පුරවැසි කොලම

ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම නොසලකා හරිමින් ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ දිගින් දිගටම රැුදී සිටිය යුතු බවට උපදෙස් දෙන පිරිස් මූලික වශයෙන් තර්ක තුනක් ඉදිරිපත් කරති. ඉන් පළමු වැන්න ‘‘පමා කිරීමේ’’ තර්කයයි. එවැනි තර්කයකට මුල්වන සිතිවිල්ල සමාන කළ හැක්කේ මීයා මරා දැමීමට පෙර පූසා විසින් ඌ සමග සෙල්ලම් කරමින් ගත කාරන කාලය තමාගේ වාසියට හේතුවන බවට මීයා විසින් කල්පනා කිරීමටය. එම ‘‘සෙල්ලම’’ තුළ යම් අහුඹු සිදුවීමකින් මීයා ගේ පණ බෙරීමට ඉඩක් ඇතත් සැම විටම එම සෙල්ලමේ අවසානය තීන්දු කරන්නේ පූසා විසින් මිස මීයා විසින් නොවේ. ආණ්ඩුව ඉතා සැලසුම් සහගතව ඉදිරියට ගෙන යන ක‍්‍රියාවළිය තුළ ‘‘හුරතල්’’ වෙවි සිටීම අවශ්‍ය නම් මහජනයා ගොනාට ඇන්දවීම සඳහා කාලය මැරීමේ උපක‍්‍රමයක් ලෙස හුවා දැක්විය හැක.

තම මාමාට මෙන් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය කෙසේ වෙතත් තුනෙන් දෙකක බලයවත් තිබුණා නම් රනිල්වික‍්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවමින් කාලය නාස්ති කරන්නේ නැත. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයවත් නැති ඔහුට ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ අනුමැතිය ලබා ගැනීමට නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආශිර්වාදය අවශ්‍ය වේ. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඔවුන් සමග ‘ව්‍යවස්ථා වටවන්දනාවක්’ යාමට තීරණය කරන්නේ ඒ නිසාය. ආණ්ඩුව යම් විටෙක ඒකාබද්ධ විපක්‍ෂය කියන ආකාරයට කාලය මරමින් ඔවුන්ගේ පදයට නටන බව පෙන්නුවත් ව්‍යවස්ථා මණ්ඩලය තුළ ඒ දෙපාර්ශ්වයම නටන්නේ එම්.ඒ සුමන්තිරන් සහ ජයම්පති වික‍්‍රමරත්න නම් වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන්ගේ පදයට බව සැ`ගවිය නොහැක.

ආණ්ඩුවට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට හෝ එය තවදුරටත් දුර්වල කිරීමට සැබෑ ලෙසම අව්‍යතාවයක් තිබුණානම් 19 වැනි සංශෝධනය මගින්ම එය සිදුකළ හැකිව තිබිණි. ඒ සඳහා අධිකරණයෙන් පවා උපදෙස් ලැබුණි. එසේම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට සැබෑ අවශ්‍යතාවයක් තිබුණා නම් ඊට අදාල සංශෝධන ද 20 වැනි සංශෝධනය ලෙස කඩිනමින් සම්මතකර ගත හැකිව තිබුණි. එදා බලහත්කාරයෙන් විපක්‍ෂය බවට පත් කළ ඊට පෙර ආණ්ඩු පක්‍ෂය ලෙස කටයුතු කළ මන්ත‍්‍රිවරුන් ඒ සඳහා තුනෙන් දෙකක බහුතර කැමැත්ත ලබාදෙන බවට විවාදයක් නැත. ඊනියා සිවිල් ක‍්‍රියාකාරීන් අතලොස්සක් පාර්ලිමේන්තුව අසලට කැඳවා ඔවුන් බියපත් කිරීමට හෝ ඇන්දවීමට ආණ්ඩුව සමත් විය. 19 වැනි සංශෝධනයට කැමැත්ත දීම මගින් ඔවුන් විසින් තම නායකයාගේ සිවිල් අයිතිවාසිකම් නැතිකරන තැනකට තල්ලූ කිරීමට ආණ්ඩුව සමත් විය. එදා ආණ්ඩුවට එවැනි පුළුල් සංශෝධනයක් සඳහා අවංක උවමනාවක් තිබුණා නම් ජනමතවිචාරණයකදී ජයගැනීමේ හැකියාව පවා තිබුණි.

