ප‍්‍රධාන පුවත්

‘ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ සිදු කර ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කරන පරික්‍ෂණයකදී සාක්ෂි දීමට සූදානම්’ වැනි රටට සාමය දිනා දුන් රණවිරුවන් අමුඅමුවේ පාවා දෙන ප්‍රකාශ කිරීමට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයාට ධෛර්ය එන්නේ ඔහුගේ මානසිකත්වය හා අාණ්ඩුවේ මානසිකත්වය එකක් වන නිසා බවත් සුළු ජාතික ජාතිවාදී කල්ලිවල ප්‍රාණ ඇපයට ලක් වූ මේ ආණ්ඩුවෙන් සහ එහි ඇමතිවරුන්, අගමැති හා ජනාධිපතිවරයාගෙන් මීට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“කිලිනොච්චියේ ප්‍රධාන රණවිරු ස්මාරකය ඉවත් කිරීමට එහි දිසාපතිවරයා, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වී තිබුණා. එදා කුරුණෑගල තිබූ රණවිරු ස්මාරකය ගැලවේවා. රණවිරු ස්මාරක ගලවන යුගයකට මේ රට අවතීර්ණ වී තිබෙනවා. රණවිරු ස්මාරක ගැලවෙන විට කොටි ස්මාරක නිර්මාණය වෙමින් තිබෙනවා. තිලීපන්ගේ ස්මාරක නිර්මාණය වෙන්නේ ඒ අනුවයි. අද කොටින්ගේ සොහොන් කොත්වල වීර කාව්‍ය රචනා වෙන්න පටන් අරන් තිබෙනවා. ඒ වගේම ‘දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ බුද්ධි අංශය’ යැයි කියා ගත් සංවිධානයක් ‘දෙමළ කාන්තාවන් සිංහල මිනිසුන් සමඟ ඇසුරු නොකළ යුතුයි’ යන්න ඇතුළු තර්ජන ගණනාවක් ඇතුළත් පත්‍රිකාවක් දෙමළ ජනතාව අතර බෙදාහැර තිබෙනවා.

‘ජනාධිපතිතුමා කියන ලෝකයට…’

අද ඒ විදියට රණවිරු ස්මාරක ගැලවෙද්දී කොටින්ගේ දේශපාලන භාවිතාවට පණ එන්න පටන් අරන් තිබෙනවා. ඔබ දන්නවා, හිටපු යුද හමුදාපතිවරයකු වූ ජෙනරාල් ජගත් ජයසූරීය මැතිතුමන් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක තානාපති ධුරය දරලා නිල කාලය අවසන් වූ පසු මෙරටට එන්න සූදානම් වන විට එම රටවල අධිකරණවල ඔහුට විරුද්ධව නඩු පවරා තිබෙන බව. ජනාධිපතිතුමා නම් නිතරම පවසනවා ‘අපි ලෝකය ජයගෙන තිබෙන්නේ’ කියා. අපි දන්නේ නැහැ, ඉහත කී ලතින් ඇමෙරිකානු රටවල් කිහිපය එතුමා කියන ඒ ජයගත්තු ලෝකයට අයත් නැද්ද, කියා. නමුත් මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කරන විට මේ ලතින් ඇමෙරිකානු රටවල් අපට සහාය දුන් බවත් අප වෙනුවෙන් පෙනී සිටි බවත් මතක් කරන්න ඕනෙ. එදා ශ්‍රී ලංකාව දිහා හතුරු ආකල්පයකින් නොබලපු ඒ රටවල් තුළින් අද ජෙනරාල් ජගත් ජයසූරියට අභූත චෝදනා එල්ල වෙනවා.

‘රජ කාලයේ මේ විදියේ ප්‍රකාශයක් කළා නම්…’

එවැනි අභූත චෝදනා එල්ල වෙද්දී, එදා ජෙනරාල් ජගත් ජයසූරියට නායකත්වය දීපු හිටපු යුද හමුදාපති, වර්තමාන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියනවා ‘ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ කළා. පරීක්‍ෂණ ආවොත් මම සාක්‍ෂි දෙන්න සූදානම්’ කියලා. යුද හමුදාපතිවරයකු ලෙස හිටපු කෙනෙකුට මෙහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්ද? තමන් යටතේ සේවය කරපු නිලධාරීන් මේ විදියට අමුඅමුවේ පාවා දෙන්න පුළුවන් කුමන ආකාරයේ මනසක් තිබෙන පුද්ගලයකුටද? රජ කාලයේ මේ විදියේ රාජද්‍රෝහී ප්‍රකාශයක් කළා නම් උල තියනවා.

