දේශීය පුවත්

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අධිකරණය විසින් ලබාදෙන නියෝග උල්ලංඝනය කරන පාර්ශ්වයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ පියවර ගැනීම සුදුසු බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අද (15) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.

මෙම විමර්ශනයට අදාළ පැමිණිල්ල අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් මේ බව දැනුම් දුනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විමර්ශන කටයුතු සඳහා අදාළ නෞකාවේ දේශීය නියෝජිත වන සී. කොන්සෝටියම් ලංකා සමාගමේ ඊමේල් දත්ත ගබඩාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීම පැහැර හැර ඇති බවය.

එම පිටපත ලබාදෙන ලෙස ඉකුත් දා අධිකරණය විසින් නියෝගයක් නිකුත් කලත් එම දත්ත ලබාදීම අදාළ සමාගම විසින් පැහැර හැර ඇති බව ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

එම අවස්ථාවේ අදාළ සමාගම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ සමාගමේ සමස්ත දත්ත ගබඩාවම තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කරන බවය.

අධිකරණය විසින් නියෝග කර ඇත්තේ මෙම විමර්ශනවලට අදාළ ඊමේල් දත්ත පමණක් ලබාදෙන ලෙස බවත් සමස්ත දත්ත ගබඩාවම ලබාදුන හොත් සමාගම සතු ව්‍යාපාරික රහස් ප්‍රසිද්ධියට පත්වීමේ අවදානමක් තිබෙන බවද සඳහන් කර සිටියේය.

එමනේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින ඊමේල් දත්ත ගබඩාව ගිගාබයිට් 6,000 කින් පමණ යුක්ත වන හෙයින් එය පිටපත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බව අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දැක්විය.

මෙම අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට පෙන්වා දුන්නේ අධිකරණය විසින් ලබාදෙන යම් නියෝගයක් සම්බන්ධයෙන් කිසියම් පාර්ශ්වයක් අතෘප්තියට පත් වන්නේ නම් ඔවුන්ට ඉහළ අධිකරණයට ගොස් එම නියෝගය වෙනස් කරගැනීමට හැකියාව පවතින බවය.

මේ අතර වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම නෞකාවේ සිටින කාර්යමණ්ඩල සාමාජිකයන් 27 දෙනා සතු ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, කැමරා ආදී ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල අන්තර්ගත දත්තවල පිටපතක් ලබාගැනීම සඳහා ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස ඉකුත් දා අධිකරණය විසින් නියෝගයක් නිකුත් කලත් එම අධිකරණ නියෝගය අදාළ කාර්යමණ්ඩලය විසින් ද පැහැර හැර ඇති බවය.

එම අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිපුන විමලසේකර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ නෞකාවේ කර්යය මණ්ඩලයේ සිටින සාමාජිකයින් 13 දෙනෙකුම චීන ජාතිකයින් බවත් ඔවුන්ට සිංහල භාෂාවෙන් මුද්‍රණය කළ අධිකරණ නියෝගයක් පෙන්වා භාණ්ඩ ඉල්ලා ඇති බැවින් ඒවා ලබාදීමට හැකියාවක් නොතිබූ බවය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය නීතිඥවරයාට පෙන්වා දුන්නේ විමර්ශනවලට සහායවීමට සෑම පාර්ශ්වයක්ම බැඳී සිටින බවය.

නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ ඉල්ලීමක් කරමින් ගිනි ගැනීමට ලක් වූ නෞකාව පවතින අනතුරුදායක තත්ත්වය පිළිබඳව කපිතාන්වරයා වරින් වර හාබර් මාස්ටර්වරයා දැනුවත් කළ බවත් කපිතාන්වරයා විසින් නිකුත් කරනු ලැබූ එම රේඩියෝ පණිවුඩ හාබර් මාස්ටර්වරයාගේ සන්නිවේදන කේන්ද්‍රයෙහි සටහන් වන බවය.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සන්නිවේදන දත්ත පිළිබඳව මේ දක්වා නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවද පෙන්වා දුනි.

එම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සමාගම විසින් මතු කරනු ලබන සන්නිවේදන පණිවිඩ පිළිබඳවද විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තවත් ඉල්ලීමක් කරමින් සඳහන් කළේ අදාළ නෞකාවේ දේශීය සමාගමේ සභාපතිවරයා වන අර්ජුන හෙට්ටිආරච්චි නැමැත්තා ප්‍රකාශ ලබාදීම හිතාමතාම පැහැර හරිමින් සිටින බවය.

බැවින් ඔහුට විදේශගතවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

අනතුරුව පැමිණිල්ල ලබන 30 වනදා කැඳවීමට නියම කෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More