නමුත් එම සංශෝධන අතරට ජනාධිපතිවරණ මැතිවරණයට පෙර බෙදුම්වාදීන්ට ලබාදුන් පොරොන්දු ඉටුකිරිමේ ප‍්‍රතිපාදන ඇතුළ් කළා නම් ඒ ආකාරයට තුනෙක් දෙක ලබාගැනීමට හැකිවන්නේ නැත. ඒ නිසා ඉහත සඳහන් කළ ආකාරයට ව්‍යවස්ථා මණ්ඩල වටවන්දනාව අවශ්‍ය වන්නේ ඒ ‘අමාරු කොන්ත‍්‍රාත්තුව’ ඉටු කිරීම සඳහා බව විපක්‍ෂයට තේරුම්ගත නොහැකිද? ඒ බව තේරුම්ගත්තා නම් ඔවුන් ඉතා නිහතමානීව සහ විනීතව කළ යුතුව තිබුණේ එක් දෙයකි. එනම් ජනවරමක් නොමැතිවීම සහ ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන නොමැතිවීම යන නිදහසට කාරණා ඉදිරිපත් කරමින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඇතුල්විය නොහැකි බව ප‍්‍රකාශ කිරීමයි. එම යාන්ත‍්‍රණයට විපක්‍ෂය කැමතිවිය යුතු බවට මහජන උද්ඝෝෂණයක් නොතිබිණි. විපක්‍ෂය ඊට එක`ග නොවුනානම් සමස්ථ පාර්ලිමේන්තුවම සහභාගීවන ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවිය නොහැක. එම අවස්ථාවේදී අවශ්‍යනම් වඩා සාධාරණ වීම සඳහා ව්‍යවස්ථාවේ පවතින ප‍්‍රතිපාදන වලට යටත්ව තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටීමට විපක්‍ෂයට අවස්ථාව තිබුණි. එසේ වුවානම් ආණ්ඩුවට තම යෝජනා ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට සිදුවේ. එසේවුවානම් මේ ව්‍යවස්ථා මණ්ඩලයේ සාකච්ඡුාවන යෝජනා තමාගේ යෝජනා නොව විපක්‍ෂය එකගවූ යෝජනා යෝජනා බව කියමින් මහජනයා සම`ග විහිළු කිරීමට අවස්ථාවක් අගමැතිවරයාට ලැබෙන්නේ නැත.

ජාතිවාදී බෙදුම්වාදී බලවේග මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම සඳහා අවශ්‍ය වන සටන් පාඨයක් ලෙස විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධ බව පෙන්වුවත් ඉතිහාසය පුරාම ඔවුන්ගේ කේවල් කිරීමේ බලය වර්ධනය වුයේ ඒ යටතේය. යුද්ධය තීරණාත්මකව අවසන් කිරීම සඳහා විධායක ජනාධිපති බලය යොදාගැනීම ඔවුන්ට අවාසියක් වුවත් ඔවුන්ගේ වර්තමාන දේශපාලන උපායමාර්ගය තුළ ඊළ`ග මැතිවරණය පෙන්වා ව්‍යවස්ථා සංශෝධන අනුමත කරගත හැක්කේ විධායක ජනාධිපති ක‍්‍රමය රැුකුණහොත් පමණි. ඔවුන්ට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කර ගැනීමටය. 19 වැනි සංශෝදනය මගින් යම් බාධක ප‍්‍රමාණයක් ඉවත් වූ අතර දැන් අවශ්‍ය වන්නේ ඊළ`ග ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉතිරි බාධක ඉවත්කොට එය තවදුරටත් ශක්තිමත් කර ගැනීමය.

