පුරවැසි කොලම

පසුගිය දිනවල පුද්ගලික රූපවාහිනී නාලිකාවක ජනප්‍රිය වැඩසටහනකදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනය ක්ෂණිකව ඉවත් කළ යුතු බවය. ඊට අමතරව ආණ්ඩුවේ විවිධ පාර්ශව ඊට පෙර සඳහන්කොට ඇත්තේ 19 වැනි සංශෝධනය සමග එය සාධාරණීකරනය සඳහා හේතු වූ 18 වැනි සංශෝධනය ද ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවය. ඒ අතර නව අදිකරණ අමාත්‍යවරයා පුවත්පත් වලට ප්‍රකාශකොට ඇත්තේ 19 වන සංශෝධනය අහෝසි කොට එහි තිබූ යම් වගන්ති 20 වැනි සංශෝධනය මගින් නැවත පනවන අතර 18 වැනි සංශෙෘ්ධනයේ යම් ප්‍රතිපාදන සංශෝධනය කරන බවය. ඔහුගේ ප්‍රකාශය අනුව දැනටමත් 20 වැනි සංශෝධනයේ කෙටුම්පත සකස්කොට අවසානය. නමුත් ව්‍යවස්ථාපිත පටිපාටිය අනුව එසේ කෙටුම්පතක් සකස් කිරීමට පෙර සංශෝධනය කෙරෙන වගන්ති දළ වශයෙන් සඳහන් කොට එසේ කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතුය.   කෙසේ වෙතත්  ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ‘’ සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනවරමක් ඉල්ලා සිටිනු ලැබුවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහාය.එහි සඳහන් වූයේ වරින් වර සංශෝධනය කොට විකෘතියක් බවට පත්කොට ඇති අප රටේ ව්‍යවස්ථාවට සංශෝධන මගින් පැලැස්තර දැමීම ඵලක් නොවන ක්‍රියාවක් බවය. ජනාධිපතිතුමාගේ එම අපේක්ෂාවට ජනාධිපතිවරණයේදී 52% ක සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී දළවශයෙන් 60% ක ජන අනුමැතිය ලැබුණි.

ජනවරමට අනුව නව ව්‍යවස්තාවක් සම්මත කිරීම සඳහා මේ වන විට සියලු කොන්දේසි සැපිරී ඇති බව පැහැදිලිව පෙනේ. එනම් ජනතාවගේ මුලික කැමැත්ත සහ උවමනාව මෙන්ම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර බලය සහ ජනමත විචාරණයක් පවත්වා ජයග්‍රහණය කිරීමේ හැකියාව දැන් පැහැදිලිව තහවුරුවී තිබේ. නව ව්‍යවස්ථාවක 19 හෝ 18 පමණක් නොව 13  වැනි සංශෝධනය ද අඩංගු නොවන බැවින් නව ව්‍යවස්ථාවක් මගින් ජනතාවගේ බහුවිධ සහ බහු පාර්ශවීය අපේක්ෂා ඉටු කිරීමේ හැකියාව ලැබේ. නමුත් 19 හෝ 18 ඉවත් කිරීමේදී හෝ ඒවා පමණක් සංශෝධනය කිරීමේදී ව්‍යවස්ථාවේ විවිධ අඩුපාඩුකම් සහ ගැටළු විසදීම සඳහා වෙනත් සංශෝධන යෝජනා වීමේ හැකියාව ඇත. උදාහරණ ලෙස මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැනි ජනප්‍රිය සටන්පාඨයක් සමග ගැට ගසා පළාත්සභා කාර්යක්ෂම කිරීමේ නාමයෙන් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ  සංශෝධනද යෝජනා වීමේ ඉඩක් ඇත. ඊට අදාළව ආණ්ඩුව තුල සිටින සියලුම පාර්ශව වල අදහස් සහ විපක්ෂයේ අදහස් මැතිවරණයෙන් පසුව මේවනතුරු පැහැදිලිව ප්‍රකාශයට පත්වී නැත.

