පුරවැසි කොලම

2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රාජ්‍යය ඇද දැමු ප්‍රධාන අනතුර වූයේ, 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම මගින් මේ රට බෙදා වෙන් කොට, කොටි සංවිධානයට වෙනම රාජ්‍යයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කොට 12 වන වසර සමරන මේ මොහොතේ එම ජයග්‍රහණයේ බර වඩාත් තදින් දැනෙනු ඇත්තේ එම ගිවිසුම මගින් මෙරටෙහි ඇති කළ බිහිසුණු තත්ත්වය පිළිබඳ අවබෝධයක් තුළ බව අපගේ විශ්වාසයයි. එකී අවබෝධතා ගිවිසුමෙන් පසු වසරක කාලයක් ඇතුළත ලංකාව තිබූ තත්ත්වය මේ සටහන මගින් ඔබට සිහිපත් කරනු ඇත.

 2002 මැයි

කොටි සංවිධානය තම මැයි රැළිය වවුනියාවේ දී පවත්වයි. කොටි නායක ප්‍රභාකරන්ගේ රුව සහිත පුවරු සහ ඊළාම්වාදී සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කෙරෙයි.

මඩකලපුවේ වාකරෙයි අසල මුහුදේ දී අවි ආයුධ සහිත කොටි බෝට්ටු 02 ක් නාවික හමුදා ප්‍රහාරයකින් පුපුරා යයි. ආයුධ නැවකට ආරක්ෂාව සපයමින් යාත්‍රා කරමින් තිබූ මෙම බෝට්ටු දෙකට නාවික හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී ආයුධ නැව පළා ගිය බව අනාවරණය වෙයි. සටන් විරාම කාලය තුළ කොටි සංවිධානය සඳහා අවි ආයුධ රැගෙන පැමිණි පස්වෙනි නැව මෙය බව අනාවරණය වෙයි.

කරිකාලන් ඇතුළු කොටි සාමාජිකයින් 30ක් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට මඩකලපුවට පැමිණෙති.

උතුර – නැඟෙනහිර හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශවල දැනට දේශපාලන කටයුතුවල පමණක් නිරත වන කොටි සංවිධානය, ඉදිරියේ දී එම ප්‍රදේශවල පරිපාලන කටයුතුවල ද නිරතවීමට තීරණය කරයි.

කොටි සංවිධානය තම තමිල් ඊළාම් බැංකුවට අලුතින් නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි. මෙයට අදාළ දැන්වීම කොළඹ පළවන දෙමළ පුවත්පත්වල ද පළවෙයි. කොටි සිය බැංකු කටයුතු පුළුල් කරමින් සිටින අතර, තම පාලනයට අයත් ප්‍රදේශවල සිටින ජනතාවට ශ්‍රී ලංකා රජයේ බැංකුවල මුදල් තැන්පත් කිරීම තහනම් කරයි.

කොටි සංවිධානයට උතුර නැඟෙනහිර ප්‍රදේශවල අන්තර්වාර පාලන අයිතිය ලබා දීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබූ තීරණය, රටේ ගොඩනැඟෙමින් තිඛෙන විරෝධය හේතුවෙන් වෙනස් කරයි. මේ වන විට උතුර හා නැඟෙනහිර ප්‍රදේශවල පවත්වාගෙන යන කොටි සංවිධානයේ පාලනය ඒ ආකාරයටම පවත්වාගෙන යාමට කොටි සංවිධානයත්, ශ්‍රී ලංකා රජයත් එකඟ වෙති.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගනු ලැබ සිටි කොටි සැකකරුවන්ගෙන්, නඩු පැවරීමට තරම් සාක්ෂ්‍ය නො මැති අය නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය සැරසෙයි.

“තමිලර් පුනර්වාල් පුකලහම්” (දෙමළ පුනරුත්ථාපන සංවිධානය) නමින් යුතු ව, කොටි සංවිධානයේ කාර්යාලයක් කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටුවයි.

කොටි සංවිධානය වන්නි ප්‍රදේශය තුළ මිල පාලනයක් ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙයි.

උතුර නැඟෙනහිර සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ කටයුතු කරන තම සාමාජිකයින්ට ද රජයේ නියෝජිතයින්ට මෙන් රු.30,000.00ක දීමනාවක් ශ්‍රී ලංකා රජයෙන් ලැබිය යුතු යැයි කොටි සංවිධානය පවසයි.

