පුරවැසි කොලම

2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රාජ්‍යය ඇද දැමු ප්‍රධාන අනතුර වූයේ, 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම මගින් මේ රට බෙදා වෙන් කොට, කොටි සංවිධානයට වෙනම රාජ්‍යයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කොට 12 වන වසර සමරන මේ මොහොතේ එම ජයග්‍රහණයේ බර වඩාත් තදින් දැනෙනු ඇත්තේ එම ගිවිසුම මගින් මෙරටෙහි ඇති කළ බිහිසුණු තත්ත්වය පිළිබඳ අවබෝධයක් තුළ බව අපගේ විශ්වාසයයි. එකී අවබෝධතා ගිවිසුමෙන් පසු වසරක කාලයක් ඇතුළත ලංකාව තිබූ තත්ත්වය මේ සටහන මගින් ඔබට සිහිපත් කරනු ඇත.

 2002 පෙබරවාරි

ආයුධ සන්නද්ධ එක ම දෙමළ සංවිධානය බවට කොටි සංවිධානය පත් කරමින්, ආයුධ සන්නද්ධ අනෙකුත් සියලු ම දෙමළ සංවිධාන නිරායුධ කිරීම ආරම්භ වේ. අවබෝධතා ගිවිසුමට අනුව පෙබරවාරි 22 වන දා මධ්‍ය ම රාත්‍රියේ සිට දින 30ක්  හෝ ඊට මඳක් වැඩි කාලයක් තුළ දී ශ්‍රී ලංකා රජය විසින් සියලු ම සන්නද්ධ දෙමළ සංවිධාන නිරායුධ කළ යුතු වේ. මේ හේතුවෙන් මෙතෙක් ආයුධ සන්නද්ධ ව, කොටි සංවිධානයට එරෙහි කටයුතුවල නිරත වූ දෙමළ සංවිධාන අනාරක්ෂිත තත්ත්වයට පත්වෙයි.

2002 මාර්තු

උතුර හා නැඟෙනහිර ප්‍රදේශවල සිට දකුණේ ප්‍රදේශවලට පැමිණෙන දෙමළ ජාතිකයින්ට අදාළ ව ක්‍රියාත්මක කෙරුණු ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථානවල අනිවාර්යයෙන් ම ලියාපදිංචිවීමේ නියෝගය, ශ්‍රී ලංකා රජය(අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය) විසින් මාර්තු 08 වන දා අහෝසි කරනු ලබයි.

කොටි සංවිධානය මඩකලපුව, වව්නියාව හා ත්‍රිකුණාමලය යන නගරවල —පොංගුතමිල් එරිච්චුලා˜ (දෙමළ ජනයාගේ පිබිදීමේ උළෙල) නමින් උළෙලක් පවත්වයි. දෙමළ පාසල් සිසු සිසුවියන් හා දෙමළ වැසියන් මෙම උළෙල හා පෙළපාලිය සඳහා බලහත්කාරයෙන් සහභාගීකර ගැනේ. දෙමළ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, යාපනය හා නැඟෙනහිර යන විශ්වවිද්‍යාලවල ඇතැම් ආචාර්යවරු ද, ප්‍රදේශයේ කතෝලික පූජකවරු ද මෙම උළෙලට සහභාගී වෙති. පෙළපාලියේ නඟන සටන් පාඨවලින් හා උළෙලේ පවත්වන කතාවලින් වෙන ම දෙමළ ඊළාම් රාජ්‍යයක් පිළිබඳ ව අවධාරණය කෙරෙයි. ත්‍රිකුණාමලයේ පවත්වන ලද උළෙලේදී ඊළාම් දේශයේ අගනුවර ත්‍රිකුණාමලය බව කොටි සංවිධානය ප්‍රකාශයට පත්කරයි.

ජාත්‍යන්තර ගුවන් ගමන් ආචාර ධර්ම, ආගමන විගමන නීති රීති මුළුමනින් ම උල්ලංඝනය කරමින් කොටි සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ඇතුළු පිරිස මාර්තු 25 වන දා ‘සී ප්ලේන්’ වර්ගයේ ගුවන් යානයකින් මෙරටට ගොඩ බසිති. මෙම ගුවන් යානය ගොඩ බස්වනු ලබන්නේ වන්නියේ ඉරණමඩු ජලාශය මතට ය. එ.ජා.ප. ආණ්ඩුව මෙම නීති විරෝධී ආගමනය සාධාරණීකරණය කරන්නට උත්සාහ ගනී.

