පුරවැසි කොලම

රතු බෝසතාණෝ

June 19, 2021 3:10 pm | Lanka Lead News

මේ ජුලි මාසයේ දී චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) සියවස් සමරුව පවත්වනවා. 1921 දී ආරම්භ කරපු මේ පක්‍ෂයට අවුරුදු 27 ක් ඇතුළත රාජ්‍ය බලය ලබාගෙන ඉතාමත් ස්ථාවර විදිහට තමන්ගේ රට පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ ම, මේ නායකත්වය යටතේ මහා ආර්ථික බලයක් තියෙන රටක් බවටත් චීනය පත් කරලා තියෙනවා.

තමන්ගේ සංස්කෘතිය අමතක කරන්නේ නැතුව දේශපාලනය කරන හින්දා තමයි පොදු නිෂ්පාදන පක්‍ෂයට මේ හපන්කම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේ ම, රටේ ආර්ථික කටයුතුත් තමන්ගේ සංස්කෘතික පීලි උඩ තියන්න ඒ අයට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඉතාමත් වේගයෙන් ඒ ආර්ථිකය ඉස්සරහට යන එක පුදුමයට කාරණයක් නෙවෙයි. චීන සමාජවාදය (中国特色社会主义, Socialism with Chinese Characteristics) කියන යෙදුම තුළිනුත් මේ සංස්කෘතික ප්‍රමුඛතාව ප්‍රකාශ කෙරෙනවා.

“රතු බෝසතාණෝ” කියන්නේ මේ කාරණය ඉතාමත් හොඳින් ප්‍රකාශ කෙරෙන සංකේතයක්.
මහා පා ගමනේ යෙදුණු රතු හමුදාව 1935 ජනවාරි මාසයේ දී කුයි-චෝ (贵州, Guizhou) පළාතේ ත්සුන්-යී (遵义, Zunyi) නගරයට ළඟාවුනා. පැත්තකට තල්ලු කරලා හිටිය මාඕ ත්ස-තුං නැවතත් ඉස්සරහට ආවෙත්, ඔහුගේ නායකත්වය අනිත් අය විසින් පිළිගත්තෙත් මේ නගරයේ දී පවත්වපු රැස්වීමේ දී. ඒක වෙනම කතාවක්.
මේ කියන්නේ ඊට වඩා හුඟක් පොඩි කෙනෙක් ගැන. ඔහු තමයි ලුං ස-ඡ්‍යුඅන් (龙思泉, Long Siquan). කුවං-ශි පළාතේ ඉපැදිළා රතු හමුදාවට බැඳුණු ඔහු අවුරුදු 18 ක තරුණයෙක්. තාත්තා වෙද මහත්තයෙක් හින්දා මේ තරුණයාත් වෙදකම් දැනගෙන හිටියා. ඉතින් ඔහුව අනුයුක්ත කරලා හිටියේ රතු හමුදාවේ වෛද්‍ය අංශයට. ඔහු තමන් දන්න වෙදකම් කරලා හුඟක් අයගේ තුවාල, වේදනා සහ අනෙකුත් ලෙඩ සනීප කළා. ඒ හින්දා ඔහුගේ හැකියාව ගැන හුඟක් අය දැනගෙන හිටියා.

පා ගමනේ යෙදුණු රතු හමුදාව විසින් ත්සුන්-යී නගරයේ සහ ඒ ආශ්‍රිත කෝරළ හයක බලය අල්ලගෙන ඒ ප්‍රදේශයේ ස්ථානගත වුනා. ඒ ප්‍රදේශයේ ගමක මිනිස්සු කිසියම් වසංගත රෝගයකට ගොදුරු වෙලා මහා පීඩාවකට පත්වෙලා ඉන්නවා කියන තොරතුර මාඕ ත්ස-තුංට අහන්න ලැබුණේ ඒ වෙලාවේ. ඉතින් ඒ දුප්පත් මිනිස්සුන්ට පිහිටවෙන්න කියලා ඔහු රතු හමුදාවේ වෛද්‍ය අංශයට කිව්වා. ඉතින් ඒ වගකීම පැවරුණේ ලුං ස-ඡ්‍යුඅන්ට.

කිසිම පැකිළීමක් නැතුව ඒ වගකීම භාරගෙන අදාළ ගමට ගිය ලුං ස-ඡ්‍යුඅන් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන වැඩේ පටන්ගත්තා. වටපිටාවෙන් ම අවශ්‍ය කොළ පොතු ජාති හොයාගත්ත හින්දා වැඩේ කරන එක අමාරු වුනෙත් නෑ. ඉතින් බොහොම ඉක්මනින් ඒ ලෙඩ්ඩු සනීප කරන්න ලුං ස-ඡ්‍යුඅන්ට පුළුවන් වුනා.
මේ හපන්කම ආරංචි වෙච්ච අහළ පහළ ගම්වල අයත් තමන්ගේ ලෙඩ දුක් ගැන කියාගෙන ආවා. ලුං ස-ඡ්‍යුඅන් ඒ අයටත් බෙහෙත් කළා. ඒ අයත් සනීපවුනා.

