දේශීය පුවත්

සෝභිත හිමියන්ගේ ගුණසමරුවට ගොස් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පසුපස හැංගී ඇත්තේ වසර තුනක් විධායක ජනාධිපති ධුරය දැරුවත් රටට දැනෙන වැඩක් කරගැනීමට නොහැකි වීමේ අ‍දෝනාව බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී හිමිවන නිසැක පරාජය හමුවේ වියරු වැටී මරුවිකල්ලෙන් කියවන මෙවැනි ප්‍රකාශ ගණන් ගත යුතු නැති බව පැවසූ රණතුංග මහතා පසුගිය වසර තුනේ දී රටට සිදුවුණු විනාශයට ජනාධිපතිවරයා ද සෘජුව වගකිව යුතු බවත් මෙවැනි ප්‍රකාශ තුළින් එම වගකීම අනෙක් අය පිට පටවා අතපිහදා ගන්නට ජනාධිපතිවරයාට නොහැකි බවත් අවධෘරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ දිවංගත රෙජී රණතුංග මහතාගේ දහ වැනි ගුණ සමරුව නිමිත්තෙන් පැවැති පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට අද (31) එක්වෙමිනි. දිවංගත රෙජී රණතුංග මහතා සමරමින් ඊයේ (30) උඩුගම්පොළ නිවසේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැති අතර රෙජී රණතුංග ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම අද (31) උදෑසන සිදුකෙරිනි.

මෙම අවස්ථාවට රණතුංග පවුලේ ඥාති මිත්‍රාදීන් විශාල පිරිසක් සහභාගීව සිටි අතර පරිත්‍රාණ ධර්ම දේශනාවට සහභාගී වීම සඳහා ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට 2015 වසරෙන් පසු ප්‍රථම වතාවට අර්ජුන රණතුංග ඇමැතිවරයා ද පැමිණ සිටීම ද සුවිශේෂී කරුණකි. පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ ගුණසමරුවට ගිහින් ඊයේ කරපු කතාව මම නම් දකින්නේ ආයෙත් වරක් ජනතාව රැවටීමට සූදානම් වීමක් ලෙසයි. තව මාස පහළොවකින් පමණ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිසැකවම පරාජයට පත්වීමට නියමිතයි. ඒ නිසැක පරාජය දැක මරුවිකල්ලෙන් කරන ප්‍රකාශ ලෙසයි මම මේ ප්‍රකාශය අර්ථකතනය කරන්නේ.

සෝභිත හිමියන්ගේ ගුණසමරුව උත්සවයට අනාරාධිතවම යන්න වෙලා තියෙන එකෙන්ම අද අපට පැහැදිලි වෙනවා ජනාධිපතිවරයා තමන්ගේම අය අතරින් පවා කොතරම් දුරට ප්‍රතික්ෂේප වෙලා තියෙනවාද කියන කාරණය. ජනාධිපතිවරයා පසුගිය අවුරුදු තුනේ කරපු කෙංගෙඩියක් නැති බවට ඒකාබද්ධ විපක්ෂයේ අපි කරන ප්‍රකාශවලට ජනාධිපතිවරයාගේ හිතවතුන් විසින්ම නිල පිළිගැනීමක් ලබාදීමක් ලෙසයි මම නම් මේක දකින්නේ.

ඊළඟට ජනාධිපතිවරයා එතැන දී කරපු කතාව ගත්තොත් අපට පැහැදිලි වෙනවා වසර තුනක් ගෙවිලත් රට වෙනුවෙන් වැඩක් කරගන්න බැරිවීමේ අ‍‍දෝනාවක් ඒ ප්‍රකාශය තුළ හැංගිලා තියෙනවා කියලා. විශේෂයෙන්ම එතුමා දින සියය කියන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා. අපිට එතුමගෙන් පෙරළා අහන්න තියෙන්නේ තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්කි ප්‍රකාශයවත් මතක නැති ජනාධිපතිවරයෙක් ද අද අපේ රට පාලනය කරන්නේ කියලා විතරයි.

දින සියය කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මැතිවරණ වේදිකා ගාණේ කිය කියා ගියේ මෛත්‍රීපාල මහත්තයාම මිසක් අපි නෙමෙයි. ජනාධිපතිවරයා මේ උත්සාහ ගන්නේ 2015 සිට රට සිදුවුණ විනාශය වෙන වෙන අයගේ කරේ ගහලා තමන්ගේ ඇඟ බේරාගන්න මිසක් වෙන එකක් නෙමෙයි. හැබැයි අවුරුදු තුනක් තිස්සේ විධායක ජනාධිපති ධූරය දරපු කෙනාට මේ වගකීමෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ජනතාව එහෙම ගැලවෙන්න ඉඩ දෙන එකකුත් නැහැ.

