පුරවැසි කොලම
  1. රසායනික පළිබෝධ නාශක උගුල

හරිත විප්ලවය හරහා හඳුන්වා දෙන ලද නව වී වර්ග පැරණි ඒවා මෙන් රෝග හා පළිබෝධවලට ඔරොත්තු නොදුන් නිසා ගොයම් පැළෑටි පළිබෝධකයින්ගෙන් රැක ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පළිබෝධනාශක යෙදිය යුතු වේ. දෙවනුව, වගාවට යොදන කෘත්‍රිම පොහොර නිසා වල් පැළෑටිද ශීඝ්‍රයෙන් වර්ධනය වීම නිසා ඒවා මර්දනය කිරීමටද අනිවාර්යයෙන් පළිබෝධනාශක භාවිත කළ යුතු විය.

කාලාන්තරයක් තිස්සේ පළිබෝධකයින්ට ඔරොත්තු දෙන බෝග විශේෂ තෝරා බේරාගෙන අපේ රටවල ගොවීන් විසින් නිර්මාණය කරගෙන තිබූ මිශ්‍ර බෝග වගාව සහිත සමතුලිත කෘෂි පද්ධති බිඳ දමා ඒත බෝග වගා ක්‍රමය හඳුන්වාදීම තුළ පළිබෝධ හානි ද ඉහළ ගියේය. නමුත් මෙම ඒක බෝග වගාව සහිත නව තත්ත්වයට ඇතැම් විට පැරණි පළිබෝධ මර්දන ක්‍රම නොගැලපිණි. මෙම නොගැලපීම තුළ එම මර්දන ක්‍රම අවඥාවෙන් හෙළා දැකීමට බටහිර කෘෂි විශේෂඥයින්ට අවස්ථාව උදාකළේය. ඒ සඳහා ඔවුන්ගේ පෙර සූදානම් කළ පිළිතුර වූයේ රසායනික පළිබෝධ නාශක භාවිත කිරීමය.

පැරණි පළිබෝධ මර්දන ක්‍රම පරිසර හිතකාමී වූ අතර, එය තනි ක්‍රමයක් මත රඳා පවතිනවාට වඩා ගොවිතැන – පරිසරය හා බැඳුණු සතුන් හා ශාක යන සියල්ල සමග ඒකාබද්ධව පැවති ක්‍රම ලෙස හඳුනාගත හැකිය. ඒවාහි පරිසරය හා සමග වන මාරාන්තික ගැටුමක් නොවීය. වගා බිම් සකස් කර ගැනීමේදී බීජ වී වැපිරීමට පෙර සිදු කරන ‘සී සෑම’ මගින් මී ගවයින්ගේ පාදවලට හසුවන වල් පැළෑටි විශාල වශයෙන් පස යටට  ගිලා බසී. එසේම වී වැපිරීමට පෙර කුඹුරේ ඇති සියලු වල් පැළෑටි මුලින්ම උගුලා මඩ යට ගැසීමෙන් එම වල්පැළෑටිවලට නැවත පැළ වී නැඟී සිටීමට අවස්ථාවක් නොලැබේ. මේ නිසා දේශීය ගොවිතැනට අනුව වල් පැළෑටි හට ගත්තේ මඳ වශයෙනි. එසේම මෙහිදී මේ නවීන කෘෂිකර්මාන්තය අනුව ‘වල් පැළෑටි’ සම්බන්ධ නිර්වචනය අපේ වගා බිමට ගැලපෙන්නක් නොවේ. මේ නවීන කෘෂිකර්මාන්තය තුළ ‘වල් පැළෑටි’ ලෙස අර්ථ දක්වන ඇතැම් ශාක වර්ග අපේ රටේ පලා වර්ග ලෙස කාලාන්තරයක් තිස්සේ ආහාරයට ගත් ඒවාය. උදාහරණ ලෙස ‘ගිරාපලා’, ‘ඇඹුල් ඇඹිලිය’ සඳහන් කළ හැකිය. එසේම ඇතැම් ශාක එනම් ‘තුනැස්ස’, ‘තුන්හිරියා’, ‘පන්’ ආදිය ගෘහ කර්මාන්ත ලෙස වට්ටි පෙට්ටි විවීම සඳහා යොදාගන්නා ලදී. නමුත් කෘෂි රසායන සමාගම්වල නිර්වචනය තුළ මේ සියල්ල වල් පැළෑටි කුලකයට අයත් වූ අතර, එහෙයින් විනාශ කර දැමිය යුතු විණි.

