පුරවැසි කොලම

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත් කළ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභිනව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙදපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත් කළේය. කබ්රාල් මහතා නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඉකුත් සිකුරාදා (14දා) මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය. අජිත් නිවාඞ් කබ්රාල් මහතා මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ප‍්‍රථම පුවත්පත් සම්මුඛ සාකච්ජාව ලබා දුන්නේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ටය. පහතින් සටහන් වන්නේ අප ඇසූ ප‍්‍රශ්නවලට රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ලබා දුන් පිළිතුරුයි.

ප‍්‍රශ්නය – ඔබ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයක්. එසේම වසර නමයක් පමණ මහ බැංකු අධිපතිවරයෙක්. රාජ්‍ය ඇමැතිකමක් ගැළපෙන්නේ නැහැ නේද? කැබිනට් ඇමැතිකමක් ලැබුණ නම් නේද හොඳ?

පිළිතුර – මම බොහොම සන්තෝසයි රාජ්‍ය ඇමැතිකමක් ලැබුණු එක ගැන. මට කැබිනට් ඇමැතිකමක් ලැබුණ නම් මම අසතුටු වෙනවා. මොකද මම මෙතනට ආධුනිකයෙක්. මම පාර්ලිමේන්තුවට පළවෙනි සැරේට යන්නේ. එතකොට මට බොහෝ දේවල් තියෙනවා ඉගෙන ගන්න. වසර 9 ක් තිස්සේ මහ බැංකුවේ ඉගෙන ගත්ත රටේ මූල්‍ය පාලනය පිළිබඳව. ඒ වුණාට මට රාජ්‍ය පාලනය ගැන, පාර්ලිමේන්තුව ගැන මට එහෙම අත්දැකීමක් නැහැ. ඒ නිසා ඒ අත්දැකීම ලබා ගන්නකම් මම හිතන්නේ නැහැ මම හරියටම සුදුසුයි කියල. මගේ කැබිනට් ඇමැතිවරයා හැටියට ඉන්නවා අගමැතිතුමා. මට ඊට වඩා හොඳ කෙනෙක් නැහැ ඉගෙන ගන්න. ඒ නිසා මට ඒ ගැන හරි සන්තෝෂයි.

ප‍්‍රශ්නය – මුදල් ඇමැතිකම ලැබුණ නම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද ඔබතුමා වගේ කෙනෙක්ට. ඔබතුමා මූල්‍ය පාලනය ගැන මැදිහත්වීමක් කරනවා වසර 9 ක් පමණ. රටේ ආර්ථිකය ඉහළට ගෙනාපු නිලධාරියෙක් ලෙස දුක හිතෙන්නේ නැද්ද මට මුදල් ඇමැතිකම නොලැබුණයි කියල?

පිළිතුර – පොඞ්ඩක්වත් දුක හිතෙන්නේ නැහැ. ඇත්තටම මට සන්තෝෂයි ඒ ගැන. මුදල් ඇමැති කියන්නේ ලොකු කාර්යභාරයක්. මුදල් අමාත්‍යංශයේ වැඩකටයුතු ගැන අගමැතිතුමා වසර 9 කට වඩා වැඩි කාලයක් සේවය කරලා තියෙනවා.

එතුමාගෙන් මට ඉගෙන ගන්න තියෙනවා මට බොහෝ දේවල්. අගමැතිතුමා ලෙසත් මම එතුමාගේ වැඩකටයුතු ගැන බලල තියෙනවා. ඒ නිසා එතුමාගේ ආධුනිකයෙක් ලෙස කටයුතු කරන්න ලැබෙනවා නම් ඒ අත්දැකීම මට හරියට වටිනවා. ඒ නිසා මට ඒ අත්දැකීම ලබා ගැනීමට හැකි වීම ගැන සතුටුයි. මට කෙළින්ම මුදල් අමාත්‍යාංශය ලැබුණ නම් මට ඒ විදියට කටයුතු කරන්න බැහැ. දැන් මට එතුමාගේ රැකවරණය තියෙනවා. එසේම එතුමාගේ මාර්ගෝපදේශකත්වය තියෙනවා. එතුමාගේ උපදෙස් මට ලබා ගන්න පුළුවන්. අනිත් එක මට වගකීම් පවරලා තියෙනවා. එතුමා දන්නවා මගේ වැඩ කිරීමේ ධාරිතාව ගැන. මම වැඩ කරන්න බොහොම උනන්දුවෙන් ඉන්න පුද්ගලයෙක් බව එතුමා දන්නවා. වැඩ කටයුතු මට පවරලා තියෙනවා. මට කියල තියෙනවා ඕන එකක් බලල කරන්න කියල. ඒ නිසා මම හිතනවා මට මීට වඩා හොඳ වාතාවරණයක් ලබා ගන්න බැහැයි කියල.

