August 22, 2020 12:54 pm | Lanka Lead News
භාවිතයට ගත නොහැකි විදුලි කණු යොදාගනිමින් දිවයිනේ ග්‍රාමීය මාර්ග සදහා පාලම් දහසක් ඉදිකිරීමට කටයුතු කර ඇතැයි, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පසුගිය දා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ එදින සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් යටියන්තොට මැතිවරණ කොට්ඨාශයේ එම පෙරමුණ මගින් ඉදිකල ප්‍රථම පාලම් දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එදින යටියන්තොට උඩුකුඹුර ප්‍රදේශයේ එකී ඔය හරහා වැටී ඇති පාලම සහ ගනේපල ප්‍රදේශයේ ඉදිකල පාලම් දෙක ජනතා අයිතියට පවරනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය මගින් දිවයින පුරා අතිදුෂ්කර ගම්මාන යා කරමින් නව පාලම් දහසක් ඉදිකෙරෙනු ඇත.
ඒ සඳහා රජයේ කිසිදු මුදලක් යොදා නොගන්නා බව විජිත හේරත් මහතා පවසයි.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ, ලංකා විදුලිබල මණ්ඩලය මගින් භාවිතයට යොදා නොගන්නා කොන්ක්‍රීට් විදුලි කණූ මේ සඳහා යොදා ගන්නා බවය.
ඊට අමතරව, එම පාලම් සඳහා අවශ්‍යවන අනෙකුත් අමුද්‍රව්‍ය සඳහා තම ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සාමාජිකයින්ගේ මූල්‍ය ප්‍රදානයන් යොදාගන්නා බව විජිත හේරත් මහතා මෙහිදී පැවසීය.
මේ පිළිබදව අදහස් දක්වමින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබන ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ ඉංජිනේරු ඉන්දික රාජකරුණා මහතා මෙවැනි පාලම් රජය මගින් ඉදි කිරීමේදී විශාල මුදලක් වැය වන බවත් පොදු ජන ඉංජිනේරු සංගමය රටේ ඉවත දමා ඇති බාවිතයට ගත නොහැකි ලයිට් කණු වැනි දෑ යොදා ගනිමින් ඉතාමත් අඩු මුදලකට මෙම පාලම් ඉදිකරන බවයි. එමෙන්ම යම් පුද්ගලයකුට හෝ ප්‍රදේශයකට මෙවැනි පාලමක් අවශ්‍යව තිබේනම් ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ වෙත ලිඛිතව ඉල්ලීමක් කරන ලෙසද ඉන්දික මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම අවස්ථාවට යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ඩී.වසන්ත, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සාමාජිකයින්වන ඉංජිනේරු ඉන්දික රාජකරුණා, ඉංජිනේරු ජානක මලවිආරච්චි සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්යය රංජිත් දිසානායක යන මහත්වරු එක්ව සිටියහ.





