පුරවැසි කොලම

ජනතාවගේ කැමැත්ත පරිදි නායකයකු තෝරා ගැනීමට ඇති අවස්‌ථාව නැති කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යය හෑල්ලු කිරීමකි.

කවුරු මොන නීති තර්ක ඉදිරිපත් කළත් අවසානයේ දේශපාලන නායකයන් තෝරා පත්කර ගැනීමේ කාර්යය ඉටුවිය යුත්තේ පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුවයි. දැනට එහි ඇති ව්‍යවස්‌ථාවන් ඉවත් කිරීම හෝ වෙනස්‌ කිරීම කළ යුත්තේ ජනතා සුවසෙත සැලසීම සඳහා මිස වෙනත් අරමුණු මත නොවිය යුතුය. ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විසිවෙනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ඉතා විමසිල්ලෙන් කියවා බැලීමු. පිටු 17කින් යුත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම්පතක්‌ ලෙස ඉදිරිපත් කර ඇති එම ලියවිල්ල පුරාම කියා ඇති සියලුම කාරණා වලින් ගම්‍ය වනුයේ විධායක ජනාධිපති ධුරය නිෂ්ක්‍රිය කිරීමයි. ජනාධිපති ධුරය අහෝසි කළා නම් ඊට වඩා වැදගත් යෑයි සිතේ.

1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් නිර්දේශිත විධායක ජනාධිපති ධුරයට අදාළව නිර්දේශ අතර ඉවත් කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණය හමුවට යාමට නොහැකි බව පැවසෙන ව්‍යවස්‌ථාව පමණි. නීතිය සියල්ලන්ටම එක සමාන නම් ජනාධිපතිවරයාද ඒ සියල්ලන් අතර කෙනකු බැවින් ඔහුට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ තිබිය යුතුය. එම පැනවීම හැර ජනාධිපති ධුරයට පැවරෙන අනෙකුත් බලතල සියල්ලක්‌ම එසේ තිබිය යුතුය. ඒවායින් රටට හෝ ජනතාවට හානියක්‌ සිදු නොවේ. ජනාධිපතිවරයා සතුව පැවති එම විධායක බලතල 2009 මැයි 18 වන දා ත්‍රස්‌තවාදය නිමා කිරීමටද මහත්සේ උපකාර විය. ඡේ.ආර්. ජයවර්ධනගේ පටන් පස්‌වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමාට පෙර සිටි ජනාධිපතිවරුන්ටද එම බලතල යොදාගෙන ත්‍රස්‌තවාදය මර්දනය කළ හැකිව තිබුණත් ඔවුන් එය කළේ නැත. එය එක්‌කෝ ඔවුන්ගේ නොහැකියාවකි. නැතිනම් ත්‍රස්‌තවාදය පිටුපස ක්‍රියාත්මක වූ බලවේග වලට නතු වීමකි.

ජනාධිපතිවරයා පත්කරගනු ලබන්නේ මුළු රටේම ජනතාවගේ 51% වැඩි බහුතර ඡන්දයෙනි. වර්තමානයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ බහුතරයේ කැමැත්තට ඉඩ ලැබුණද හරියටම ක්‍රියාත්මක වෙතොත් සියලන්ගේම කැමැත්තෙන් ජනතාවගේ නායකයා පත්කර ගත යුතුය. එහෙත් බටහිර ක්‍රමයට සකස්‌වුණු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ එවැනි ක්‍රමවේදයකට ඉඩක්‌ නැත. සුද්දාගේ රටට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හොඳ වුවත් වසර 70ක්‌ පුරා අප රටෙහි ක්‍රියාත්මක වී ඇති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින් රටට හා ජනතාවට අවශ්‍ය යහපත සැලසී නැත. මැතිවරණ පැවැත්වීමේදී යොදාගනු ලැබූ මනාප ක්‍රමය නිසා අවුලක්‌ හා මතබේද ද ඇති විය. ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදය පරාජිත අපේක්‌ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත්කරගෙන ජනතාව ප්‍රතික්‌ෂේප කළ ඔවුන්ට ඇමැතිකම් දීම දක්‌වා දූෂිත වී ඇත. එවැනි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවකින් රටට හෝ ජනතාවට සෙතක්‌ සැලසේ යෑයි සිතිය නොහැක.