ප‍්‍රශ්නය – කළමනාකරණය ගැන ගොඩක් ලොකු අත්දැකීම් තියෙන නිලධාරියෙක් තමයි ජනාධිපති ලේකම්තුමා. සමහර කාලවල ආරංචි, රාවයන් පැතිර ගියා ඔබතුමා සහ එතුමා අතර දාර්ශනික එකඟතාවන්, පුද්ගලික එකඟතාවන් නෙවෙයි ගැටුම් තියෙනවා කියල. මුදල් අමාත්‍යංශයේ දීර්ඝ කාලයක් වැඩකරපු එවැනි ප‍්‍රබල නිලධාරීන් සිටින නිසා ඔබතුමා වැඩකටයුතු කරගෙන යනවිට බාධාවන් ඇති වෙන්න පුළුවන් නේද?

පිළිතුර – එතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් මම මහ බැංකුවේ අධිපති ලෙසත් වසර නමයක් එකට වැඩකටයුතු කරලා තියෙනවා. එහෙම වැඩකටයුතු කරගෙන යන විට එහෙම මත ගැටුම් තියෙන්න පුළුවන්. ඒක සාම්ප‍්‍රදායික දෙයක්. ඒ තනතුරුවලට ඇවිත් තියෙන්නේ අත්දැකීම් තියෙන නිසා ඒවගේම ප‍්‍රබල චරිත නිසා නිකන්මත් නෙවෙයි. ඒ නිසා ගැටුම් තියෙන්න පුළුවන්. ඒ ප‍්‍රබල චරිතවල එක ලක්ෂණයක් තමයි ගැටුම් නිරාකරණය කර ගැනීම. ඉතිං අපිට ඒවා නිරාකරණය කරගන්න හැකි වෙලා තියෙනවා. දැනුත් අපට හොඳ සුහද මිත‍්‍රත්වයක් තියෙනවා පී. බී. ජයසුන්දර මහත්තය සහ මම අතර. ඉතින් අපට ඒක කිසි ගැටලූවක් නැතුව කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. එතුමා දන්නවා එතුමාගේ රාජකාරිය. මම දන්නවා මගේ රාජකාරිය. අපේ වගකීම් දෙගොල්ලොම දන්නවා. ඉතිං අපට ඒක කිසි ගැටලූවක් නැතුව කරගන්න පුළුවන් කියල මට විශ්වාසයක් තියෙනවා.

ප‍්‍රශ්නය – ඔබතුමා සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස හිටියා. මහ බැංකු අධිපති ලෙස දීර්ඝ කාලයක් හිටියා. ඉන්පසුව අපි ඔබ ආමන්ත‍්‍රණය කළා හිටපු මහ බැංකු අධිපතිතුමා කියල. දැන් ඔබතුමා රාජ්‍ය මුදල් ඇමැතිවරයා ලෙස ලෙස පත් වෙලා ඇවිල්ල මේ පුටුවේ වාඩි වුණහම ඔබට ඇති වූ හැඟීම කුමක්ද?

