරීමට ශ්‍රී ලංකා රජයට අයිතියක් නැතැ” යි කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් පවසයි.

නෝර්වේ ඔස්ලෝහි පැවති සාම සාකච්ඡාවල දී, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ස්වයං පාලනයකට ඉඩ ලැබෙන ෆෙඩරල් ක්‍රමයකට කොටි සංවිධානය සිය එකඟතාව පළ කරයි.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ විශේෂ උප කාර්යාලයක් යාපනයේ විවෘත කිරීමට කටයුතු කෙරෙයි. මේ  හරහා කොටි සංවිධානය වෙත ඍජු ව ම ආධාර ලබා දීමට බලාපොරොත්තු වෙයි.

“මහා වීර දිනය” වෙනුවෙන් කොටි නායක ප්‍රභාකරන් කළ කතාවේ දී “කොටින්ගේ පිපාසය දෙමළ ඊළාම් මව්බිම” බව පවසයි.

මහාවීර සතියේදී මුල්වරට කළු කොටින්ගේ ආචාර පෙළපාලියක් පැවැත්වේ.

සටන් විරාම කාලය තුළ කොටි සංවිධානය මුහුදු කොටි බෝට්ටු සඳහා බර ප්‍රහාරක අවි ගෙන්වා ඇති බව අනාවරණය වෙයි. මහා වීර දිනයේ දී මුලතිව් මුහුදේ යාත්‍රා කළ මුහුදු කොටි බෝට්ටුවල මෙම ප්‍රහාරක අවි සවි කර තිබූ බව ද අනාවරණය වෙයි.

උතුරු ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ, මුළු ශ්‍රී ලංකාව ම සහ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශය ආවරණය වන පරිදි වැඩසටහන් විසුරුවා හැරිය හැකි සහ වෙනත් ගුවන්විදුලි තරංග අඩපණ කළ හැකි අධිබලැති ගුවන්විදුලි සම්ප්‍රේෂණ උපකරණ තොගයක් කොළඹ සිට ඕමන්තෙයි හරහා කොටි සංවිධානය වෙත යැවීමට ශ්‍රී ලංකා රජය පියවර ගනී. මෙම උපකරණ තොගය නෝර්වේ රජය කොටි සංවිධානයේ “කොටි හඬ” ගුවන් විදුලි සේවය වෙත පිරිනමන ලද ත්‍යාගයක් බව සඳහන් වේ.

2002 දෙසැම්බර්

ෆෙඩරල් දේශපාලන ක්‍රමය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා ඔස්ලෝ සාකච්ඡා අවසානයේ කොටි නියෝජිත පිරිස ස්විට්සර්ලන්තයේ සංචාරයකට සහභාගීවෙති. මෙම සංචාරය ස්විට්සර්ලන්ත රජයේ විශේෂ ආරාධනාවක් අනුව සිදුවන්නකි.

තම සංවිධානවලට මේ වන විට උතුර නැඟෙනහිර ප්‍රදේශවල දී මුහුණ දීමට සිදු ව ඇති අනාරක්ෂිත තත්ත්වය නිසා තමන් රජයට භාරදුන් ආයුධ රජය නැවත තමන්ට දිය යුතු යැයි ඊ.පී.ඩී.පී., ඊ.පී.ආර්.එල්.එෆ්. හා ප්ලොට් යන දේශපාලන පක්ෂ පවසති.

රජයේ පාලනය යටතේ පවතින මරුතකුලම් ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි යුද හමුදා භට පිරිසකගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට ඩබල් කැබ් රියකින් පැමිණි කොටි සාමාජිකයින් පිරිසක් උත්සාහ දරති. මේ පිරිස විසින් හමුදා කණ්ඩායම ආපසු හරවා යවනු ලබයි.

යාපනය නාගදීප විහාරයේ තැන්පත් කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් රැගෙන යමින් තිබූ ධාතු කරඬුවක් සඳහා ඕමන්තෙයි කොටි මුරපොළේ දී බදු අයකරයි.

