පුරවැසි කොලම

සමාජයේ කුඩා ම ඒකකය පවුලයි. මව්පිය දූ දරුවන්ගෙන් සැකසුණු පවුල සැනසිලිදායක බවට පත්කරලීමට බුදු දහම තුළ කරුණු රාශියක් ඇත. සාර්ථක පවුල් ජීවිතයකට මූලික පදනම අන්‍යොන්‍ය අවබෝධයෙන් යුත් සදාචාරවත් අඹු සැමි සබඳතාවයයි.

අඹු සැමි යුවළක් තුළ පැවැතිය යුතු ගුණාංග සිඟාලෝවාද සූත්‍රය තුළ දක්වා ඇත. මෙලොව දී මෙන් ම පරලොවදීත් සැනසිලිදායක හා විශ්වසනීය පවුල් ජීවිතයක් ගත කිරීමට අඹු සැමි දෙපළ ම ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණාංග වර්ධනය කළ යුතු ආකාරය පෙන්නුම් කර ඇත.

සංවාස සූත්‍රයට අනුව අඹුසැමි යුවළ අශීලාචාර වුවහොත් ඒ දෙදෙනාගේ එකතුව මළමිණී දෙකක සංයෝගයක් ලෙස දක්වා ඇත. සදාචාරවත් , දැහැමි අඹුසැමි යුවළකගේ එකතුව දෙවියකු හා දෙවඟනක ලෙසත්, ඔවුන් සිටින නිවස දෙව්ලොවක් බවත්, පෙන්නුම් කර ඇත.

සප්ත. භරියා සූත්‍රයේ දී බුදුරදුහු භාර්යාවන්ගේ සිතුම් පැතුම් හා ක්‍රියාකාරිත්වයත්, චරිත ලක්ෂණත් අනුව භාර්යාවන් වර්ග හතකට බෙදා දක්වා ඇත.

වධක භාර්යාව – නිතර ම කිපුණු සිතින් ක්‍රියා කරයි. අනුන් කෙරෙහි කිසිම අනුකම්පාවක් නැත. සැමියා උපයාගත් ධනය විනාශ කරමින් ක්‍රියා කරයි. මෙබඳු භාර්යාව ස්වාමියාට වද දෙන හෙයින් වධකයකු හා සමාන කොට වධක භාර්යාව යැයි හඳුන්වා දුන්හ.

චෝර භාර්යාව – සිය සැමියා උපයාගත් දෙයින් ටිකක් හෝ සොරකම් කරයි.

ආර්ය භාර්යාව – සැමියා පහත්කොට සලකා තමා උසස් කොට සලකමින් කටයුතු කරයි.

මාතු භාර්යාව මවක් හිතාදර ව තම පුතු රකින්නා සේ, තම ස්වාමියා ආරක්ෂාකර ගනිමින් ඔහුගේ ධනය ද ආරක්ෂා කර දෙයි.

භාතු භාර්යාව – වැඩිමහල් සහෝදරයාට ගෞරවයෙන් හා ලජ්ජාවෙන් සලකන බාල නැගණියක් මෙන් සහෝදරියක සේ තම ස්වාමියාට සලකයි.

සඛී භාර්යාව – බොහෝ කලකින් පැමිණි යහළුවකු දැක සතුටුවන

යෙහෙළියක මෙන් සැමියා දැක සතුටුවෙයි. ආචාරශීලී ව සිල්වත් ව තම පතිවත රකියි. මෙම බිරිඳ මිතුරියක මෙන් සැමියා ඇසුරු කරයි.

දාසි භාර්යාව – ස්වාමියාගේ හිරිහැර, කරදර, තර්ජන වලින් නොකිපී සන්සුන් මනසකින් ඒවා ඉවසමින් කටයුතු කරයි.

අප සමාජය තුළ තම ස්වාමියාට ප්‍රශ්න ඇති කරන, වේදනා ඇති කරන, පීඩා ගෙන දෙන භාර්යාවරු සිටිති. එසේම සැමියාට මවක මෙන් ද, සහෝදරියක මෙන් ද, මිතුරියක මෙන් ද, දාසියක මෙන් ද සලකන බිරින්දෑවරු ද සිටිති. මේ බිරින්දෑවරුන් හත්දෙනා අතුරෙන් තමා අයත් වන්නේ කුමන කොටසට දැයි තම ක්‍රියාකාරකම් දෙස බලමින් තමාව හඳුනා ගැනීම විවාහක කාන්තාවක වශයෙන් ඉතා වැදගත් වනු ඇත.