පාර්ලිමේන්තුව යනු ව්‍යවස්‌ථාදායකයයි. නීති සම්පාදනය කරන්නේද පාර්ලිමේන්තුව මගිනි. ජනතාව ප්‍රතික්‌ෂේප කළ දූෂිත පුද්ගලයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක්‌ මගින් ජනතාවට සෙතක්‌ සැලසේ යෑයි සිතිය නොහැක. ගමේ ගොඩේ කියන වචනයක්‌ අනුව වර්තමාන පාර්ලිමේන්තුව විශේෂයෙන් ඊනියා යහපාලන ආණ්‌ඩුව අච්චාරුවකි. අච්චාරුව රස කරමින් කෑමට යොදාගන්නා දෙයක්‌ නමුත් බොහෝවිටම එය අගුණ වේ. වර්තමාන ආණ්‌ඩුවද ජනතාවට කිසිඳු ගුණයක්‌ නැති රජයකි. වර්තමාන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ශෝබන වචන යොදාගෙන ගාම්භීර කථා කළත් ඒවා ක්‍රියාක්‌මක වන බවක්‌ නොපෙනේ. එය ඔහුගේ දුර්වලකමක්‌ මිස ජනාධිපති ධුරයේ දෝෂයක්‌ නොවේ. මහබැංකු මංකොල්ලයක්‌ වූ බැඳුම්කර මගඩිය විමර්ශනය කිරීමට කොමිසමක්‌ පත් කිරීමට හැකි වූයේ ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්‌ වැනියන් අධිකරණයට යොමුකළ හැකි වූයේත් විධායක ජනාධිපති බලතල යටතේය. ඊට කලින් එම කරුණ පිළිබඳව අගමැති පත්කළ කමිටුවෙන් කිසිදු වැඩක්‌ නොවීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කරනු ලබන්නේ ඒ ඒ ප්‍රදේශවල ඡන්ද කොට්‌ඨාස හා දිස්‌ත්‍රික්‌කවල ඡන්දදායකයන්ගේ කැමැත්ත අනුවයි. ඒ නිසාම එසේ පත්වන මන්ත්‍රීන් තුළ මුළු රටටම වගකියන මානසිකත්වයක්‌ ඇති නොවේ. මෙතෙක්‌ ක්‍රියාත්මක වී ඇති ක්‍රමවේදය අනුව මැති ඇමැතිවරුන් වැඩිදෙනාගේ ස්‌වභාවය වී ඇත්තේ මහජන ඡන්දයෙන් පත් වී මැති ඇමැතිකම් ලබා ඉහළ සැප විඳීම හා වැජඹීමයි. ඔවුන් වටා රැස්‌වන වැරදි මිනිසුන් නිසා ඡන්දදායකයාට මැති ඇමැතිවරුන් ලඟට යැමට ඇති ඉඩකඩද ඇහිරී ඇත. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී බොහෝ වැරදි කරන මැති ඇමැතිවරුද සිටිති. විසිවෙනි ව්‍යවස්‌ථා සංශෝධනයේ එවැනි පාර්ලිමේන්තුවක අගමැතිවරයාට අසීමිත බලයක්‌ පැවරේ. මෙම ව්‍යවස්‌ථා සංශෝධනය ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා ඉදිරිපත් කරන්නේ කාගේ උවමනාවක්‌ ඉටුකිරීමට දැයි දන්නෝ දනිති.කෙසේ නමුත් මේ වන විට ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයන් බටහිරයන්ගේ අතකොළු වී හමාරය. එම පක්‌ෂ සාමාජිකයන් ඇතැම්විට ඒ බව නොදන්නවා විය හැකිය.

මීට මාස කිහිපයකට පෙර මේ අවස්‌ථාවෙහි නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධන හෝ අවශ්‍ය නැතැයි අතිපූජ්‍ය මහානායක මාහිමිවරුන්ගේ අත්සනින් ප්‍රකාශයක්‌ නිකුත් කෙරුණේ උන්වහන්සේලා කාරක සංඝ සභාවල දැන උගත් හිමිවරුන්ගේ මෙන්ම ගිහි විද්වතුන්ගේද අදහස්‌ විමසා බලා කරුණු හොඳින් දැනගෙනයි. එය කිසිසේත්ම උන්වහන්සේලාගේ පෞද්ගලික අපේක්‌ෂාවන් මත නොව රටත් ජනතාවත් ගැන සිතා කරනලද ප්‍රකාශයකි. ජනතා විමුක්‌ති පෙරමුණේ අදහස්‌ උදහස්‌ වලට වඩා මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ඉහත ප්‍රකාශය වැදගත් වන බවත්, පිළිගත යුතු බවත් රට හා ජනතාව ගැන හිතන මැති ඇමැතිවරුන් හොඳින් වටහා ගත යුතුය. ඒ නිසා රටට හා ජනතාවට වැදගත් වන විධායක ජනාධිපති ධුරය නිෂ්ක්‍රීය කරන අගමැතිට වැඩි බලයක්‌ ලැබෙන විසිවෙනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත වීමට ඉඩ නොදිය යුතු බව තරයේ කියා සිටිමු. ජනාධිපතිවරණ හා මහමැතිවරණ කිහිපයකදීම ජනප්‍රිය ප්‍රකාශයක්‌ බවට පත් වූයේ විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කළ යුතුය යන්නයි. එය ඉතා දැඩි ලෙස ඉදිරිපත් කළ 2015 ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට මුහුණ දුන් සිරිසේන රනිල් හවුල් පාලනයට ජනතාවගේ කැමැත්ත ලැබුණු නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ලැබුණු ජනතා කැමැත්තක්‌ ලෙස එය ඉදිරිපත් කළ හැකිය. සිය කතා විලාසය මගින් හා ධර්ම දේශනා මගින් රට පුරා ජනප්‍රියත්වයට පත් වූ දේශකයාණ කෙනෙක්‌ වූ එහෙත් පරිණත දේශපාලන දැනුමක්‌ නෙතිබුණු මාදුළුවාවේ සෝභිත හිමියන්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු යෑයි 2015 ජනාධිපති හා මහ මැතිවරණවලදී හඬ නැඟූ කෙනෙකි. කිසියම් හෝ කෙනෙක්‌ එම සාධකය විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම සඳහා යොදාගන්නේ නම් එය බුද්ධිමත් ක්‍රියාවක්‌ නොවේ. මෙවැනි කරුණු වලදී අප හැමවිටම ක්‍රියා කළ යුත්තේ රට හා පොදු ජනතාව ගැන සිතා මිස දේශපාලන පොරොන්දු හා එක්‌ එක්‌ පුද්ගලයන්ගේ අදහස්‌ මත පිහිටා නොවේ.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම් ජාතික හිමිකම් සංවිධානයේ සභාපති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More