ජාත්‍යන්තර බලවේග විසින් මානව හිමිකම් ‘‘කෙවිට’’ යොදාගනිමින් ආණ්ඩුවට බලකරන්නේ ඒ සඳහා පමණි. අද එම කෙවිට ප‍්‍රභාකරන්ගේ මලටි බැරල් වලටත් වඩා බලවත් වී ඇත. ඉන්දියාවට අවශ්‍ය වන්නේද 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන ව්‍යවස්ථා සංශෝධනයක් පමණි. ඒකාබද්ධ විපක්‍ෂයට උපදෙස් දෙන යම් උපදේශකයින් 2009 ජිනිවා යෝජනා වලට අතුල් කරනු ලැබුවේ ඊට අදාල පොරොන්දුවකි. ඉන්පසුව ඔවුන් ඊට අදාළ පොරොන්දුවක් ඉතා සුක්‍ෂමව මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ලිමේන්තු මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයටද ඇතුල් කරනු ලැබීය. දැන් ඔවුන් තමා දියට දමන්නට එයා යැයි නරියාට තර්ජනය කරන ඉබ්බා මෙන් ආණ්ඩුවට තර්ජනය කරන්නේ 13 සංශෝධනයෙන් එහාට දශමයක්වත් නොයා යුතු බවටය. නමුත් හදිස්සියෙන් හෝ බලහත්කාරයෙන් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කළහොත් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගැනීම දුෂ්කර වේ. එවැනි අන්තරාදායක ක‍්‍රියාවක් සඳහා සුමන්තිරන් මහතා හෝ ජයම්පති වික‍්‍රමරත්න මහතා විසින් උපදෙස් නොදෙන බවට විවාදයක් නැත. ඉහත සඳහන් කළ ව්‍යවස්ථා වට වන්දනාව අවශ්‍ය වන්නේ ඒ අමාරු අභියෝගය ඉතා සුක්‍ෂමව ජය ගැනීම සඳහාය.

දැන් ඉතා සංකීර්ණ සහ කාලය ගතවන ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය තුළ ‘‘ඒකීය වචනය ඉවත් කිරීම හෝ බුද්ධාගමට හිමි තැන අහිමි කිරීම’’ වැනි ව්‍යාජ සංවාද හෙවත් ඝෝෂා මගින් සැබෑ අරමුණ සැ`ගවීමට ආණ්ඩුව සමත් වී ඇත. එය ඉතා දියුණු මානසික යුධ උපක‍්‍රමයකි. පවතින තත්වය තුළ ව්‍යවස්ථා මණ්ඩලයෙන් ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ හැකියාව නැත. ඒ අනුව 13 වැනි සංශෙෘ්ධනය බලාත්මක කිරීම ස“දහා හෙවත් ‘‘දෙමළ ජනතාවට සාධාරණය ඉටුකිරීම’’ සඳහා ඉතා සරල ‘‘සුළු සංශෝධන’’ ප‍්‍රමාණයක් නිර්දේශ කෙරෙනු ඇත. එහිදී ‘‘කාලය මැරීමේ උපක‍්‍රමය’’ මගින් රටේ ඒකීය භාවය සහ බුද්ධාගම බේරාගත් බවට උදම් ඇනීමට ද බෙදුම්වාදී බලවේග විසින් ඒකාබද්ධ විපක්‍ෂයට අවස්ථාව ලබාදෙනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුවේ මානසික යුද උපක‍්‍රමයට ගොදුරු නොවූ බව සහ ඊනියා කාලය මැරීමේ උපක‍්‍රමය ඔවුන් විසින් දැනුවත්ව සහ සක‍්‍රියව යොදා ගන්නා බව ඔප්පු කිරීම සඳහා අවශ්‍යනම් පහත සඳහන් ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීය හැක.

1. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවීමේ යෝජනාවේ 11 වැනි වගන්තිය උල්ලංඝණය කරමින් උපකමිටුවල සාකච්ඡුා ජන මාධ්‍යයට නිර්වරණය නොකිරීමේ වරදට එරෙහිව සටන් කොට ඒවා මාධ්‍යයට නිර්වරණය කිරීම සඳහා සටනක් නොකලේ කුමක් නිසාද?

