පුරවැසි කොලම

ආණ්ඩුවට න්‍යාය පත්‍රයක්

August 13, 2020 7:27 pm | Lanka Lead News

ඉතිහාසය තුළ දේශපාලන පක්ෂ විසින් 2/3 ක සහ 5/6 වශයෙන් දැවැන්ත මැතිවරණ ජයග්‍රහණ ලැබූ අවස්ථා තිබිණි. එසේම පරාජයට පත් වූ පක්ෂවල මිනී පෙට්ටියට අවසන් ඇණයත් ගැසූ බව සිතමින් පාංශුකූලය දුන් අවස්ථාද නැතුව නොවේ. 1970දී එජාපයේ පරාජයත් 1977 දී ශ්‍රීලනිපයේ කතාවත් ඊට නිදසුන් සපයති. පක්ෂය යනු ජාතික අරමුණු වෙනුවෙන් වන දේශපාලන බලවේගයක සංවිධාන උපකරණය වන අතර ජාතික අරමුණු පසෙකලා, පක්ෂය වෙනුවෙන් දේශපාලනය කිරීම, ජීවත් වීමට කෑම ගන්නවා වෙනුවට කෑම ගැනීම වෙනුවෙන් ජීවත් වීමේ ක්‍රමයයි. 2020 මහා මැතිවරණය පොහොට්ටුව ලැබූ ජයග්‍රහණය උද්දාමයෙන් සහ සැණකෙළිවලින් නිමා නොවී මවුබිමේ ජයග්‍රහණයක් වූයේද යන්න තීරණය වන්නේ පස් වසක් අවසානයේ ඔවුන්ගේ කාර්ය සාධනය පිළිබඳව නැවත ඔවුන් ලබන මහජන අනුමැතිය තුළයි. විශේෂයෙන්ම ඇක්ටන් සාමිවරයා ප්‍රකාශ කළ ආකාරයට අධික බලය අතිශයින් දූෂිත වන අතර එසේ නොවීමට, 2/3 ජනවරම සම්මා සතියෙන් යුතුව මෙහෙයවීම ගෝඨාභයගේ උර මත පැවරී ඇත.

මැතිවරණ ප්‍රතිඵලය අංශ ගණනාවකින් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. වර්ගවාදී බෙදුම්වාදී පක්ෂවලට වරදාන නොදී තනි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බවට තිබූ මිථ්‍යාව මෙරට ජනයා විසින් සුන්නද්ධූලි කර තිබේ.

කෙසේ වුවද ආණ්ඩුවට මෙම මැතිවරණ ක්‍රමය තුළ නියෝජිතයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ගැන නැවත සිතන්නට සිදු වේ. මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් පනවා තිබෙන සීමාකිරීම් අතිශයින් ප්‍රශස්ත වන අතර, පෙර පැවති මජර හා නාස්තිකාර භාවිතාවන්ගෙන් ආර්ථිකයට, සමාජ ජීවිතයට හා පරිසරයට වන හානිය අවම වී තිබේ. ජනතාව ගෝඨාභය වෙනුවෙන් තම යුතුකම උපරිමයෙන් ඉටු කර තිබේ. ඔවුන් හැකි පමණ බූරුවන් අතරින් අශ්වයන් තෝරා ව්‍යවස්ථාදායකයට පත් කර තිබේ. නමුත් පක්ෂයෙන් නම් කරන බූරුවන්, අශ්වයන් බවට පරිවර්තනය කිරීමට ජනතාවගේ _ඡන්දයට නොහැකිය. ඒ නිසා අශ්වයන්ට පිවිසීමට හැකි පරිදි මැතිවරණ ක්‍රියාවලිය සංශෝධනය විය යුතුය. අතිවිශාල මැතිවරණ කොට්ඨාසයක් තුළ රස්තියාදු වන අපේක්ෂකයා, ඔහු තේරී පත්වුවහොත් දූෂණය හා අල්ලස නොකළහොත් නැවත පියවා ගත නොහැකි ණය උගුලක හිර කරවන ප්‍රචාරක වියදම්වලට ව්‍යවස්ථාපිත සීමාවන් පැනවිය යුතුය.