පිළිතුර – මම මේ ගමන ක‍්‍රම ක‍්‍රමයෙන් යන ගමනක් නිසා මට ඒ ගැන සතුටුයි. මම එකපාරට ඇවිත් මේ පුටුවල වාඩි වෙලා නැහැ. මම ක‍්‍රමක‍්‍රමයෙන් හැම ක්ෂේත‍්‍රයක්ම නියෝජනය කරමින් තමයි ඇවිත් තියෙන්නේ. මම අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙන්න කලින් මම වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපතිවරයා වෙලා හිටියා. දකුණු ආසියාවේ ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති වෙලා හිටියා. විනිමය කොමිසමේ සාමාජිකයෙක් වෙලා හිටියා. ඒ අත්දැකීම් එක්ක තමයි මම ලේකම්වරයෙක් වුණේ. ඒ ලේකම්වරයෙක් ලෙස කටයුතු කිරීමේ අත්දැකීම් සහ පසුගිය අත්දැකීම් ඔක්කොම එක්ක තමයි මම මහ බැංකු අධිපතිවරයා වුණේ. මම හිතනවා ඒ කාලය සාර්ථකයි කියල. ඒ සාර්ථකත්වය ඇති වුණේ ඒ අත්දැකීම් සියල්ල එකට ගැබ් වූ නිසා. එකත් එක්ක තමයි මම අගමැතිතුමාගේ උපදේශකවරයෙක් ලෙස කටයුත් කළේ. ඒ ඔක්කොම අත්දැකීම් එක්ක තමයි මම අද මේ රාජ්‍ය මුදල් ඇමැති හැටියට පුටුවේ වාදී වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ ක‍්‍රමක‍්‍රමයෙන් ආපු ගමන නිසා තමයි මගේ ජීවිතයේ ඒ කටයුතුවල සාර්ථකත්වයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඒකට වඩා කැමතියි එකපාරටම ඇවිත් ලොකු පුටුවක වාඩි වෙනවට වඩා.

ප‍්‍රශ්නය – දැන් ආර්ථිකය ගත්තොත් මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ සියයට 1.6 ක් කියල වාර්තා වෙලා තියෙනවා. යහපාලන කාලේ ආර්ථිකය වැටිලා ඊට පස්සේ පාස්කු ප‍්‍රහාරයෙන් ආර්ථිකය තවත් ඇදවැටීමට ලක් වෙලා ඊට පස්සේ කොවිඞ් 19 වසංගතයෙන් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න තත්ත්වයට ආර්ථිකය සෑහෙන දුර්වල අඩියකට මේ වනවිට වැටිලා තියෙන්නේ. මෙතන සිට අපි කොහොමද ඉදිරියට ගමන් කරන්නේ?

පිළිතුර – මුලින්ම අපි ඉතාමත්ම ඉක්මනින් මේ ආර්ථිකය ගැන විශ්වසනීයභාවයක් ගොඩ නගන්න ඕන. ඒ විශ්වසනීයභාවය පළුදු වෙලා තිබුණ යහපාලනය යටතේ. ආයතන වැටෙන්න ඉඩ දුන්න. ආර්ථිකය වැටෙන්න ඉඩ දුන්න. දේශීය ආර්ථිකයට කිසිම සහනයක් ලබා දුන්නේ නැහැ. බදු වැඩි කෙරුව. රුපියලේ අගය ඒ අයට පවත්වාගෙන යන්න බැරි වුණා. පොලී අනුපාතය වැඩි කරගත්ත. ඒ වගේ හැම ක්ෂේත‍්‍රයකින්ම ආර්ථිකය දුර්වල කරගත්ත.

ප‍්‍රශ්නය – යහපාලන ආණ්ඩුව පත් වෙලා සති තුනක් යන්නට මත්තෙන් බැඳුම්කර මගඩිය සිදු වුණා?

