පුරවැසි කොලම

දැවන්ත ජනවරමකින් පසුව රජය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් පෙනි සිටියි. ආණ්ඩු පක්ෂය කියා සිටින ආකාරයට පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනාධිපතිවරණයේදි සහ මහා මැතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පොදුජන පෙරමුණේ කණ්ඩායම ඉල්ලා සිටි ජනවරම, ඉල්ලා සිටි ප්‍රමාණයටත් වඩා ඉහළින් ලැබි තිබේ.

ගෝඨාභය ජනාධිපතිවරයා රුවන්වැලින්මහසෑරදුන් අභිමුව පිළිගත් ආකාරයට මෙම ජයග්‍රහණයේ ගාමක බලවේගය සිංහල බෞද්ධ බලවේගයයි. යහපාලන ආණ්ඩු කාලසීමාවදී සිරිසේන ජනාධිපතිවරයා ළඟ දණින් වැටි ඇමති වරප්‍රසාද ලබා ගත්තවුන්ට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සිටියද 19 වන සංශෝධනයට අත ඔසවන ලද , රනිල් වික්‍රමසිංහගේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට එරෙහිව හඬක් නොනැගු සාම්ප්‍රදායික මන්ත්‍රි කණ්ඩායමට මෙම ජනවරම වෙනත් දිසාවකට මෙහෙයවීමට අයිතියක් නැත. එසේම චන්දිකා හා රනිල් ගුරු කුලවලින් පැවත එන පැකේජවාදීන්ට, ඊනීයා සංහිඳියාකරුවන්ට, බලය බෙදීම වෙනුවෙන් කැපවු දුක්ගන්නාරාළලාට මේ ජනවරම තුල ඉඩක් නැත.

අලුතින් බලයට පත්වන ඕනෑම රජයකට දේශපාලන හනිමුන් කාලයක් ඇත. ඉන් පසුව අභ්‍යන්තරව හා බාහිරව පැන නගින ,සමහර විට පාලනයෙන් තොර ලෝක තත්වයන් නිසා , රජයක දේශපාලන ජනප්‍රියතාව කුරුවල්විය හැකිය. ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යපෘතියක් වු නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීම මේ කාලය තුල සිදුවිය යුතු අතර සංක්‍රාන්ති ප්‍රයෝගයක් වන යෝජිත විසි වන සංශෝධනයේ එල්ලී සිටීම අවසානයේ මහජන අපේක්ෂාවන් සම්භන්ධයෙන් කන්දක් විළිලා මීයේක් වැදීමෙන් අවසන් නොවිය යුතුය.

පුළුල් ව්‍යවස්ථා සංශෝධනයකදි පළාත් සභා සම්භන්ධයෙන් අවසාන නිගමනයකට එලැඹීම අනිවාර්‍ය අවශ්‍යතාවකි. පළාත් සභා ක්‍රමය නියෝජනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක ලේකම්ධූරය යටතේ පරාජයට පත් කරන එල්ටීටීඊ ත්‍රස්තවාදයට පණ පොවන ලද දෙමළ නිජභූමි මිත්‍යාවයි. නන්දිකඩාල් කලපුවේදි ප්‍රභාකරන් අවසාන කලේ යම් සේද බෙදුම්වාදි මිත්‍යාවේ ආයතනික ව්‍යුහය දියවන්නා ඔයේදීම මුලිනුපුටා දැමීමට මෙම ජනවරම විසින් ගෝඨාභයට බලකර ඇත.

මේ වන විට පළාත් සභා ක්‍රමයේ කපටි ආරක්ෂකයන් වී ඇත්තේ දෙමල සන්ධානයත් විග්නේෂ්වරන්ලාටත් වඩා ගෝඨාභය රැල්ලෙන් ගොඩ යෑමට බලා සිටින පොහොට්ටුවේ ඥාතී මිත්‍ර සරණාගත සමාගමයි. දෙමළ ජනතාවට වඩා ඒ වෙනුවෙන් හඬා වැටෙන්නේ දේශපාලනය තුල මන්ත්‍රි රස්සාවක් හොයන රැකියා විරහිත පිරිසකි. පළාත් සභා පවත්වාගෙන යෑමට එරෙහිව දහසකුත් හේතු පැවතියද ඒ එකිනෙක ගැන සාකච්ඡා කිරිම මෙහි අභිලාෂය නොවේ.