උතුරේ පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීමට පෙර අධි ආරක්ෂිත කලාපවලින් හමුදාව ඉවත් විය යුතු බව තමිල් සෙල්වම් පවසයි.

කොටි සංවිධානය, දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් පිටුපස සිය ඔත්තුකරුවන් යොදවයි. මේ අය හරහා රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ, කොටි සංවිධානයට එරෙහි දේශපාලන පක්ෂවල  ක්‍රියාකාරකම් ඇතුළු තොරතුරු මෙන් ම දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් කොටි සංවිධානයේ අණ පිළිපදිනවා ද යන්න අනාවරණය කර ගැනීම බලාපොරොත්තු වෙයි.

කොටි සංවිධානයට V SAT නමැති අධිබලැති චන්ද්‍රිකා දුරකතන පද්ධතියක් නෝර්වේ රජය ලබා දී ඇති බව අනාවරණය වේ.

කොටි සංවිධානය විසින් මඩකලපුව පොරතිව් ප්‍රාදේශීය සභාවේ උප සභාපති පුබාලසිංහම් පැහැරගෙන ගොස් ඝාතනය කරයි.

කොටි සංවිධානය ඓතිහාසික ලංකා පටුන සමුද්‍රගිරි විහාරය මුළුමනින්ම විනාශ කර දමයි.

තම සාමාජිකයින්ට ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස කොටි සංවිධානය රජයෙන් ඉල්ලයි.

වන්නියේ පෞද්ගලික ගුවන් විදුලි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට කොටි සංවිධානය රජයෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ සඳහා සම්ප්‍රේෂණ උපකරණ ලබා ගත්තේ නීත්‍යනුකූල ව බවත් රජය ප්‍රකාශ කරයි.

2003 ජනවාරි

ජනමාධ්‍ය ඔස්සේ යුද්ධ කිරීම නවතා සාම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට වගකීමෙන් ක්‍රියා කරන ලෙස අගමැතිවරයා ඉහළ හමුදා නිලධාරීන්ට පවසයි.

තායිලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡාවල දී උතුරේ අධි ආරක්ෂිත කලාප අර්බුදය විසඳා ගැනීම සඳහා ඉන්දියාවේ ලුතිනන් ජනරාල් සතිස් නම්බියාර්ගෙන් වාර්තාවක් ලබාගැනීමටත්, උතුර නැඟෙනහිර පුනරුත්ථාපන ව්‍යාපෘති සඳහා ලැබෙන විදේශාධාරවල භාරකාරත්වය ලෝක බැංකුවට පැවරීමටත් ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය එකඟ වෙති.

කොටි සංවිධානයට සාමාජිකයින් 2500ක් බඳවා ගැනීම සඳහා දැවැන්ත වැඩසටහනක් නැඟෙනහිර පළාත කේන්ද්‍රගත ව ආරම්භ වේ.

නිරායුධවීම හෝ සැහැල්ලු හා බර අවි අක්‍රීය කිරීම ගැන හෝ කිසිදු එකඟතාවක් ඇති නො වන බව ඇන්ටන් බාලසිංහම් අන්තර්ජාල වෙබ් අඩවියක සඳහන් කරයි.

කොටි සංවිධානය යාපන අර්ධද්වීපයේ අධි ආරක්ෂිත කලාප සීමා දක්වන ධජ පුළුස්සා විනාශ කරයි.

උතුරේ අධි ආරක්ෂිත කලාපවලින් හමුදාව ඉවත් වීම ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වන බව ලුතිනන් ජනරාල් සතිස් නම්බියාර් සිය වාර්තාවේ සඳහන් කරයි.

කොටි නායකයකු වූ ‘කිට්ටු’ මියයාමේ 10වන සංවත්සරය යෙදෙන ජනවාරි 16 වන දා සිට එෆ්.එම්. 98 ඔස්සේ ‘කොටි හඬ’ ගුවන් විදුලි සේවයේ විකාශනය පුළුල් කෙරේ. ඒ සඳහා නෝර්වේ රජයෙන් ලැබුණු නව සම්ප්‍රේෂණ උපකරණ යොදා ගැනේ.