කුඹුරේදී වී පැළයට සතුරු ලෙස ක්‍රියාකරන පැළෑටි මර්දනයට දේශීය ගොවිතැනේදී භාවිත කළ සුවිශේෂ ක්‍රමයක් නම්, කුඹුර පිරෙන්නට වතුර බැඳ තැබීමෙන් වල් පැළෑටි කුණු වී යන්නට සැලැස්වීමෙන් කළ මර්දනයයි. ඉන්දියානු දේශීය ගොවිතැනේදී ද මේ ක්‍රමය භාවිත කර තිබේ. 20 වන සියවස මුල් භාගයේදී ඉන්දියාවෙහි කෘෂිකර්මය පිළිබඳව හදාරා එය නවීකරණය කිරීමට සුදුසු ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය රජය විසින් ඉන්දියාවට එවන ලද වොයෙල්කර්, ඉන්දියාවේ වල්පැළ මර්දනය කෙරුණු මෙම ක්‍රමය දැක පවසන්නේ ‘වතුර බැඳ තැබීමෙන් පමණක් වල්පැළ මර්දනය කිරීමේ ක්‍රමය තරම් හොඳ හෝ නිවැරදි ක්‍රමයක් ලොව තවත් තිබිය නොහැකිය යනුවෙනි. (ආචාර්ය සූරිය ගුණසේකර – ‘සංවර්ධන ඇදහිල්ල’)

පරාක්‍රම එස්. ගුණසේකර පෙන්වා දෙන ආකාරයට, ගොයමට හානි කරන ගොයම් මැස්සා ඇතුළු කෘමීන්ගෙන් ගොයම රැක ගන්නට දේශීය ගොවිතැනේදී අනුගමනය කළ ක්‍රම බොහෝය. මඩු මල් කුඩා කැබලිවලට කඩා කුඹුරේ තැනින් තැන දැමීමෙනුත්, මදුරුතලා ගස් කැබලිවලට කඩා කුඹුරේ තැනින් තැන දැමීමෙනුත් ඒවායින් නික්මෙන ගන්ධය නිසා කෘමීන් පළවා හැරීම සිදු කෙරිණි.

වැදගත්ම දේ මේවායින් එම කෘමීන් පළවා හැරීමය. ඔවුන් විනාශ කළා නම් පරිසර පද්ධතිය තුළ එම කෘමීන් මත යැපෙන ඒ හා සම්බන්ධ ශාක හා සතුන් වර්ග ගණනාවකට එය හානිකර ලෙස බලපායි. නමුත් මෙහිදී සිදු කෙරු‍ණේ වගාවෙන් ඔවුන් විකර්ෂණය කිරීමය.

නමුත් මේ ක්‍රමයට ප්‍රතිපක්ෂව බහුජාතික සමාගම් විසින් හඳුන්වා දුන් කෘෂි රසායන හරහා පළිබෝධ නැසීම පැහැදිලිවම ඉතා බිහිසුණු ක්‍රම වේදයක් විණි. ගොවිබිම වෙත කුමන වෙළෙඳ නාමයකින් කෘෂි රසායන පැමිණියත් ඒවා නිපදවීමෙන් ලාභ ලබන්නේ බවර්, හේකෙම්, කෙමිකල් ඉන්ඩස්ට්‍රීස්, හාක්‍රොස්, මැක්වුඩ්ස් වැනි සමාගම්ය. ඒවායේ මව් සමාගම් වන්නේ යුනියන් කාබයිඩ්, සීබාගෙයිගි, ෆෝඩ්, රොක්ෆෙලර්, ෂෙල්, බේයර් වැනි යෝධ බහුජාතික සමාගම්ය. 1950 සිට 1980 දක්වා කාලය තුළ ලෝකයේ පළිබෝධනාශක භාවිතය 32 ගුණයකින් ඉහළ ගොස් ඇත.

මෙහිදී ලංකාවේ කෘෂි රසායන ව්‍යාපාර කටයුතු කළ ප්‍රධාන සමාගමක් වූ ‘සීමාසහිත කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් (කොළඹ)’ විසින් ඉකුත් 90 ගණන්වල මුල්භාගයේ නිකුත් කර තිබූ ඔවුන් විසින් අලෙවිකරන ‘කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු’ නමැති අත්පොත පරිශීලනයෙන් පමණක් මෙම කෘෂි රසායන උගුලේ විනාශකාරීත්වය අවබෝධ කර ගැනීමට පිළිවන. මෙම සමාගම විසින් පූර්ව නිර්ගමන වල් නාශක, පශ්චාත් නිර්ගමන වල් නාශක, සියල්ල නසන වල් නාශක, තෝරා නසන වල් නාශක, පූර්ව සහ පශ්චාත් නිර්ගමන වල් නාශක, ඕගනෝ ෆොස්පරස් වර්ගයට අයත් දියර කෘමි නාශක, ඕගනෝෆොස්පරස් වර්ගයට අයත් කෘමි නාශක කුඩු , කාබමේට වර්ගයට අයත් කෘමිනාශක දියර, කාබමේට වර්ගයට අයත් කැට සහිත කෘමි නාශක, පයිරත්‍රොයිඩ් වර්ගයට අයත් කෘමි නාශක, කෘමි වර්ධක නාශක, මී නාශක, දිලීර නාශක, සංස්ථානීය දිලීර නාශක යන වර්ග 14 යටතේ ‍වෙළෙඳ නාම 22කින් කෘෂි රසායන ඉදිරිපත් කර ඇත.