පළාත් සභා ක්‍රමය, රාජ්‍යයක් වශයෙන් අපට හිමි ස්වෛරීත්වය කෙළසමින් පරිප්පු මෙහෙයුමට මුවාවී ඉන්දියානු රජය විසින් අප මත බලහත්කාරයෙන් පටවන ලද්දකි. සාමාන්‍ය ජනතාවට එහි නිශ්පලත්වය සක්සුදක් සේ පැහැදිලිව තිබියදි ඊනීයා ජාත්‍යන්තරවාදි බුද්ධිමතුන් විසින් පළාත් සභා අහෝසි කිරිම, ඉන්දියාව අමනාප කර ගැනීමට හේතුවන අනවශ්‍ය කලාපීය හා ජාත්‍යන්තර ගැටුමක් ලෙස පෙන්වා ඇත. යුද්ධය අවසන් කිරිමට ධෛර්යය තිබු රාජපක්ෂ රජය, මෙම අනුකාරක දීන බුද්ධිමතුන් විසින් නිර්මාණය කරන ලද ඉන්දියානු භීතිකාවේ මානසික සිරකරුවන් බවට පත්වූහ.

යුද්ධයේ අවසාන අදියරේදි, මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය , මානුෂික මෙහෙයුම සාධාරණිකරණය උදෙසා ජාත්‍යන්තර පරිසරය නිර්මාණය කලේ යම් සේද නරෙන්ද්‍ර මෝඩිගේ රජය කාශ්මීර ප්‍රාන්තයට ලබාදි තිබු විශේෂ තත්වය අහෝසි කිරිමට සහ ඉන්දිය පුර්වැසිභාවය සම්භන්ධයෙන් ක්‍රියා කල ආකාරය ,ගෝඨාභය රජයට ජාතිකවාදි ජනවරම ක්‍රියාත්මක කිරිමට ආදර්ශයෙන් මග පෙන්වා ඇත.

ඉන්දියානු ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද තාවකාලික සංක්‍රාන්ති විධි විධානයක් වු 370 වගන්තිය යටතේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයට අනෙකුත් ප්‍රාන්තවලට වඩා සුවිශේෂි තත්‍වයක් ලබා දෙන ලදි. එම වගන්තිය මගින් ජම්මු කාශ්මීර ප්‍රාන්තයට වෙනම ව්‍යවස්ථාවක්, කොඩියක් සහ අභ්‍යන්තර පාලනයකට අවසර ලබා දෙන ලදි. කාශ්මීර වැසියන්ගෙ පුරවැසිබව, මුලික අයිතිවාසිකම් සහ දේපල අයිතිය එම ප්‍රාන්තයට පමණක් සීමාවු වෙනම නීති පද්ධතියක් මගින් පාලනය විය. 1947 දී අනෙකුත් ප්‍රාන්ත ඉන්දියානු , ෆෙඩරල් ව්‍යවස්ථාව මගින් පාලනය වීමට කැමැත්ත පල කළද කාශ්මීරය පාලනය විය යුත්තේ ෆෙඩරල් ව්‍යවස්ථාව යටතේද නැත්නම් ෆෙඩරල් ව්‍යවස්ථාවේ තොරා ගත් කොටස් පමණක් බල පැවත්විය යුතුද යන්න තීරණය කිරිම ජම්මු කාශ්මීර ව්‍යවස්ථාදායක සභාවට භාර විය. 1954 දි ජනාධිපති නියෝගයකින් ජම්මු කාශ්මීර් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කල අතර 370 ව්‍යවස්ථාව මගින් ප්‍රාන්තයට හිමි කර දී තිබු සුවිශේෂ තත්වය අහෝසි කරන නිර්දේශයක් නොවු හෙයින් එය අඛණ්ඩව බලාත්මක විය. එහි ප්‍රථිපලය වුයේ 370 වගන්තිය ඉන්දිය ව්‍යවස්ථාවේ නිත්‍ය ප්‍රතිපාදනයක් බවට පත්වීමයි. කාශ්මීර ප්‍රාන්ත මහාධිකරණය විසින් මෙම වගන්තිය අවලංගු කිරිම, ප්‍රත්‍යාදිෂ්ඨ කිරිම හෝ අවම වශයෙන් සංශෝධන කිරිම කල නොහැකි බවට තීන්දුවක් 2015 දි ලබා දෙන ලදි. 2018 දි නැවතත් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 370 වගන්තිය ඉන්දීය ව්‍යවස්ථාවේ ස්ථාවර කොටසක් බව තහවුරු කරන ලදි.