 

එහෙත් මැතිවරණයට පෙර සමගි ජන බලවේගය ජාතිවාදී දේශපාලන පක්ෂවල බළල් අතක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට හේතු වූයේ ව්‍යවස්ථා සංශෝධනයට අදාල කතාවකි. එතුමා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කරනු ලබන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උතුරු ප්‍රදේශයේදී කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශකොට ඇත්තේ තමා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය. නමුත් එම ව්‍යවස්ථා සංශෝධනය බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවන්නේ ඊට එරෙහිව ඒ තුළට පනවා ඇති ව්‍යවස්ථාමය බාධක නිසා බව රහසක් නොවේ. ටී.එන්.ඒ පක්ෂය ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග විසින් යුද්ධය පැවති කාලයේදී පවා ඉල්ලා සිටිනු ලැබුවේ එම ව්‍යවස්ථාමය බාධක ඉවත් කරන ව්‍යවස්ථා  සංශෝධනයක් මඟින් දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙසය.

පසුගිය යහපාලන රජය විසින් පත්කරන ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ටී.එන්.ඒ පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා තුළින් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටිනු ලැබුවේ එම ව්‍යවස්ථාමය බාධක ඉවත් කරන ලෙසය. ඊට අමතරව ඔවුන් විසින් 13 වැනි සංශෝධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එනම් පරිධිය ශක්තිමත් කිරීමට අමතරව මධ්‍ය දුර්වල කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අමතර යෝජනා දෙකක් ඉදිරිපත් කරනු ලැබීය. ඉන් පළමු වැන්න පාර්ලිමෙන්තුවට ඉහළින් සෙනේට් සභාවක් පිහිටුවීම මඟින් පාර්ලිමේන්තුව මඟින් ගනු ලබන යම් තීරණ අභියෝගයට ලක්කිරීමට ඉඩ සැලැස්වීමය. දෙවැන්න විධායකය හෝ ව්‍යවස්ථාදායකය විසින් පළාත් බලයට එරෙහිව තින්දු ගනු ලැබුවහොත් ඒවා අභියෝගයට ලක් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පරිබාහිරව ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීමය. ඊට ඊනියා “ ස්වාධීන ” නම් වූ විශේෂණ පදයද යොදා ඇතිමුත් ඉන් අදහස් කෙරෙන්නේ ඊනියා එන්.ජී.ඕ අධිකරණයක් බව පැහැදිලිය.

කෙසේ වෙතත් ටී.එන්.ඒ පක්ෂය විසින් ඉවත් කිරීමට ඉල්ලා සිටින සහ  සජිත් ප්‍රේමදාස මහතා විසින් පළාත් සභා කාර්යක්ෂම කිරීම සඳහා ඉවත් කිරීමට එකඟතාවය පළකරන ලද ව්‍යවස්ථාමය බාධක මූලික වශයෙන් 05 ක් හඳුනා ගත හැත. පළමු වැන්න සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කිරීමය. ඒ මඟින් මධ්‍යම රජය සහ පළාත් ආණ්ඩුව අතර මහජන පරමාධිපත්‍ය බෙදා වෙන්කෙරෙන බව පිළිගත හැකි ආකාරයට බලය බෙදීම නිශ්චිතව වෙන්කොට දැක්වීම සිදු වේ. දෙවැන්න මධ්‍යම රජය පම‍ණක් සතුවන ජාතික ප්‍රතිපත්ති හැදීමේ බලය පළාත් ආණ්ඩුවලටද ලබා දීමය. ඒ මඟින් බලතල බෙදීම තවදුරටත් තහවුරු වේ. තුන්වැන්න මුදල් බලය හෙවත් භාණ්ඩාගාරයක් පවත්වාගෙන යාමේ බලය පළාත් ආණ්ඩු වලට ලබා දීමය. හතරවැන්න පළාත් ඉඩම් පරිහරණ බලය පළාත් ආණ්ඩු වලට පැවරීමය. එවිට පළාත් ඉඩම් ප්‍රතිපත්තියක් යටතේ එම ඉඩම් පරිහරණය කිරීමේ බලය පළාත් ආණ්ඩු වලට ලැබෙන අතර මධ්‍යම රජයට යම් ඉඩමක් අවශ්‍ය වේ නම් එය පළාත් ආණ්ඩුවේ අනුකම්පාව යටතේ ලබා ගැනීමට සිදු වේ. එහිදී ඉඩම් අන්සතු කිරීමේ බලය ජනාධිපතිවරයා යටතේ තිබුණද ඉඩම් බෙදාදීමේ සහ පරිහරණය කිරීමේ බලය පළාත ආණ්ඩු යටතට පත් වේ. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ පරිහරණය කිරීමේ බලය පමණි.

