දේශීය පුවත්

පසුගිය දිනෙක රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයේ යොදවා සිටි දැරියක් ගින්නට හසුවී මියයාමේ සිද්ධිය පිළිබදව අනාගතය අපි තරුණ ව්‍යාපාරය විසින් අද එනම් ජූලි 20 බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි. එහිදී අදහස් දැක්වූ ඉසුරු ප්‍රසංග මහතා…

පසුගිය දිනවල රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරියක් ගින්නෙන් පිලිස්සී රෝහල් ගත කිරීමෙන් පසු මරණයට පත්වෙනවා. ඉන්පසු මේ දැරිය කාලයක් තිස්සේ ලිංගික අතවරයන්ට ගොදුරු වී ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තා අනුව සනාථ වෙනවා. මේක ඉතාම බරපතළ කාරණයක්. නමුත් තවමත් මේ ප්‍රශ්නය සම්බන්ධව වගකිවයුතු පාර්ශ්වයන් ක්‍රියාත්මක වන බවක් හෝ හඬ නගන බවක් පෙනෙන්නට නැහැ.

මේ දැරියගේ නම ජේ. ඉශාලිනී. හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය ඉපදී තිබෙන්නේ 2004 නොවැම්බර් 12 වැනිදා. 2020 ඔක්තෝබරයේ තමයි ඇය බදුර්දීන්ගේ නිවසේ සේවයට පැමිණ තිබෙන්නේ. වාර්තා වන අන්දමට තැරුව්කරුවෙකු හරහා මුදල් ගෙවා තමයි ඇය ගෙන්වාගෙන තිබෙන්නේ. ඇය මේ නිවසේ සේවයට එන විට ඇයට අවුරුදු 16වත් සම්පූර්ණ වෙලා නැහැ. ඊළගට පසුගිය ජූලි 3 වෙනිදා තමයි ඇය පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත වන්නේ. ජූලි 15 තමයි ඇය මියයන්නේ. ඇය රෝහල්ගත වී අදට දින 17ක්. මියගිහින් දින 5ක් ගතවෙලා. අද වෙනතුරුත් මේ සම්බන්ධව කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගැනීමක් පමණයි තවම සිදුව ඇත්තේ. ඒ කියන්නේ මේ සිදුවීම සම්බන්ධව නීතිය ඉතාම මන්දගාමී ලෙස ක්‍රියාත්මක වන බවක් තමයි පේන්න තියෙන්නේ. ආණ්ඩුවේ වග කිව යුතු පාර්ශ්වයන් මේ සම්බන්ධව ඉතාම නිද්‍රාශීලීව තමයි කටයුතු කරමින් සිටින්නේ.

ආණ්ඩුව පමණක් නොවෙයි රිෂාඩ් නියෝජනය කරන සමගි ජන බලවේගය හෝ තවම මේ සම්බන්ධ කිසිදු විරෝධයක් හෝ ගොනු කොට නැහැ. රිෂාඩ් කියන්නේ සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික. ඔවුන් ඇයි මේ ප්‍රශ්නය සම්බන්ධව නිහඩ කියලා අපි අහනවා. සමගි ජන බලවේගය පමණක් නොවෙයි විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ පවා අද මේ අසාධාරණය සම්බන්ධව කිසිදු හඩක් නගන බවක් පේන්න නැහැ.

මීළඟට ජනමාධ්‍ය… අද බොහෝ ජනමාධ්‍ය පවා හුදු මේ සිදුවීම ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කරනවා හැර මේ සම්බන්ධව ප්‍රබල මැදිහත්මක් කරන බවක් අප දුටුවේ නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි පුවතක් ජනමාධ්‍ය තුළ විශාල කතාබහකට ලක්විය යුත්තක් වුවත් මේ දැරිය සම්බන්ධව එවරනි හඩක් මතුවන බවක් පෙනෙන්නට නැහැ. ජනමාධ්‍ය තියා අඩුම තරමේ සමාජ මාධ්‍ය තුළවත් මේ පුවත අවශ්‍ය තරමේ ආන්දෝලනයකට තුඩු දී නැහැ.