කොටි සංවිධානය උතුර නැඟෙනහිර වෙන ම විදුලි සංදේශ ජාලයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජයෙන් අවසර ඉල්ලයි. මේ සඳහා කොටි සංවිධානය විදුලි සංදේශ සමාගමක් අරඹා ඇති අතර, මන්නාරමේ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් පිහිටුවා වෙන ම ජාත්‍යන්තර විදුලි සංදේශ ජාලයක් පවත්වාගෙන යාමට සැලසුම් කරයි.

ළමයින්ට හමුදා පුහුණුව ලබා නො දෙන ලෙස තමන් කොතරම් ඉල්ලා සිටිය ද කොටි සංවිධානය එම ඉල්ලීම් නො පිළිගන්නා බව සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක පවසයි.

පසුගිය වසරේ සටන් විරාමය උල්ලංඝනය කිරීම් 556ක් වාර්තා වී ඇති අතර, ඉන් 90%ක් ම කොටි සංවිධානය විසින් කරන ලද ඒවා බව සටන් විරාම නිරීක්ෂණ කමිටුව නිවේදනය කරයි.

කොටි සංවිධානය, “කරෙයිනගර් වන සම්පත් ආරක්ෂක සංගමය” නමින් සංවිධානයක් පිහිටුවාගෙන  හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශවල දර එකතු කරන වැසියන්ගෙන් බදු අය කරයි.

කොටි සංවිධානය කෝටි 06ක පමණ මුදල් වැය කර මඩකලපුවේ තාන්දාමල ප්‍රදේශයේ සුවිසල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇති බව වාර්තා වේ.

යුද හමුදා බුද්ධි බලකායේ මේජර් නිෂාම් මුතාලිෆ් සහ කපිතාන් ෂාහුල් හමීඩ් යන දෙදෙනා ඝාතනය කිරීම සඳහා කොටි සංවිධානය කොළඹ පාතාල කල්ලියකට ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බව අනාවරණය වේ.

2003 පෙබරවාරි

අවබෝධතා ගිවිසුම අත්සන් කර වසරක් සපිරෙයි.

ඩෙල්ෆ්ට් දූපත ආසන්න මුහුදේ දී කොටි සාමාජිකයින් විසින් පුපුරුවා විනාශ කළ යාත්‍රාවේ තිබුනේ මුලතිව් මුහුදේ දී අබිරහස් නැවකින් ගොඩබාන ලද ආයුධ තොගයක් බව අනාවරණය වේ.

යාපනය පුස්තකාල ගොඩනැගිල්ල තුළ කොටි කෞතුකාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන ලෙස කොටි සංවිධානය යාපනය නගර සභාවේ මන්ත්‍රීවරුන්ට පවසයි. යාපනය නගර සභාවේ මන්ත්‍රීවරු ඉල්ලා අස් වෙති.

කොටි සාමාජිකාවන් විසින් හමුදා භටයෙක් වෙඩි තබා ඝාතනය කරනු ලබයි.

සැ.යු. – මෙම සටහනට ඇතුළත් කර නො මැති බදු අයකිරීම්, කප්පම් ගැනීම්, ළමයින් පැහැරගෙන යාම්, කොටි විරෝධීන්ට වධ හිංසා කිරීම්, ජනතාව හා පාසල් සිසුන් බලහත්කාරයෙන් යොදාගෙන කරන උද්ඝෝෂණ … ආදිය කොටි සංවිධානය මෙම වසරක කාලසීමාව තුළ නිරන්තරයෙන් ම කරගෙන එන ලදී.

ප්‍රභාත් චින්තක මීගොඩගේ

(‘කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි’ කෘතියෙනි.)

19 වසරකට පෙර ශ්‍රී ලංකාව : ආපසු හැරී බැලීමක් (03 කොටස)

19 වසරකට පෙර ශ්‍රී ලංකාව : ආපසු හැරී බැලීමක් (02 කොටස)

19 වසරකට පෙර ශ්‍රී ලංකාව : ආපසු හැරී බැලීමක් (01 කොටස)

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More