පුරවැසි කොලම

මැයි මස 27 වැනිදායින් ආරම්භ වූ සතිය ජාත්‍යන්තර ඉතිහාසය ඉගෙන ගන්නා අයට ඉතා වැදගත් යැයි සිතේ. මන්දයත් පැරැණි යටත් විජිත පාලනය පවත්වාගෙන ගිය ඇතැම් රටවල හා වෙනත් ඇතැම් බටහිර රටවල් ගණනාවක නායකයන් යටත් විජිතවල හා තමන්ගේම රටේ ස්වදේශික ජනතාවට තමන්ගේ පියවරුන් හා මුතුන් මිත්තන් කළ අපරාධවලට ප්‍රසිද්ධියේ සමාව ගැනීම නිසාය.

1994 දී රුවන්ඩාවේ අටලක්ෂයක් දෙනකුගේ ජීවිත අහිමි කළ මහා සමූහ ඝාතනයකදී තම රටේ භූමිකාව වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැකරෝන් මැයි 27 වැනිදා රුවන්ඩාවේ ටුට්සි ගෝත්‍රිකයන්ගෙන් සමාව අයැද සිටියේය.

දෙවැනුව, තම හමුදා නැමීබියාවේ කළ වර්ග සංහාර සම්බන්ධයෙන් ජර්මනිය ඉකුත් 28 වැනිදා එම වර්ග සංහාරයට ලක්වූ ජන කොට්ඨාසයෙන් සමාව අයැද සිටියේය.

තුන්වැනිව, කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ කැම්ලුප්හි පෙර පැවැති ස්වදේශික ළමයින් සඳහා වූ නේවාසික පාසල් භූමියකින් ළමයින් 215 දෙනකුගේ අස්ථි සොයා ගනු ලැබීය. තම රටේ අතීතය සම්බන්ධයෙන් ලජ්ජා වන බව පවසමින් කැනඩාවේ අගමැති විස්ටින් ටෲඩෝ ඊට තම කම්පාව පළ කළේය. කැනඩා රජය 2008 දී ස්වදේශික ජනතාවට සිදු වූ අසාධාරණයන් සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබිණි.

සිව්වැනිව, 1921 මැයි 3 වැනිදා හා ජුනි 1 වැනිදා ඇමෙරිකාවේ ඔක්ලහොමාහි ධනවත් කළු ජාතිකයන් සිටි ටුල්සා ප්‍රදේශයේදී සුදු ජාතිකයෝ කළු ජාතිකයන් තුන්සියයකට වැඩි පිරිසක් ඝාතනය කොට ඔවුන්ගේ දේපොළ ගිනිබත් කළහ. එම සිද්ධියේ සිය වැනි සංවත්සරය පසුගිය ජුනි 1 වැනිදා සමරනු ලැබූ අතර ජනාධිපති ජෝ බයිඩන් එම සංහාරය සිදු වූ ස්ථානයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.

මේවා අතුරින් රුවන්ඩාවේ බහුතරය වූ හූටු ගෝත්‍රිකයන් විසින් 1994 අප්‍රේල් 6 වැනිදා සිට දින 100කදී පමණ ටුට්සි ගෝත්‍රිකයන් 80,0000කට අධික පිරිසක් ඝාතනය කිරීම මෑත කාලයේ සිදු වූ අතිබිහිසුණුම සිද්ධිය විය යුතුය.

හූටු ගෝත්‍රික ජනාධිපති ජුවෙනල් හබ්යරිමානා රුවන්ඩාවේ අගනුවර වන කිගාලි අසලදී ගුවන් අනතුරකින් මිය යාමත් සමග මෙම ටුට්සි සංහාරය ආරම්භ විය. ඊට පෙරම ඇතැම් ජනමාධ්‍ය ටුට්සි විරෝධී වෛරය වපුරමින් සිටීම ද මෙහිදී සැලකිය යුත්තකි.

ඝාතනය සිදුවන අතරතුර 1994 ජුනි 22 වැනිදා ඝාතන නැවැත්වීම සඳහා එ.ජා. සංවිධානය ප්‍රංශ යුද හමුදා භට පිරිසක් යැවීය. එහෙත් එම ප්‍රංශ භට පිරිස ප්‍රමාණවත් ලෙස හෝ අවංකව එම කාර්යය කළේ නැත. ඒ දිනවල පළවූ ඇතැම් ඡායාරූපවලින් එය මනාව පෙනේ.