පිළිතුර – බැඳුම්කර මගඩිය සිදු වුණා. ඒ ඔක්කොම එක්ක තමයි අපි මේක භාර ගත්තේ. ඒ නිසා අපි දන්නවා මේකේ අභියෝගයක් තියෙන බව. ඒ අභියෝගය භාරගෙන තමයි මෙතනට අපි ඇවිත් තියෙන්නේ. ඒ නිසා අපි මේවා එකින් එක පිළියම් කරගන්න ඕන. අපට වැඩි කාලයකුත් නැහැ. එය කාර්යය ලොකු අවදානමකින් කළ යුතු දෙයක්. දැනටමත් අපි සාකච්ජා ආරම්භ කරලා තියෙනවා විවිධ පාර්ශ්වයන් සමග කළ යුතු දේවල් පිළිබඳව. ක‍්‍රියාත්මක කළ යුතු දේවල් ක‍්‍රියාත්මක කරන්න අප දැනටමත් ලෑස්තියි. ඉතින් ඒවා ක‍්‍රියාත්මක කරගෙන යන විට මට හිතෙන්නේ විශ්වාසයෙන් යන මේ ගමන යහපත් මාර්ගයට වැටේවි. අපේ රටේ ව්‍යාපාරිකය නැවත උද්යෝගයක් ලබා ගනීවි. ඉතින් ඒක ඇති කරන්න අවශ්‍යයි. මගේ කටයුතුවල තියෙන මූලික දෙයක් ඒක. එනම් ඒ හොඳ විශ්වසනීය භාවයක් ගොඩ නැගීම. ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ තියන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම. ඉතින් ඒවා අමාරු කාර්යයන් ඔබ කිව්වා වගේ.. ඒ  වුණාට අප ඒකට සූදානම්. ඒ නිසා අපි ඒකට යොමු වෙනවා.

ප‍්‍රශ්නය – මහ බැංකුවේ වගේම මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් අපත් සමග කතා කිරීමේ දී කියන දෙයක් තමයි පළමු කාර්තුවේ ඍණ 1.6 ක් අගය පිළිගැනීමට අපහසු බව. මේ ගැන ආර්ථික සහ මූල්‍ය අංශවල කතාබහක් තියෙනවා. හේතුව තමයි පළමු කාර්තුවේ දින දහයක් වගේ තමයි කොරෝනා වසංගතයට බලපෑවේ. ඒ නිසා ආර්ථිකයේ පසුබෑමක් ඇති විය හැකි නමුත් මෙතරම් සංකෝචනයක් විය හැකිද?

පිළිතුර – සියයට 1.6 ද එකද එහෙම නැත්නම් බාගෙද කියන එක නෙවෙයි මෙතන තියෙන ප‍්‍රශ්නේ. අපි දන්නවා ආර්ථිකය දුර්වල වුණයි කියන එක. ගිය අවුරුද්දේ අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 226 කින් ආපස්සට ගියා. එතනින් අපට පේනවා යම් කිසි දුර්වලතාවක් තියෙනවා. එකපාරටම ඒ දුර්වලතාව ආපසු හැරවීමට බැරි බව අපි දන්නවා. ඒ නිසා තමයි අපට මේ 2020 කියන වසර යහපත් වසරක් නෙවෙයි. ඒක අප තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ වුණත් අපි මේ වසර තුළදී යම් යම් දේවල් කරන්න ඕන. එහෙම කෙරුවොත් තමයි 2021 ඉඳල රට යහපත් මාර්ගයකට යන්නේ. 2020 බාර ගත්ත ගමන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට මේ කොවිඞ් 19 ප‍්‍රශ්නය මතු වුණා. ඒ නිසා යම් පසුබෑමකට ලක් වෙන බව අපි සියලූ දෙනාම දන්නවා. ඒ වුණත් අපි දැන් ඒක අභිබවා යන්න ඕන. එකට තමයි අපි වෑයම් කරන්නේ. හරියටම ඉලක්කම දිහා බලනවට වඩා දැන් අපට තියෙන්න ඕන ඒ උත්සාහය. පළමුවෙන්ම අපි පිළිගන්න ඕන ආර්ථිකය පසුබෑමකට ලක් වුණා කියල. එක අපට යහපත් පසුබෑමක් නෙවෙයි. ඒ නිසා අපි දැන් අලූත් විදියට හිතල අලූත් ක‍්‍රමවේදයන් අනුගමනය කරලා ඉදිරියට යන්න අවශ්‍යයි. ඒ සඳහා දැන් අපි සූදානම් වෙලා කටයුතු කරගෙන යනවා. අපිට තේරෙනවා මහජනතාව සමග කතා කරනකොට ඒ අය යම් කිසි පීඩනයකින් තමයි ඉන්නේ. ඒ පීඩාව අපි තේරුම් අරගෙන ඉන්නේ. දේශපාලනඥයන් ලෙසත් නිලධාරීන් ලෙසත් අපි එය තේරුම් ගෙන තියෙනවා. එය යහපත් මාර්ගයට ගෙනියන්න අපි යොමු වෙනවා ඉදිරි කාලය තුළදී.

