දේශීය පුවත්

”තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරි වුණ දේ නව ව්‍යවස්ථාව මගින් ලබාදෙන්න දරන උත්සාහය පරාජය කළ යුතුයි. අපි එළිය සංවිධානය පිහිටෙව්වේ ඒ වෙනුවෙන්” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බොරලැස්ගමුවේදී පැවසීය.

ගෝඨාභය මහතා මේ අදහස් දැක්වූයේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවේදී පැවති උත්සවයකදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටවූ එළිය සංවිධානය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

එහිදී තවදුරටත් අදහස් දැක්වු ගෝඨාභය මහතා මෙසේද පැවසීය.

අවුරුදු තිහක් පැවති යුද්ධය අවසන් කරලා අපි එක්සේසත් කළ රට ව්‍යවස්ථාවක් මගින් හෝ පාවා දෙන්නට පුලූවන්කමක් නැහැ. අද නව ව්‍යවස්ථාවක් හරහා මේ අප ලැබූ ජයග‍්‍රහණය පාවාදෙනු ඇතැයි සැකයක් සමාජය තුළ පවතිනවා. ඒ නිසා අපි කල්පනා කළා මෙවැනි නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ, එවැන්නක් ගෙන එන්න එපා කියලා ආණ්ඩුවට බලකිරීම හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අද එළිදකින එළිය සංවිධානයේ අරමුණයි.

දැනට පවතින ව්‍යවස්ථාවේ අඩුලූහුඬුකම් නැතුවා නොවේ. නමුත් අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවාට අපි විරුද්ධ වන්නේ එය ගෙන එනු ලබන්නේ කා වෙනුවෙන්ද? එය කෙටුම්පත් කරන්නේ කවුරුන්ද යන කාරණා මතයි. ඒ කාරණා සලකා බැලූවාම අපිට විශාල බියක් ඇති වෙනවා. මේ ගමන් කරන්නේ කොහාටද කියලා අපිට පේනවා.

එදා එල්ටීටීඊයට මුදල් එකතු කරපු, අවි ආයුධ ලබාදුන්නු කණ්ඩායම තමයි එදා ත‍්‍රස්තවාදය මගින් දිනාගන්න බැරිවුණ දේ අද වෙනත් මාර්ගයකින් ලබාදෙන්න මැදිහත් වන්නේ. එදා ගෙන ගිය ත‍්‍රස්තවාදයට එරෙහි යුධ ක‍්‍රියාමාර්ග නැවැත්වීමට බලපෑම් කළ විවිධ ජාත්‍යන්තර සංවිධානවල හා රටවල අවශ්‍යතාව මත තමයි මේ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ. ඒ වගේම මේ රට තුළ සිටින දෙමළ බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවට තමයි මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ.

අවුරුදු ගණනාවක් තිස්සේ සිවිල් වැසියන් ඝාතනය කරලා ම්ලේච්ඡු මිනීමරු සංවිධානය සියලූ ජන ජීවිත විනාශ කළා වගේම මුුලූ රටම විනාශ කළා. අද ඒ අය ජාත්‍යන්තරයේ මානව හිමිකම් ශූරයන් ලෙස පෙනී සිටිමින් මේ රටට සාමය උදාකරන්න රට එක්සේසත් කරන්න කටයුතු කළ රණවිරුවන් ඇතුළු නායකයින් යුද්ධාධිකරණයට ගෙන යන්න උත්සාහ කරන අය තමයි මේ නව ව්‍යවස්ථාව සකස් කරන්න මුල්වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි එයට විරුද්ධ වන්නේ. ඒ නිසා තමයි අපි මෙයට එරෙහිව ජනතාව පෙළ ගස්වන්න සූදානම් වන්නේ.

අපි දන්නවා අවුරුදු එකහමාරක කාලයක සිටම මේ කාර්යයට ඇප කැප වුණ ජාතික සංවිධාන ගණනාවක් තිබෙනවා. ඒ අයත් එකතු කරගෙන නායකත්වය දීලා වඩාත් පුළුල් සංවිධානයක් ලෙස ජනතාව අතරට ගෙන යන්න අපි සූදානම්. ඒ වගේම මේ ව්‍යවස්ථාව ගෙන එන ආණ්ඩුව ගැනත් අපිට කිසිම විශ්වාසයක් නැහැ.

අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම ගැන ඇතිවූ සාකච්ඡුාවේදී මේ ආණ්ඩුවේ නායකයින් කිව්වා කවදාවත් එහෙම දෙයක් පිිහිටුවන්නේ නැහැ කියලා. හමුදා නායකයින්ට හා ජනතාවට කිව්වේ ඒක කෙරෙන්නේ නැහැ කියලයි. නමුත් අවසානයේදී එය සිදුවුණා. පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සිදුකළේ කොහොමද කියලා අපි දැක්කා. රණවිරුවන්ට කිසිම පීඩාවක් ඇතිකරන්නේ නැහැ කිව්වා. නමුත් මේ වන විට හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරලා තිබෙනවා.

එවැනි ආණ්ඩුවක් ගෙන එන ව්‍යවස්ථාවක් ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඒක රටට භයානක ප‍්‍රතිඵල ගෙන එනු ඇති බව අපේ විශ්වාසයයි. ඒ නිසා මේ ව්‍යවස්ථාවෙන් ඇති විය හැකි හානිය ගැන ජනතාව දැනුවත් කිරීමට අප ගන්නා උත්සාහයට සහයෝගය දක්වන ලෙස ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More