ප‍්‍රධාන පුවත්

නත්තලට, පෝයදාට මත්පැන්හල් විවෘත කිරීම ඇතුළු මුදල් ඇමතිවරයාගේ මධ්‍යසාර භාවිතය දිරිගන්වන නීති-රීති ගෙන ඒමේ උත්සාහය, 2016-2017 වසරවල අත්අඩංගුවට ගත් හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගය ඇතුරුදහන් වීම හා පසුගියදා, මුදල් ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වෙරළ සාදයකට විෂ මත්ද්‍රව්‍ය රැගෙන යාම යන ක්‍රියාවලින් මැනවින් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව කුඩු ප්‍රචලිත කරන – මධ්‍යසාර භාවිතය ප්‍රවර්ධනය කරන ආණ්ඩුවක් බව යැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

ඊයේ (10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මතට තිත තබන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි යහපාලන අෘණ්ඩුව යටතේ මේ රටේ විෂ මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර භාවිතය, ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති ආකාරය පෙන්වා දීමටයි අප මෙම මාධ්‍ය හමුව කැඳවූයේ. 

පසුගිය 05 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී පැජරෝ රථයක් පුද්ගලයන් සිව් දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා. පුද්ගලයන් 04 දෙනාගෙන් එක් අයකු වූයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර නැමැත්තායි. මුදල් අමාත්‍යාංශයේ රියදුරකු හා තවත් තැනැත්තන් දෙදෙනකු ද ඒ අතර වුවා. 

එම සුඛෝපභෝගී රථයේ තිබී පොලිස් අධිකාරිවරයකු වන මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියාගේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත, ඔහුගේ මුදල් පසුම්බිය හා වෙනත් පෞද්ගලික පරිහරණයට ගන්නා ලද භාණ්ඩ කිහිපයක් ද හමු වී තිබුණා. එක පෙත්තක් රුපියල් 7500.00ක් වන ‘ඩාන්සින් ටැබ්ලට්’ නමින් හඳුන්වන විෂ මත්ද්‍රව්‍ය පාර්සලයක්, කොකේන් හා හෂීස් පාර්සලයක්, මෙරට තහනම් කරන ලද දුම්වැටි තොගයක්, මත්පැන් බෝතල් තොගයක් මෙම රථයේ තිබී අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම පුද්ගලයන් 04 දෙනා සහ මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත පැජරෝ රථය පොලිසියට ගෙන යාමට ප්‍රථම නිදහස් කර ගැනීමට ආණ්ඩුවේ බලවතුන් කිහිපදෙනකුම බලවත් උත්සාහයක නිරත වූ බව අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබුණා. නමුත් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිස ඒ කිසිදු බලපෑමකට නතු නොවී මේ පිරිස ගල්කිස්ස පොලීසියට භාර දී තිබුණා. විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුවයි ඔවුන් මේ සෝදිසි කිරීම සිදු කර තිබුණේ. වෙරළ සාදයකදී අලෙවි කිරීම පිණිස විෂ මත්ද්‍රව්‍ය හා මත්පැන් රැගෙන යන වාහනයක් පිළිබඳවයි ඔවුන්ට තොරතුරු ලැබී තිබුණේ. ඒ අනුවයි මේ වැටලීම සිදු කළේ.

‘නීතිය බොහොම හොඳට නැමිලා’

මේ පිරිස පොලීසියට රැගෙන යාමට පෙර නිදහස් කර ගැනීමට තැත් කිරීමෙන් පෙනී යන්නේ කුමක්ද? ඒ වගේම මේ පුද්ගලයන් 04 දෙනාගෙන් තිදෙනකුම පොලිස් ඇප මත නිදහස් වෙනවා. මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලද තැනැත්තා ද පසුව ඇප මත මුදා හැර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, මේ කොකේන්, හෂිස් සහිත වාහනයේ තිබී හමු වූ මුදල් පසුම්බියේ, පුද්ගල හැඳුනුම්පත හා බැංකු කාඞ්පත්වල හිමිකරු, මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා වන පොලිස් අධිකාරිවරයාට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව ගත් පියවර කුමක්ද? ඔහු තවමත් මංගල සමරවීර මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ද? ආදී වශයෙන් ප්‍රශ්න ගණනාවක් අද රට ඉදිරියේ මතු වෙනවා. 

නමුත් මෙතැනදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නීතිය බොහොම අපූරුවට නැමෙනවා. මේ පුද්ගලයන් 04 දෙනාගෙන් තුන් දෙනකුට පොලිස් ඇප ලැබෙනවා. මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ තැනැත්තාට ඇප ලබා දීමට පොලීසිය විරුද්ධ නොවී සිටිනවා. මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා වූ පොලිස් නිලධාරියා තවමත් ‘දැහැමින් සෙමින්’ ඒ රාජකාරියේම  නිතරව සිටිනවා.