ප‍්‍රශ්නය – ආර්ථිකයේ පසුබෑමක් තියෙන බව සත්‍යයක්. එහෙත් අප කියන්නේ පළමු කාර්තුවේ කොරෝනා බලපෑම දින දහයකට වගේ සීමා වෙලා තියෙද්දී මෙතරම් සංකොචනයක් වෙන්න පුළුවන්ද කියන එකයි. ඒ කාලයේත් ඔන්ලයින් වැඩ කරා බොහෝ ස්ථානවල. ගණනය කිරීමේ ප‍්‍රශ්න තියෙන බවට විවේචන තියෙනවා.?

පිළිතුර – ඔබ කියන එකේ යම් කිසි සත්‍යයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. අපි දන්නවා මේ රජයට බාධා කරන්න ඉන්න අය ඉන්නවා. සෑම ආයතනයකම ඒ අය ඉන්නවා. ඒ අය බොහොම වෑයම් මේ රටට මේ පාලනය නොඑන්න කටයුතු කරන්න. ජාත්‍යන්තරව කටයුතු කළා, දේශීය වශයෙන් කටයුතු කළා. ඒ අය තාමත් ඉන්නවා. හැම අංශයකම ඉන්නවා. මහා බැංකුවෙත් ඉන්නවා. ඔබ දන්නවා. ඔය මහ බැංකුවේ බැඳුම්කර වංචාව වසං කිරීමට කටයුතු කරපු සමහර නිලධාරීන් ඉහළ තැන්වල තාමත් ඉන්නවා. අපි ඒ අය පස්සෙන් ගිහින් කොනිත්තන අය නෙවෙයි. අපි වැඩට බැහැල ඉන්න මිනිස්සු. ඒ නිසා ඒ අය ටික කලක් ඕව කරයි. ඒවාට පදනමක් නැහැ. ඒවා ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ නිසා අපි කාලය නාස්ති නොකර හැකි ඉක්මණින් රට යහපත් මාර්ගයකට ගෙනියන එක තමයි අපේ අධිෂ්ඨානය. ඒ නිසා ඇත්තටම ඔය පසුබට වීමත් හොඳයි. අපේ නිෂ්පාදන පදනම දැන් අඩු වෙලා තියෙනවානේ. ඒ නිසා අපට ඉතා ඉක්මනින් වර්ධනය කරා යන්න පුළුවන්.

ප‍්‍රශ්නය – පසුගිය කාලයේ අයවැයක් ගෙන්න බැරි වුණා. ඒ නිසා වසරේ ඉතිරි කාලයට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්න සූදානමක් තියෙනවාද?

පිළිතුර – මේ වසරේ ඉතුරු කාලයට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමයි සූදානම. එහෙම අතුරු සම්මත ගිණුමක් ගෙනල්ල ඊට පස්සේ සෞභාග්‍යයේ දැක්මට ඔබින අයවැයක් ඉදිරිපත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ 2021 වර්ෂය සඳහා. දැන් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඊළඟ මාස කිහිපය තුළදී ඉතාමත් පුළුල් සංවර්ධනයට තුඩු දෙන අයවැයක් ඉදිරිපත් කිරීමට තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරන දින වකවානු තාම හරියට කියන්න බැහැ. ඒක ළඟදීම සිදුවේවි.

සාකච්ජා කළේ – ශ්‍යාම් නුවන් ගනේවත්ත
මනොඡ් අබයදීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More