යුග ජීවිතය සාර්ථක වීමට ඔවුනොවුන් අතර සහජීවනය ඉතා වැදගත් වනු ඇත. ඔබ නිවසේ ඇති පිහියක්, කැත්තක්, උදැල්ලක් පාවිච්චියට නොගතහොත් එය මළ බැඳෙනු ඇත. මළ නොබැඳීමට නම් එයින් වැඩගත යුතුය. විවාහ ජීවිතය සම්බන්ධයෙන් ද මෙය ඉතා වැදගත් වනු ඇත. අඹුසැමියන් දිනකට සුළු කාලයක් හෝ වෙන්කරගෙන ඔවුනොවුන් මුහුණ දීමට සිදුවන ගැටලු, ප්‍රශ්න සාකච්ඡා කළ යුතු ය. දෙදෙනා ම රැකියාවක නියුක්ත වන්නට පුළුවන. විවේකය අඩු විය හැකි ය. වේලාවක් වෙන් කරගත නොහැකි නම් රාත්‍රී කෑම ගන්නා විටවත් ඔවුන්ගේ ජීවන ගමනේ ප්‍රශ්න සාකච්ඡා කළ හැකි ය.

සමහර නිවෙස්වල සැමියා රාත්‍රී කාලයේ සේවයට යයි. බිරිඳ දවල් කාලයේ සේවයට යයි. දෙදෙනා අතර මුණ ගැසීම ඉතා අඩු මට්ටමකට පත්වේ. නිවාඩු දිනවල ද ඔවුනොවුන්ගේ ගෙදර කටයුතු නිසා සැමියා වෙනම ලෝකයක, භාර්යාව තවත් ලෝකයක ජීවත්වන අවස්ථා ඇති වන්නට පුළුවන. කාලයක් යන විට දික්කසාද වීමේ අවස්ථාවන්ට මුහුණ දෙන සිදුවීම් ද සමාජය තුළ දැකගත හැකි ය.

පවුලක් ලෙස රාත්‍රී ආහාර ගැනීමේ අවස්ථාව ගැන සිතන්න. එහිදී බිරිඳ ආහාර ගනිමින් පරිගණකයේත්, සැමියා ආහාර ගනිමින් දුරකථනයේත්, සිටිනවා නම් එම අවස්ථාව පවුල් ජීවිතයේ සැනසිල්ලට සුබදායක නොවනු ඇත. මෙවැනි අවස්ථාවල දෙදෙනා සිටින්නේ ලෝක දෙකක ය. මෙවැනි ක්‍රියාකාරකම් නිවසේ පි‍්‍රයජනක පරිසරයටත්, මානසික බැඳීමටත් ප්‍රබල බාධකයක් වනු ඇත.

කොතරම් කාර්ය බහුල වුව ද, දවස් දෙක තුනකට වරක්වත් විවේකයක් ලබා ගෙන ඔවුනොවුන් අතර සුහදශීලි සාකච්ඡාවක් හා දරුවන් අතර අන්‍යොන්‍ය බැඳීමක් ගොඩනැඟීමට ක්‍රියාකළ යුතුව ඇත. පවුල අතර සමගිය, සමාදානය, සිනහව, පි‍්‍රයශීලි දැක්ම, සැනසිලිදායක වචන හුවමාරුව නොමැතිවීමේ ප්‍රතිඵලය අප මානසික රෝගීන් බවට හා ආතතියෙන් පිරුණු අඹුසැමියන් බවට පත්වීමයි.

යුගදිවිය තුළ ඔබට වටිනාම දේ කුමක්දැයි යමකු ඇසුවහොත් ඔබ දෙන පිළිතුරු කුමක් ද? මට මගේ පවුල් ජීවිතය තරම් වටිනා කිසිම දෙයක් නැහැ” යනුවෙන් සියයට අනූපහක් ම පිළිතුරු දෙනු ඇත.

