පුරවැසි කොලම

කුඩු සහ කහ කුඩු

September 15, 2020 12:35 pm | Lanka Lead News

නීති කඩකරමින් හොර පාරෙන් මෙරටට ගෙනා කහ කිලෝ දශලක්ෂයක් රජය මගින් විනාශ කරන්නට තීන්දු කර ඇතැයි රේගුව පවසයි. මෙහි ඇස්තමේන්තු දළ වටිනාකම රුපියල් මිලියන 768 ක් බව පැවසේ. රේගුව මෙසේ මෙහි දළ වටිනාකම ලෙස ඉහත සංඛාලේඛනවලින් පවසන්නේ කහ සඳහා රජය පනවා ඇති පාලන මිල වන රුපියල් 750 ගණනේ ගණන් බලා විය යුතුය.

එනමුත්, මේ වනවිට සැබෑ කහ කුඩු ද, කහ කුඩු ලෙස විවිධ වර්ණක යොදා වර්ණ ගැන්වූ (කහ පැහැති) පිටි වර්ග ද කිලෝව රුපියල් 5000 ක් දක්වා මිලකට කළුකඩයේ විකිණේ. ඒ අනුව බලන කල අත්අඩංගුවේ ඇති මෙම කහ තොගය (දැනගන්නට ඇති පරිදි කන්ටේනර් 50 කට අධිකය.) විශාල වෙළෙඳපොළ වටිනාකමකින් යුක්තය.

එසේ හෙයින් හා රටේ කහ හිඟයක් පවතින මෙවන් මොහොතක මෙම කහ තොගය විනාශ කරන්නට රජය තීන්දු කර තිබීම අමනෝඥ තීන්දුවක් ලෙස බොහෝ දෙනා දකිති. ඇතැමුන්ගේ මතය වන්නේ රජය ආර්ථික අර්බුදයක ගිලී ඇති මෙවන් මොහොතක හා කහ හිඟයකින් ජනතාව අපහසුතා විඳිද්දී රාජ්‍ය යාන්ත‍්‍රණය ඔස්සේ (සතොස අලෙවි සල් ජාලය හරහා වැනි) පාරිභෝගිකයින්ට හෝ ආයුර්වේද ඖෂධ නිපදවීම සඳහා රාජ්‍ය ආයතනයක් වෙත ඉහත කහ තොගය ලබාදීම විනාශ කරනවාට වඩා යහපත් කටයුත්තක් බවයි. මන්ද, කහ යනු හුදෙක් ආහාර රසකාරකයක්, ආහාර වර්ණකයක් පමණක් නොව, විෂබීජ නාශකයක්, රූපලාවන්‍ය භාවිතයක් මෙන්ම සංස්කෘතික මෙන්ම ආගමික කටයුතු සඳහාද යොදාගන්නා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් මෙන්ම ඖෂධයක් ද වන නිසාය.

විශේෂයෙන් දමිළ ජන සමාජයේදී පවිත‍්‍රතාවයේ සංකේතයක් ලෙස කහ භාවිතයට ගන්නා අතර, නිවාස, වෙළෙඳ සල් යනාදියේ මිදුල් දිනපතා උදේ කහ දියරෙන් දෝවනය කරමින් ආශීර්වාද පතන අයුරු වෙනම සංස්කෘතික කතාවකි.

එවන් ගෞරවනීය වටිනාකමක් ඇති කහ කුඩු හා ආශ‍්‍රිත නිෂ්පාදනවල විශාල හිඟයක් රටේ ඇතිව තිබෙන්නේ රටේ සමස්ත කහ අවශ්‍යතාව රටෙන්ම සපයාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මෙන් ගෙන ඇති තීන්දුවක් අනුවය.

රටේ වාර්ෂික වියළි කහ අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 7500-8000 ක් පමණ වන අතර, මෙයින් මෙටි‍්‍රක් ටොන් 5000 ක් ම ආනයනය කරයි. කහ ඉතා හොඳින් වැවිය හැකි අප වැනි රටක ජනතාව මෙන්ම පාලකයින් ද ඊට සැබැවින්ම ලජ්ජා විය යුතු කාරණයකි.

කහ අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කර, රටේ කහ අවශ්‍යතාව රටේම නිපදවා ගැනීමට ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇත්තේ එනිසාය. සැබවින්ම සිදුවිය යුත්තේද එයයි. ඊට කිසිදු තර්කයක් නැති අතර, රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය දිරිගන්වන ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව අපි ඉහළින්ම අගය කරන්නෙමු.

මීළඟ කහ අස්වැන්න ජනවාරි මසදී ගැලවීමට නියමිත අතර, පවතින කහ මිලේ අඩුවක් එවිට අපේක්ෂා කරන බව මේ අතර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එනම්, තවත් මාස 4 කින් කහ අර්බුදයට යම් තාක් විසඳුම් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

කෙසේ හෝ මේ වනවිට කහ මාෆියාවක් රට තුළ ක‍්‍රියාත්මක වන අතර, එය කුඩුවලට දෙවැනි වූ ජාවාරමක් බවට ද පත්වෙමින් තිබෙනු දකින්නට ලැබේ. අවස්ථා ගණනාවකදී අමු කහ සහ කහ කැබලි තොග ඉන්දියාවෙන් බෝට්ටු මගින් මෙරටට පන්නන්නට ගොස් නාවික හා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, තවත් කහ තොග කළපු අද්දර කැලෑ තුළ තිබී අල්ලාගත් අවස්ථාද ඇත. එසේම කේරළ ගංජා මෙන් කෙසේ හෝ රට තුළට පන්නා ගත් අවස්ථා ද නැත්තේ නොවේ.

එනමුත්, දැනට අල්ලාගෙන ඇති තොග විනාශ කිරීම මහා අපරාධයකි. පෙර කී පරිදි එවන් කහ තොග රාජ්‍ය යාන්ත‍්‍රණය ඔස්සේ ජනතාවට ලබාදිය හැකි නම් යහපතකි. නමුත්, ඊට ගැලපෙන රාජ්‍ය යාන්ත‍්‍රණයක් නැති බවද ඇත්තකි. යම් හෙයකින් රජය එම තීරණය ගතහොත්, කහ තොග යළිත් නාකොටික් වැනි ජාවාරම්කරුවන් අතට පත්වීමේ ඉඩකඩ ද වැඩිය. සතොසට ලබාදුන්න ද එය එසේ වීමට ඉඩ තිබේ. එසේ නම් දැඩි නීතිවලට හා සුපරීක්ෂාවට යටත් කර ලබා දීම සිදු කළ යුතුය. එය හරියාකාරව සිදුනොවන්නේ නම් කහ හිඟයක් රටේ පැවතියද, මොන වටිනාකම් තිබුණ ද මේ කහ තොගය මුහුදට හලන එක ඊට වඩා හොඳය.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More