පස්වැන්න හෙවත් ඉතා බරපතලම සංශෝධනය ලෙස හඳුනාගත හැක්කේ ආණ්ඩුකාරවරයා පලාත් මහා ඇමතිගේ අනුකම්පාව යටතට පත් කිරීමය. එනම් මහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා පත් කිරීම සඳහා ප්‍රතිපාදන පැනවිමය. එවිට ඉඩම් ප්‍රඥාප්ති, පොලිස් ප්‍රඥප්ති ආදිය සම්මත කරන විට ඒවා නැවැත්වීමට ආණ්ඩුකාරවරයා ක්‍රියා නොකරන බව සහතික වේ. ඉඩම් සහ පොලිස් බලතල දැනටමත් ඉතා විස්තීර්ණ ලෙස පළාත්වලට බෙදා ඇති බැවින් අදාළ ප්‍රඥාප්ති සම්මත කළ සැනින් එම බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ආවරණය ලැබේ. එවිට මධ්‍යම රජය විසින් එම නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට එරෙහිව බාධක පැනවුවහොත් එය ජාත්‍යන්තර අධිකරණය මඟින් බේරාගැනිමට අවස්ථාව නිර්මාණය වේ. උදාහරණයක් ලෙස පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුවක් විසින් උත්සහා කිරීමේදී මධ්‍යම රජය ඊට බාධා එල්ල කළ හොත් මහජනයා වීදි බසින තත්වයක් නිර්මාණය කිරීමට අවස්ථාව සැලසේ. ආර්. සම්බන්ධන් මහතා 2012 මැයි 25 දින මඩකළපුවේදී ඉලංකෛයි තමිල් අරසු කච්චි පක්ෂයේ සමුළුව අමතමින් සිදුකළ ප්‍රකාශය වැදගත් වන්නේ ඉන් පසුව සිදු විය හැකි දේ තේරුම් ගැනීම සඳහාය. එහිදී ඔහු සඳහන් කරන්නේ තමා ඊළාම් අරමුණ අතහැර නොමැති බව සහ එම අරමුණට ලඟාවීම සඳහා යොදාගන්නා උපාය මාර්ගය වෙනස් කරන බවය. එනම් යුද්ධය වෙනුවට අවිහිංසාවාදී ගාන්ධිවාදී විදි සටන් යොදා ගන්නා බවය. එම අවස්ථාවේදී ජාත්‍යන්තර ප්‍රජාව උදව් කළ යුතු බවද ඔහු විසින් අවධාරණය කරනු ලැබීය. එම නව උපාය මාර්ගික සැලසුමට අනුව එසේ වීදි බහින ජනතාව සහ ආරක්ෂක හමුදා සමඟ ගැටුමක් නිර්මාණය කළ යුතුය. එවිට මළමිනී ප්‍රමාණයක් එක්රැස්වීම සමඟ ජාත්‍යන්තර මැදිහත් වීමට පාර කැපෙනු ඇත.

කොසෝවෝ බෙදා වෙන්කිරීමේදී ගරිල්ලන් විසින්ම මරා දැමුණු සිවිල් වැසියන් 800 කගේ මළ කඳන් යොදා ගනිමින් සර්බියාවට ගුවන් ප්‍රහාර එල්ල කිරිමට නේටෝ සංවිධානය කටයුතු කළේ ය. නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව මැදිහත්වීම සඳහා එතරම් මළකඳන් අවශ්‍ය නොවිය හැක. ඊට හේතුව අඬන්නට ඇහැට අනින තෙක් බලා සිටින අසල්වැසියන් ඇතුළු රටවල් රාශියක් තිබීමය. නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළව ඔස්ට්‍රේලියාවට එරෙහිව පෘතුගාලය නඩුවේ තීන්දුව අනුව එවැනි ජාත්‍යන්තර මැදිහත්වීම් සාධාරණීකරණය කළ හැක. එම නඩු තීන්දුවට අනුව යම් භූ ගෝලීය ප්‍රදේශයක ජනතාවට පරමාධිපත්‍යයේ බලය බෙදී යන ආකාරයට ස්වයං පාලන බලතල බෙදා ඇති විටෙක එම බලතල ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ නොදෙන්නේ නම් එම ජනතාවට වෙන්ව යාමේ අයිතිය ඇත. ඉහත සඳහන් කළ ව්‍යවස්ථාමය බාධක 05 ඉවත් කළ විට පරමාධිපත්‍ය බලය බෙදීයන ආකාරයට එනම් පළාත සහ මධ්‍යම රජය අතර නිශ්චිතව බෙදීයන ලෙස බලතල ලබාදුන් විට එම නඩු තීන්දුව මඟින් විග්‍රහ කෙරෙන පුර්ව කොන්දේසිය සම්පූර්ණ වේ. ඇත්ත වශයෙන්ම එම බාධක පහ අතුරෙන් ප්‍රධාන තුනක් ඉවත් කළද බෙදුම්වාදීන්ට අවශ්‍ය තත්වය නිර්මාණය වේ.