පවතින මැතිවරණ ක්‍රමය සමානුපාතික යැයි නම් කළ ද සමස්ත රටටම එය එවැනි සමානුපාතික නියෝජනයක් ලබා දෙන බවක් නොපෙනේ. දෙමළ ජාතික සන්ධානය ජන්ද 327168ක් හෙවත් 2.82 ප්‍රතිශතයක් ලබා මන්ත්‍රිධුර 10ක සංඛ්‍යාවක් ලබා ගන්නා විට 445958ක් හෙවත් 3.84 ලබා ගත් ජවිපෙට හිමිවන්නේ ආසන 3ක් පමණි.

අනෙක් අතට මැතිවරණ කොට්ඨාස නිර්මාණය කිරීමේදී වාර්ගික අන්තවාදීන් පිනවීම සඳහා සීමා නිර්ණය කිරීමේ ප්‍රතිඵල වන්නි දිස්ත්‍රික්කයෙන් මනාව පිළිබිඹු වේ. මුලතිව් දිස්ත්‍රික්කයෙන් ගලවා, අනුරාධපුරයට කෘත්‍රිම ලෙස බද්ධ කිරීමෙන් වන්නියෙ ජනසංයුතිය වෙනස් කර තිබේ. 13000 කට ආසන්න සිංහලයා වෙනුවෙන් කිසිදු නියෝජනයක් ලබා ගැනීමට මැතිවරණ ප්‍රතිඵල අපො​හොසත්ව ඇත. දරිද්‍රතාවයෙන් පෙළෙන කෘෂිකර්මාන්තයට වතුර ඉල්ලන වන්නියේ සිංහලයාට, කෝකිලායි වන විනාශයට පිළිසරණ පතන්නට සිදු වී ඇත්තේ අංක එකේ කෑලෑ පාළුවෙක්ගෙන්‍ වීම අභාග්‍යකි.

2020 මහ මැතිවරණයේදී පරාජයට පත් වූයේ 2015 යහපාලන රජයේ නරුම දේශපාලන ක්‍රියාවලිය පමණක් නොවේ. 2015 පෙර පැවැති විකාරරූපි විලම්භීත දේශපාලන සංස්කෘතියද ගෝඨාභයගේ ජනවරම තුළ නිශ්ක්‍රීය කර තිබේ. රාජ්‍ය සේවකයන් ගස් බඳින සංස්කෘතිය මෙන්ම හෙල්මට් නැති බයිසිකල් සවාරි සහ ඔක්ෂිජන් වෙනුවට ක්‍රීඩා පිට්ටනියක් ඉල්ලා රාජ්‍ය සේවකයන් තළා පෙළා දමන දේශපාලන විහිළුවලට ගෝඨාභයට ලබාදුන් ජනවරම තුළ ඉඩක් නැත.

ශතවර්ෂ ගණනාවක් පුරා බ්‍රිතාන්‍ය තුළ ක්‍රමිකව විකාශය වූ සම්ප්‍රදායන් අපට නීතිය වශයෙන් ක්‍රියාත්මක හා බලාත්මක කිරීමට සිදුවී තිබේ. මන්ත්‍රිවරුගේ චර්යාව පාලනය කරන ආචාර ධර්ම පද්ධතියක් ඉක්මනින් අවශ්‍යව තිබේ. මන්ත්‍රිවරයාගේ මැතිවරණ ක්‍රියාවලියේ සිට ඔවුන්ගේ වත්කම් බැරකම්, ලැබිය හැකි ත්‍යාග හා වරප්‍රසාද පමණක් නොව ඥාති සංග්‍රහයන්, ටෙන්ඩර් හා ව්‍යපෘති ගනුදෙනු සම්බන්ධ ළැදියාවන් වැනි විෂයන් එයින් ආවරණය විය යුතුය. එය හුදෙක් මග පෙන්වන ලේඛනයකට වඩා අධිකරණයක් මගින් බලගන්වන ලද මන්ත්‍රි ධුරය අහිමීවීම දක්වා දඬුවම් දිය හැකි නීතියක් විය යුතුය.

