පුරවැසි කොලම

‘‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’’ කෘතිය එළිදැක්වුණේ පසුගිය වසරේ මාර්තු මාසයේය. 2015 ජනවාරි 8 වැනි දින බලයට පැමිණි ආණ්ඩුව වෙනස්කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම දක්වා වූ ගමන් මග ”මහින්ද සුළඟින් ගෝඨාභිෂේකය” කෘතියෙහි අන්තර්ගතය විය. උදය ගම්මන්පිල මහතා විසින් එම කෘතිය රචනා කර තිබූ අතර එය පළමුවෙන්ම මහා සංඝරත්නයට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලදී. මේ ග‍්‍රන්ථය එළිදැක්වීමේ උළෙලේ ප‍්‍රධාන දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කර සිටියේ උදය ගම්මන්පිල යනු පරාජිත මොහොතේ හමු වූ ධෛර්ය සම්පන්න මිතුරෙක් වන බවයි.

එහෙත් පසුගිය දින දෙක පුරාම කතා වන්නේ ‘‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට ගැන නම් නොවේ. එය වෙනම කතාවකි. සුළඟ වෙන අතකට හැරෙන කතාවකි.

ඇත්තෙන්ම පොහොට්ටු නිවේදනය, ඉන්ධන මිල ඉහළ යෑම හා උදය ගම්මන්පිලගේ ඇමැතිකම කාරණා තුනක් වුවත් සියල්ල එකට බැඳී පවතී. ලංකාවේ ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව ප‍්‍රමුඛ බලධාරියා වන්නේ මුදල් අමාත්‍යාංශය මිස බලශක්ති අමාත්‍යාංශය නම් නොවේ. ජනපති අගමැති නොදැන කිසිම විටක තෙල් මිල ඉහළ දමන්නේ නැත. ජීවන වියදම් කමිටුව රැස්වන්නේද සියලූ බලධාරීන්ගේ එකතුවෙනි. මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග ප‍්‍රකාශ කළේ ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පසුගිය 9 දා කැඳවා තිබූ ජීවන වියදම් රැස්වීමට විශේෂ ආරාධිතයන් ලෙස ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල හා නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, අගමැති ලේකම් ගාමිණී සෙනරත් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගල යන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනාද සහභාගි වී ඇති බවයි. නමුත් තෙල් මිල ඉහළ යෑම නිසාම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා ඇමැති උදය ගම්මන්පිලට එරෙහිව අවි අමෝරා ඇත.

ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව මේ ලේකම් කියයි. ඔහුගේ නිවේදනය වහා නිකුත්වන්නේ තවත් රජයේ ප‍්‍රමුඛයකුගේ මෙහෙයවීමෙන්ද? සාගරගේ ලිපියේ ඇත්තේ ඔහුගේ අත්සන පමණක්ද? ලියා ඇත්තේ වෙනම පිරිසක්ද? මේවා ගැන සමාජ මාධ්‍ය ජාලවල බරපතළ වාද විවාද ඇතිව තිබේ. මිල ඉහළ යෑම පැත්තකට විසිවී සාගරගේ පෙම් පත දැන් මාතෘකාව වී ඇත. වැඩියෙන් විස්සක් ගෙවා පැට්‍රෝල් ගසා ගෙන යන තැනැත්තාද තමන්ගේ ජංගම දුරකථනයෙන් මුහුණු පොතට ගොස් බලන්නේ පොහොට්ටුවේ ගැටුම එනම් සාගර – උදය දෙපැත්තට බෝල පාස් කිරීම ගැනය. කොරෝනා උවදුර හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින ජනතාව ඉන්ධන මිල වැඩි කිරීම මගින් තවදුරටත් පීඩාවට පත්කිරීම අනුමත නොකරන බව සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ආන්දෝලනාත්මක නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් රටේ සංවර්ධනයට කැප වී කටයුතු කරන මෙවන් අවස්ථාවක වුවමනාවෙන්ම පක්ෂය හා එහි නායකයන් අප‍්‍රසාදයට පත්කිරීම සඳහා මෙවැනි තත්ත්වයක් ඇතිකරනු ලබන්නේද යන්න ගැන සාධාරණ සැකයක් ලේකම්තුමාට මතුව ඇති බව එම ලිපියෙන් පවසයි. මේ සැකය සාගරගේමද? එතන කොස්ස ඇත. උදය, විමල්, වාසු ඇතුළු පක්ෂ නායකයන්ගේ එකතුවට පොහොට්ටු පක්ෂ ලේකම් සැමවිටම එරෙහි විය. විසිවන සංශෝධනය පිළිබඳවද පරස්පර අදහස් දැරූවන් අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ඉදිරියෙන්ම සිටියහ. විමල් පළ කරන අදහස් බැසිල් විරෝධී අදහස් වශයෙන් හංවඩු ගසා තිබිණි. වාසුදේවද ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව අදහස් දැක්වීම හේතුවෙන් කතාබහට ලක්වූ අතර උදය ගම්මන්පිලද දැරුවේ ඒ හා සමාන අදහසකි. කෙසේ නමුත් අවසානයේ විස්ස සම්මත විය. නමුත් ගැටලූ අළුයට ගිනි පුපුරු මෙන් පවතින බව පෙනෙන්නේ ඇමැති උදයට එරෙහිව යළි ප‍්‍රහාරයක් දියත්වීම නිසාය.