විවාහ ජීවිතය තුළ බිරිඳ සහ සැමියා එකම දිසාවකට ගමන් නොකරන්නේ නම් ඔවුනට විවිධ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. පවුල් නමැති සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂකවරුන් වන්නේ සැමියා හා බිරිඳ යි. දරුවන්, ඤාතීන් හා හිතමිතුරන් එම සමාගමේ සාමාජිකයන් විය හැකි ය.

දෙදෙනාම එක්ව ඉදිරියේ දී කළ යුතු දේ පිළිබඳ ව ලේඛනයක් සකස්කර ගැනීම වැදගත් ය. මෙවැනි ප්‍රමුඛතා ලේඛනයක් යුග දිවියට අත්‍යවශ්‍ය ය. පවුල ඉදිරියට ගෙන යෑම පිළිබඳවත් සාර්ථක කතාබහක් ඇතිකරගත යුතු අතර දරුවන් පිළිබඳවත් ඔවුන්ගේ ඉදිරි අනාගතය පිළිබඳවත් අදාළ කරුණු එම සැලැස්මට ඇතුළත් විය යුතු ව ඇත.

වයස අවුරුදු හතක කුඩා දියණියක් තම පියා දිනපොතක සටහනක් තබන අයුරු දැක ඒ පිළිබඳව විමසනු ලැබුවා ය. “මා මුණ ගැසෙන්න එන අයත් එදිනෙදා මා කළ යුතු වැඩක් තමයි මා මේ ලියන්නෙ” යනුවෙන් පියා පිළිතුරු දුන්විට “හා හොඳයි , එහෙනම් මගේ නම කී සැරයක් ඔය දිනපොතේ ලියා තිබෙනවා ද?” යනුවෙන් ඇය ප්‍රශ්න කළා ය. බිරිඳටත් සැමියාටත් මෙයින් දෙන පාඩම කුමක් ද? කොතරම් කාර්ය බහුල වුව ද දරුවන්ගේ ලෝකයෙන් ඔබ බැහැර විය යුතු නැත. විශේෂයෙන් මවුපිය ඇසුරේ දරුවන් ගෙවන ජීවිතයට අවශ්‍ය රැකවරණය සලසා දීම මවුපියන්ගේ ප්‍රමුඛ වගකීමකි. එසේ නොවුණහොත් එය දරුවන්ගේ මානසික බිඳ වැටීමට ප්‍රමුඛ හේතුවක් වනු ඇත. මව්පියන්ගෙන් දරුවන්ට ලැබෙන මානසික සුවය ශක්තිය වෙනත් කිසිම කෙනකුගෙන් ලැබෙන්නේ නැත. දිවා සුරැකුම් මධ්‍යස්ථාන තිබුණ ද ඒවායින් මවුපියන්ගෙන් ලැබෙන භාවමය හැඟීම් කිසිසේත් ම දරුවන් වෙත නො ලැබෙනු ඇත.

පවුලක ආදායම් ඉපයීමේ වගකීම සැමියා විසින් දැරිය යුතු අතර, පවුලේ කළමනාකාරිත්වය බිරිඳ වෙතින් සිදුවිය යුතුව ඇත. දරුවාගේ කායික හා මානසික වර්ධනය පිළිබඳ ගත යුතු හොඳම තීරණය ගැනීම මවගේ වගකීමක් වනු ඇත. ආදායමත්, කළමනාකරණයත් පවුලේ සතුටුදායක පැවැත්ම සඳහා සමබර ව පවත්වා ගැනීම අන්‍යොන්‍ය අවබෝධයෙන් ඉටුවිය යුතුව ඇත. විදේශීය රටවලට ගොස් මුදල් උපයා ලංකාවට එන විට තමන්ගේ පවුල් ජීවිතය අවුල් වී ඇත්නම්, දරුවන් සමාජයේ විවිධ ගොදුරු බවට පත් ව ඇත්නම්, ඒ ඉපයූ මුදලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?, මේ රටේ දීම මුදල් උපයන ක්‍රමවේදය අද ඕනෑ තරම් ඇත. ඒ තුළින් පවුල් ජීවිතය ගොඩනගන්නට අප

අධිෂ්ඨාන කරගත යුතුව ඇත.