නැඟෙනහිර, කාත්තන්කුඩි ප්‍රදේශයේ ධීවරයින්ගේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා ධීවර ආම්පන්න කොටි සාමාජිකයෝ පැහැරගනිති. ධීවරයින් මේ පිළිබඳ ව ‘සටන් විරාම නිරීක්ෂණ කමිටුවට’ පැමිණිලි කරන නමුත්, තමන්ට මේ සම්බන්ධ ව කළ හැකි දෙයක් නැතැයි සටන් විරාම නිරීක්ෂණ කමිටු සාමාජිකයෝ පවසති.

මඩකලපුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ඩී.නාගරාජා පැහැරගනු ලබන කොටි සංවිධානය, ඔහු නිදහස් කිරීම සඳහා රුපියල් තිස් ලක්ෂයක කප්පමක් ඉල්ලා සිටී. පසු ව රුපියල් විසි ලක්ෂයක කප්පමක් මත ඔහු නිදහස් කෙරෙන අතර, බියට පත් ඔහු තම පවුලේ සාමාජිකයින් ද සමග කොළඹට පැන එයි.

කොටි සංවිධානයේ මූලිකත්වයෙන් උතුර හා නැඟෙනහිර පළාත් සඳහා අන්තර්වාර පාලන මණ්ඩලයක් ඉදිරි දෙමස තුළ පිහිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි. දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග කෙරුණු සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටී.

2002 අප්‍රේල්

 කොටි සංවිධානය අප්‍රේල් 03 වන දා වවුනියාවේ සිය දේශපාලන කාර්යාලයක් විවෘත කරයි. වවුනියාව දිසාපති කේ. ගනේෂ්, වවුනියාව ප්‍රාදේශීය ලේකම් මේරි ඉමෙල්ඩා සුගුමාර්, ‘සේවා ලංකා පදනමේ’ සභාපති හර්ෂ කුමාර නවරත්න, උතුර නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර හිමි, වවුනියාව කොටි නායක පුවන්නන් මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙති.

ශ්‍රී ලංකා රජයත්, කොටි සංවිධානයත් අතර තායිලන්තයේදී පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා වන සියලු පිරිවැය ශ්‍රී ලංකා රජය දැරීමට තීරණය කරයි.

වෙනත් ප්‍රදේශවල සිට කොටි සංවිධානයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලට පැමිණෙන මාධ්‍යවේදීන් හා සිංහල ජාතිකයින් වවුනියාවේ තම දේශපාලන කාර්යාලයෙන් අනිවාර්යයෙන් ම අවසරපත් ලබා ගත යුතු යැයි කොටි සංවිධානය නිවේදනය කරයි.

අප්‍රේල් 08 වන දා මහනුවර යාපනය A9 මාර්ගය මුහාමලෙයි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා රජය ද, කිලිනොච්චිය ප්‍රදේශයේදී කොටි සංවිධානය ද නිල වශයෙන් විවෘත කරන නමුත්, සිවිල් ගමනාගමන කටයුතු සඳහා එම මාර්ගය යොදාගැනීමට කොටි සංවිධානය අවසර නො දෙයි. යාපනය බලා යාමට උත්සාහ කළ ලං.ග.ම. බස් රථයකට ඕමන්තෙන් ඔබ්බට යාමට කොටි සංවිධානය  අවසර නො දුන් බව ශ්‍රී ලංකා රජය පවසා සිටී. මෙසේ සිවිල් කටයුතු සඳහා A9 මාර්ගය යොදා ගැනීමට අවසර නො දීම අවබෝධතා ගිවිසුමේ 2(10) වගන්තිය උල්ලංඝනය කිරීමක් බව සටන් විරාම නිරීක්ෂණ කමිටුව පවසයි.

කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අප්‍රේල් 10 වන දා කිලිනොච්චියේදී ජනමාධ්‍ය හමුවක් පවත්වයි. “වෙන ම දෙමළ ඊළාම් රාජ්‍යයක් පිළිබඳ අදහස තමන් අතහැර දමා නැති බව” ඔහු පවසා සිටී. එසේ ම, තම රාජ්‍යය පිළිගන්නා ආර්ථීක ක්‍රමය විවෘත ආර්ථීකය බව ද ඔහු පවසයි. ශ්‍රී ලංකා රජයේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ වුව ද, තම දෙමළ ඊළාම් රාජ්‍යයේ ජනාධිපති හා අගමැති, වේලුපිල්ලේ ප්‍රභාකරන් බව කොටි සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මෙම ජනමාධ්‍ය හමුවේ දී පවසා සිටී.

පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා සරණාගත කටයුතු අමාත්‍යාංශය විසින් ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ බස්රථ සියයෙන් හැත්තෑපහක් කොටි සංවිධානය වෙත ලබා දීමට අදාළ අමාත්‍යවරයා සැලසුම් කරයි.

කොටි සැකකරුවන් සම්බන්ධ නඩු විභාග ඉක්මනින් සිදු කිරීම සඳහා ස්වීඩන් රජය විසින් රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදෙයි.

දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙක් කොටි නායක ප්‍රභාකරන් හමුවන අතර, කොටි සංවිධානයේ නායකත්වය හා මඟ පෙන්වීම අනුව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවට පොරොන්දු වෙති. එම සංධානයත්, කොටි සංවිධානයත් ඒකාබද්ධ ව දේශපාලන කටයුතු කිරීම සඳහා “මහජන ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය” පිහිටුවා ගැනීමට තීරණය කෙරෙයි.

ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර තායිලන්තයේදී පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාවල න්‍යාය පත්‍රය සැකසීම සඳහා නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වන්නියේ දී කොටි නායක ප්‍රභාකරන් හමුවෙයි. මෙම හමුවේ දී දෙමළ ඊළාම් රාජ්‍යයේ සිතියම අඩංගු සමරු ඵලකයක් ප්‍රභාකරන් විසින් නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලබයි.

කොටි සංවිධානයේ “තමිල් ඊළාම් ප්‍රවාහන සේවයට” කෙටි ගමන් ධාවන කටයුතු සඳහා නව බස්රථ 25 ක් මිලට ගනී.

ඊ.පී.ඩී.පී.යේ මහමැතිවරණ අපේක්ෂකයකු ඇතුළු 14දෙනෙක් කොටි සාමාජිකයින් විසින් පැහැරගෙන යනු ලබති.

නැවත ආගමන විගමන නීති රීති උල්ලංඝනය කරමින් බාලසිංහම් යුවල අප්‍රේල් 24 වන දා මාලදිවයින බලා මෙරටින් නික්ම යති.

ගිනි අවි සවිකර තිබූ කොටි බෝට්ටු තුනක් ත්‍රිකුණාමලය අසල මුහුදේ යාත්‍රා කරමින් තිබිය දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලබයි.

මධ්‍ය ම පළාත හා පහසුවෙන් සම්බන්ධතා පවත්වා ගැනීමට මඩකලපුව වඩාත් සුදුසු වීම නිසා, ඉදිරි යුදමය ක්‍රියාදාමයන්වලදී මඩකලපුව තම ප්‍රධාන යුද මධ්‍යස්ථානයක් බවට පත් කරගැනීමට කොටි සංවිධානය තීරණය කරයි.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ දී සහ සේවා සමාගම්වල කොටස් විකිණීමේදී තමන්ට හිතවත් දෙමළ ව්‍යාපාරිකයින් හරහා එම කොටස් මිල දී ගැනීමට කොටි සංවිධානය කටයුතු කරයි.

ඕමන්තෙයි මුරපොළ හරහා වන්නියට යාමට පැමිණි ලොරියක් යුද හමුදාව විසින් පරීක්ෂා කිරීමේ දී, එහි තිබී යුද ටැංකි අමතර කොටස් තොගයක් සොයා ගැනෙයි. මෙම අමතර කොටස් තොගය යුද හමුදාව රඳවා තබාගන්නා අතර, ඉහළින් ලැබෙන නියෝගයක් මත ලොරිය මුදා හරියි.

කොටි සාමාජිකයින්ට තම කරේ එල්ලා තිබෙන සයනයිඩ් කරල නො ගලවාම ශ්‍රී ලංකා හමුදා පාලනය යටතේ වන ප්‍රදේශවලට පැමිණීමට ශ්‍රී ලංකා රජය අනුමැතිය දෙයි.

කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාවට එල්ල කළ ප්‍රහාර ඇතුළත් වාර්තා චිත්‍රපට උතුරේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරෙයි. 1996 වසරේ මුලතිව් හමුදා කඳවුර විනාශ කිරීම, 1998 වසරේදී කිලිනොච්චි හමුදා කඳවුර විනාශ කිරීම ආදිය ද මේ චිත්‍රපට අතර වෙයි. කොටි සංවිධානයේ වීරත්වය හුවා දක්වන මෙබඳු චිත්‍රපට උතුරේ පාසල්වල ද ප්‍රදර්ශනය කෙරෙයි.

ඉතිරි කොටස පසුවට…

ප්‍රභාත් චින්තක මීගොඩගේ

(‘කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි’ කෘතියෙනි.)

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More