පුරවැසි කොලම

2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රාජ්‍යය ඇද දැමු ප්‍රධාන අනතුර වූයේ, 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම මගින් මේ රට බෙදා වෙන් කොට, කොටි සංවිධානයට වෙනම රාජ්‍යයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කොට 12 වන වසර සමරන මේ මොහොතේ එම ජයග්‍රහණයේ බර වඩාත් තදින් දැනෙනු ඇත්තේ එම ගිවිසුම මගින් මෙරටෙහි ඇති කළ බිහිසුණු තත්ත්වය පිළිබඳ අවබෝධයක් තුළ බව අපගේ විශ්වාසයයි. එකී අවබෝධතා ගිවිසුමෙන් පසු වසරක කාලයක් ඇතුළත ලංකාව තිබූ තත්ත්වය මේ සටහන මගින් ඔබට සිහිපත් කරනු ඇත.

 2002 අගෝස්තු

උතුරේ අධි ආරක්ෂිත කලාපවල සීමා පටු කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි.

කොටි සංවිධානයට මුහුදු මාර්ගයක් ලබා දීමට ශ්‍රී ලංකා රජය එකඟ වෙයි. කොටි සංවිධානය සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා හරහා මෙම ඉල්ලීම රජයට ඉදිරිපත් කර තිබිණ.

කොටි සංවිධානයට ලබාදුන් මුහුදු මාර්ගය වාකරෙයි සිට ක්‍රියාත්මක වන අතර, මේ හේතුවෙන් නැඟෙනහිර ප්‍රදේශයේ නාවික අධි ආරක්ෂිත කලාප බිඳ වැටෙයි. වාකරේ ප්‍රදේශය කලෙක සිට ම කොටි සංවිධානයේ ආයුධ ගොඩබෑම් සඳහා යොදාගැනුණු අතර, නව තත්ත්වය තුළ එහි ආයුධ ගොඩබෑම් සඳහා මධ්‍යස්ථානයක් කොටි සංවිධානය විසින් ඉදි කරනු ලබයි. මෙම මධ්‍යස්ථානයේ චන්ද්‍රිකා දුරකතන පද්ධතියක් හා නාවික චන්ද්‍රිකා ජාලයක් ද ඇතැයි හෙළි වේ.

කොටි සංවිධානය හදිසියේ ම මඩු මාර්ගය සම්පූර්ණයෙන් ම වසා දමයි. ඉන්පසු එදින රාත්‍රියේ එම මාර්ගයේ අවි ආයුධ ප්‍රවාහනය කර ඇති බවත්, කොටි කණ්ඩායම් දෙකක් වෙනත් ප්‍රදේශයක් වෙත යැවූ බවත් අනාවරණය වෙයි.

යාපනයේ දිසා හමුදා මූලස්ථානය තිබූ යාපනය අධි ආරක්ෂිත කලාපයට අයත් අරියාකුලම් හා වෙම්බයි මාර්ග නැවත විවෘත කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරයි.

උතුරේ සිටින හමුදා සෙබළුන්ගෙන් 99% ක් ම සිංහලයින් නිසා ඔවුන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ආර්.සම්බන්ධන්, ජී.ගජේන්ද්‍රකුමාර්, එන්.රවිරාජ්, කේ.තංගවේලු යන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආම්ටේජ්ගෙන් ඉල්ලා සිටිති. මෙම හමුව සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඈෂ්ලි විල්ස්ගේ නිල නිවසේදී ය.

උතුර නැඟෙනහිර ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුමක් සැකසීමට, සාම මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ බර්නාඩ් ගුණතිලක හා කොටි සංවිධානයේ දේශපාලන නායක තමිල් සෙල්වම් අතර පැවති සාකච්ඡාවේදී එකඟ වෙති.

ජාතික ගුවන් විදුලි සේවාවල තමන්ටත් ගුවන් කාලයක් වෙන් කර දෙන ලෙස කොටි සංවිධානය ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා ගුවන් විදුලි සංස්ථාවෙන් ඉල්ලීමක් කරයි.