මෙම කාරණය පසුගිය කාලය පුරා ප්‍රංශයේ සංවාදයට භාජන විය. එ් අනුව පත් කරන ලද ප්‍රංශ විශේෂඥ කමිටුවක් පරීක්ෂණයක් කොට ඉකුත් මාර්තු මාසයේදී තම වාර්තාව නිකුත් කළේය. රුවන්ඩාවේ වර්ග සංහාරයට එවකට පැවැති ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා මිතරොන්ගේ ආණ්ඩුව විශාල වශයෙන් වගකිව යුතු යැයි එම වාර්තාවෙන් කියවිණි. මිතරෝන් හූටු ගෝත්‍රික ජනාධිපති හබ්යරිමානාගේ සමීප මිතුරෙක් විය.

රුවන්ඩාවේ අගනුවර වන කිගාලිහි වර්ග සංහාරයේදී මිය ගිය 250,000ක් පමණ පිරිසක් භූමදානය කළ ස්ථානයක ඉදිකරනු ලැබ ඇති ස්මාරකය අසලට පසුගිය 27 වැනිදා ගිය ප්‍රංශ ජනාධිපතිවරයා තම රට මෙම සංහාරයට වගකිව යුතු වුව ද එහි හවුල්කරුවකු නොවේ යැයි පැවැසීය. සිදුවීම් සිදුවෙද්දී එය වැළැක්වීමට ගියවුන් බලාහිඳීම හවුල්කරුවකු වීමක් නොවේ යැයි කීම පිළිගත හැකි ද?

දෙවැනි සිද්ධියේදී ජර්මනිය නැමීබියාවේදී තම හමුදා කළ ඝාතනවල වගකීම බාරගත්තා සේම එරට විදේශ ඇමැතිවරයා ඉකුත් 28 වැනිදා විපතට පත්වූවන්ගෙන් පැවැත එන්නන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඩොලර් කෝටි 134ක මූල්‍ය ආධාරයක් දෙන බවට ද නිවේදනය කළේය.

අප මෙහි සඳහන් කළ සිද්ධීන්ගෙන් වඩාත් බරපතළ සිද්ධිය සේ පෙනෙන්නේ කැනඩාවේ ළමයින් ඝාතනය කිරීමයි. එය ගෝත්‍රිකයන් අතර ඇති වූ ගැටුමක් හෝ හදිසියේ ඇති වූ තත්ත්වයක් හෝ නොව බටහිර ශිෂ්ට යැයි කියන සමාජයක 20 වැනි සියවසේ අවසානය දක්වා පැවැති ඉතා අශිෂ්ට ක්‍රමයක ප්‍රතිඵලයකි.

කැනඩාවේ ස්වදේශික ළමයින් සඳහා වූ නේවාසික පාසල් යනු 1880 ගණන්වල සිට 1990 ගණන් දක්වා පැවැති ක්‍රමයකි. රජය හා කතෝලික දේවස්ථාන විසින් මෙම පාසල් පවත්වාගෙන යනු ලැබිණි. ඒවායේ පැවැති අමානුෂික තත්ත්වය නම් යුරෝපා-කැනේඩියානු ක්‍රිස්තියානි ජන ජීවිතයට හුරු කිරීම සඳහා ස්වදේශික මව්පියන් වෙතින් බලහත්කාරයෙන් ළමයින් වෙන් කොට මෙම පාසල්වල රඳවා තබාගනු ලැබීමයි. ඔවුන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් කතා කිරීම තහනම් කෙරිණි. තම සංස්කෘතිය හෝ ජාතික උරුමයන් පිළිගැනීම තහනම් විය. කැම්ලූපා යනු එම නේවාසික පාසල්වලින් විශාලතම පාසල විය.

මෙම පාසල්වල තත්ත්වය සොයා බැලීම සඳහා කැනේඩියානු ආණ්ඩුව පත් කළ කොමිසමක් සිය වාර්තාවෙන් පවසා තිබුණේ මෙම පාසල්වලට ආ ළමයින්ගෙන් විශාල පිරිසක් යළි නිවෙස්වලට ගොස් නැති බවයි.

මෙම පාසල් ක්‍රමය සම්බන්ධයෙන් 2008 දී එවකට සිටි අගමැති ස්ටීවන් හාපර් ප්‍රසිද්ධියේ එරට ස්වදේශික ජනතාවගෙන් සමාව ඉල්ලීය.

අවසානයට සඳහන් කරන ලද ඇමෙරිකාවේ ටුල්සා සමූහ ඝාතනය පැහැදිලිවම වාර්ගික ඊර්ෂ්‍යාව නිසා වූවකැයි සිතිය හැකිය. එම ප්‍රදේශයේ කළු ජාතිකයන් ඉතා ධනවත් වූයෙන් එම ප්‍රදේශය හැඳින්වූයේ ‘බ්ලැක් වෝල් ස්ට්‍රීට්’ යනුවෙනි. එම ප්‍රහාරවලදී දසදහසකට පමණ උන්හිටි තැන් අහිමි විය.