2. එක් උපකමිටුවකින් ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රිවරයා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා උදය ගම්මන්පිල මන්ත‍්‍රිවරයාගේ නම යෝජනා වූ විට ආණ්ඩුව විසින් ඔහුට දොර වැසීමට එරෙහිව දොරට පයින් ගසා විරෝධය පළ නොකළේ කුමක් නිසාද?

3. උපකමිටු තුළ මන්ත‍්‍රිවරුන්ගේ අදහස් හා යෝජානා නොසලකා හැරීම පිළිබඳව සහ කාලය නොමැති බව පවසමින් යම් මන්ත‍්‍රිවරුන්ගේ නිර්දේශ උපකමිටු වාර්තාවලට ඇතුල් නොකිරීමට එරෙහිව සිහින් කෙඳිරියකින් හෝ විරෝධය පළ නොකළේ කුමක් නිසාද?

4. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාව උල්ලංඝණය කරමින් අමතර උප කමිටුවක් පිහිටුවීමෙන් සහ එම යෝජනාවට පරිභාහිරව පත්කළ මහජන අදහස් කමිටුවෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව දෙවන වාර්තාවක් කැදවීමේදී ඊට එරෙහි නොවූයේ කුමක් නිසාද?

5. ව්‍යවස්ථා මණ්ඩලය පිවිටුවීමේ යෝජනාව අනුව මහජන අදහස් ලබා ගැනීම සඳහා නව යාන්ත‍්‍රණයක් පිහිටුවීම අවශ්‍ය බවට සාධාරණ සටනක් කළ හැකිව තිබුණත් එසේ නොකළේ කුමක් නිසාද?

6. මෙහෙයුම් මණ්ඩලයට වරින් වර ඉදිරිපත් කළ වාර්තා කෙටුම්පත් මන්ත‍්‍රීවරුන්ට ලබා නොදී රහසිගතව තබා ගැනීමට එරෙහිව ප‍්‍රසිද්ධියේ විරෝධය ප‍්‍රකාශකොට එය නිවැරදි කිරීම සඳහා මහජනයාට දැනෙන සහ පෙනෙන ක‍්‍රියාමාර්ග නොගත්තේ කුමක් නිසාද?

ඒකාබද්ධ විපක්‍ෂය සැබෑ ලෙසම ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියට විරුද්ධ නම් ඊට එරෙහිවීම රහසගතව සිදුකළ නොහැක. එය මහජනයාට දැනෙන ලෙස සහ පෙනෙන ලෙස සිදු කළ යුතුය. නමුත් ඔවුන් විසින් ව්‍යවස්ථා ක‍්‍රියාවලියට එරෙහිව නිළ වශයෙන් අඩු තරමින් සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට හෝ පත‍්‍රිකාවක් බෙදාහැරීමටවත් ක‍්‍රියාකළේ නැත. එම නිසා ඔවුන් විසින් කාලය මැරීම සඳහා ඉටුකරන බව කියන භූමිකාව සත්‍ය වශයෙන්ම ආණ්ඩුවේ උවමනාවට යටත්වීමක් නොව දැනුවත්ව ගන්නා වූ සක‍්‍රීය දේශපාලන ක‍්‍රියාමාර්ගයක් බව ඔප්පු කිරීම ඔවුන්ගේ වගකීමකි.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉදිරිපත් කරන දෙවන තර්කය වන්නේ තොරතුරු දැනැගැනීම සඳහා ව්‍යවස්ථා මණ්ඩලය තුළ දිගටම රැුදී සිටින බවය. ඔවුන් එම තර්කය සාධාරණිකරණය කරන්නේ ආණ්ඩුව විසින් වරින් වර මෙහෙයුම් මණ්ඩලයට ඉදිරිපත් කරන විවිධ කෙටුම්පත්වල අඩංගු කරුණු දැනගැනීම මගින් නව ව්‍යවස්ථා කෙටුම්පතේ හෝ සංශෝධන කෙටුම්පතේ අඩංගු විය හැකි දේ පිළිබඳව පූර්ව නිගමනයකට එළඹිම පහසු වන බවට කරුණු දක්වමනි. ඒ පිළිබඳ බරපතළ විවාදයක් තිබිය නොහැක. එහෙත් අභිසාරිකාවන් සේවා සපයන තැනක සිදුවන දේ ගැන දැන ගැනීමට එම ස්ථානයේ ලැගුම්ගත යුතුද? එසේම නූතන ඉලෙක්ට්‍රොනික් යුගයේදී දෙවන ලෝක සංග‍්‍රාමය පැවැති කාලයේදී මෙන් යුද පිටියට ඇතුල්වී ඔත්තු බැලීමේ උවමනාවක් නැත. කෙසේ වෙතත් අන්තිම දිනය තෙක් ඒ තුළ රැුදී සිටින කාලය තුළ තොරතුරු දැනගැනීමට අමතරව තවත් බොහෝ දේ සිදුවේ. විශේෂයෙන්ම එම කාලය ගතකිරීම තුළ විපක්‍ෂය නොදන්නවා යැයි කියන එහෙත් දේශපාලන උපාය මාර්ගික ඥානය තිබෙන අය ඉතා හොඳින්ම දන්නා ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත භයානක සංශෝධනවලට එරෙහිව මහජනයා පෙළගැස්වීම අපහසු වේ. බාහිර පාර්ශ්ව වලටද ගෙන ඒමට නියමිත භයානක සංශෝධන පිළිබඳව මහජනයා දැනුම්වත් කිරීම අපහසු වන්නේ එම යෝජනා විපක්‍ෂයේ එක ගතාව සහිතව ඉදිරිපත් කෙරෙන බවට මහජනමතයක් ඇති වී තිබෙන බැවිණි.