තව පැත්තකින් එතුමා පැහැදිලි කරනවා ජනාධිපති පුටුවේ ඉඳගත්තු දා ඉඳලා රටට කරපු අසාධාරණකම්. ආසන 147ක් තිබ්බ සන්ධානයට නොදී ආසන 42ක් තිබුණු එක්සත් ජාතික පක්ෂයට අගමැතිකම දුන්න එක ගැන සිරිසේන මහත්තයා කතා කරනවා. අපි අහන්න කැමැතියි ඒවා අයිති වෙන්නේ යහපාලනයේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මොන මූලධර්මයට ද කියලා. මුල ඉඳලම කළේ ප්‍රජාතන්ත්‍රවාදයට වළ කැපීම බව දැන් පැහැදිලි වෙලා ඉවරයි.

ඉදිරි ජනාධිපතිවරණය හමුවේ ආණ්ඩුවේ බල අරගලය දැන් උග්‍ර වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා කරන්න යනකොට නිදහස් පක්ෂය මෛත්‍රීපාල මහත්තයා ආයෙත් ගේන්න යනවා. 2025 වෙනකම් එකට ආණ්ඩු කරනවා කියලා පටන්ගත්තු අය 2018 පටන් ගන්නකොටම බෙදිලා ඉවරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙල ජාමෙට කිව්වා වගේ ආණ්ඩුවේ බලඅරගලයේ රසතැන් ඉදිරියේ දී අපිට බලාගන්න පුළුවන්වෙයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ යහපාලන ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා කියන පැහැදිලි පණිවිඩය පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව දුන්නා. ඒ පණිවිඩය පිළිඅරන් ප්‍රජාතන්ත්‍රවාදීව ජනමතයට හිස නැමුවා නම් අද මේ වගේ අසරණ වෙන්න වෙන්නේ නැහැ. නමුත් පාඨලීලා, රාජිතලා, මංගලලාගේ ලනු කාලා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් තමන්ට ඕනෑ විදියට අර්ථකතනය කරන්න ගිය එකේ රඟ ජනාධිපතිවරයට දැන් තේරෙනවා ඇති.

අද රට පාලනය කරන්නේ ජනවරමක් නැති ආණ්ඩුවක්. සැබෑ ජනවරම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට මිසක් 2015 දී බොරුවෙන් බලයට ආපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට නෙමෙයි. අද රටේ ජනතාව බලන් ඉන්නේ කවද්ද ‍ජනාධිපතිවරණය තියෙන්නේ කියලා. 2015 දී වෙච්ච ඵෙතිහාසික වරද නිවැරැදි කිරීමේ දැවැන්ත වුවමනාවකින් ජනතාව පෙලෙන නිසා මිනිස්සු ජනාධිපතිවරණයක් එනකම් බලන් ඉන්නවා.

අද රටේ රැල්ල තියෙන්නේ පොහොට්ටුවට. අද රැල්ල තියෙන්නේ මහින්දට. මේවා දැකලා වියරු වැටුණු අය මොන මොන කතා කිව්වත් 2019 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරලා 2020 දී රට භාරගන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලත් කණ්ඩායම බව පැහැදිලියි. සමහරුන්ට මේ සත්‍ය දරා ගන්න බැරි වෙලා තියෙන බව පහුගිය දවස්වල ආණ්ඩුවේ අය කිව්ව කතා අහනකොට පැහැදිලි වෙනවා.

අපි දැක්කා මංගල සමරවීර මාධ්‍ය නිවේදන පිට නිවේදන නිකුත් කරමින් මේ සත්‍යය හංගන්න උත්සාහ ගත්තු ආකාරය. දැන් ජනාධිපතිවරයාත් ඒ පාරෙම යමින් කියනවා දැන්ම ජනාධිපති අපේක්ෂකයන් ගැන කතා කරන්න කල් වැඩිලු. එතුමට දැන් තමයි ඒවා මතක් වෙලා තියෙන්නේ. තමන්ගෙම පක්ෂයේ සභාපතිවරයා, තමන්ගෙම පාක්ෂිකයන් රවට්ටලා එක්සත් ජාතික පක්ෂයේ ඔ‍ඩොක්කුවට පනින වෙලාවේ ඒවා මතක් වුණේ නැද්ද දන්නේ නැහැ.

පක්ෂයට ද්‍රෝහි වුණ කෙනාට රටට ද්‍රෝහි වෙන එක සුළු දෙයක් බව දැන් පැහැදිලි වෙලා ඉවරයි. අපිට කියන්න තියෙන්නේ 2015 දී ජනතාවට දීපු පොරොන්දුවලින් එක දෙකක් හරි ඉතුරු කෙටි කාලයේ දී ඉෂ්ඨ කරන්න. එහෙම නැත්නම් රට ගොඩගන්න පුළුවන් කෙනකුට ඒ කාර්යය භාර දීලා විශ්‍රාම ගන්න. තවදුරටත් මේ ‍වගේ විහිලු සපයන්න ගිහින් අපේ රට ලෝකය ඉස්සරහා විහිලුවක් කරන්න එපා කියලා විතරයි.

– ප‍්‍රදීප් අනුර කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More