ජාතික ලැයිස්තු මන්ත‍්‍රීතුමාගේ නිවේදනය සාධාරණීකරණය කිරීමට වහා ඉදිරිපත්ව ඇත්තේ ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතාය. ඔහු ප‍්‍රමුඛව නියෝජනය කරන්නේ ජනපති උපදේශක බැසිල් රාජපක්ෂ මහතාගේ මතය බව නොදන්නා බබෙක් නැත. පතිරණ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනකින් කියවෙන්නේ කුමක්ද? සිංගප්පූරු තැරැව්කරුවන් මගින් දිගින් දිගටම ඉන්ධන ලබා ගෙන ඇත්තේ ඉන් කොමිස් මුදල් ලැබෙන නිසා බවත් එසේ නැතිව ඔපෙක් රටවල් සමග ගිවිසුම්ගත වී ඉන්ධන ලබාගත්තේ නම් විශාල ලෙස අඩු මිලකට ඉන්ධන ලබාගත හැකිව තිබූ බවත් ඔහු සටහන් කර ඇත. මෙය කෙළින්ම බලශක්ති ඇමැතිවරයාට බරපතළ ප‍්‍රහාරයකි. සාගරගේ ලියුමටත් එහාට යන්නකි. මහින්ද පතිරණ තබා තිබූ අදාළ සම්පූර්ණ සටහන මෙසේය.

‘අංක එක වන්නේ ඉන්ධන මිල වැඩි කිරීමේ තැනට රජය තල්ලූ වන තුරු විෂය භාර ඇමැතිවරයා තම ධුර කාලය තුළ කිසිවක්ම නොකළ බවයි. එසේ නොකළ දේවල් ලෙස අප දකින්නේ ඔපෙක් රටවල්වලින් ඉන්ධන මිලට නොගෙන, විශාල කොමිස් මුදලක් ලැබෙන සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන්ම දිගින් දිගටම ඉන්ධන මිලට ගැනීමයි. ඔපෙක් රටක් සමග ගිවිසුම්ගත වී ඉන්ධන ලබා ගන්නා විට කොමිස් මුදල් නොලැබෙන අතර එය රජයන් දෙක අතර ගිවිසුමට අනුව සිදුවේ. එවිට විශාල ලෙස අඩු මිලකට ඉන්ධන ලබාගත හැකිය. දෙවැනි කාරණය නම්, බොරතෙල් ආනයනය කර ලංකාවේ පිරිපහදු කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ අමාත්‍යාංශය කිසිදු නව පියවරක් ගෙන නැති බවයි. සිදුකර ඇත්තේ

පසුගිය රනිල් – සිරිසේන පාලනය විසින් තෙල් මිලට ගත් තැරැව්කරුවන් හතර දෙනාගෙන්ම මාරුවෙන් මාරුවට පිරිපහදු කළ තෙල් ලබා ගැනීම පමණි. ලෝක වෙළෙඳපොළ තුළ තෙල් මිල අඩු වූ අවස්ථාවල අමතර තෙල් ගබඩා කිරීම සඳහා පහසුකම් වැඩි කළ යුතු බව කැබිනට් රැස්වීම්වල කිහිප වරක්ම දැනුම් දී තිබුණ ද ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇමැතිවරයා කටයුතු කර නැතිවීම මීළඟ ප‍්‍රශ්නයයි. මුහුදේ සිට තෙල් පොම්ප කරන දෙවැනි නළ පද්ධතියක් එලිය යුතු බව ද කර ඇති ඊළඟ යෝජනාවයි. ඒ සඳහා ද පියවර ගෙන නැත.’