බෙදුම්වාදී බලවේග වලට තම මාර්ග සිතියම ඔස්සේ ජයග්‍රහණය සඳහා අවසන් සැතපුම් කීපය පසුකළ හැක්කේ ඉහත සඳහන් කළ ආකාරයට කෙසේ හෝ බලයට පත් වන ආණ්ඩුවක් කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පොළඹවා ගැනීම මඟිනි. දැන් 19 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීමේ උවමනාව යොදා ගනිමින් ඒ සමඟම 13 වැනි සංශෝධනයේ බාධක ඉවත් කරන ව්‍යවස්ථා සංශෝධන කූඨ ලෙස ඉදිරිපත් කිරීමේ ඉඩක් ඇත්තේ ඒ නිසාය. ඔවුන්ට ඒකීය වචනය හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය හෝ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ සැබෑ උවමනාවක් නැත. එම ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ එසේම තිබියදී 13 වැනි සංශෝධනයේ බාධක ඉවත් කර ගැනීම ඔවුන්ගේ මූලික අරමුණ වූවත් මහජනයා නොමඟ යැවීම සඳහා එවැනි බරපතල සංශෝධන අවශ්‍ය බවට මතවාදයක් ඔවුන් විසින් ගොඩනගන බව පෙනේ. එය සරල වෘත්තීය සමිති න්‍යායක් බව පිළිගත හැක. එනම් විශාල දෙයක් ඉල්ලා අත්‍යවශ්‍ය කුඩා දේට එකඟවීමයි. එවිට විරුද්ධ පාර්ශවයට ද ජයග්‍රහණයක් ලැබූ බවට ව්‍යාජ සතුටක් ලැබිය හැක. ඒ නිසා බෙදුම්වාදී ජාතිවාදී බලවේග වලට මෙන්ම ඔවුන් සමග සන්ධාන ගතව සිටින අවස්ථාවාදී බලවේග වලට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් හෝ වෙනත් බරපතල සංශෝධන සිදු කිරීමේ සැබෑ උවමනාවක් නැත. එම බලවේග වෙනත් කුමන හෝ සංශෙෘ්ධන වලට එකගතාවය පල කරනු ලබන්නේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ සංශෝධන කිහිපය අත යටින් ඊට එකතු කිරීම සදහාය.

කෙසේ වෙකතත් එම න්‍යායාත්මක පැහැදිලි කිරීම මගින් වත්මන් ආණ්ඩුව සිතා මතා සැළසුම්කොට එම උගුලට පය තබන බවක් අදහස් කෙරෙන්නේ නැත. නමුත් එක් පැත්තකින් ගත්විට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ විවාදයට සහභාගීවන්නේ නැත. අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පමණින් බෙදුම්වාදීන් තම න්‍යායපත්‍රය හකුලා ගන්නේ නැත. ඔවුන් පවතින දේශපාලන තත්වයන් විසින් නිර්මාණය කරනු ලබන සෑම අවස්ථාවක්ම තම අවසන් සහ මූලික අරමුණ ඉටු කර ගැනීම සඳහා යොදා ගන්නා බවට කිසිදු සැකයක් නැත. දැනටමත් ඔවුන්ගේ එන්.ජී.ඕ බලඇනිය 19 අහෝසි කිරීමට එරෙහිව ජාත්‍යන්තර මට්ටමේ දී විරෝධතා ක්‍රියාවලියක් ආරම්භකොට ඇත. ඒ මහගින් ආන්ඩුවට යම් කොන්දේසි ඉදිරිපත් කිරීමට සහ ආන්ඩුව සමග කේවල් කිරීමට අවස්තාවක් පාදා ගැනීමේ හැකියාව ලැබේ. ඊට අමතරව විපක්ෂයේ සහාය ලබාගෙන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමටද බදුම්වාදී බලවේග කටයුතු කරනු ඇත. එසේම පොදුජන පෙරමුණට තම 2/3 බලය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන උතුරු සහ නැගෙනහිර පළාත්වල සුළු පක්ෂ වල සහාය ලබා ගැනීමේදීද ආණ්ඩුවට යම් කොන්දේසි පැනවීමේ ඉඩක් ඇත. ඒවා උතුරු නැගෙනහිර ජනතාව දිනා ගැනීම සහ පළාත්සභා කාර්යක්ෂම කිරීමේ නාමයෙන් ඉදිරිපත්වනු ඇත. ඊට අදාළ එකගතාවයන් මහජනයාට විවෘත නොවන අතර සාකච්ඡා කරනු ලබන පාර්ශවයන් අතර පමණක් සිදු විය හැක. ඒ අනුව 13 වන සංශෝධනයේ  වගන්ති සෘජුව සංශෝධනය කිරීම වෙනුවට 19 වැනි සංශෙෘ්ධනයේ සිදු කළ ආකාරයට බෙදුම්වාදීන්ට අවශ්‍ය සංශෙෘ්ධන ව්‍යවස්ථාවේ වෙනත් ස්ථාන වලට ඇතුල් කිරීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස ආණ්ඩුකාරවරයා පත් කිරීම ට අදාළ 13 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන එසේම තිබියදී ජනාධිපතිවරයාගේ බලතල යටතේ ආණ්ඩුකාරවරයා පත් කිරීමේ දී  මහ ඇමති විමසා පත්කිරීම සිදු කළ යුතු බවට ප්‍රතිපාදනයක් පැනවිය හැක.