මීට පෙර ද බටහිර නායකයන් විවිධ රටවල ස්වදේශික ජනතාවට තම පියවරුන් හෝ මුතුන් මිත්තන් කළ අපරාධවලට සමාව ඉල්ලා ඇත. උදාහරණයක් වශයෙන් නවසීලන්තයේ මවුරි ගෝත්‍රිකයන්ට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගෙන් සිදු වූ මහා අපරාධ හා අසාධාරණය වෙනුවෙන් 2011 දී එලිසබෙත් රැජින සමාව ගත්තාය. 1893 දී හවායිහි ස්වදේශික පාලනය පෙරළා දැමීම වෙනුවෙන් ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් ඉන් සියවසකට පසු 1993 දී හවායි ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව වැනි රටවල ද යටත් විජිත සමයේදී අදහාගත නොහැකි අපරාධ සිදුවී ඇත. 1818 උඩරට කැරැල්ලෙන් පසු උඩරට ප්‍රදේශවල සිදුවූ සංහාරය ඊට උදාහරණයකි. එහෙත් ඒවා කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් ඇත. නිදහසේ ස්වර්ණ ජයන්තිය 1998 සමරනු ලැබූ අතර එහි ප්‍රධාන අමුත්තා වූයේද බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරා ය.
කෙසේ වෙතත් බලවත් ජාතීන්ගේ මෙම සමාව ගැනීම් මගින් වර්ග සංහාරයට ලක්වූවන්ට ජීවිතය ලැබෙන්නේ නැත. ඔවුන්ගෙන් පැවැතෙන්නන් හට සමාජයේ ඔවුන් ලබා සිටි සමාජ තත්ත්වය බොහෝ විට ලැබෙන්නේ නැත. කැනඩාව, ඇමෙරිකාව වැනි රටවල ස්වදේශික ජනතාවට නම් කිසිදා තම රටේ පාලකයන් විය නොහැකිය. ඔවුනට ලැබෙන වන්දි මුදලක් වේ නම් එයින් ඔවුනට නැති වූ දෑ ලබාගත නොහැකිය.

අනෙක් අතට කැනඩාවේ ස්වදේශිකයන් ඉකුත් සියවසේ අවසාන කාලය දක්වාම දරුණු පීඩාවකට ලක් කෙරුණු බව එහි නේවාසික පාසල් ක්‍රමය මෑතක් දක්වා පැවතීමෙන් පෙනේ. මෙය සිතා ගැනීමට පවා දුෂ්කර තත්ත්වයකි.
අතීත වාර්ගික අපරාධවලට වර්තමාන පාලකයන් සමාව ගැනීමෙන් ඉතිහාසය වෙනස් නොවූවද, අනාගතයේ එවැනි අපරාධ නොවේ යැයි සහතිකයක් දිය නොහැකි වුවද, ශක්තියම යුක්තිය වේය යන ලෝකයේ නොලියවපු නීතිය තවදුරටත් ලොව පුරා ක්‍රියාත්මක වුවද මෙසේ සමාව ගැනීම ද සුළුවෙන් සැලකිය නොහැකිය. ඒ එම සමාව ගැනීමෙන් සමාව ගන්නා බලවතාගේ බලයේත් සමස්ත පැවැත්මේත් යුක්ති සහගත බව ප්‍රශ්න කෙරෙන හෙයිනි.
අනෙක් අතට කෙතරම් ප්‍රබල සාක්ෂි තිබුණද අතීත අපරාධ සම්බන්ධයෙන් සමාව ගැනීමට තබා ඒවා සිදු වූ බව පිළිගැනීමට ද අදාළ ජාතියේ නායකයන් තුළ අසාමාන්‍ය නොවේ නම් විශාල ධෛර්යයක් හා නිර්භීත බවක් තිබිය යුතුය. මන්දයත් එම බලවත් ජාතියට අයත් බොහෝ දෙනකු තුළ ඇති වාර්ගික අහංකාර බව නිසා ඔවුන් තම නායකයන් වෙනත් ජාතියකින් සමාව ගැනීම නොපිළිගන්නට ඉඩ තිබේ.