එක් එක් වෙළෙඳ නාමයෙන් යුතු කෘෂි රසායනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධව දක්වා ඇති විස්තර ඇඟ හිරිවට්ටන සුලුය.

“ගෝල් 2 ඊ – සක්‍රීය ද්‍රව්‍ය ලෙස 24% ඔක්සිප්ලෝෆේන් අඩංගු පූර්ව නිර්ගමන වල් නාශකයකි. එය තෘණ, පන් සහ පළල් පත්‍රවලට අයත් වල් බීජ ප්‍රරෝහණය සති 8-12 දක්වා මර්දනය කරයි. ගෝල් 2 ඊ වී, ළූනු, සෝයා බෝංචි, අර්තාපල්, තේ සහ උක් වැනි බෝගවල වල් මර්දනයට භාවිත කෙරේ.

රොන්ස්ටා 25 ඊසී – සක්‍රීය ද්‍රව්‍ය 25%ක් අඩංගු පූර්ව නිර්ගමන වල් නාශකයකි. ප්‍රරෝහණය වන වල් පැළ බීජ අංකුරවල වර්ධක ස්ථාන රොන්ස්ටා යෙදූ පසු හා ගැටුණු විගස ඒවායේ වර්ධනය ඇණ හිටී. මෙමගින් වල් පැළ බීජ ප්‍රරෝහනය සති 4-6 කාලයක් දක්වා මර්දනය කෙරේ.

ඩයියුරෝන් 80% ඩබ්ලිව්.පී. – පූර්ව නිර්ගමන වල්නාශකයකි. පසෙහි ඇති රසායන ද්‍රව්‍ය මුල් මගින් උරාගන්නා නිසා ප්‍ර රෝහනය වූ බීජ වහා වැනසේ. මෙය තේ, පොල්, රබර්, අන්නාසි, උක්, දොඩම්, දෙහි, කපු, මිදි, පාම් ඔයිල්, ඉදල් ඉරිඟු, බඩ ඉරිඟු වගාවේ සහ කාර්මික භූමි, රේල් පාරවල්වල ඇති වල් මර්දනයට භාවිත කෙරේ.

ග්‍රැමොක්සෝන් – සක්‍රීය ද්‍රව්‍ය ලෙස ලීටරයට ග්‍රෑම් 200 පැරකොට් අයන අඩංගු ස්පර්ශයෙන් නසන පූර්ණ වල් නාශකයකි. ශාකයන්හි පස මතුපිට  පවතින හරිත වර්ණ වූ සියලුම කොටස් ග්‍රැමොක්සෝන් යෙදීමෙන් ස්පර්ශයෙන් විනාශවන අතර, පසට වැටීමෙන් එහි ක්‍රියාකාරීත්වය හීන වී යයි. මෙය වී වගාවේ මූලික වල් මර්දනයට සහ තේ, රබර්, පොල් කුරුඳු, කෙසෙල්, කෝපි හා උක් වගාවන්හි තෘණ, පන් සහ පළල් පත්‍රවලට අයත් වල් මර්දනයට භාවිත කළ හැකිය.

ඇක්ටලික් 50 ඊ.සී. – ස්පර්ශයෙන්, ශරීරගතවීමෙන් හෝ ධූමකරණයෙන් කෘමීන් මර්දනය කෙරේ. ඇක්ටලික් පත්‍ර මතුපිටට යෙදූ විට ඒවායේ යටි පැත්තටද සංක්‍රමණය වී පත්‍ර යටි පැත්තේ සිටින කෘමීන්ද මර්දනය කරයි.

ඩයිමෙතොඒට් 40 – ඕගනෝපොස්පරස් වර්ගයට අයත් බෝගවලට යෙදූ විගසින් ඒවා තුළට උරාගන්නා අධික ක්‍රියාකාරීත්වයකින් යුත් කෘමිනාශකයකි. මෙය පැළෑටි මත තැවරුණු විගස පැළෑටි තුළට ඇතුළු වී පැළෑටිවල මුල්, කරල්, ගෙඩි වැනි සියලු කොටස් තුළට පැතිරෙන නිසා එම විවිධ කොටස්වලට හානි කරන සියලුම කෘමීන් සැනෙකින් මර්දනය කරයි.

