දේශීය පුවත්

යෝජිත කොතලාවල පනත නිදහස් අධ්‍යාපනයට මරු පහරක් යැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි. ජතික ජන බලවේගය නියෝජනය ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න, ජතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය සහ නීතිඥ හර්ෂණ නානායක්කාරගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (06) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මෙම අදහස් පල කළ අතර සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් පල වේ.

ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න,

“රට තීරණාත්මක සන්ධිස්ථානයක පැමිණ තිබෙන මේ මොහොතේ තවත් විශේෂිත හානිදායි පියවරකට එළඹෙමින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ පනත් කෙටුම්පත සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රශ්න ගණනාවක් පැන නගිනවා. එයින් නිදහස් අධ්‍යාපනයට බරපතළ හානියක් සිදුවන අතර ඒ පිළිබඳව කරුණු රැසක් මේ වනවිට අප හඳුනාගෙන තිබෙනවා. අධ්‍යාපනය අයත් වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටයි. හැබැයි යෝජිත පනත් කෙටුම්පත මගින් මේ උසස් අධ්‍යාපන ආයතනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබෙනවා. උපාධි ප්‍රදානය කිරීම, ඩිප්ලෝමා ප්‍රදානය කිරීම, පර්යේෂණ පැවැත්වීම, සහතික පත් ප්‍රදානය වැනි සියලු කාර්යයන් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සිදුකිරීම නිදහස් අධ්‍යාපනයට බරපතළ හානියක්. යෝජිත පනත් කෙටුම්පත මගින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නා ක්‍රමවේදය පැහැදිලි කර නැහැ.

වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පදනම් කරගෙන. ඉහළම ලකුණු ලබාගන්නා සිසු දරුවන් බඳවා ගන්නවා. යෝජිත පනත් කෙටුම්පත මගින් එහෙම නිශ්චිත නිර්ණායක දක්වා නැහැ. නිර්ණායක තීරණය කරන්නේ අදාළ ආයතන මගින්. නමුත් මේ පනත සම්මත වීමෙන් පසුව බලධාරීන්ට හිතවත් අඩු සුදුසුකම් සහිත කණ්ඩායම් විශ්වවිද්‍යාල ආයතනයක් තුළට ඇතුළත් කරගෙන උපාධි හෝ ඒ හා සමාන සහතික පිරිනැමීමේ ක්‍රියාමාර්ග ගත හැකියි. ශිෂ්‍යයන් බඳවා ගැනීම විතරක් නෙවෙයි, අනෙකුත් කාර්ය මණඩල සහ ආචාර්යවරු බඳවා ගැනීමේදීත් මේ තත්වයම දකින්න පුළුවන්. නිදහස් අධ්‍යාපනයට වගේම ශාස්ත්‍රීය අධ්‍යාපනයටත් මෙය බරපතළ ගැටලුවක්. මේ කෙටුම්පතින් යෝජනා කරන විවිධාකාරයේ නිදහස අහිමි කිරීමේ තත්වයන්ද තිබෙනවා.

හමුදා නිලධාරීන්ට ඔවුන්ගෙ අවශ්‍යතා අනුව වෘත්තීය පාඨමාලා සකස් කිරීම අපට කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් ආරක්‍ෂක අංශවලින් පිට වෙනත් ඕනෑම විෂයයක් පිළිබඳ උපාධි සිට පශ්චාද් උපාධි දක්වා පිරිනමන්න වාතාවරණය වෙයින් නිර්මාණය කර දෙනවා. මේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට ශිෂ්‍ය සංගම් පිහිටුවීමේ ඉඩ ලැබෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ යහපැවැත්ම වෙනුවෙන් ශිෂ්‍ය සංගම් විශාල දායකත්වයක් සපයනවා. මම ඒ බව කියන්නෙ පීඨාධිපතිවරයෙක් වශයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු 09ක අත්දැකීම් තුළින්. නමුත් මේ පනත් කෙටුම්පත තුළින් ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය, විෂය බාහිර ක්‍රියාකාරකම් වගේම විෂය බාහිර ක්‍රියාකාරකම්වලට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ක්‍රීඩා කටයුතු හැරුණාම සාහිත්‍ය සංගමයක්වත් පිහිටුවා ගන්න ඉඩක් නැහැ. අධ්‍යාපනයේ මූලික පදනම් සියල්ල බිඳ දමමින් මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.