නිවාඩු යන සිය කාඩර්වරුන් මුහුදින් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කොටි සංවිධානයට අවසර දෙයි. මෙම කොන්දේසි සහිත, මුහුදු ගමන් අවසරය මුල් වතාවේ සිට ම කොටි සංවිධානය උල්ලංඝනය කරමින් සිටිතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක ඒ. විනයාගමූර්තිට අයත් බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථය කොටි නායක ප්‍රභාකරන්ගේ පාවිච්චිය සඳහා ලබා ගනී. විනයාගමූර්ති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූයේ තම සංවිධානයේ සහයෝගය මත බැවින්, මෙම රථය තමන්ට අයත් විය යුතු බව කොටි සංවිධානය පවසයි. එම මෝටර් රථය වෙනුවට ලක්ෂ 15ක් වටිනා මෝටර් රථයක් විනයාගමූර්තිට ලබා දෙන ලෙස කොටි සංවිධානය විසින් කප්පම් ගනු ලබන ව්‍යාපාරිකයකුට නියෝග කරයි.

දිය යට දී සිදු කරන පිපිරවීම් පිළිබඳ ව පුහුණු කෙරුණු මුහුදු කොටි 170ක් වාකරේ පිහිටි මුහුදු කොටි කඳවුර වෙත පැමිණෙති. මොවුන් නිවාඩුවක් සඳහා වාකරේ ප්‍රදේශයට පැමිණි බව කොටි සංවිධානය පවසයි.

බස් රථ දෙකක් හා යුද හමුදා ට්‍රක් රථයක් යොදා ගනිමින් කොටි සාමාජිකාවන් 139ක් හා එක් සාමාජිකයෙක් මඩකලපුවේ කළු පාලම හරහා කොටි සංවිධානයේ පාලන ප්‍රදේශයක් වෙත යැවීමට ශ්‍රී ලංකා යුද හමුදාවට සිදු වෙයි.

සාම සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම, සැප්තැම්බර් 06 වන දා සිට කොටි සංවිධානයේ තහනම තාවකාලික ව ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි. තමන්ට එරෙහි ව පනවා ඇති තහනම ‘තාවකාලික ව ඉවත් කිරීමට’ එකඟ විය නො හැකි බව බ්‍රිතාන්‍යයේ පළවන  “ටැමිල් ගාඩියන්” පුවත්පතට කොටි සංවිධානය පවසා සිටී.

කොටි සංවිධානය “දේදුන්න” නමින් සිංහල පුවත් පතක් එළි දක්වයි.

2002 සැප්තැම්බර්

ඊ.පී.ඩී.පී. පාලනයට අයත් අල්මායි ප්‍රාදේශීය සභා කාර්යාලයට කොටි ප්‍රහාරයක් එල්ල වේ. කාර්යාලයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර, යතුරු ලියන, ඡායාපිටපත් යන්ත්‍ර, පරිගණක, වායු සමීකරණ යන්ත්‍ර කොටි සංවිධානය පැහැර ගනී. මෙය කොටි සංවිධානයේ ක්‍රියාවක් නිසා මේ සම්බන්ධ පොලිස් පරීක්ෂණ අතරමඟ නතර වේ.

පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලය පිහිටුවා ඇති හමුදා කඳවුර ඉවත් කරන ලෙස උද්ඝෝෂණය කරමින් කොටි සංවිධානයේ ආධාරකරුවන් හා පාසල් සිසුන් දෙදහසක් පමණ පේදුරුතුඩුව හමුදා මූලස්ථානයට කඩා වැදීමට උත්සාහ දරති. ඒ අසල පිහිටි හමුදා බංකර් කඩා දමා සෙබළුන්ගේ කුටිවලට මේ පිරිස් ගිනි තබති. සේනාංක මූලස්ථානය වෙත ළඟාවීමේ ඔවුන්ගේ උත්සාහය හමුදාව විසින් ව්‍යර්ථ කෙරෙයි.

කොටි සංවිධානය පල්ලායි ප්‍රදේශයේ අලුතින් බංකර් ඉදිකරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියමුවන් රහිත ගුවන් යානයක් යොදාගනිමින් ඉහළ අහසේ සිට විමර්ශන කටයුතු කරයි. මෙය කොටි සංවිධානයේ නිරීක්ෂණයට හසුවන අතර, කොටි සංවිධානය මේ බව සටන් විරාම නිරීක්ෂණ කමිටුවට දැනුම් දෙයි. අවබෝධතා ගිවිසුමෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සීමා පනවා නො මැති නමුත්, මෙම යානය නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීම නුසුදුසු ක්‍රියාවක් යැයි සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානියා වන හැන්ග්රොප් හොක්ලන්ඩ් ගුවන් හමුදාවට දන්වා සිටී.

කොටි සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන බැංකුවලට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබා දීම කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වේ.

සැප්තැම්බර් 04 වන දා මධ්‍ය ම රාත්‍රියේ සිට කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි.