දෙමළ ඊළාම් රාජ්‍යය තුළ පරිපාලන දිස්ත්‍රික්ක වෙන් කිරීම පිළිබඳ ප්‍රථම නිල සිතියම කොටි සංවිධානය ප්‍රකාශයට පත් කරයි. “දෙමළ ඊළාම් පරිපාලන දෙපාර්තමේන්තුව” යන ශීර්ෂයෙන් යුතුව නිකුත් කර ඇති මෙම සිතියමේ පරිපාලන දිස්ත්‍රික්ක 20ක් සහ ඒවායේ ප්‍රධාන නගර 20ක් සඳහන් වේ. මෙහි හලාවත සිට බටහිර වෙරළ තීරයේ ඉහළටත් පොතුවිල් සිට නැඟෙනහිර වෙරළ තීරයේ ඉහළටත් ඊළාම් රාජ්‍ය මායිම් සලකුණු වී ඇත. ඒ අනුව උතුර නැඟෙනහිර පළාත්වලට අමතර ව වයඹ පළාතේ සැලකිය යුතු කොටසක් ද ඊළාම් රාජ්‍යයට අයත් බව අදහස් කෙරේ.

නැඟෙනහිර පළාතේ විශේෂ කාර්ය බලකා අණසක යටතේ වූ ප්‍රදේශයේ පිහිටි අවසන් කඳවුර වන පානම විශේෂ කාර්ය බලකා කඳවුර මැයි 27 වන දා එම ස්ථානයෙන් ඉවත් කරගැනේ.

2002 ජූනි

නැඟෙනහිර පළාතේ පිහිටි රජයේ වාරිමාර්ග දෙපාර්තමේන්තු සංචාරක බංගලාවක් කොටි සංවිධානය අත්පත් කරගන්නා අතර, එහි “රාජයකුලම්” නමින් තම කඳවුරක් ස්ථාපිත කරයි.

කොටි සංවිධානයට හර්තාල් හෝ ඕනෑ ම විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ හැකි යැයි සටන් විරාම නිරීක්ෂණ කමිටුව ප්‍රකාශ කර ඇතැයි කොටි සංවිධානයේ “ටැමිල් නෙට්” වෙබ් අඩවිය පවසයි.

ප්‍රතිසංවිධානය කරන ලද යාපනය තැපැල් කාර්යාලය, ජනමාධ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති නැවත විවෘත කිරීමේ උත්සවයේ දී ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කිරීම කොටි සංවිධානය වළක්වයි. එමෙන් ම, උතුර නැඟෙනහිර පළාත්වල පවත්වන රාජ්‍ය උත්සවවල දී ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය එසවීම වැළැක්වීමට ද කොටි සංවිධානය පියවර ගනී.

කොටි සංවිධානය උතුර නැඟෙනහිර ප්‍රදේශවල ආරම්භ කළ දේශපාලන කාර්යාලවල අවි ආයුධ ගබඩා කරමින් සිටින බව යුද හමුදා බුද්ධි අංශ අනාවරණය කරයි.

කොටි සාමාජිකයින් කණ්ඩායමක් කයිට්ස් දූපතට පැමිණ, සටන් විරාම ගිවිසුම උල්ලංඝනය වන ආකාරයට එහි කටයුතු කිරීමට දරන ලද උත්සාහයක් එම දූපතේ නාවික හමුදා අණ දෙන නිලධාරියා විසින් වළක්වනු ලබයි. පසු ව මෙම සිද්ධිය කොටි සංවිධානය දෙමළ ජාතික සංධානය හරහා ශ්‍රී ලංකා අගමැතිවරයාට දන්වනු ලබන අතර, ඉන්පසු ව මේ පිළිබඳ ව පරීක්ෂා කිරීමට නාවික හමුදාව පාර්ශ්වයෙන් කමිටුවක් පත් කෙරෙයි. පසු ව, එම අණ දෙන නිලධාරියා මාරුකර යැවීමට එම පරීක්ෂණ කමිටුව නිර්දේශ කරයි.

ශ්‍රී ලංකා රජය ජූනි 24 වන දා වන විට උතුර නැඟෙනහිර පළාත්වල පිහිටි හමුදා කඳවුරු හා මුර පොළවල් 213ක් ඉවත් කරගෙන ඇති බව අනාවරණය වෙයි. මේ වන විට උතුරු නැඟෙනහිර පළාත්වල තිබූ හමුදා, පොලිස් කඳවුරු හා මුරපොළවල් 90%ක් ඉවත් කරගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

දෙමළ බුද්ධිමතුන් පිරිසක් සකස් කළ, ඓතිහාසික කරුණු ඇතුළත් පාඩම් කිහිපයක් සහ කොටි සංවිධානයේ අධ්‍යාපන අංශය සකස් කළ ඉතිහාසය පෙළ පොතක්, වන්නියේ රජයේ පාසල්වල උගැන්වෙන බව අනාවරණය වෙයි.