තොරතුරු දැනගැනීමේ නිදහසට කාරණයට අදාළව ඊට පක්‍ෂව මත දක්වන්නන්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්න දෙකක් තිබේ. පළමුවැන්න ආණ්ඩුව කරන්නට හදන දේ හෝ ඔවුන්ට කරන්නට සිදු වී ඇති දේ හෝ ඔවුන් විසින් කරන්නට බාරගත් කොන්ත‍්‍රාත්තුව පිළිබඳ කිසිදු අවබෝධයක් ඒකාබද්ධ විපක්‍ෂයේ උපදේශකයින්ට නැත්ද? ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩංගු වන වගන්ති සහ වචන නිශ්චිතව දැක්විය නොහැකි වුවත් ඊට අදාළ සංකල්පීය රාමුව දැකීමට ඔවුන්ට මහා දේශපාලන උපායමාර්ගික ඥාණයක් අවශ්‍යවන්නේ නැත. ආණ්ඩුව වරින් වර ඉදිරිපත් කරන ලේඛන පරාක්‍ෂා කරමින් ඒවා සූක්‍ෂමව වචන අර්ථයෙන් විග‍්‍රහ කිරීම අවශ්‍ය වන්නේ අණ්ඩුව විසින් යම් ආකාරයකට රටට යහපත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවට ඔවුන් තුළ යම් විශ්වාසයක් තිබෙනවානම් පමණි. ආණ්ඩුව පිළිබඳව ඔවුන්ට අල්පමාත‍්‍ර වූ හෝ එවැනි විශ්වාසයක් තිබේනම් සහ ඔවුන් ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග වලට එරෙහිව දේශපාලන උපායමාර්ග තෝරන්නේ එම විශ්වාසය මත පදනම්ව නම් රටේ ජනතාවට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි.