ඉන්දියානු ව්‍යවස්ථාවේ මෙම ප්‍රතිපාදනය හා ලංකාවේ පළාත් සභා අතර සැලකිය යුතු සමානාතා ඇත. ඉන්දියානු නිර්මාණයක් වු පළාත් සභාව තුල ඉන්දියානු බලපෑම සහ අභාසය ස්වභාවික වුවකි. නමුත් ආරම්භයේදිම පටලවා නොගත යුතු කරුණක් වන්නේ ඉන්දියාව නැමැති නූතන රාජ්‍යය බිහිවන්නේ කුමාරවරුන් 565 ක් යටතේ වෙනම ඒකක වශයෙන් පාලනය වු ප්‍රාන්ත රාජ්‍යයන්‍ එකතු වීමෙන් බවයි. බ්‍රිතාන්‍යයන් විසින් නිදහස ලබා දෙන අවස්ථාවේදි ඉන්දියාව යනු කෘතිමව නිර්මාණය කරන රාජ්‍යයකි. පළාත් සභා වැනි ෆෙඩරල් මාදිලියේ ව්‍යවස්ථාවක් උචිත වන්නේ වෙන්ව තිබෙන රාජ්‍යයන් එක්සත් කිරිමට විනා ලංකාව වැනි එකීයව තිබෙන රටක් පාලනය කළ හැකි ආණ්ඩු ක්‍රම ව්‍යුහයක් වශයෙන් නොවේ.

උතුර සහ නැගෙනහිර පළාත් සභාවන් 1987 පසු ජවිපේ සහා දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මැදිහත් වීමෙන් 2006දි ලබා ගත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව තෙක්, එකම පළාතක් ලෙස ක්‍රියාත්මක විය. 370 වගන්තියට සමානව මධ්‍යම රජයට නීති පැනවිය හැක්කේ සංවෘත්ත ලැයිස්තුවේ සහ සමගාමි ලැයිස්තුවේ විෂයන් සම්භන්ධයෙන් පමණි. අර්ධ සන්ධීය ( ෆෙඩරල්) රටක් වන ඉන්දියාවට එය සාමාන්‍ය තත්වයක් වුවද , පාර්ලිමේන්තුවේ උත්තරීතරබව පිළිගන්නා ඒකීය රාජ්‍යයක් වු ලංකාවට පළාත් සභාව යනු රාජ්‍යයේ මූලික ව්‍යුහයට ඓතිහාසිකවත් ව්‍යවස්ථානුකූලවත් පරස්පර විරෝධි තත්වයකි. එය එක් අතකින් මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක බලයට සීමාවක් වන අතර අනෙක් අතින් පළාත් සභා ව්‍යවස්ථාදායක බලයට පාර්ලිමේන්තුව යටත් කොට තිබේ. පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීතියක් සංශෝධනය කිරිම හෝ පරිච්චින්න කිරිම සාමාන්‍ය බහුතරයකින් කළ හැකි වුවද පළාත් සභා විෂයක් සම්භන්ධයෙන් පනවන ලද පළාත් ප්‍රඥ්ප්තියක් වෙනස් කිරිමට 2/3 විශේෂ බහුතරය අවශ්‍ය වේ. එමගින් පළාත් ප්‍රඥ්ප්ති වෙත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට හා සමාන බලධාරීත්වයක් ලබාදී ඇත.

තේසවාලාමේ දේපල නීතිය ක්‍රියාත්මක කිරිමේන් උතුරු පළාත තුල ඔවුන්ට වෙනම නීති පද්ධතියක් ඇති කර ඇත. ගෝඨාභය රජය බලයට ගෙන ඒමට ඉවහල් වු ඉතා තීරණාත්මක දේශපාලන සටන් පාඨයක් වුයේ “එක් රටක් – එක් නීතියක්” යන්නයි. පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවන්ට ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රයකින් ලබාදිය හැකිය. “එක් රටක් – එක් නීතියක්” යනු හුදෙක් එකම පුද්ගල නීති පද්ධතියක් පමණක් නොව භූමිය වශයෙනුත් රටේ සෑම තැනම එකම නීතියක් අදාල වීමයි.

ඉන්දු ලංකා ගිවිසුම මත බලහත්කාරයෙන් අප මත පටවන ලද පළාත් සභා අහෝසි කිරිම, මවුබිම සුරැකීමේ ව්‍යාපාරයේ නායකත්වය යටතේ පෙළ ගස්වන ලද දේශපාලන බලවේගයන්ගෙත් භික්ෂුන් වහන්සේලාගෙත් ජාතික ව්‍යාපාරයෙත් අඛණ්ඩ ඉල්ලීමකි. භාරතීය ජනතා පක්ෂය 2014 දි සහ 2019 දි යන අවස්ථා දෙකෙදීම මේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා අවසර ඉල්ලා සිටින ලදි. පළමු අවස්ථාවේදි එයට ලෝක් සභාවේ සහා රාජ්‍ය සභාවේ ප්‍රමාණවත් බහුතරයක් නොලැබිණි. 2019 මහා මැතිවරණයේදි ද්විත්ව සභාවන් හිම 2/3 ක බහුතරයකින් 370 වගන්තිය අහෝසි කිරිමට භාරතීය ජනතා පක්ෂය කටයුතු කලේ වසර ගණනාවක් පුරා එම පක්ෂය ශක්තිමත් කල ජාතිකවාදි බලවේගයන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කරමිනි. ගෝඨාභයට ලැබුණු ජනවරම තුල සංහිදියා කරුවන්ට පිනුම් ගසන්නට ඉඩ නොතබා ඊනීයා ජාත්‍යන්තරවාදයේ සිරකරුවකු නොවීමේ අධිෂ්ඨානය සහ ශක්තිය දේශහිතෛෂි ජනතාව ලබාදී ඇත.