මහින්ද පතිරණ උදය ගම්මන්පිලට එරෙහිව මල්ටිබැරල් ප‍්‍රහාර එල්ල කරද්දී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ප‍්‍රකාශ කරන්නේ කුමක්ද? ඉන්ධන මිල සංශෝධනය කළේ රටේ මූල්‍ය ස්ථාවරත්වයට බලපෑමක් ඇතිවීම වැළැක්වීම සඳහා බවයි. ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල පවතින්නේ ශ‍්‍රී ලංකාවට වඩා ඉහළින් යැයි පවසන කබ්රාල් මහතා තෙල් නිෂ්පාදනය කරන ඉන්දුනීසියාවේ ඉන්ධන මිල ක‍්‍රියාත්මක වන්නේද මෙරටට වඩා ඉතාම පොඩි ප‍්‍රමාණයක අඩු මට්ටමකින් පමණක් බව ද පවසයි. එසේනම් මෙය ආණ්ඩුවේ බෙදීමක් පෙන්වන ගැටුමක්ද? තෙල් මිල නිසාම ලිස්සා ඇද වැටෙන්නේ කවරෙක්ද? මෙය ආණ්ඩුවේ ඉදිරි ගමනටද එතරම් සුබ නැත. කොරෝනා වසංගතය හමුවේ ආණ්ඩුවේ වියදම ආදායමට වඩා ඉහළ ගොස් ඇත. නිෂ්පාදන ක‍්‍රියාවලියද නිසි ලෙස පවත්වාගෙන යෑමට නොහැකි වී ඇත.

එනිසා ජනතාවට යම් පීඩා සිදුවුවද තෙල් මිල ඉහළ දැමීම හැර අන් විකල්ප නැත. එවිට තෙල් මිල ඉහළ දැමූ ඇමැතිට පමණක් ටොකු ඇනීම හාස්‍යජනකය. රටේ ආර්ථිකය යහපත් නැත. අද වන විට මෙරට සතු නිල විදේශ සංචිත ප‍්‍රමාණවත් වන්නේ මෙරට මාස තුනකට අවශ්‍ය ආනයනය සඳහා පමණක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කර සිටී. දැනට මෙරට සතු නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතරක් පමණි. එසේනම් පාඩු ලබමින් තෙල් විකිණීමට රටේ ආර්ථිකයට ඉතාම අයහපත්ය. මේවා නොදන්නා සාගර ලියුම් ලියන්නේ කා සනසන්නද? ඇත්තෙන්ම සිදුව ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් නිකුත්කර ඇති නිවේදනය නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද බලවත් අසීරුතාවකට පත්වීමයි. මෙය සැබවින්ම තෙල් නිසා නැටවෙන පොඩි එකාගේ ලියමනකි. අපේ රටේ දේශපාලකයෝ නිරන්තරයෙන් ජනතාවට විහිළු සපයන බව රහසක් නොවේ. මෙය ඔවුනගේ මූලික චර්යාව බවට පත්වී ඇත. මේ නිසා සිදුවන්නේ 2019 ලබා ගත් ජනවරමද හෑල්ලූවට ලක්වීමය.

ඊයේ දින විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඇමැති උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ මේ ලිපිය හරහා පොදු ජන පෙරමුණෙන් පත්වූ එකම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම පක්ෂයේ සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ මහතා නිග‍්‍රහයට ලක්ව ඇති බවයි. තෙල්මිල වැඩි කිරීම ජනපති අගමැති ඇතුළු ආණ්ඩුවේම තීරණයක් වන බවත් තමා සිදු කළේ එය ප‍්‍රකාශයට පත් කිරීම පමණක් බවයි. එසේම තමා මීට වසර පහකට පෙර සාගර කාරියවසම් යනුවෙන් ප‍්‍රාණියෙක් හෝ ජීවත්වන බව නොදැන සිටි බවත් දැන් මේ ප‍්‍රාණියා ජනපතිට හා අගමැතිටත් වඩා බලවත් වූයේ කෙසේදැයි යන්න බලවත් ප‍්‍රශ්නයක් බවත් හෙතෙම කියා සිටියේය. තෙල් මිල ඉහළ පහළ යෑම සාමාන්‍ය කරුණක් වුවත් තෙල් මිල ඉහළ යෑම ප‍්‍රකාශයට පත් කිරීම හේතුවෙන්ම ඒ ආණ්ඩුවේම පාර්ශ්වයක් බලශක්ති ඇමැතිවරයාට ගෙදර යන්නැයි ඉල්ලීම බොර තෙල් බැරලය ආණ්ඩුව මත හලාගෙන කළු තෙල් නා ගැනීමකි. ඇත්තෙන්ම වෙරි වූ මීයාට රඟපාන්නේ කවරෙක්ද?

දිවයින පුවත්පතින් උපුටා ගැණුනි…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More