මැතිවරණයෙන් පසුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට වඩා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවකාශය ලැබි ඇත. අතනින් මෙතැනින් පැලැස්තර විසඳුම්වලට වඩා ආණ්ඩුවේ සියලු ආයතන එකිනෙකට සංවරණය හා තුලනය තුළ ක්‍රියාත්මක ව්‍යුහයක් නිර්මාණය විය යුතුය.

19 වන සංශෝධනයෙන් උදුරාගත් ජනාධිපතිවරයා වෙත පවරා ඇති විධායක බලය පාර්ලිමේන්තුවට පවරා දෙන අනුමිතියක් හෝ මේ ජනවරම තුළ නැත. වෙස්ට්මිනිස්ටර් අාකෘතිය යටතේ බෙදී ගිය පක්ෂ කණ්ඩායම්වල රූකඩයක් බවට පත්වන අගමැතිවරයකු , ශ්‍රී ලංකා රාජ්‍යය මධ්‍යයේදීම දුර්වල කරයි. ගෝඨාභය තුළින් අපේක්ෂා කරන්නේ ශක්තිමත් විධායකයකි. අනාගතයේදී සුළු ජාතික සහය නැතිව ජයග්‍රහණය කළ නොහැකිය යන මිථ්‍යාවට විසඳුම, ආසන මට්ටමින් පැවත්වෙන ඡන්ද විද්‍යාලයකින් ජනාධිපතිවරයා තෝරා ගැනීමයි.

යුද ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ කළ බරපතළ පැහැර හැරීමක් වූයේ පළාත් සභා සම්බන්ධයෙන් තීන්දුවක් නොගැනීමයි. චෙල්වනායගම්ගේ පණහට පණහ, වඩුක්කොඩේයි සම්මේලනයත්, තිම්පු සාකච්ඡාත්, පළාත් සභාත් ප්‍රභාකරන්ගේ ඊළාම් ත්‍රස්තවාදයත්, ඊනීයා දෙමළ නිජභූමි මිථ්‍යාව මත මූලය ලබා ඇත. රණවිරුවන් විසින් ප්‍රභාකරන්ගේ මිලිටරි තන්ත්‍රය පරාජයට පත් කළේ යම් සේද එම මතවාදය නියෝජනය කරන ආයතන ව්‍යුහයන්ද හකුලා දැමිය යුතුය. පළාත් සභා අත්‍යවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යුහයක් වූයේ නම් පළාත් සභා විසුරුවා හැර ඇති කාලය තුළ රට අකර්මණ්‍ය විය යුතුය. වාර්ෂික අයවැයෙන් සියයට 60කට වඩා පුනරාවර්තන වියදම් සඳහා දරන පළාත් සභා යටතට ගැනෙන පාසල් සහ රෝහල්වල සම්පත් සහ ප්‍රමිතිය පිළිබඳව පසුවිපරමක් තිබිය යුතුය. බොහෝ විට පළාත් සභා, ඉහළ මට්ටමේ දේශපාලනඥයන්ගේ දු දරුවන්ට ඉහළ දොර ඇරෙනතුරු තිබෙන විවේකාගාරයකි. ඉන්දියාවේ පුරවැසි පනත හා කාශ්මීර ප්‍රාන්තයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය අහෝසි කිරීමට මෝදි රජයට ලබා දී තිබූ ගැම්ම, මේ ජනවරම ගෝඨාභයට ජනතාව විසින් ඕනෑවටත් වඩා සපයා ඇත. ව්‍යවස්ථා සම්පාදනයට පරණ ෆෙඩරල් උගතුන්ගේ මණ්ඩලයක් පත් කළ හොත් නම්, යාන්ත්‍රණය ඉතිරි වී පළාත් සභා නම වෙනුවට වෙනත් නමක් ආදේශ වීම පමණක් සිදුවනු ඇත.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට හිමි ප්‍රමුඛත්වය ක්‍රියාත්මක කිරීමට වගකීම භාර ගන්නේ කවුද? වරාය, ගුවන් තොටුපළ, විදේශ කටයුතු අතර බුද්ධ සාසන අමාත්‍යංශය හුදෙක් නාම මාත්‍රික විවේකාස්ථානයක් පමණි. 9 වන වගන්තිය බලාත්මක කිරීමට නම්, 4(ආ) ව්‍යවස්ථාව, බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙමින් ආරක්ෂා කරමින් සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය තහවුරු කිරීමත් ජාතික ආරක්ෂාවත් ඇතුළු විධායක බලය ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාපිතව පැවරෙන ලෙස වෙනස් විය යුතුය. රාජ්‍යත්වය හා දළදා වහන්සේත් අතර ඇත්තේ ඓතිහාසික ආණ්ඩුක්‍රමික බැඳීමකි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ජරාජීර්ණ දේශපාලනයෙන් මුදා ගැනීමට නම්, ඔහුගේ කාර්යය, නීති සම්පාදනය හා මුදල් අනුමත කිරීමට සීමා කළ යුතුය. ආණ්ඩුවේ විධායක බලය, ජනාධිපතිවරයා විසින් තෝරා ගනු ලබන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට යටත් සුදුසු ප්‍රවීණයන් පිරිසක් මගින් ක්‍රියාත්මක කළ යුතුය.