උතුර හා නැඟෙනහිර, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය අඩපණ කර දැමීමේ සැලසුමක් කොටි සංවිධානය ක්‍රියාත්මක කරයි. ඒ අනුව යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ දෙමළ හා මුස්ලිම් ඔත්තුකරුවන් පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් තොරතුරු ලබාගෙන ඉන්පසු ව ඔවුන් ඝාතනය කිරීම ආරම්භ වෙයි.

නැ‍ඟෙනහිර පළාතේ උද්ගත වූ ගැටුම්වලදී එල්.ටී.ටී.ඊ.ය විසින් මුස්ලිම් ජාතිකයින් 13දෙනෙක් මරා දමනු ලබති. මුස්ලිම් ජාතිකයින්ට අයත් නිවාස හා වෙළෙඳ සැල් ද ගිනි තබා විනාශ කර දමයි.

උතුර නැඟෙනහිර තමිල් ඊළාම් පොලීසියට අලුතින් නිලධාරීන් බඳවා ගැනීම සඳහා කොටි සංවිධානය පුවත්පත් දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවයි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි “උදයන්” පුවත්පතේ මෙම දැන්වීම පළකරයි.

තමිල් ඊළාම් බැංකුවකට කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා කොටි සංවිධානය අයදුම්පත් කැඳවයි. මෙයට අදාළ දැන්වීම් ද “උදයන්” පුවත්පතේ පළ කරයි.

තමිල් ඊළාම් මහ බැංකුවක් පිහිටුවීමට කොටි සංවිධානය කටයුතු කරමින් සිටින බව හමුදා බුද්ධි අංශ වාර්තා කරයි.

2002 ජූලි

කොටි සංවිධානය ප්‍රථම වරට, “කළුකොටි” හෙවත් මරාගෙන මැරෙන කොටි සැමරුම් දිනය ලෙස ජූලි 05 ප්‍රකාශයට පත් කර එදින යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන නගරවල කළුකොටි සැමරුම් උත්සව පවත්වයි. එහි දී කළුකොටි විසින් එතෙක් කරන ලද විනාශකාරී ක්‍රියා, වීරක්‍රියා ලෙස හුවා දැක්වෙයි.

කිලිනොච්චියේ දී සටන් විරාම නිරීක්ෂණ කමිටු ප්‍රධානී ජනරාල් පුරුහව්දේ හමුවන මුහුදු කොටි නායක සුසෙයි, නැඟෙනහිර මුහුදේ මුහුදු ආරක්ෂක කලාපය ඉවත් කළ යුතු බවත් වෙරළේ සිට සැතපුම් 10ක් තුළ නාවික හමුදා අධිවේගී ප්‍රහාරක යාත්‍රා සංචාරය කිරීම නතර කළ යුතු බවත් පවසා සිටී. මෙහිදී, මුහුදු කොටින් පුහුණුව ලබන්නේ මෙම නැඟෙනහිර වෙරළ ප්‍රදේශයේ නිසා නාවික යාත්‍රාවල ආගමනය අනිවාර්යයෙන් ම අත්හිටුවීමට සටන් විරාම නිරීක්ෂණ කමිටුව පියවර ගත යුතු බව කොටි සංවිධානයේ දේශපාලන නායක තමිල් සෙල්වම්, ජනරාල් පුරුහව්දේට පවසා සිටී.

කොටි සංවිධානය සොරිවිල ගම්මානයේ දී දෙමළ අඹු සැමි යුවළක් මරා දමයි. මරා දමනු ලැබූ දෙදෙනා කලින් කොටි සංවිධානයේ කටයුතු කර පසු ව ඉන් ඉවත් වූ අයයි.

ඉරනතිව් දූපත් අසලදී සැකකටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්ෂා කිරීමට ගිය සටන් විරාම නිරීක්ෂණ කමිටු සාමාජිකයින් දෙදෙනෙක් කොටි සංවිධානය විසින් රඳවා ගනු ලබති. පසු දින ඔවුන් දෙදෙනා මුදා හැරෙන අතර, මුහුදේ දී අත්අඩංගුවට ගන්නා යාත්‍රා පරීක්ෂා කිරීම සඳහා එම යාත්‍රාවලට ගොඩ නො වීමට සටන් විරාම නිරීක්ෂණ කමිටුව තීරණය කරයි.