මෙම තත්වය තුල  යම් සංවිධාන බෙදුම්වාදින්ගේ ව්‍යාජ සටන් පාඨ වල එල්ලීම ඉතා බරපතල උපාය මාර්ගික වරදක් වනු ඇත. එනම් ඒකීය වචනය වෙනස් කිරීමට යෝජනා කිරීම බරපතල වරදක් ලෙස හුවා දැක්වූ විට එම ඉල්ලීම අතහැරීම මඟින් හෝ එවැන්නක් සිදු නොකිරීම මගින්  මහජනයා තුළ ව්‍යාජ සුභවාදී මතයක් ගොඩ නැගිය හැක. ඒ තුළ ඉහත සඳහන් කළ ආකාරයට බෙදුම්වාදීන්ට අත්‍යවශ්‍ය සුළු සංශෝධන ප්‍රමාණය වෙනත් ආකාරයකට සම්මත කර ගැනීමේ ඉඩ ලැබේ. ඒවා කෙටුම්පතට ඇතුල් කිරීමට හෝ අවශ්‍ය වන්නේ නැත. එදා 19 වැනි සංශෝධනයේදී සිදු කළ ආකාරයට එම සංශෝධන කිහිපය ඉතා සූක්ෂමව පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේදී යෝජනා කළ හැක. එහිදී සදහන් කළ යුතු අතුරු කාරණාවක් ද ඇත. එ ව්‍යවස්ථාවේ ඒකීය වචනය තිබීම මගින් පමණක් ඒකීයභාවය සහතික නොවන බවය. මාවෙයි සේනාධිරාජාට එරෙහි චන්ද්‍රසෝම නඩු තීන්දුව අනුව ඒකීය ලෙස හදුන්වන රාජ්‍යයක එක් අන්තයක දැඩි මධ්‍යගත රාජ්‍යයක් මෙන්ම අනෙක් අන්තයේදී ෆෙඩරල් රාජ්‍යයක් පැවතිය හැකිය. ඉන්දියානු ‘’රෝ ‘’ ඔත්තුසේවාව විසින් 13 වැනි සංශෝධනය නිර්මාණය කරන්නේ ඒකීය වචනය ව්‍යවස්ථාවේ තිබියදීම රට බෙදීම සඳහාය. ව්‍යවස්ථාවේ ඒකීය වචනය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යවේ. එය කිසි විටෙක  සාත්ෂාත් කර ගතහැකි දෙයක් නොවේ. ඒ නිසා බෙදුම්වාදී බලවේග එවැනි ඉල්ලීම් මගින් ඝෝෂාවක් ඇති කරනු ලබන්නේ තමන්ට අවශ්‍ය සුළු සංශෝධන පිළිබඳව අවධානය වෙනතකට යොමු කිරීමට බව ඉතා පැහැදිලිය.

