ප‍්‍රධාන පුවත්

විමල්ගෙන් ජනපතිට ලියුමක්

September 16, 2017 6:55 am | Lanka Lead News

“අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව“ යන ශීර්ෂය යටතේජාතික නිදහස් පෙරමුණේ දේෂපාලන මණ්ඩලය වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය,

අතිගරු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව

මෙම මස 20 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 21 වැනිදා විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇත්තේ අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අදාළ නීති බලාත්මක කෙරෙන පනත් කෙටුම්පත බවත් ඔබතුමන් දැනුම්වත්ව ඇතැයි සිතමු. එමෙන්ම, මෙම මස 21 වැනිදා “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ යාවත්කාලීන කරන ලද අතුරු වාර්තා කෙටුම්පත” ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත අගමැතිවරයා විසින් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත. ඉදිරි සතිය තුළ ආණ්ඩුව විසින් ගනු ලැබ තිබෙන මෙම පියවර තුන පිළිබඳව අපගේ මතය ඔබතුමන් වෙත ඉදිරිපත් කිරීම වැදගත්වේ යැයි ජාතික නිදහස් පෙරමුණ තීරණය කරන ලදී. මෙම ලිපිය ඔබතුමන් වෙත ඉදිරිපත් කරනුයේ, අප පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ එම තීරණය ප්‍රකාරව ය.

අතිගරු ජනාධිපතිතුමනි,

1) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරනුයේ පළාත් සභාවන් 03ක මැතිවරණ කල් දැමීම හා ජනවරමකින් තොරව නීතියට පටහැනිව එම පළාත් සභාවන්හි ආයු කාලය දීර්ඝ කර ගැනීම ය.
මෙය බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් බව කවරකුට වුව වැටහේ.

පළාත් සභා මැතිවරණ ජාතික මැතිවරණ නොවේ. පළාත් සභාව පිහිටුවන්නේ අදාළ පළාතේ ජනතාවගේ ඡන්දයෙනි. එබැවින් පළාත් 09ක මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ වැදගත්කමක් පෙන්වා පළාත් කිහිපයක ඡන්ද අවලංගු කර ජනවරමකින් තොරව දැනට පවත්නා පළාත් සභා ආයු කාලය දීර්ඝ කිරීම මහජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කෑමකි. මේ නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ විවාද කර සම්මත කිරීමේ පියවර අවලංගු කරන මෙන් අපි ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

2) අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීම

මේ වන විට ද විවිධ හේතු මත අතුරුදහන්වීම් පිළිබඳ කාර්යාල පනත මගින් පිහිටුවීමට නියමිත අර්ධ අධිකරණ කොමිසමට අදාළ ගැසට් නිවේදනයට ඔබතුමන් විසින් අනුමැතිය ලබා දී තිබේ. එම කාර්යාලය ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසුව බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීම සඳහා දායක වූ ඕනෑම හමුදා නිලධාරියකුට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කොට දේශීයව හා ජාත්‍යන්තරව චූදිතයකු බවට පත් කළ හැකි ය. මෙම කාර්යාලයට සාක්‍ෂි ආඥා පනත අදාළ නොවන බවත් රණවිරුවන් ව්‍යාජ චූදිතයන් බවට පෙරළීමේ ඔවුන්ගේ කාර්යය කිසිම අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකි බවත් මෙහිලා සිහිපත් කිරීම වැදගත් ය.

මෙම 21 වැනිදා අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කරන්නට ආණ්ඩුව සැරසෙන්නේ එබදු තත්වයක් දැනටම ඇති වී තිබෙන පරිසරයක් තුළ ය.

අතිගරු ජනාධිපතිතුමනි,

ඔබතුමන් විසින් දැනටම අනුමැතිය ලබා දී ඇති අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත මගින් යුද සමයේ සිදුවීම් මුල්කර ගෙන ව්‍යාජ චෝදනා මත චූදිතයකු බවට පත් කෙරෙන හමුදා නිලධාරියකුට, දෙවන පනත මගින් පිහිටුවීමට නියමිත දේශීය යුද අපරාධ අධිකරණය ( විශේෂ මහාධිකරණය ) මගින් දඩුවම් කළ හැකි ය. එසේම, අදාළ ප්‍රඥප්තියට අත්සන් තබා ඇති සම්මුති රාජ්‍යයකින් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක ප්‍රශ්න කිරීමකින් තොරව එම චූුදිත නිලධාරියා ඉල්ලා සිටින රටට පිටුවහල් කිරීමට ද සිදු වේ.

දැනටමත් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා යටතේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් එම රටවල අධිකරණ හමුවේ පැමිණිලි කර තිබේ. එමෙන්ම එම පැමිණිලි විභාග කිරීමට ද නියමිතව තිබේ. 21 වැනිදා අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත්, අදාළ ලතින් ඇමෙරිකානු රටවල් (ඒවා ද මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා ඇති රටවල් නම් ) ඉල්ලා සිටින විට ජෙනරාල් ජගත් ජයසූරිය එම රටවල් වෙත පිටුවහල් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යය නෛතිකව බැඳී සිටී. සැබවින්ම, මෙය ජෙනරාල් ජගත් ජයසූරිය සම්බන්ධව පමණක් නොව යුද්ධයේදී මූලිකත්වය ගෙන කැප වූ සියලු රණවිරුවන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදු වනු ඇති අවාසනාවන්ත ඉරණමකි.

ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කොට නැතත්, අපේ රණවිරුවන් චූදිතයන් බවට පත්කර නඩු විභාගයක් අරඹනු ලබන විදේශීය රට රෝම ප්‍රඥප්තියට අත්සන් තබා තිබෙන රටක් නම්, තමන් බාරයට පත් කරනු ලබන ශ්‍රී ලංකා හමුදාවන්හි රණවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට පැමිණවීමට ද මෙමගින් පාර කපා දී තිබේ. හිටපු විදේශ අමාත්‍යවරයා මෙම පනත අතීතයට බල නොපාන බව පැවසුව ද එබඳු සඳහනක් මෙම පනතේ කිසිම තැනක සඳහන් කර නැත. එමෙන්ම නීති විශාරදයන් දැනටමත් පෙන්වා දී ඇත්තේ මෙම පනත අතීතයට බලනොපාන බව පැවසීම පිළිගත නොහැකි බව ය.

21 වනදා සම්මත කර ගැනීමට නියමිත මේ පනතත්, දැනටම වැඩ අරඹා තිබෙන අතුරුදහන් වීම් පිළිබඳ කාර්යාලය පිහිටුවිමේ පනත ද එකට ගෙන සලකා බැලූ විට, අපමණ කැපකිරීම් සිදුකර රටට සාමය දිනා දුන් රණවිරුවන් පාවා දෙනු ලබන අන්දම විශ්වාස කිරීමට තරම් අසීරු ය.

ලෝකයේ රටවල් 54ක් හැර සෙසු රටවල් විසින් අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා නැත. ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය මෙන්ම ඉන්දියාව ද ඒ අතර වේ. එබඳු තත්වයක් යටතේ, රට බේරා ගත් රණවිරුවන් බිලි දෙන මෙම ප්‍රඥප්තිය අප රට තුළ නීතියක් බවට පත් කිරීම නොකළ යුතු ය. 21 වන දා පාර්ලිමේන්තුව තුළ එය නීතියක් බවට පත්කර ගනු ලැබුවහොත් මෙරට ත්‍රිවිද හමුදාව පාවා දුන් දිනය බවට එම දිනය ඉතිහාසයේ සටහන් වනු ඇත. එම අපකීර්තිය ඔබතුමන් වෙත ද එල්ල වනු වැළැක්වීම අසීරු ය.

3) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ යාවත්කාලීන කරන ලද අතුරු වාර්තා කෙටුම්පත

අතිගරු ජනාධිපතිතුමනි,

ඉහත දක්වන ලද කෙටුම්පත මෙම 21 වනදා ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එම කෙටුම්පත එම මණ්ඩලය තුළ විවාද කර අනුමත කරන ලද හොත් අමාත්‍ය මණ්ඩලය තුළ අනුමැතිය ද ලැබී ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් බවට පත්ව නැවත එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.

මෙම කෙටුම්පත අප හොඳින් අධ්‍යයනය කරනු ලැබුවෙමු. ශ්‍රී ලංකාව පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීම මෙය මූලික නීතිය බවට පත් කරන ලදහොත් සිදුුවනු නියත ය. ඉඩම්, පොලිස්, පරිපාලන ආදී සියලු බලතල හිමි වන්නේ පළාත් සභාවට ය. ශ්‍රී ලංකාව ආණ්ඩු 9ක් ක්‍රියාත්මක වන රටක් බවට පත් කිරීම මෙමඟින් සිදු කෙරේ. දෙමළ ඊළාම් බෙදුම්වාදයට දීර්ඝ කාලයක සිට ඇති වී තිබූ පිපාසාව මෙයයි. රාජ්‍යයේ ඒකීයභාවය වනසා දමා, ෆෙඩරල් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමෙන් පසු තවත් එක් පියවරකින් දෙමළ ඊළම නිර්මාණය කර ගැනීමට දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයනට හැකියාව තිබේ.

එබැවින් මේ සියලු කරුණු සලකා බලා

1) ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම නවතන ලෙසත්

2) රණවිරුවන් සාමූහිකව පාවා දෙන අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමෙන් වළකින ලෙසත්

3) ශ්‍රී ලංකාව කැබලිකරණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාව හා එය ශ්‍රී ලංකාවේ මූලික නීතිය බවට පත් කිරීමේ මෙහෙයුම නතර කරන ලෙසත්

අපි ඉතා ගෞරවයෙන් ඔබතුමන් වෙතින් ඉල්ලා සිටිමු.

ප්‍රතිපත්තිමය වශයෙන් අප අතර දේශපාලන විවාද තිබිය හැකි වුව ද මාතෘභූමියේ ආරක්‍ෂාව හා පැවැත්ම සම්බන්ධයෙන් අප අතර විවාදයක් තිබිය නොහැකි ය. එබැවින් රාජ්‍ය නායකයා වශයෙන් ඔබතුමන් මෙම කරුණු කෙරෙහි බරපතළ අවධානය යොමු කරනු ඇති බවත් අවශ්‍යවේ නම්, මේ පිළිබඳව ඔබතුමන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමට වුව මාතෘභූමියේ නාමයෙන් අපි සූදානම් බවත් දන්වා සිටිමු.

ස්තුතියි,
මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම)
සභාපති,
ජාතික නිදහස් පෙරමුණ
දේශපාලන මණ්ඩලය වෙනුවෙන්,
2017 සැප්තැම්බර් 15



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More