ගැහැනු දරුවකු විවාහ ජීවිතයට පත්වුණා ම අලුත් අම්මා කෙනකු හා අලුත් තාත්තා කෙනකු ලැබෙනු ඇත. එක්තරා අතකින් එය ඇය ලබන ලොකු භාග්‍යයකි. කුල ගෙදරකට ගිය පසු තම සැමියා විසින් ගෞරව කරන, සෙනෙහස දක්වන ඔහුගේ මවටත්, පියාටත්, සැමියාගේ සහෝදර සහෝදරියන්ටත් තම සැමියා සෙයින් ම ගෞරවය හා සෙනෙහස දක්වන්න. ඔවුන්ගේ සිත් නොරිදවමින් ඔබගේ යුතුකම් හා වගකීම් කොටස ඉටු කරන්න.

ඒ අයට අවශ්‍ය බේත් හේත් කෑම් බීම් , ඉඳුම් හිටුම් වැනි අවශ්‍ය දෑ නිසි පරිදි සම්පාදනය කරන්න. බොහෝ තැන්වල සිදුවන නැන්දම්මා හා ලේලි අතරවන ගැටුම් වලින් වළකින්න. තමාගේම අම්මා කෙනෙකු ලෙස සලකා කටයුතු කරන්න. මොනතරම් හිත රිදවන වචන ඔවුන් තුළින් පිටවුනත් නුරුස්නා ක්‍රියාකාරකම් සිදු වුණත් ඒ සියල්ල ඉවසන්න. ඔවුන් දෙස කරුණාවෙන් හා මෛත්‍රියෙන් බලන්න.

ආදරයෙන් හදා වඩාගත් පුතා තනිකරම ඔබේ පාලනයට ගන්න සූදානම් වන්න එපා. එවිට නැන්දම්මා හිතන්නෙ අනේ මේ ගෙදරට ලේලි ඇවිත් මගේ පුතා උදුරා ගත්තා කියලයි. මෙවැනි දේ නැන්දම්මා හා ලේලි අතර ගැටුම් වලට හේතු වනු ඇත.

භාර්යාවක් වශයෙන් ඇතුළත ගිනි පිටතට නො දෙන්න. පිටත ගිනි ඇතුළට නො ගන්න. මෙය විවාහ දිවියට පත්වන දියණියකට දිය හැකි වැදගත්ම පණිවිඩයකි. තම සැමියාගේ හෝ නැන්ද මාමාගේ හෝ අඩුපාඩු ඇද පළුදු පිට අය සමඟ නො කියන්න. සැමියා අවදිවන්නට පෙර හිමිදිරි පාන්දර අවදි වී දවසේ කළ යුතු වැඩ මොනවා දැ යි සැලසුම් කරගන්න. රාත්‍රී නින්දට යන්නට පෙර දොර ජනෙල් වසා තිබේදැ යි බලා හෙට දින කළ යුතු වැඩ මොනවාදැ යි සිතා නින්දට යන්න.

සැමියා වෙනුවෙන් කළ යුතු සෑම කාර්යයක් ම නිසි වෙලාවට කිසි ම අඩුවක් නොකර ඉටුකරන්න.

සැමියාගේ වචනයට කීකරුව සෑම දෙයක් ම ඔහුගේ අනුමැතිය ඇතිව කරන්න. සැමියා මුදල් උපයන ක්‍රියාවලියට දිය හැකි උපරිම සහයෝගය දෙන්න. අනවශ්‍ය දේ සඳහා මුදල් වියදම් නොකර අරපිරිමැස්මෙන් කටයුතු කරන්න. සිය සැමියාගෙන් නොවිමසා කිසිදු කටයුත්තක නොයෙදෙන්න. සුචරිතවත් පතිනියක ලෙස කටයුතු කරන්නට අධිෂ්ඨාන කරගන්න.

බුද්ධිමත් ව සිතා බලා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ගොඩනැගෙන යුග ජීවිතය සදා සැනසිලිදායක වනු ඇත.

බළන්ගොඩ ශී ධර්මානන්ද විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රී මූර්ති මහානාහිමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More