කොටි සංවිධානය වන්නි දිස්ත්‍රික්කයේ ශ්‍රේෂ්ඨාධිකරණයක් සහ අභියාචනාධිකරණයක් පවත්වාගෙන යන බව වාර්තා වෙයි.

කොටි සංවිධානය ශ්‍රී ලංකා යුද හමුදාවේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම් භාවිත කරන්නට පටන් ගෙන ඇති බව අනාවරණය වෙයි.

තායිලන්තයේ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාවලට පෙර කොටි නායක ප්‍රභාකරන්ටත් එහි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ටත් චන්ද්‍රිකා දුරකතන දෙකක් ලබා දෙන ලෙස නෝර්වේ නියෝජිතයින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර, එම ඉල්ලීමට රජය එකඟ වෙයි.

කොටි සංවිධානය සිය “කොටි හ`ඩ” ගුවන් විදුලි සේවය දිවයින පුරා විසිරුවා හරී.

ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක දී සැත්කමකට භාජනය කෙරුණු ‘පුවන්නන්’ නමැති කොටි නායකයකු ආපසු උතුර බලා යමින් සිටිය දී කුරුණෑගල දඹුල්ල මාර්ගයේ දී රිය අනතුරකට ලක් වී තුවාල ලබයි.

තිලීපන්’ සැමරීමේ උත්සව උතුර නැඟෙනහිර ප්‍රදේශවල පවත්වන අතර, ඒ වෙනුවෙන් යාපනය කච්චේරියේ ඊළාම් ධජය එසවීමට කොටි සංවිධානය කටයුතු කරයි.

1995 වසරේ කොලොන්නාව තෙල් ටැංකි සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරයට සහභාගී වූ, එහි දී හමුදා භටයින් 08 දෙනකු ඝාතනය කරනු ලැබූ කොටි සංවිධානයේ ජෙයවීරන් කුමාරස්වාමිට එරෙහි ව මහා අධිකරණයේ පවරා තිබූ නඩුව නීතිපතිවරයා ඉල්ලා අස් කර ගනී.

කොටි සාමාජිකයින් පිරිසක් මුතුර් රෝහලට කඩා වැදී එහි විදුලි ජනක යන්ත්‍රය පැහැර ගෙන යයි.

සැප්තැම්බර් 16 වන දා තායිලන්තයේදී ශ්‍රී ලංකා රජයත් කොටි සංවිධානයත් අතර සාම සාකච්ඡා ආරම්භ වෙයි. එහි දී අන්තර් පාලන මණ්ඩලයක් පිහිටුවීමට පෙර ශ්‍රී ලංකා රජයත් කොටි සංවිධානයත් ඒකාබද්ධ ව පාලන කමිටුවක් පිහිටුවීමේ යෝජනාවට ශ්‍රී ලංකා රජය එකඟ වෙයි.

ත්‍රිකුණාමලයේ වෙනයිපූර් විද්‍යාල ක්‍රීඩාංගණයේදී කොටි සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලියක් පැවැත්වේ. මෙම කණ්ඩායම පුහුණු කරන ලද්දේ මෑතක දී බව ඊට සහභාගී වූ පදුමන් නමැති කොටි නායකයා පවසා සිටී. මෙම උත්සවයට දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් සහ සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ සාමාජිකයකු වන කේ.සිවපාලන් සහභාගී වෙති. මෙහි දී කොටි සංවිධානයේ අලුත් ම අවි ආයුධ ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

මුහුද සැර නිසා ගොඩබිම ඔස්සේ කොටි සාමාජිකයින් 250ක පිරිසක් ප්‍රවාහනය කිරීමට කොටි සංවිධානය රජයෙන් අවසර ඉල්ලා සිටින අතර, රජය ඊට අවසර දෙයි. කොක්කඩිචෝලෙයි කඳවුරේ පුහුණුව ලත් භට පිරිස ස්ථානගත කිරීමක් කොටි සංවිධානය එසේ සිදු කළ බව පසුව අනාවරණය වෙයි.

කනන්කිලප්පුහි අධි ආරක්ෂිත කලාපයට අයත් අක්කර 3000කට අධික භූමි ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතුවලට ලබා දීමට රජය තීරණය කරයි.