සාමාන්‍ය විශ්වවිද්‍යාලයකදී අධ්‍යාපනයට අදාළ ඕනෑම සංශෝධනයක්, නව විෂය නිර්දේශයක් හෝ වෙනත් සාධනීය යෝජනාවක් ඉදිරිපත් කරන්නේ අධ්‍යයන අංශ ප්‍රවීණයන්ගේ මූලික සාකච්ඡාවක් තුළින්. ඉන්පසු වෙනත් විශේෂඥ අදහස් ලබාගෙන පීඨ මණ්ඩලයේදී ගැඹුරින් සාකච්ඡා කරනවා. ඉන් පසුව විෂය අධ්‍යයන කමිටුවකට යොමු කරනවා. එහිදී වඩාත් ගැඹුරින් සාකච්ඡා කරලා සනාතන සභාවේදී නැවත ගැඹුරු සාකච්ඡාවකට ලක්වෙනවා. මේ විධිමත් ක්‍රමවේදය යෝජිත පනත ක්‍රියාත්මක කිරීමෙන් පසු අදාළ ආයතනවල ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ල කෙරෙනවා වගේම මුදල් අයකර පාඨමාලා පවත්වාගෙන යන මෙවැනි ආයතන ගණනාවක් ඉදිරියේදී බිහි වෙන්න ඉඩ තිබෙනවා. යහමින් මුදල් තිබෙන සීමිත පිරිසකට පමණක් ඉඩකඩ විවර කරන බරපතළ පනත් කෙටුම්පතක් වශයෙන් මෙය හඳුන්වන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ලබන සියලු දෙනා මෙයට එරෙහිව පෙළගැසෙන්න මම ආරාධනා කරනවා.”

අණ පිළිපදින හමුදා සංස්කෘතිය තුළ අධ්‍යාපන නිදහස බලාපොරොත්තු වෙන්නේ කොහොමද?
පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය,

“මීට කලින් මාධ්‍ය සාකච්ඡා දෙකක් පවත්වා ජාතික ජන බලවේගය හැටියට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් කරුණු දැක්වූවා. ජූලි 08වැනිදා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්න ආණ්ඩුව උත්සාහ කරනවා. කොතලාවල ආරක්‍ෂක පීඨය පිහිටවූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ අවසාන කැමැත්ත අනුව. ඔහු පදිංචිව සිටි ස්ථානයේ 1981 කොතලාවල ආරක්‍ෂක පීඨය පටන් ගත්තා. එය ආරම්භ කළේ හමුදා කැඩෙට් නිලධාරීන් පුහුණු කරන්න අදාළ විෂයයන් ඉගැන්වීම වෙනුවෙන්. හමුදාවෙන් පිට අයට මෙම ආයතනය විවෘත කරන බව කිසිම අවස්ථාවක සඳහන් වෙන්නේ නැහැ. නමුත් පසුගිය අවුරුදු ගණනාව තුළ විවිධ හේතුන් මත ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය වෙනස් කරමින් හමුදාවලට සම්බන්ධ නැති අය ඇතුළත් කර ගන්නවා. ඒ වගේම හමුදාවට අදාළ නොවන විෂයයන් උගන්වන්න පටන් ගත්තා. ඊට අදාළ නිසි නීතිමය ක්‍රියාමාර්ග සම්පූර්ණ කර තිබුණේ නැහැ. ඒ නිසා අදාළ නීතිමය ක්‍රියාමාර්ග නිසි පරිදි සම්පූර්ණ කර ගැනීමට මෙම පනත් කෙටුම්පත ගෙනවිත් තිබෙනවා.