එදා 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී පැය 02 ක් ඇතුලත කෙටුම්පතේ නොතිබූ සහ අධිකරණයේ සැලකිල්ලට භාජනය නොවූ සංශෝධන 40 කට ආසන්න ප්‍රමාණයක් සම්මත කිරීමට එවකට අධිකරණ ඇමතිවරයා විසින් කටයුතු කළ අතර කථානායකවරයා ඊට විරෝධතාවයකින් තොරව ඉඩ ලබා දුනි. වර්ථමාන ආණ්ඩුව යටතේ එවැනි බලහත්කාරයක් සිදු නොවන බවට විවාදයක් නැත. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට විපක්ෂයේ බලවේග ඉතා සූක්ෂම ලෙස ආණ්ඩුව සමග එකගතාවයකට පැමිණියහොත් 13 වැනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට එරෙහිව පනවා ඇති බාධක හෙවත් අඩ කිහිපයක් ගලවා දැමීමට විනාඩි 10ක්වත් ගත නොවනු ඇත. එසේ කාරකසභා අවස්ථාවේදී ආණ්ඩුව සහ විපක්ෂය එකඟතාවයකින් යම් සංශෙෘ්ධන ඉදිරිපත් කළහොත් ආණ්ඩුවේ පාර්ශව ඊට එරෙහි විය හැක. නමුත් එවැනි අවස්ථාවක බෙදුම්වාදී හිතවාදී ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා අවශ්‍ය වන 3/2 විශේෂ බහුතර බලය විපක්ෂය විසින් ආණ්ඩුවට ලබා දෙන බවට කිසිදු සැකයක් නැත. මෙවැනි තත්වයක් ඇතිවීමට තිබෙන ඉඩ කඩ ඉතා සීමිත බවට බෙහෝ පිරිස් තර්ක කරනු ඇත. නමුත් එවැන්නක් සිදු විය හැකි සම්භාවිතාවය 1% වුවද ඒ පිළිබඳව අවධියෙන් සිටීම ඉතා වැදගත්වේ. ඊට හේතුව එම වරද ශ්‍රී ලංකාව නම් වූ ඒකීය රටේ පාර්ලිමේන්තුව විසින් සිදු කරන අවසාන වරද බවට පත්විය හැකි වීමය. ඉතා සුළු මොහොතකදී සැලසුම් සහගතව යම් මහජන නියෝ ජිතයන් පිරිසක් විසින් දියත් කරන කුමන්ත්‍රණයකින් නැවත නිවරදි කළ නොහැකි එම වරද සිදු විය හැක. එක් පැත්තකින් පරාජිත බෙදුම්වාදී බලවේග ඉතා සූක්ෂම ලෙස ආණ්ඩුවට යටත් වන බව පෙන්වා තමාගේ ඊනියා ‘’සුළු යෝජනා ‘’ ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. අනෙක් පැත්තෙන් ගත් විට පරාජිත බලවේග වලට ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා මීට වඩා මනරම් අවස්ථාවක් තවත් නොලැබෙනු ඇත. මෙම උගුලට ආණ්ඩුව පටලවාගනු ලැබුවහොත් ආණ්ඩුව සතු ජනවරමේ ජාතිකවාදී ආධ්‍යාත්මය මරණයට පත්වනු ඇත.

මෙම තත්වය තුල  බෙදුම්වාදී බලවේග වල ගොදුරක් බවට පත් නොවී  ආණ්ඩුවේ හදිසි ව්‍යවස්ථා සංශෝධන උවමනාව ඉටු කර ගැනීමේ මැද මාවතක් තිබේ. ඒ පළමුවෙන්ම අදාල කෙටුම්පත ගැසට් කිරීමට පෙර මහා සංඝරත්නයට සහ මහජනයාට ඉදිරිපත් කිරීමය. ඉන් පසුව මහජන සංවාදයකින් අනතුරුව එම කෙටුම්පත සංශෝධනය කළ හැක. ඉන් අනතුරුව ගැසට් කිරීමේන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක.  ඊට පසුව අධිකරනයේ අනුමැතියටඉදිරිපත් කොට අවශ්‍ය සංශෝධන සිදු කිරීමෙන් පසුව නැවත අධිකරණයට සහ මහජනයාට ඉදිරිපත් කළ යුතුය. ඒ සමගම එම අවසන් කෙටුම්තේ අඩංගු වන සංශෝධන හැර වෙනත් කිසිදු සංශෝධනයක් පාර්ලිමේන්තු කාරකසභා අවස්ථාවේදී ඇතුල් කිරීමට ඉඩ නොදෙන බවට ජනාධිපතුමා සහ අගමැත්තුමා විසින් මහා සංඝ රත්නයට සහ මහජනයාට පැහැදිලි සහ විශ්වාසනීය සහතිකයක් ලබා දිය යුතුය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More