තායිලන්ත සාම සාකච්ඡාවල දී පත් කිරීමට තීරණය වූ උතුර නැඟෙනහිර පුනරුත්ථාපනය සඳහා වන කාර්ය සාධන බලකායේ සම නායකත්වයට කොටි වෙනුවෙන් තමිල් සෙල්වම් හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බර්නාඩ් ගුණතිලක තෝරා ගැනෙති. උතුර නැඟෙනහිර අධි ආරක්ෂිත කලාපවල කලින් පදිංචි ව සිටි ජනතාවගේ ප්‍රශ්න විසඳීම සම්බන්ධ ව හා උතුර නැඟෙනහිර සංවර්ධන කටයුතු නඟා සිටුවීමට මෙම කාර්ය සාධන බලකාය කටයුතු කිරීමට නියමිත ය. දෙවන වටයේ සාම සාකච්ඡා ආරම්භ වීමට පෙර මෙම කාර්ය සාධන බලකාය ක්‍රියාත්මක කළ යුතු වේ.

රජයේ සාම ක්‍රියාවලිය අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ව සියලු ම රාජ්‍ය ආයතන  ප්‍රධානීන් දැනුවත් කිරීමට සාම මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ බර්නාඩ් ගුණතිලක තීරණය කරයි.

උතුර නැඟෙනහිර නො සන්සුන් කිරීමට සාමයට එරෙහි පිරිස් දරන උත්සාහයට හසු නො වී සන්සුන් ව සිටින ලෙස කොටි සංවිධානය නිවේදනය කරයි.

වයස අවුරුදු 18ට අඩු සාමාජික සාමාජිකාවන් 12,000ක් කොටි සංවිධානය සතු ව සිටින බවත්, මේ වසර මුල සිට අගෝස්තු දක්වා කාලය තුළ කොටි සංවිධානය අම්පාර හා මඩකලපු දිස්ත්‍රික්කවලින් ළමයින් 4,000ක් පමණ පැහැර ගෙන ගොස් ළමා සොල්දාදුවන් ලෙස පුහුණු කර ඇති බවත් සටන් විරාම නිරීක්ෂණ කමිටුව සඳහන් කරයි.

ඩෙල්ෆ්ට් දූපතේ නාවික හමුදා කඳවුරක් අලුතින් පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කිරීමේ දී කොටි සංවිධානය ඊට එරෙහි වන අතර, සටන් විරාම නිරීක්ෂණ කමිටුව කොටි සංවිධානයේ විරෝධය පිළිගනිමින් නාවික කඳවුර ඉදිකිරීම නතර කරන ලෙස දැනුම් දෙයි. ඩෙල්ෆ්ට් දූපතේ නාවික හමුදා බලය ඉවත් කිරීමත් සමග කොටි සාමාජිකයින් එම දූපතට පැමිණ බලය පතුරුවා ගනී. එහි තිබූ ඊ.පී.ඩී.පී. කාර්යාලය විනාශ කර දමා එහි සිටි එක් ඊ.පී.ඩී.පී. සාමාජිකයකු කොටින් විසින් පැහැරගෙන ගොස් පසු ව සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ මැදිහත් වීමෙන් නිදහස් කෙරෙයි.

රජය භාරයේ පසු වූ කොටි සාමාජිකයින් 11ක් හා කොටි සංවිධානය භාරයේ පසු වූ ආරක්ෂක නිලධාරීන් 07ක් හුවමාරු කර ගැනීම ඕමන්තේදී සිදු කරයි.

කඳවුරේ අවශ්‍යතාවක් සඳහා වැලි ගෙන ඒමට වෙල්ගම්වෙහෙර ප්‍රදේශයට ගිය යුද හමුදා සෙබළුන් හත් දෙනෙක් කොටි සංවිධානය විසින් රඳවා ගනු ලබති. ඔවුන් හත් දෙනා නිදහස් කිරීමට නම් පසුගිය දා පොලිස් අත්අඩංගුවට ගත් තම සාමාජිකයින් දෙදෙනා නිදහස් කළ යුතු බව කොටි සංවිධානය පවසා සිටී.

කුච්චිවේලි වෙරළ අසල නාවික හමුදා මුර පොළක් ඉදි කිරීම සඳහා නාවික හමුදා  බලධාරීන් ගෙන ඇති තීරණයට කොටි සංවිධානය විරෝධය පළ කරයි.

ඉතිරි කොටස පසුව…

ප්‍රභාත් චින්තක මීගොඩගේ

(‘කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි’ කෘතියෙනි.)

19 වසරකට පෙර ශ්‍රී ලංකාව : ආපසු හැරී බැලීමක් (02 කොටස)

19 වසරකට පෙර ශ්‍රී ලංකාව : ආපසු හැරී බැලීමක් (01 කොටස)

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More