දේශපාලන හෙංචයියාලට නවාතැන්පළක් වූ ප්‍රාදේශීය සභාව, ආසන සංවිධායකගේ ලැයිස්තුව මත නැටවීම වැළැක්වීමෙන් ඵලදායි මහජන නියෝජිත ආයතනයක් කළ හැකිය. ආසන ලැයිස්තුව වෙනුවට කොට්ඨාස වශයෙන් ස්වාධීනව ඉදිරිපත් වීමට අවස්ථාව දීමෙන් බිම් මට්ටමේ තිබෙන පක්ෂ ග්‍රහණය දුර්වල කළ යුතුය. කොට්ඨාසය තුළ නියෝජිතයාත් සාමාජිකයකු වන ජනසභාවත් තුළ පන්සලේ හාමුදුරුවන්, විදුහල්පති, ග්‍රාම නිලධාරි ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ සහ සමිති සමාගම්වල නියෝජනයක් තුළ ගමේ සැබෑ අවශ්‍යතා හඳුනාගත හැකිය.

ජාතික උරුමයේහි සජීවි පැවත්ම පිළිගනු ලබන , භික්ෂුවත්, බෞද්ධයාගේ වැඳුම් පිළිවෙත්වලට අනුකූලවන ප්‍රජාපාදක ජාතික උරුම කළමනාකරණ පනතත් ආණ්ඩුවේ ප්‍රමුඛතාවක් විය යුතුය.

රණවිරු අභිමානයේ කර මතින් බලයට පත් වූ ආණ්ඩුවක් වශයෙන්, රණවිරුවන්ට පෝරකයක් වූ ජිනීවා චෝදනාවලට සහේතුකව ප්‍රතිචාර දැක්වීමත් 30/01 යෝජනාවට ආනුසාංගිකව පනවන ලද සියලු මර්දන පනත් අහෝසි කළ යුතුය. එම පනත් මේ වන විටත් බලාත්මක අතර බටහිරට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ජාතිය මත අතහැරිය හැරිය හැකි තර්ජනාත්මක අසිපතක් ලෙස ක්‍රියාත්මක වේ.

ඉතිහාසය හෝ අතීතයේ කළ මෙහෙවරට වඩා අද සිදු වන්නේ කුමක්ද සහ කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ජනතාව සංවේදි වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ පැරණිම පක්ෂ වූ එජාපයටත්, ශ්‍රීලනිපයට සහ ජවිපේ කුජීත පරාජයක් ලබා දෙමින් ඡන්දදායකයා පෙන්වා ඇත්තේ කයිවාරුවට වඩා වැඩ පිළිබඳව ඔවුන්ගේ ඇගයීමයි. ගෝඨාභය රජයට මේ පක්ෂවල පරාජයම දේශපාලන තක්සලාවකි.

  • නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More