නරේන්ද්‍ර මෝඩිගේ රජය සැමවිටම එයට බලය ලබා දුන් ජනවරම ඔසවා තබා ඇත. පුරවැසි පණත සංශෝධනය මගින් ආසන්න රටවල ආගමික පීඩනයට පත්වු හින්දු , සික්, ක්‍රිස්තියානි හා බෞද්ධ කොටස්වලට ඉන්දියානු පුරවැසිබව අවුරුදු හයක් තුල ලබාගැනිමට හැකි පරිදි සංශෝධනය කරන ලදි. මෙම සංශෝධනය රට පුරා දැවන්ත උද්ඝෝෂණය රැල්ලකට හේතු වූ අතර මරණ කිහිපයක් වාර්තා විය. විශේෂයෙන්ම ආගමික පීඩාවන්ට ලක්වු කණ්ඩායම් අතරට මුස්ලීම්වරුන් ඇතුලත් නොවු අතර එය වෙනස් කොට සැලකීමක් ලෙස චෝදනා කරන ලදි. මෝඩි රජය වැදගත් කොට සලකන ලද්දේ ඉන්දිය රාජ්‍යයේ හරය මිස බටහිර නිවට සංහිදියාව නොවේ.

නරේන්ද්‍ර මෝඩිගේ රජය මේ මතබේදාත්මක සංශෝධනයන් සිදු කලේ හුදෙක් සියල්ල අනුමත කරන සමකාමී ජාත්‍යන්තර පිට්ටනියක නොවේ. ගිනි ගෙන දැවෙන කාශ්මීරයත් , පාකිස්ථානයේ උදහසත් , කාශ්මීර අන්තවාදී ත්‍රස්ත්‍රවාදීන්ගේ තර්ජනයට අමතරව මානව හිමිකම් ව්‍යාපාරිකයන්ගේ ජාත්‍යන්තර ප්‍රජාවගේ ආඩපාලි අතර මැද එම අදීන තීන්දුව ගනු ලැබුණි. කාශ්මීර ප්‍රාන්තය තුල ඇතිවිය හැකි විරෝධතා මැඩ පැවත්වීම සඳහා සියලු සන්නීවේදන සම්බන්ධතා විසන්ධි කිරිමත් මාධ්‍යවේදින් ඒ ප්‍රදේශයට ඇතුල්වීමත් රජය විසින් වලකන ලදි.

ඊනීයා ජාත්‍යන්තර සම්භන්ධතා ගැන විලාප දෙමින් රටම හුදකලා වීමේ භීතිකාවට ඇද දැමීමේ විජාතික බලවේගයන්හි දේශීය ඉත්තන්ට එරෙහිව හඬ නැගීම සෑම ජාතිකවාදියෙකුගේම වගකීම වනු ඇත. පළමු වරට වඩා දෙවන වර 2/3 ක බහුතරයෙන් මෝඩි බලයට පත් කලේ ඔහු, ඔහු සිට ගත යුතු තැන නිශ්චිතව නිවරැදිව තීරණය කර ඒ මත ක්‍රියා කල නිසාය. ගෝඨාභය රජය එය බලයට පත් කලේ කවුරුන් විසින් ද කුමක් සඳහා ද යන්න සැමවිටම සම්මා සතියෙන් විමසීම වැදගත් ය. අපට වාසි සහගතව පවතින ඉන්දියානු ආදර්ශය නොවලහා ප්‍රයෝජනයට ගැනීම රජයේ වගකීමකි. එසේ නොවන්නේ නම්, මහින්ද රාජපක්ෂ යුගයේ ජාතික බලවේග නිහඬවීමෙන් ලද අමිහිරි අත්දැකීම් වෙතින් උගත් පාඩම්වලින් වර්තමාන රජයට ඒ බව සිහිපත් කිර දීමට ජාතික ව්‍යාපාරය මෙවර පසුබට නොවනු ඇත.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More