හමුදා නිලධාරීන් සඳහා වෙනම ආයතනයක් පිහිටුවා ගැනීම ලෝකයේ ඕනෑම රටවල සිදුකෙරනවා. අපිටත් ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පනතෙන් කරන්නේ හමුදා නිලධාරීන්ගේ දියුණුව සහ ඔවුන් ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක නෙවෙයි. මෙයින් ඉදිරිපත් කරන ව්‍යූහයෙන් හමුදා නිලධාරීන්, රජයේ සේවකයන් සහ වෙනත් අයට අධ්‍යාපනය ලබාදීම ගැන පනතේ සඳහන් වෙනවා. ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් පත් කරන පාලක මණ්ඩලයක් මේ ආයතනය මෙහෙයවනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තිබෙන සියලුම බලතල මේ පාලක මණ්ඩලයට ලබාදෙනවා. එයින් අදහස් කෙරෙන්නේ මේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම පමණක් නොවෙයි, එයින් පරිබාහිරව මෙවැනි වෙනත් ආයතන පිහිටුවා ගැනීමේ අවස්ථාවක් ලබා දීමයි. වෙනත් උපාධි ප්‍රදානය කරන ආයතනවලට අනුමැතිය දීමේ හැකියාවත් මේ පාලක මණ්ඩලයට ලැබෙනවා. පාසැල්වල සිට විශ්වවිද්‍යාල දක්වා මේ යටතේ පිහිටුවන්න පුළුවන්.

මේ පාලක මණ්ඩලයට පත්කරන නව දෙනෙකුගෙන් හතර දෙනෙකු හැර අනෙක් සියලුම දෙනා ත්‍රිවිධ හමුදාවේ අධිපතිවරුන් සහ කොතලාවල විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා බවට පත්වන්නේ හමුදා නිලධාරියක්. උසස් අධ්‍යාපනය සම්බන්ධ විෂය ගැන දැනුවත් වෘත්තිකයන් ඒ උසස් අධ්‍යාපන ආයතනවලට පත් කෙරෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳව ප්‍රශ්න තිබුණත් එයට පත්කරන්නේ අදාල විෂය ප්‍රාමාණිකයන්. විශ්වවිද්‍යාලවලට පත් කෙරෙන්නෙත් ඒ ආකාරයෙන්මයි. යම්කිසි විශ්වවිද්‍යාලයක් පිළිබඳ තීරණ ගන්නේ එක් එක් ක්‍ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලයන්. නමුත් මේ පනත සම්මත කිරීමෙන් උසස් අධ්‍යාපන ආයතනයක තිබිය යුතු සංස්කෘතිය පිළිබඳව, ප්‍රමිතීන් පිළිබඳව කිසිම අදහසක් නැති අය පාලක සභාවලට පත් කෙරෙනවා. මේ පනත මුලින්ම ඉදිරිපත් කෙරෙන්නේ 2018 රනිල්-මෛත්‍රී ආණ්ඩුව කාලයේයි. ඒ කාලයේ සිදුකළ දේවල් වෙනස් කරනවා කියලා බලයට පත්වුණු මේ ආණ්ඩුව මේ පනත කිසිම වෙනසක් නැතිව ඉදිරිපත් කර තිබෙනවා.