බරපතළම කාරණය තමයි මේ රටේ මානව හිමිකම් කාන්තා අයිතිවාසිකම් ළමා අයිතිවාසිකම් සුළු ජාතික ප්‍රශ්න වගේ දේවල් ගැන කතා කරන බව කියන සිවිල් සංවිධාන විකල්ප රැඩිකල් වාමාංශික කල්ලි කණ්ඩායම්වල පුදුමාකාර නිහඩතාවය. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු අතින් සිදු වූවා නම් ඔවුන් කොහොම ප්‍රතිචාර දක්වයිද? මේ දැරිය දෙමළ දැරියක්… දෙමළ දැරියක් සිංහල දේශපාලනඥයෙකුගේ නිවසක් තුළ මෙවැනි ඉරණමකට මුහුණ දුන්නා නම් ඔවුන් කොහොම හැසිරෙයිද? එහෙනම් සමස්ත සිංහල බෞද්ධයාටම එරෙහිව තමයි මේ විකල්ප කල්ලි නැගිටින්නේ… එහෙම වුණා නම් සිංහල ඡන්ද ගත් ගෝඨාභයගේ සිට දුටුගැමුණු පරාක්‍රමබාහු දක්වා ඔවුන්ගේ විරෝධය විහිදෙන හැටි අපිට බලාගන්න තිබුණා. හැබැයි ඒ එක විකල්ප රැඩිකල් වීරයෙක්වත් මේ අසරණ දෙමළ දැරියගේ ඉරණම හමුවේ බදුයුදීන්ට එරෙහිව කටක් අරින්න ඉදිරිපත් වී නැහැ. ඔවුන්ගේ ඊනියා මානව හිතවාදය කෙතරම් පටු පක්ෂග්‍රාහී පාර්ශ්වීය එකක්ද කියන එක මේ අනුව හොඳාකාරවම පැහැදිලි වෙනවා. හරි නම් මේ වගේ ප්‍රශ්නයකදී ජාතිභේද ආගම් භේද දේශපාලන භේද නොතකා සියලු දෙනා ඊට එරෙහිව නැගී සිටිය යුතුයි. නමුත් බදුර්දීන්ට එරෙහිව මේ හඬක් නැති අසරණ දැරිය වෙනුවෙන් කතා කිරීමට අද කිසිවෙකු නැහැ.

මේ සම්බන්ධව ආණ්ඩුව නිහඬයි. විපක්ෂය නිහඬයි. විපක්ෂයේ වෙනත් දේශපාලන පක්ෂ නිහඬයි. ජනමාධ්‍ය නිහඬයි. සමාජ මාධ්‍ය නිහඬයි. සිවිල් සංවිධාන නිහඬයි. මේ නිහඩතාවය එක්ක අද මේ රටම බදුර්දීන්ගේ සාක්කුවේද කියන ප්‍රශ්නය අපිට අහන්න වෙනවා. ඒ නිසා අපි වගකිව යුතු පාර්ශ්වයන්ට කියන්නේ දැන්වත් ඔබේ හඬ අවදි කරන්න. මේ දැරිය වෙනුවෙන් වහාම සාධාරණයක් ඉටු කරන්න. ඇයට නැති වුණ ජීවිතය නැවත ලබාදෙන්න කිසිවෙකුට බැහැ. නමුත් ඉදිරියේදී හෝ මෙවැනි දේවල් සිදුවීම අවම කළ හැක්කේ මේ සම්බන්ධව නිසි මැදිහත් වීමක් කළහොත් පමණයි. හෙට දවසේ අපි අනාගතය අපි තරුණ ව්‍යාපාරය ඇතුළු ජාතික සංවිධාන කීපයක මැදිහත් වීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

අනාගතය අපි තරුණ ව්‍යාපාරය නියෝජනය කරමින් ප්‍රසාද් ගමගේ සහ ලක්මව දියණියෝ සංවිධානය නියෝජනය කරමින් කේ. එස්. ආර්. මුතුමාලි යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගී වූහ.

Video Link : https://we.tl/t-Z3Ut2kaaqt



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More