කෙසේවෙතත් අනසානයේදී අනිවාර්යෙන්ම සිදුවන බවට කිසිදු සැකයක් නැති ආණ්ඩුව කෙරෙහි වන විශ්වාසය බිඳවැටීමේ ඛේදවාචකය සිදු වූ පසුව ඒකාබද්ධ විපක්‍ෂය විසින් කළ යුත්තේ කුමක්ද? එක්පැත්තකින් ඔවුන්ට කෙටුම්පතේ අඩංගු ප‍්‍රතිපාදන වලට එරෙහිව අධිකරණය හමුවේ අභියෝග කිරීමට සිදුවේ. අනෙක් පැත්තෙන් ඔවුන්ට මහජන අධිකරණය හමුවේ දේශපාලන වශයෙන් ඊට එරෙහිව අභියෝග කිරීමට සිදුවේ. ආණ්ඩුව විසින් රටට යහපත් ව්‍යවස්ථා සංශෝදනයක් ගෙන එන බවට හෝ බෙදුම්වාදීන් සතුටු කරන රටට හානිකර සංශෝධනයක් ගෙන එන බවට යන කුමන ආකාරයට විශ්වාසය තබා කටයුතු කළත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා ලැබෙන්නේ එකම කාලයකි. එනම් අවසන් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු අවම වශයෙන් සති 2ක කාලයකි. ඒ සඳහා ව්‍යවස්ථා මණ්ඩලය තුළ දිගින් දිගටම රැුදී සිටියත් නැතත් අවසන් කෙටුම්පත නිකුත්වන තෙක් බලා සිටිය යුතුය. එනම් ඊට පෙර කුමන තොරතුරු දැනගත්තද අධිකරනපය හමවේ අභියෝගයට ලක් කළ යුතු නිශ්චිත ප‍්‍රතිපාදන පිළිබඳව දැනුම්වත් විය හැක්කේ අවසන් කෙටුම්පත දැකීමෙනි.

එසේනම් විපක්‍ෂයට උපදෙස් දෙන නීති විශාරදයන්ට තුමන තත්වයක් යටතේ වුවත් ලැබනේනේ එකම කාලයකි. එම කාලය තුළ එම කෙටුම්පත අධ්‍යයනය කොට පෙත්සම් ගොනු කිරීමට ඔවුන් දක්‍ෂ විය යුතුය. ‘‘චන්ද්‍රිකා පැකේජයේ සිට අද දක්වා බෙදුම්වාදී ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ පෙළගැස්වෙන ප‍්‍රවනකාවයන් පිළිබඳ දැනුම සහිත විද්වතුන්ට එය එතරම් අභියෝගයක් නොවනු ඇත. එවැන්නන් මෑතකාලීනව ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් වූ යම් ලේඛන පිළිබඳ පූර්ව දැනුමක් සහිත වුවද එසේ නොමැති වුවද ඔවුන්ට එය අභියෝගයක් නොවනු ඇත. යම් විද්වතුන් තමාට එවැනි හැකියාවක් නොමැති බව පවසන්නේ නම් ඊට අදළ හැකියාව සහිත උපදේශකයින් සොයා ගැනීම ඒකාබද්ධ විපක්‍ෂයේ වගකීමකි. ව්‍යවස්ථා මණ්ඩලයට වරින්වර ඉදිරිපත් කෙරෙන විවිධ ලේඛනවල අඩංගු කරුණු දැනගත් පමණින් එම හැකියාව ලැබෙන්නේ නැත.

මීට පෙර අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත නමින් දේශිය යුද අපරාධ යාන්ත‍්‍රණයක් පිහිටුවීමේ ව්‍යවස්ථා විරෝධි පනතක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ අවස්ථාවේදී ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීමට නොහැකි වූයේ කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා නොවේ. ඊට හේතු වූයේ පනත් කෙටුම්පතේ වගන්ති වලට පිටු පසින් තිබෙන දේශපාලන උවමනාව තේරුම් නොගැනීමය. ඒ අනුව අවශ්‍යනම් ඒකාබද්ධ විපක්‍ෂයට ආණ්ඩුවේ දේශපාලන අරමුණු තේරුම් ගැනීම සඳහා ව්‍යවස්ථා මණ්ඩලයේ රුදී සිටිය යුතුය යන තර්කය තවදුරටත් සාධාරණිකරනය කළ හැක. අවශ්‍යනම් එය පිළිගනිමින් ඒකාබද්ධ විපක්‍ෂය මෙතෙක් කලක් ව්‍යවස්ථා මණ්ඩලය තුළ රැුදී සිටිම සාධාරණිකරනය කළ හැකි නමුත් මේවන විට ආණ්ඩුවේ දේශපාලන අරමුණු තේරුම් ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයට තොරතුරු දැනගෙන ඇති බැවින් මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම නොසලකා හරිමින් තවදුරටත් ව්‍යවස්ථා මණ්ඩලය තුළ රැුදී සිටීම දේශපාලන වශයෙන් සාධාරණිකරණය කළ නොහැක. ආණ්ඩුව සහ විපක්‍ෂය යන පාර්ශ්ව දෙකම මහනායක හිමිවරුන්ගේ ඉල්ලීමට එකම ආකාරයෙන් ප‍්‍රතිචාර දැක්වීමේ දේශපාලන වරද තේරුම් ගැනීමට තව කොතෙක් තොරතුරු දැනගත යුතුද? එවැනි වරදක් සිදුවිය හැක්කේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම ගෙන එන ව්‍යවස්ථා සංශෝධයට ඉඩ දීම ස`දහා ආණ්ඩුව සමග හෝ වෙනත් පාර්ෂව සමග රහස් එකගතාවයක් තිබේනම් පමණි.

කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් අධිකරණයේදී අභියෝගයට ලක්වන්නේ එය පවතින ව්‍යවස්ථාවට අකුකූල ද යන පදනමින් පමණි. එම කෙටුමපත දේශපාලන වශයෙන් අභියෝගයට ලක්වන්නේ මහජන අධිකරණය හමුවේය. ශ්‍රේෂ්ථාධිකරණය හමුවට යෑම සඳහා සති 2ක් හෝ 03ක් ප‍්‍රමාණවත් වුවද මහජන අධිකරණයේ තීන්දුව ගැනීම සඳහා එම කාලය කිසිසේත්ම ප‍්‍රමාණවත් නෙවේ. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් හැකි ඉක්මනින් එළියට පැන ගැනීම වැදගත් වන්නේ මහජන විරෝධය කුළුගැන්වීම සඳහාය. පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථා කෙටුම්පතට තුනෙන් දෙකේ බහුතර කැමැත්ත අහිමි කළ හැක්කේ මහජන විරෝධය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ඇ`ගට දැනෙන ප‍්‍රමාණයට සාපෙක්ෂ්ව මිස ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ ඔවුන් සම`ග කරනු ලබන කථා බහට සාපේක්ෂව නෙවේ.

විවිධ ‘‘ක‍්‍රීඩා වලින් ඔළු ගෙඩි මාරු කළ හැකි යැයි සුරංගනා කථා කියන පිරිස් වලටද එම කාර්යය පහසු වන්නේ මහජන විරෝධයේ ප‍්‍රමාණයට සාපේක්ෂවය. ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ තුන්වන නිදහසට කාරණය වන ඇතුලේ සිටිමින් මිත‍්‍රකමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් 24ක් තම පැත්තට ගැනීමේ උත්සාහය ද බොළඳ ක‍්‍රියාවක් බව ඔප්පු වේ. එම නිසා පළමුව වැදගත් වන්නේ ආණ්ඩුව විසින් රටට යහපත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකරන බව පිළිගැනීමය. දෙවනුව එසේ පිළිගන්නවා නම් ආණ්ඩුවේ නිශ්චිත උපාය මාර්ගික සැලූසම සිතියම් ගතකොට එය මහජනයාට එළිදරව් කළ යුතුය. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයවත් නොමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට කළ හැකි දේ සහ කළ නොහැකි දේ මෙන්ම ඔහු ‘‘මරාගෙන මැරී හෝ’’ ඉටුකරන කොන්ත‍්‍රාත්තුව සිතියම් ගත කළ හැකි විද්වතුන් විපක්‍ෂයට නොමැතිනම් වහා එවැන්නන් සොයා ගත යුතුය. ඉන් පසුව තේරිය යුතු නිවැරදි උපාය මාර්ගය වන්නේ මහානායක හිමිවරුන්ගේ මතයට ගරු කරමින් වහාම ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් වී මහජන විරෝධය කුළු ගැන්වීමය. අවසානයේදී පනත් කෙටුම්පත ඉදිරිපත් වූ පසුව ඉහත සඳහන් කළ ආකාරයට ශ්‍රේශ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීමේ අතුරු කාර්්‍යය ඉටු කිරීමට ඒ මගින් බාධාවක් එල්ල නොවේ.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More