නිදහස් අධ්‍යාපන පනත 1943 ගෙනෙන කොට විශාල සංවාදයක් ඇතිවී තිබුණා. මේ පනත මගින් නොමිලේ අධ්‍යාපනය ලබාදීම විතරක් සිදු කෙරුණා නෙවෙයි. මේ පනත වටා තිබුණු සංවාදවලින් පැහැදිලි වෙන්නේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කිරීමේ වෙනත් පරමාර්ථ ගණනාවක් තිබුණු බවයි. සමාජ තත්වයක්, මුදල්, හැකියාව, ඉංග්‍රීසි භාෂාව කථා කරන අය වැනි පිරිසකට සීමා වී තිබූ වරප්‍රසාදයක් මේ රටේ සියලුම දෙනාට ලබාදීමේ අරමුණින් නිදහස් අධ්‍යාපන පනත සම්මත කළා. එතන යම්කිසි දර්ශනයක් තිබුණා. ඒ තුළ තිබුණේ අධ්‍යාපනය වරප්‍රසාදයක් නෙවෙයි, අධ්‍යාපනය අයිතියක්. ඒ වගේම ගුණාත්මක අධ්‍යාපන අයිතිය සෑම පුරවැසියෙකුටම තහවුරු කිරීම මූලික දර්ශනය වුණා. මේ රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ සංස්කෘතිය තේරුම් ගෙන පුරවැසියන් බිහි කිරීමේ පරම වගකීම ඉටුකිරීම වෙනුවෙන් දර්ශනයක් තිබුණා. මේ පනත මගින් ඒ දර්ශනය සම්පූර්ණයෙන්ම විකෘති කරනවා. අධ්‍යාපනය සියලු දෙනාගේම අයිතියක් බවට තිබුණු දර්ශනය විකෘති කිරීම මෙයින් සිදුකෙරෙනවා. දැනටමත් නොනිලව සිදුවෙන අධ්‍යාපනය වරප්‍රසාදයක් කියන තත්වය නිල වශයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන්නයි යන්නේ.

උසස් අධ්‍යාපන ආයතනයක් තුළ අධ්‍යයන නිදහස අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මෙය ගෝලීය එකඟතාවයක්. ශ්‍රී ලංකාවත් අත්සන් කළ ගෝලීය එකඟතාවයක්. දැනුම සොයාගෙන යනකොට දේවල් ප්‍රශ්න කිරීමේ නිදහස තියෙන්න ඕනෑ. අලුත් දැනුම නිෂ්පාදනය වෙන්න නම් තියෙන දැනුම ප්‍රශ්න කරන්න ඕනෑ. ඒ වගේම බල පද්ධතිය ප්‍රශ්න කරන්න ඕනෑ. ඒ ප්‍රශ්න කිරීම බලයේ ඉන්න අයට හිත රිදෙන ප්‍රශ්න කිරීම් වුණත් සිදුකිරීමේ නිදහස උසස් අධ්‍යාපන ආයතන තුළ තියෙන්න ඕනෑ. සමාජයක් වෙනස් කරන්න පුළුවන් දැනුම නිෂ්පාදනය කෙරෙන්නේ එහෙම වුණොත් විතරයි. අධ්‍යයන නිදහස විශ්වවිද්‍යාලයකට අත්‍යවශ්‍ය දෙයක්. ශිෂ්‍යයන්ට වගේම ගුරුවරුන්ටත් එක සේම වැදගත්. නමුත් එහෙම සංස්කෘතියක් හමුදාවල් තුළ නැහැ. හමුදාව තියෙන්නේ දේවල් ප්‍රශ්න කරන්න නෙවෙයි. උඩින් එන අණ පිළිපදින්න. එවැනි හමුදා සංස්කෘතියක් තුළ තියෙන උසස් අධ්‍යාපන ආයතනයකින් අධ්‍යයන නිදහස බලාපොරොත්තු වෙන්නේ කොහොමද? අධ්‍යයන නිදහස නැති උසස් අධ්‍යාපනයක තත්වය මොකක්ද? අධ්‍යාපන පාඨමාලා මොන වගේ වේවිද? මොන වගේ ජාතික හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් එවැනි ආයතනයකට ලැබෙයිද?

මේ පනතෙන් සිදුවෙන්නේ තවත් එක අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමවත් හමුදාවලට අධ්‍යාපනය ලබාදෙන ආයනයක් පිහිටුවීමවත් නෙවෙයි. ඊට එහා ගිය අරමුණු තිබෙනවා. ඉතා අමාරුවෙන් මේ දක්වා ආරක්‍ෂා කෙරුණු අධ්‍යාපන නිදහස, අධ්‍යාපන දර්ශනය, යන සියල්ලම විකෘති කරන පනතක් මේ ඉදිරිපත් කරන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් අහන්නේ අපිට උරුම අධ්‍යාපන ක්‍රමය විනාශ කරන මේ පනතට පාර්ලිමේන්තුවේදී එකඟ වෙනවාද? අධ්‍යාපනය විනාශ කරන්න දායක වුණු අය හැටියට ඉතිහාසගත වෙන්න කැමති නම් මේකට අත උස්සන්න. හෘදය සාක්‍ෂියක් තිබෙනවා නම් කිසිසේත්ම මේ පනතට අත උස්සන්න බැහැ. අත උස්සන්න එපා කියන ඉල්ලීම කරනවා.”