උතුර නැඟෙනහිර ප්‍රදේශවල රජයේ ගොඩනැගිලි හා ආගමික ස්ථානවල රඳවා සිටින ශ්‍රී ලංකා හමුදාව, අගෝස්තු 02 වන දාට පෙර එම ප්‍රදේශවලින් ඉවත් කරගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්ට පවසයි.

මුහුදු කොටි බලකායට අලුතින් බඳවාගත් කණ්ඩායමක විසිර යාමේ පෙළපාලියක් පැවැත් වේ. මෙහි දී පළමු වරට මුහුදු කොටි, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධවල පැහැ නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී සිටී. මෙයට පෙර මුහුදු කොටි භාවිත කළේ ද කොටි සංවිධානයේ සාමාන්‍ය කැළෑ ඇඳුම ය. මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා වන්නේ කොටි නායක ප්‍රභාකරන් ය.

නව උපකරණ හා නාවික හමුදාවට පවා නො මැති ප්‍රහාරක අවි යොදා ගනිමින් මුහුදු කොටි පුහුණුවීම්වල නිරත වෙමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාවට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගු දුර විමර්ශන කණ්ඩායමට සම්බන්ධ හමුදා නිලධාරීන් සහ ඊට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් ඝාතනය කිරීමේ අරමුණින් මඩකලපුවේ සිට කොටි පිස්තෝල කල්ලියක් කොළඹට පැමිණ ඇති බව හෙළිවෙයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කොටි ඔත්තුකරුවන් අති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් සිටින බව අනාවරණය වෙයි.

ශ්‍රී ලංකා රජයේ පාලනය යටතේ පවතින කල්ලඩිහි පැවති කෝවිල් උත්සවයක දී කොටි සංවිධානය දෙමළ ළමයින්  20දෙනකු පැහැර ගන්නා අතර, ඒ පිළිබඳ ව හමුදාවට දැන්වුවහොත් පවුල් පිටින් මරා දමන බවට තර්ජනය කරයි.

මුහුදු කොටි පළමුවරට තමන් සතු, රේඩාර්වලින් සමන්විත සන්නාහ යාත්‍රාවක් ප්‍රදර්ශනය කරති.

නැඟෙනහිර පළාතේ “නිව් ඊස්ටන්” හා “උතුරු බස් සමාගම” මිලට ගැනීම සඳහා “මැන්ඩරීන්” සහ “ජය ලක්ෂ්මී” යන සමාගම් ටෙන්ඩර් ඉදිරිපත් කරති. මෙම සමාගම් කොටි සංවිධානය සමග ඍජු සබඳතා පවත්වන සමාගම් ය.

මහනුවර – යාපනය මාර්ගයේ මුහාමලෙයි ප්‍රදේශයේදී කොටි සංවිධානය ශ්‍රී ලංකා යුද හමුදා සෙබළෙකු වෙඩි තබා ඝාතනය කරයි.

උතුර නැඟෙනහිර ප්‍රදෙAශවලින් ඉවත් කරගත් යුද හමුදා කඳවුරු, අලුතින් පිහිටුවා ඇති ස්ථාන පිළිබඳ ව වාණිජමය චන්ද්‍රිකා කිහිපයක් මගින් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප හරහා කොටි සංවිධානය පුළුල් විමර්ශනයක් අරඹයි. කොටි සංවිධානය චන්ද්‍රිකා ඡායාරූප මගින් මෙම කටයුත්තේ නිරත වූ පළමු අවස්ථාව මෙයයි.

A9 මාර්ගයෙන් මිස මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනය නො කළ යුතුයැයි කොටි සංවිධානය උතුරේ ව්‍යාපාරිකයින්ට පනවා ඇති නියෝගය නිසා පේදුරුතුඩුව වරායේ කටයුතු සම්පූර්ණයෙන් ම ඇණ හිටී. ගොඩබිම් මාර්ගයේ එන වාහනවලින් මුදල් අයකළ හැකි නිසා කොටි සංවිධානය මෙම නියෝගය පනවා ඇත.

A9 මාර්ගයේ ගෙන යන භාණ්ඩ ලොරිවලින් බර අනුව මුදල් අය කිරීමට කොටි සංවිධානය කටයුතු කිරීම නිසා යාපනයේ භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යයි.

ඉතිරි කොටස පසුව…

ප්‍රභාත් චින්තක මීගොඩගේ

(‘කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි’ කෘතියෙනි.)

19 වසරකට පෙර ශ්‍රී ලංකාව : ආපසු හැරී බැලීමක් (01 කොටස)

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More