ඒ පිළිබඳ එම ජාතිය තුළ කෙරෙන සංවාදය කුමන අතට හැරේදැයි කිව නොහැකිය. යම් විදියකින් එසේ ගොඩ නැගෙන සංවාදය අවසානයේදී එම ජාතියේ බහුතරය එසේ සමාව ගැනීම තම අභිමානයට පහරකැයි තීන්දු කළහොත් සමාව ගන්නා නායකයාගේ දේශපාලනයේ අවසානය එය විය හැකිය. ඒ අනුව මෙසේ අතීතයේ තම පියවරුන් හෝ මුතුන් මිත්තන් කළ අපරාධවලට සමාව ඉල්ලීමට ඉදිරිපත් වූ මෙම නායකයන් අගය කළ යුතුය.
යටත් විජිතවාදය අහම්බයක් හෝ තනි පුද්ගලයන්ගේ හිතුවක්කාරකමක් හෝ කෑදරකමක් හෝ නොවේ. එය ඉතිහාසයේ එක්තරා අදියරයකදී අනිවාර්ය වූවකි. යුරෝපයේ වැඩවසම් යුගය බිඳ වැටී කර්මාන්ත දියුණු වී ධනවාදය හිස එස වූ විට එම කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය සොයා ගැනීමට හා අලුත් වෙළෙඳපොළවල් සොයාගැනීමට වෙනත් රටවලට යාමට සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ ලාභ ශ්‍රමය හා ලාභ අමුද්‍රව්‍ය ලබාගැනීමේ අරමුණෙන් ඔවුන් ඈත ආසියා, අප්‍රිකා හා ලතින් ඇමෙරිකා කලාපවල රටවල් අවි බලයෙන් අල්ලා ගැනීමයි.

මෙය පැහැදිලි සම්පත් සූරා කෑමක් හා කොල්ලකෑමක් වුවද ඔවුන් එම රටවලට නොගියේ නම් ඔවුන්ගේ රටවලත් යටත් විජිත බවට පත් වූ රටවලත් මේ වනවිට තත්ත්වය කෙබඳු වේදැයි සිතා ගැනීමටවත් නොහැකිය. යටත් විජිතවලට ප්‍රාග්ධනය, තාක්ෂණය, මහාමාර්ග හා දුම්රිය මාර්ග, වඩා ඵලදායී ප්‍රවාහන පහසුකම් ආදිය හඳුන්වා දෙන ලද්දේ යටත් විජිත පාලකයන් විසිනි. අනෙක් අතට ඒ අනුව ලාභ ශ්‍රමය හා ලාභ අමුද්‍රව්‍ය මගින් බලවත් රටවල් තව තවත් දියුණු වී අධිරාජ්‍යවාදයක් ගොඩ නැගුණු අතර යටත් විජිත ද වැඩවසම් තත්ත්වයෙන් මිදී නවීනත්වය කරා ඉතා සෙමෙන් නමුත් ඉදිරියට ඇදුණේය. මේ නිසා ඇතැම් මාක්ස්වාදී කණ්ඩායම් යටත් විජිතවාදයේ ප්‍රගතිශීලී පැත්තක්ද දකිති.

එහෙත් මෙම ක්‍රියාවලියේදී කොහෙත්ම පිළිගත නොහැකි කරුණ නම් දේපළ කොල්ලකෑම සඳහා දියුණු යැයි කියන ජාතීන් නොදියුණු යැයි කියන ජාතීන් සමූහ වශයෙන් ඝාතනය කිරීමට පෙළඹීමයි.

අනෙක් අතට දැන් එවැනි ඍජු ඝාතන සිදු නොවූවද අධිරාජ්‍යවාදයේ නව ස්වරූපය අනුව ඝාතන සිදුවන්නේ බලවත් ජාතීන් විසින් අවි ආයුධ කර්මාන්තය වෙනුවෙන් හා වෙනත් ආර්ථික අවශ්‍යතාව වෙනුවෙන් ලෝකයේ තැන තැන යුද්ධ ඇති කිරීම නිසාත් බොහෝ රටවල ආර්ථික සම්පත් කොල්ලකෑම නිසා උග්‍ර වී ඇති දරිද්‍රතාව නිසාත්ය.

මැදපෙරදිග කලාපය එසේ කෘත්‍රිමව යුද ඇති කරන ලද කලාපයකි. සවුදි අරාබිය ඇතුළු අරාබි රටවල් ගණනාවක් හා කටාර් රාජ්‍යය කොටවා මාස ගණනාවක් තුළ සවුදි අරාබියට හා කටාර් රාජ්‍යයට 2017 දී ඇමෙරිකාව ඩොලර් බිලියන ගණනන් වටිනා ආයුධ හා යුද ගුවන් යානා විකිණීම ඉතා පැහැදිලි උදාහරණයකි. මේවාද කවද‌ා හෝ සමාව ඉල්ලා සිටිය යුතු ප්‍රශ්නයි.

එම්.එස්.එම්. අයුබ්

ලංකාදීප පුවත් වෙබ අඩවියෙන් උපුටා ගැණුනි…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More