‘ලෝකයටම එකයි…’

ජෙනරාල් ජගත් ජයසූරියට විරුද්ධව මේ විදියේ ප්‍රකාශයක් කරපු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හෙට දිනයේදී ‘මේ අය යුද අපරාධ කළා. මා ගාව සාක්‍ෂි තිබෙනවා. මම ඒවා ඉදිරිපත් කරන්න සූදානම්’ කියලා චාගී ගාල්ලගේ, ෂවේන්ද්‍ර ප්‍රනාන්දු වැනි ඔහු යටතේ සේවය කරපු කීර්තිමත් රණවිරුවන් ද පාවා දීමට පුළුවන්. එයා කියන විදියට මේ රටේ රණවිරුවන් සියලු දෙනා යුද අපරාධ කරලා තිබෙනවා. එයා විතරයි ‘ශාන්ත දාන්න තීන්ත කූඩුව’ වගේ ඉඳලා තිබෙන්නේ. තමන් හදාගත්තු කෝන්තරය නිසා වෛරයෙන් පෙළෙන, තමන් උපන් රටෙනුත් පලිගන්න මේ විදියේ චරිතයක් නම් අපේ රටේ ඉතිහාසයෙන් සොයා ගන්න බැහැ. ලෝක ඉතිහාසය දිහා බැලුවත් තමන් යටතේ සේවය කළ නිලධාරීන් මේ විදියට පාවා දීපු හමුදාපතිවරයකු, ෆීල්ඞ් මාර්ෂල්වරයකු සොයා ගන්න බැහැ. ලෝකයටම එකයි – ඒ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා.

මේ මානසිකත්වය සරත් ෆොන්සේකාගේ පමණක් නොවෙයි, මේ ද්‍රෝහී ආණ්ඩුවේ මානසිකත්වයයි. රණවිරුවන් යුද්ධ කළේ යම් දේශපාලන පක්‍ෂයකට ගැතිව නොවෙයි. ඔවුන් යුද්ධ කළේ මේ රටට සාමය උදා කරලා දෙන්න. රටට සාමය උදා කරලා දීපු රණවිරුවන්ගෙන් ආණ්ඩුවක් මාරු වුණා කියලා මේ විදියට පලිගන්න හදනවා නම් ඒක කුමන ආකාරයේ ආණ්ඩුවක්ද? ඒක දේශද්‍රෝහී ආණ්ඩුවක්. මේ රටට ගැලපෙන ආණ්ඩුවක් නොවෙයි. හොඳින් මතක තියා ගන්න, සරත් ෆොන්සේකාට මෙවැනි ප්‍රකාශ කිරීමට ධෛර්ය එන්නේ මේ ආණ්ඩුවේ මානසිකත්වය සහ ඔහුගේ මානසිකත්වය එකක් වන නිසයි. මේ විදියට රටට සාමය දිනා දීපු ජෙනරාල්වරුන්, හිටපු ආරක්‍ෂක ලේකම් හා හිටපු සේනාධිනායක පාවා දෙන්න හදනවා නම් අපට හිතන්න වෙන්නේ ‘අද අපට ඇමතිවරු, අගමැති හා ජනාධිපති කියලා කියන්න වෙන්නේ මොන තරම් දීන මානසිකත්වයක් තියෙන මිනිසුන්ටද?’ කියන එකයි.

‘ප්‍රාණ ඇපයට ලක් වූ ආණ්ඩුවක ලතෝනිය’

ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා, මේ ආකාරයේ දැවැන්ත පාවා දීමක් සිදු කරන ආණ්ඩුවක් තමයි අද බලයේ ඉන්නේ කියා. මේ ආණ්ඩුව සෑමවිටම පිනවන්න හදන්නේ සුළු ජාතික ජාතිවාදී කල්ලි – පහර දෙන්නේ රණවිරුවන්ට සහ ජාතික ආරක්‍ෂාවට. ගලවන්නේ රණවිරු ස්මාරක – හයි කරන්නේ කොටි ස්මාරක. මේක සුළු ජාතික ජාතිවාදී කල්ලිවල ප්‍රාණ ඇපයට ලක් වූ ආණ්ඩුවක්. මේ සරත් ෆොන්සේකාගේ කටින් පිට වෙන්නේ ඒ ආකාරයට ප්‍රාණ ඇපයට ලක් වූ අාණ්ඩුවක ලතෝනිය මිස වෙන කිසිවක් නොවෙයි.

‘හොර ජනමත විචාරණයකටයි හොරගල් අහුලන්නේ’

මේ ආණ්ඩුව හදන්නේ පළාත් පාලන ඡන්දය හෝ පළාත් සභා ඡන්ද පැවැත්වීමට නොවෙයි. මේ අය උත්සාහ කරන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙනල්ලා ඒකට කොහොමහරි පාර්ලිමේන්තුවේ 2/3ක බලය අරගෙන, ඒ බෙදුම්වාදී ව්‍යවස්ථාව දිනවන ජනමත විචාරණ මංකොල්ලයකට යන්න. ඒක තමයි මේ ආණ්ඩුවේ සැබෑ උවමනාව. ආණ්ඩුව ‘හොරගල් අහුලන්නේ’ ඒ පියවරට යන්නේ කොයි මොහොතේදීද කියා තීරණය කර ගන්න බැරිවයි. තමන්ට කිසිදු ජනතා ප්‍රසාදයක් නැති බව ආණ්ඩුව දන්නා නිසයි මැතිවරණවලට යන්නේ නැත්තේ. ඒ නිසා මේ ආණ්ඩුව යන්න හදන්නේ කිසිම ඡන්දයකට නොවෙයි, මා ඉහත කී හොර ජනමත විචාරණයටයි. ප්‍රජාතන්ත්‍රවාදය වළලපු, මැතිවරණ සිතියම හකුළපු, ශිෂ්‍ය මර්දනකාරීත්වයට පණ දීපු, අන්තවාදයට පණ දීපු මේ අාණ්ඩුව බලයේ ඉන්න මොහොතක් පාසා මේ රට අස්ථාවර වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහි බලවත් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න පෙරට එන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More