හැබැයි මේ වෙද්දි හතුරු ප්‍රහාර එල්ලවෙමින් තිබුණු හින්දා රතු හමුදාව ත්සුන්-යී නගරය සහ ආශ්‍රිත ප්‍රදේශය අත ඇරලා තරමක් උතුරට ගමන් කළා. ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන වැඩේ හින්දා තමන්ගේ හමුදාවට එකතුවෙන්න ලුං ස-ඡ්‍යුඅන්ට බැරිවුනා.

ඒ වෙද්දි ලුං ස-ඡ්‍යුඅන් ගැන හුඟක් අය දන්නවා. හතුරන්ට ඔහු ගැන ආරංචිවුනා. ඉතින් හතුරෝ ඔහු හොයාගෙන ආවා. ඒ වෙලාවෙත් ඔහු ළමයෙක්ට ප්‍රතිකාර කරමිනුයි හිටියේ. ඒත් හතුරෝ ඒ ගැන සැළකුවේ නෑ. ලුං ස-ඡ්‍යුඅන් කියන්නේ රතු හමුදාවේ කෙනෙක්. ඉතින් ඒ හතුරෝ ඔහුව අත්අඩංගුවට ඇරගෙන ඔහුට මරණ දඬුවම දුන්නා.

ඒ කාරණයෙන් ප්‍රදේශයේ මිනිස්සු හැමෝම කම්පාවට පත්වුනා. ඉතින් ඒ අය එකතුවෙලා ලුං ස-ඡ්‍යුඅන්ගේ දේහය ඇරගෙන ගිහිල්ලා සුරගුරුළු කන්දේ දකුණු පැත්තේ හොඳින් අව්ව වැටෙන තැනක මිහිදන් කළා. ඒ උඩින් සොහොන් කොතකුත් හැදුවා.

මේක ආරංචි වෙච්ච හතුරන්ට ඒ මිනිය ගොඩ ඇරන් විනාශ කරලා දාන්න ඕනවුනා. ඒ වෙනුවෙන් යවපු කණ්ඩායමක් කන්දේ දී අනතුරට ලක්වුනා. ඒ අනතුරින් එක් කෙනෙක් මියගියා. තව කීප දෙනෙක්ට තුවාල වුනා. ඉතින් ඒ අයට තමන්ගේ රාජකාරිය කරන්න බැරිවුනා.

මේ සිද්දිය මහා ආශ්චර්යයක් විදිහට තමයි ප්‍රදේශයේ අය සැළකුවේ. ඉතින් ලුං ස-ඡ්‍යුඅන් කියන්නේ බෝධිසත්ත්වයෙක් කියලා ඒ අය කියන්න පටන්ගත්තා. ඉතින් “රතු බෝසතාණෝ” කියන නමත් ඔහුට පටබැඳුණා. මේ කතාවත් බොහොම වේගයෙන් පැතිරිලා ගියා. මිනිස්සු ඇවිල්ලා ඔහුගේ සොහොනට සුවඳ දුම් පූජාකරන්න පටන්ගත්තා. ඔහුගෙන් විවිධ උපකාර ඉල්ලුවා. මේ සොහොනට පූජා පැවැත්තුවාම ලෙඩදුක් සනීපවෙනවා කියලා කතාවකුත් ප්‍රචාරය වෙන්න පටන්ගත්තා.

ඉතින් එදා ඉඳලා අද වෙනකල් ම මිනිස්සු මේ “රතු බෝධිසත්වයන්වහන්සේට” පුදපූජා තියලා උපකාර අයදිනවා. 1990 දී විතර ඒ ස්ථානයේ ලුං ස-ඡ්‍යුඅන්ගේ ප්‍රතිමාවකුත් හදලා තියෙනවා. සුවඳ දුම් පත්තු කරන්න තැනකුත් ඒ ප්‍රතිමාව ඉස්සරහ හදලා තියෙනවා. ඒ ප්‍රතිමාව පිරිමැද්දමත් ලෙඩ රෝග සනීපවෙනවා කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් මේ වෙද්දි ඒ ප්‍රතිමාවේ හුඟක් තැන මිනිස්සුන්ගේ අත්වලින් ම ඔපවැ‍ටිලා.
අදටත් නොනවත්වා ම මේ පූජා පැවත්වීම සිද්දවීමයි වැදගත්.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More