මොනොක්‍රොටෆොස් – ඕගනෝපොස්පර්ස් වර්ගයට අයත් පුළුල් ක්‍රියාකාරී සංස්ථානීය කෘමි නාශක දියරයකි. එය යෙදූ විට ශාකවලට උරාගන්නා අතර, ඒ මගින් හපාකන යුෂ උරාබොන සහ විද යුෂ උරාබොන කෘමීන් මර්දනය කරයි.

මාර්ෂල් 20 ඊ.සී. – සක්‍රීය ද්‍රව්‍ය ලෙස 20% කාබොසල්ෆාන් අඩංගු කාබමේට් වර්ගයට අයත් පුළුල් ක්‍රියාකාරීත්වයක් ඇති සංස්ථානීය කෘමිනාශකයකි. මෙය පසට හෝ පත්‍රවලට යෙදිය හැකි අතර, බෝගවලට හානිකරන, හපාකන, යුෂ උරාබොන හෝ විද යුෂ උරාබොන හා පසේ වෙසෙන කෘමීන්ද මර්දනයට භාවිත වේ.”

මෙම කෘෂි රසායන ක්‍රියාකරන ස්වභාවය විශ්ලේෂණය කරගැනීම මගින් අපේ රටේ බෝගවලට -පරිසරයට – පසට – ජීවීන්ට සිදු කර ඇති විනාශයේ තරම පිළිබඳ පැහැදිලි අදහසක් ගත හැකිය. මේ එබඳු එක් සමාගමක නිෂ්පාදන පමණි. මෙබඳු තවත් සමාගම් ගණනාවක, විවිධ වෙළෙඳ නම්වලින් යුත් කෘෂි රසායන ද්‍රව්‍ය ගණනාවක්, අඩ සියවසකට නොඅඩු කාලයක් තිස්සේ අඛණ්ඩව වගා කන්නයක් කන්නයක් පාසා යෙදීමෙන් සිදුව ඇති විනාශයේ පරිමාණය ගිණිය නොහැකි තරම්ය. මෙය වඩාත් පැහැදිලි වන්නේ සාම්ප්‍රදායික දේශීය කෘෂි කර්මයේ පළිබෝධ මර්දන ක්‍රම ඉදිරිපිට, ඉහත දැක්වූ කෘෂි රසායනවල පළිබෝධ මර්දන ස්වභාවය තබා බලන විටය. අපේ පරිසරයෙන් වී කුරුල්ලන්, බත්කූරන්, සමනළයින්, ගැඩවිලුන්, නලහඳයින් ඇතුළු මිරිදිය මාලුන් වැනි ඇසට පෙනෙන ජීවීන් මෙන්ම, අපේ ඇසට නොපෙනුන ක්ෂුද්‍ර ජීවීන් ගණනාවක්ද වඳ වී යාම පිටුපස ඇත්තේ මේ රසායනික ද්‍රව්‍යවල හැසිරීම නොවේද?

මෙරට සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ අඩුපාඩු ගැන අඬහැර පා, කෘෂි රසායන මත පදනම් වූ කෘෂි කර්මාන්තයක් මෙරට ස්ථාපිත කිරීමට දේශපාලන මට්ටමේ සිට නිලධාරී තන්ත්‍රය දක්වාද, ආචාර්ය – මහාචාර්යවරුන්ගේ සිට මේවා ගැන වර්ණනා කරමින් ලිපි ලියූ පුවත්පත්කලාවේදීන් දක්වාද, මේවා වෙළෙඳ දැන්වීම් හරහා සමාජගත කිරීමට දැන්වීම් ලියූ පිටපත් රචකයින් දක්වා ද වන සියලු කණ්ඩායම්වලට දැන් කීමට ඇත්තේ කුමක්ද? එකක් නිසැකවම කිව හැකිය. එනම්, දශක හයක් තිස්සේ අපේ ශරීරවලට මෙලෙස කෘෂි රසායන හරහා ඇතුළු වී ඇති විෂ රසායන ප්‍රමාණය අනුව, වෙනත් රටකට කවදාවත් අපට ‘වහ කවා’ මේ රට යටත් කර ගැනීමට නුපුළුවන් බවය. ‘ගොවියාගේ හිතමිතුරා …’ අපේ රටට කෙළවා ඇත්තේ මෙලෙසිනි.

මේ ‘කෘෂි රසායන’ නමැති උගුල තුළ අප රටක් ලෙස සිරකර ඇති ආකාරයයි.

ලෝක බැංකුව හා බහුජාතික සමාගම් ඇටවූ කෘෂිකර්මාන්තයේ පංච මහා උගුල්(පළමු කොටස )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More