දේශීය පුවත්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සඳුදා (05) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ,  සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

තුන්වන දිනයේත් අද (02)කැඳවු අවස්ථාවේ දී පෙත්සම් 39ට අදාළ දේශන අවසන් කෙරුණි.

ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත රජය විසින් අත්තනෝමතික අයූරින් ඉදිරිපත් කළ කෙටුම්පතක් නොවන බව පැවසීය.

19 වන සංශෝධනය සම්මත කෙරුණේ ජනමත විචාරණයකින් තොරව යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එසේ තිබියදී වත්මන් 20වන සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයක් සඳහා යොමුකළ යුතුයැයි කීම තර්කානුකූල නොවන බවත් සඳහන් කළේය.

20 වන සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්මවලට පටහැනි ආකාරයෙන් ඉදිරිපත් කර ඇතැයි එම නඩු විභාගයේදි ජනාධිපති නීතිඥවරු ගණනාවක් විසින් චෝදනා කර තිබුණි.

ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය වැනි අතිශය බරපතළ ව්‍යවස්ථා සංශෝධනයක් පවා ජනමත විචාරණයකින් තොරව සම්මත කිරීමට හැකි බව අතීතයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබු බව සිහිපත් කළ ජනාධිපති නීතිඥ මාරපන මහතා වත්මන් 20 සංශෝධන කෙටුම්පතේ අඩංගු ප්‍රතිපාදන සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් කිසිසේත්ම අවශ්‍ය නොවන බව සඳහන් කළා.

19 වන සංශෝධනය සම්මත කිරීම සදහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව එම වකවානුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා එම තත්ත්වයම වත්මන් 20 සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ද අදාළ කරගත යුතු බව අවධාරණය කළේය.

2015 වසරේ 19 වන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේ එය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව පැවසු පිරිස් වර්තමානයේ 20 වන සංශෝධන සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලා සිටිම අතාර්කික යැයි ද පැවසීය.

ඔමාරේ කස්සප හිමි සහ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණය සමයේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් සිය පාලනය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට ක්‍රියා කරන බව සඳහන් කර තිබුණේ යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ නාමය සංශෝධනය කිරීම, රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් සිදු කරන සංශෝධන, ජාතික ධජය, ජාතික ගීය, ජාතික දිනය වෙනස් කිරීම, ජනතා පරමාධිපත්‍යයට අදාළව සිදුකෙරෙන සංශෝධන, බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කරන බව සඳහන් වගන්ති සංශෝධනය, කෲර වධහිංසාවලින් මිදීමට ඇති මූලික අයිතිවාසිකම අහිමි කිරීම යනාදී සංශෝධනයන් සිදුකිරීම සඳහා පමණක් ජනමත විචාරණයක් වෙත යොමු කළයුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පැහැදිලිව සඳහන් කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුනි.

ඉහත සඳහන් කරුණුවලට අයත් නොවන අන් සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒවා ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම අනවශ්‍ය බවද සඳහන් කළේය.

යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය යළි හඳුන්වාදීම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය අධිකරණය හමුවේ දැඩි චෝදනා එල්ලකර තිබෙන බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා රටේ හදිසි තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක නීතිමය ප්‍රතිපාදන සම්මත කිරීම සඳහා එම ක්‍රමවේදය බෙහෙවින් වැදගත් වන බව පෙන්වා දුනි.

නිදසුනක් ලෙස කොවිඩ් වසංගතය වැනි හදිසි තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක හදිසි කාර්යයක් සේ සලකා නීති සම්මත කරගැනීමේ අරමුණින් හදිසි පනත් කෙටුම්පත් සම්මත කරගැනීමට ඉවහල්වන එම ක්‍රමවේදය 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් හඳුන්වාදීමට රජය ක්‍රියා කර ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුනි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළහැකි බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුනි.

තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්ලිව්.ඒ.ඩී.වීරතිලක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සහ 19 වන සංශෝධන ජනමත විචාරණයකින් තොරව සම්මත කර තිබියදී 20 සංශෝධනයට පමණක් ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ ඇයිදැයි ප්‍රශ්න කර සිටියේය.

13 වන සහ 19 වන සංශෝධනයන්හී අන්තර්ගත වගන්ති සහ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති බෙහෙවින් සමාන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයා සතු බලතල සමහරක් අග්‍රාමාත්‍යවරයා වෙත පැවරීමට ක්‍රියා කර තිබියදී පවා එම කෙටුම්පත ජනමත විචාරණයක් සඳහා යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම නොකළ බව පැවසීය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ යහපත් චේතනාවකින් නොවන බවත් එක් පවුලක් පළිගැනීමේ අරමුණින් එය ඉදිරිපත් කෙරුණු බවත් ඔහු චෝදනා කළේය.

අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 20 වන සංශෝධන පනත් කෙටුම්පත විසින් කිසිදු ආකාරයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොකරන බවත්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ හැකි බව සඳහන් කළේය.

මෙම සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමස්ථ පදනම කිසිසේත්ම වෙනස් කිරීමකට භාජනය නොවන හෙයින් මෙම කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක නීතිමය අවශ්‍යතාවය උද්ගත නොවන බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුනි.

සාමාන්‍යයෙන් අතීත මැතිවරණවලදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් ජනතාවගෙන් වරම් ඉල්ලා සිටියද 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සහ ඉකුත් මහ මැතිවරණයේදී ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම සඳහාත් 19 වන සංශෝධනය අහෝසි කිරීමේ චේතනාවෙන් අති බහුතරයක් ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කළ බව මෙහිදී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය.

20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපති හා ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා 20 වන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදය පැවැත්වෙන අවස්ථාවේ නව සංශෝධනයන් කිහිපයක් හඳුන්වා දීමට රජය විසින් තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් තමා වෙත ඉකුත් 25 වන දින එවනු ලැබූ ලිපියක් මගින් දැනුම් දී ඇතැයි පැවසීය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලින් තිබී සංශෝධනය කළ ඇතැම් වගන්ති සමහරක් මෙම 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් යළි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කිරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දුන් නීතිපතිවරයා ජනාධිපතිවරයාට නීතියෙන් හිමි වු මුක්තිය, හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම, උසස් නිලතල සඳහා පත්කිරීම් යනාදිය ඒ අතර ප්‍රධාන වන බව පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ නිල කටයුතුවලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරිමට සලසා දී තිබු අවස්ථාව යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් අහිමි කර ඇතැයි පෙත්සම්කාර පාර්ශවය විසින් චෝදනා කර තිබුණි.

එහෙත් ජනාධිපතිවරයාට මුක්තිය මුලින්ම ප්‍රදානය කෙරුණේ 1978 වසරේ සම්මත කරගත් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බව සඳහන් කළ නීතිපතිවරයා එම මුක්තිය 2015 වසර තෙක් බොහෝ ජනාධිපතිවරු විසින් භුක්ති විඳි බවද සඳහන් කළේය.

ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන්නේ විධායකය, ව්‍යවස්තාදායකය සහ අධිකරණය යන ආයතන හරහා බවත් එම එක් ආයතනයක් සතු බලයක් කප්පාදු කිරීමට හෝ එය වෙනත් ආයතනයක් වෙත හුවමාරු කිරීමට හැකියාවක් නොමැති බවද මෙහිදී නීතිපතිවරයා පෙන්වා දුනි.

වත්මන් 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති පසුගිය 18 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ ද ඇතුළත්ව තිබු බව සිහිපත් කළ නීතිපතිවරයා එම වගන්ති ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම වකවානුවේ තීන්දු කර තිබු බව පෙන්වා දුනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More