දේශීය පුවත්

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ වැලිපැන්න කේන්ද්‍ර කරගනිමින් කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය කිරීමේ කාර්මික ජනපදයක් ස්ථාපිත කරණ බවයි.සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්…

කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය කිරීමේ කාර්මික ජනපදයක් වැලිපැන්න කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

වැලිපැන්න අධිවේගී පිවිසුම අසල ඉදිකිරීමට යෝජිත කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයන කාර්මික ජනපද භූමිය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වෙළඳ අමාත්‍යංශය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඉදිරියේ දී දෙස් විදෙස් ආයෝජකයන් සඳහා එය විවෘත වනු ඇත.

ඕස්ට්‍රේලියාව එහි ආරම්භක අයෝජනය සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ අනුව ලංකාවේ නිෂ්පාදනය නොවන පරිප්පු, බාර්ලි වැනි ධාන්‍ය වර්ග ඕස්ට්‍රේලියාවේ සිට තොග වශයෙන් ආනයනය කොට අගය එකතු කරමින් ආසියානු, අප්‍රිකානු සහ මැදපෙරදිග රටවලට මෙම ජනපදය ඔස්සේ ප්‍රති අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අතර ඊට අදාළ පළමු සාකච්ඡාව අද දින වැලිපැන්නේ දී මෙම නිරීක්ෂණ චාරිකාවකට සමඟාමීව පැවැත්විණි.

මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින තානාපති සබඳතා මෙවැනි ව්‍යාපෘති ඔස්සේ අප තව තවත් ශක්තිමත් කරමින් සිටිනවා. නාවික හා ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාව පිහිටා තිබීමේ වැදගත්කම මෙමගින් තවත් තහවුරු වෙනවා.

වරාය හා ගුවන්තොටුපළ කේන්ද්‍රකරගනිමින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් කටයුතු කරමින් සිටිනවා.

මෙවැනි ආයෝජන අවස්ථා ඉලක්කකරගෙන තමයි එදා අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, කොළඹ වරාය පර්යන්තයන් ඉදිකරනු ලැබුවේ.

අද බලාපොරොත්තුවන්නෙ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන කෘෂිකාර්මික නිෂ්පාදන හුවමාරුව ශක්තිමත් කරමින් ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය සඳහා අවශ්‍ය ප්‍රතිඅපනයන ගම්මානයක්, අයෝජන කලාපයක් නිර්මාණය කිරීමයි.

අන්තර්ජාතික වෙළෙඳ භාණ්ඩ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ පළමු සාකච්ඡාව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමා සහ ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා අතර අද දින මේ ස්ථානයේ දී පැවැත්වුණා.

පළමු කාර්යය විධියට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වෙළඳ අමාත්‍යංශය ඒකාබද්ධව අවශ්‍ය මූලික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අනතුරුව දෙස් විදෙස් ආයෝජකයන් සඳහා මෙම ස්ථානය විවෘත කරනවා.

කෘෂි නිෂ්පාදන ප්‍රතිඅපනයන කාර්මික ජනපදය ඇතිකිරීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාගේත් ඒකාබද්ධ යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක වීමට නියමිත යැයි අමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවෙල් මහත්වරු සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මාධ්‍ය ඒකකය,
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More