වැඩ කරන මැෂින් බිහිකිරීම අධ්‍යාපනයේ අරමුණ නෙවෙයි…
නීතිඥ හර්ෂණ නානායක්කාර,

“පාර්ලිමේන්තුව තුළ වගේම එයින් පිටතත් අපට විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්න. පොහොර ප්‍රශ්නය, පෝට් සිටි පනත, මෑත යුගයේ මූලික වශයෙන් මැදිහත් වුණු කටයුතු. මේ අවස්ථාවේ නිදහස් අධ්‍යාපනය රැකගන්න මැදිහත් වෙන්න සිදුවෙලා තිබෙනවා. අපේ මූලික ප්‍රතිපත්තිය අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නෙවෙයි කියන එක. උපාධියක් ගැනීම හෝ විභාග පාස් කිරීම අධ්‍යාපනය නෙවෙයි. විභාග පාස් කිරීම එක අංගයක් විතරයි. රටකට අවශ්‍ය ශ්‍රම හමුදා නිර්මාණය කිරීම සහ යහපත් සෞන්දර්යාත්මක පුරවැසියෙක් බිහිකර ගැනීම යන මූලික අරමුණු දෙක අධ්‍යාපනයේ අඩංගුයි. යම් තෙතමනයක් ඇති පුරවැසියෝ බිහිකිරීම මේ තුළ ප්‍රධානම අරමුණක්. වැඩ කරන මැෂින් බිහිකිරීම අධ්‍යාපනයේ එකම අරමුණ නෙවෙයි. දැන් පවතින ඔන්ලයින් අධ්‍යාපනයෙන් සිද්ධ වෙන්නෙත් විභාග ටික පාස් වීම විතරයි. තෙතමනයක් සහිත පුද්ගලයෙක් බිහිවීමේ පසුබිම අහිමි වෙනවා.

උසස් අධ්‍යාපන ජීවිතය තුළින් ඉගෙන ගන්න දේවල් පුද්ගලයෙකුගේ පෞරුෂත්වය නිර්මාණය කර සමාජයට වැඩදායි පුද්ගලයෙක් බවට පත්වෙනවා. විභාගවලින් කරන එකම දේ අවශ්‍ය ශ්‍රමිකයා හැදීම. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන පනත හරහා මේ අරමුණු ඉටු වෙන්නේ නැහැ. හමුදා විනය හොඳයි හමුදාවට. සමාජයක් සිවිල් පුරවැසියෝ වශයෙන් විනය සම්පන්න වෙන්න ඕනෑ වෙනස් ආකාරයකින්. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලයට ගෙන ආවේ විනය සම්පන්න රටක් හදන්න. ‘වන් කන්ටි්‍ර – වන් ලෝ’ කියලා ආවාට දැන්නම් තියෙන්නේ ‘වල් කන්ටි්‍ර – වල් ලෝ’. අධ්‍යාපනයේ එක කොටසක් වුණු ප්‍රශ්න කිරීමට ඉඩක් නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්නේ කොහොමද? අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තමන් කැමති ආගමක් ඇදහීම, සංවිධානයකට එකතු වීම, භාෂණයේ නිදහස සහ දේශපාලනය කිරීමේ නිදහස උසස් අධ්‍යාපන ආයතනයකට ගොඩක් වැදගත්. අපි නිර්මාණය කරන්න ඕනෑ පවතින ක්‍රමය ප්‍රශ්න කරන අලුත් දේවල් හොයාගන්න පුරවැසියෝ මිස නියෝග පිළිපදින අය නෙවෙයි.

මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන කීයකට හමුදා නිලධාරීන් පත්කර තිබෙනවාද? ඒ වගේම සියලුම දිස්ත්‍රික්කවලට සක්‍රීය හමුදා සේවයේ ඉන්න නිලධාරින් පත්කර තිබෙනවා. මිලිටරිකරණය වෙන්නෙ අධ්‍යාපනය විතරක් නෙවෙයි. අධ්‍යාපනය තුළින් කියන්නේ එක්තරා පියවරක් පමණයි. මේ තත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් පවා සාකච්ඡා කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටවත් මේ ආයතනය නියාමනය කරන්න බලයක් නැත්නම් වගකියන්නේ කාටද? එක පැත්තකික් නිදහස් අධ්‍යාපන සංකල්පය උල්ලංඝනය වෙනවා. අනෙක් පැත්තෙන් රජයේ අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට පැවරීම සිදුකෙරෙනවා. ඒ වගේම හමුදාවට කරන්න පුළුවන් දේවල් වගේම බැරි දේවලුත් තියෙනවා. මිනිහෙක්ගේ අතේ තියෙන්නේ මිටියක් නම් ඔහුට හැම දේම පේන්නේ ඇණයක් වගේ. ගෝඨාභය රාජපක්‍ෂගේ අතේ තියෙන්නේ මිටිය විතරයි. එයාට හැම ප්‍රශ්නයම පේන්නේ ඇණයක් වගේ. වෙන රටවල් කොරෝනා ප්‍රශ්නය වෙලාවේ ඉස්සරහට දැම්මේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය. අපේ රටේ හමුදාව. හමුදාව කොරෝනා හොඳට මර්දනය කළාද? ෂවේන්ද්‍ර සිල්වා වගේ ඉහළ හමුදා නිලධාරීන් පවා දැන් විකටයෝ බයට පත්වෙලා තිබෙනවා. ඒ ගොල්ලන්ට කරන්න බැරි දේවල් බාරදීම නිසා. හමුදාවට අධ්‍යාපනය ලබාදීමට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය යොදා ගත්තාට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් රටේ අධ්‍යාපනය සිවිල් පරිපාලනය යටතේ සිදුවිය යුතු දෙයක්. ඒ නිසා මේ පනත හකුළා ගන්නට අප සමස්ත ජනතාවක් වශයෙන් මේ ආණ්ඩුවට බල කළ යුතු වෙනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“මේ පනත මගින් විශ්වවිද්‍යාල සම්බන්ධ පනත බල රහිත වෙන්නේ නැහැ. නමුත් මේ විශ්වවිද්‍යාලය සහ ඒ වටා ගොඩනැගෙන ආයතන 1978 උසස් අධ්‍යාපන පනතට යටත් නැහැ. කොතලාවල විශ්වවිද්‍යාල පනතේ ඉතාමත්ම පැහැදිලිව දක්වා තිබෙනවා, 1978 පනතට කිසිසේත්ම යටත් නොවන බව. මේ පනත ගේන්නේ 1981 කොතලාවල ආරක්‍ෂක පීඨය පිහිටුවීමේ පනතට සංශෝධනයක් හැටියටයි. නමුත් මේ සංශෝධන තුළ පුළුල් බලතල රාශියක් මේ ආයතනයට සහ ඒ යටතේ පිහිටුවන ආයතනවලට ලබා දෙනවා. 1978 උසස් අධ්‍යාපන පනතට පිටින් ක්‍රියාත්මක වන සාගර විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක් තිබෙනවා. නමුත් ඒ ආයතනවලට වෙනත් ආයතන පිහිටුවීමේ බලතල හෝ වෙනත් විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධ වීමේ බලතල නැහැ. නිශ්චිත විෂයයක් සම්බන්ධයෙන් අධ්‍යාපනය දීමේ බලතල විතරයි තියෙන්නේ. නමුත් මේකේ පාලක මණ්ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අදාළ බලතල සම්පූර්ණයෙන්ම ලැබෙනවා. විවෘත විශ්වවිද්‍යාලය වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වුණත් 1978 පනතට යටත් වෙනවා. මේ පනතේ එහෙම තත්වයක් නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More