2016 ජනවාරි 01 වැනිදා සිට 2016 දෙසැම්බර් 31 දක්වා ලංකාවේ ස්ථාන 21කින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 140.923ක් හසු වුණා. ඒ කාලය තුළ ස්ථාන 04කින් කොකේන් කිලෝ ග්‍රෑම් 1262.950ක් ද, හෂීස් කිලෝ ග්‍රෑම් 3.425ක් ද කේරල ගංජා කිලෝ ග්‍රෑම් 8.924ක් ද හසු වී තිබුණා. මේ විදියට 2016 හසු වූ විෂ මත්ද්‍රව්‍යවලට සිදු වූයේ කුමක්ද? ජනාධිපතිවරයාටත් මේ ගැන සැක හිතලා පසුගියදා කැබිනට් අනු කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒත් තවම ඒ කැබිනට් අනු කමිටුව ‘මේ මත්ද්‍රව්‍ය තොගයට මොකද වුණේ?’ කියා වාර්තාවක් නම් ඉදිරිපත් කරලා නැහැ.

‘කුඩුත් ආණ්ඩුවේ – නඩුත් ආණ්ඩුවේ’

2017 ජනවාරි සිට මැයි මාසය දක්වා හෙරොයින් කිලෝ ග්‍රෑම් 15ක්, කොකේන් කිලෝ ග්‍රෑම් 222ක් හසුව තිබෙනවා. නමුත් ඒවාට සිදු වුණු දෙයක් නැහැ. නඩුත් නැහැ. නඩු එන්න විදියක් නැහැ, මොකද ‘කුඩුත් ආණ්ඩුවේ – නඩුත් ආණ්ඩුවේ’ නිසා. 2015 මේ ආණ්ඩුව බලයට පත් වන විට නීතිවිරෝධී මත්පැන් භාවිතය 6-8% දක්වා වූ අගයකයි තිබුණේ. නමුත් 2017 ජුනි මාසයේ 22 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී කියනවා ‘නීතිවිරෝධි මත්පැන් පාරිභෝජනය 60% දක්වා වර්ධනය වෙලා’ කියලා. එහෙම වුණා නම් ඒක සිදු වුණේ යහපාලන ආණ්ඩුව යටතේයි. මෙවැනි තත්වයක් ඇති වුණේ ‘මධ්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්’ ඉදිරිපත් කර ඇති ආණ්ඩුවක් යටතේ වීම හාස්‍යජනකයි. මෙයට වගකිව යුත්තේ යහපාලන ආණ්ඩුවයි. මේ නීතිවිරෝධී මත්පැන් භාවිතය වැඩිවීමට පිළියම ලෙස මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළේ කුමක්ද? නීත්‍යනුකූල මත්පැන් බාධාවකින් තොරව ලබා ගැනීමට නත්තල් දිනයේ සහ පෝය දිනවල මත්පැන්හල් විවෘතව තැබීම. ඒ වගේම මත්පැන්හල් සඳහා බලපත්‍ර ලබා දීමේදී විශේෂ සහනශීලි පියවර අනුගමනය කිරීම. මංගල සමරවීර මහතා එක් පැත්තකින් මධ්‍යසාර භාවිතය දිරිගන්වන නීතිරීති ගෙන එන ගමන්, අනෙක් පැත්තෙන් තමන්ගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර වෙරළ සාදවලට ඩාන්සින් ටැබ්ලට් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය රැගෙන යාමට යොදවනවා. කොහොමද වැඩේ?

ආණ්ඩුවේ මේ සියලු ක්‍රියාවලින්, ඒ කියන්නේ මුදල් ඇමතිවරයාගේ මධ්‍යසාර භාවිතය දිරිගන්වන නීති – රීති ගෙන ඒමත්, අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍යවලට සිදු වූ දෙයක් නොමැති වීමත්, පසුගියදා මුදල් ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වෙරළ සාදයකට විෂ මත්ද්‍රව්‍ය ගෙන යාමක් යන සියලු ක්‍රියාවලින් මැනවින් පෙනී යන්නේ යහපාලන ආණ්ඩුව කියන්නේ කුඩු ප්‍රචලිත කරන, මධ්‍යසාර ප්‍රවර්ධනය කරන ආණ්ඩුවක් බවයි. මේ හදන්නේ ලෝකයේ සිටින පහත් රස සොයන සංචාරකයන්ට අවශ්‍ය හෙරොයින්, ඩාන්සින් ටැබ්ලට්, ළමා – පිරිමි ගණිකාවන් සපයන තැනක් බවට මේ රට පත් කරන්නයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

මාධ්‍ය ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More