පුරවැසි කොලම

මේ වන විට අපේ රට කොවිඞ් 3 වන රැල්ල විසින් ශීඝ‍්‍රයෙන් ගිල ගනිමින් සිටී. මරණ සංඛ්‍යාව දිනකට 38 ක් පමණ වෙයි. අද වන විට මරණ සංඛ්‍යාවේ වර්ධනය 28% ක් බව රෝගී වර්ධනය 12%ක් බවත් විශේෂඥ වෛද්‍ය සංගමය පවසයි. මේ අකාලයේ මියයන්නේ අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය. අපට බත බුලත සැපයූ ගොවියන් සහ කම්කරුවන්ය. අපේ දයාබර දෙමව්පියන්ය.

පසුගිය මාර්තු මාසයේ සිටම වෛද්‍ය නිලධාරි සංගම් සහ රටේ වැදගත් පුරවැසියන් මේ පිළිබඳ අනතුරු හැඟවීම කෙතරම් කළත් රජය ඒවා කනකටවත් ගත්තේ නැත. අශ්වයා පිටව ගිය පසු ඉස්තාලය වසන්නට ඔවුන් බලා සිටියහ. කාර්ය සාධක බලකායන් නම් එමට ඇති නමුත් ඒවායින් නියමිත කාර්ය සාධකයන් සිදුවන්නේ ද යන්න ගැටලූවකි. රටේ සියලූම වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි ඉල්ලීම මත රජය සති දෙකකට රට වසා දැමීමේ තීරණයට එළඹුනි. නමුත් අද එය සාර්ථක වී ඇත්දැයි සැම දෙනා තුළම සැකයක් පවතී. රට වසා දැමුව ද කර්මාන්ත ශාලා වසා දැමුවේ නැත. එබැවින් ඒවායේ සේවකයන් දිනපතා තම රාජකාරියට යති. ගම් මට්ටමෙන් ගතහොත් මෙම කොවිඞ් ව්‍යාප්තිය සිදුවන්නේ මෙම කර්මාන්තශාලා සේවක සේවිකාවන් ගෙනි . එනම් වඩාත්ම රෝගය වැලඳී ඇත්තේ ඔවුන්ගේ පවුල්වලට බැවිනි. අපේ ආර්ථික තත්ත්වය අනුව අපට මෙම කර්මාන්තශාලා වසා දැමිය නොහැකි බව අප පිළිගත යුතුය. නමුත් එයින් සිදුවන රෝග ව්‍යාප්තිය වැළැක්විමට කටයුතු කළ යුතුය. අප වැනි සංවර්ධනය වන රටක දිගු කලක් රට වසා දැමිය නොහැක. එසේ නම් කළ යුත්තේ සොඛ්‍ය ආරක්ෂක ක‍්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කර ඒවා පිළිපැදීමට ජනතාව යොමු කිරීම නොවේද? බොහෝ රටවල් මේ සඳහා දැඩි නීති රීති ක‍්‍රියාත්මක කරති.

සංචරණ සීමා කිරීම

සංචරණ සීමා කළ ද විවෘතව තිබෙන ආයතනවල සේවකයන් සේවයට වාර්තා කළ යුතුව ඇත. මේ වන විට ඒවායේ නිලධාරි මහතුන් සාමාන්‍ය දිනවල පොදු ප‍්‍රවාහන සේවා භාවිතා කළත් ඒවා නොමැතිවීම නිසා මෙම වසංගතය හමුවේ ආරක්ෂක පියවරක් වශයෙන් තම තමන්ගේ වාහන භාවිතා කිරීම මෙම මාර්ගවල වාහන අධික විමට එක් හේතුවක් වී ඇත. ඒ බොහෝ වාහනවල ගමන් කරන්නේද එක් පුද්ගලයකු පමණි. අනෙක එම කර්මාන්ත ශාලාවල කටයුතු සඳහා ද වාහන රැුසක් මහාමාර්ගවල ධාවනය වෙති. තොග වෙළෙඳ පොළවලට ද වාහන රැුසක් පැමිණෙති. ජනතාවගේ සහයෝගය ද අවම මට්ටමක පවතී. ජනතාව එකිනෙකාට උදව් කළ යුතුය. කෙනෙක් පාමසියකට හෝ අසල ඇති වෙළෙඳ සලකට යන්නේ නම් තම අසල්වැසියාගේ අවශ්‍යතා ද විමසා ඒවා ගෙනත් දීමට කටයුතු කරන්නේ නම් එම වැසියන්ගේ සංචරණය සීමා වනු ඇත.

ජනතාවගේ දැනුවත්වීම ප‍්‍රමාණවත්ද?

කව්රු කෙසේ කොහොම කීවද තවමත් අපේ රටේ සෑහෙන පිරිසකට මෙම වසංගතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැත. නමුත් ඉටුකම අරමුදලින් දැනුවත් කිරීමේ කාර්යන් සඳහා විශාල මුදලක් වියදම් කර ඇති බව සඳහන් වේ. මේ වන විට මෙම වසංගත උවදුරෙන් බේරී සිටින රටවල් මේ පිළිබඳ විශාල ප‍්‍රචාරාත්මක වැඩ සටහන් සංවිධානය කර ඇත. බොහෝ රටවල විනාඩි 5න් 5 ට රූපවාහිනි නාලිකාවල දැන්වීම් ප‍්‍රචාරය වෙයි. එවැනි වැඩ පිළිවෙළවල් ක‍්‍රියාත්මක කිරීම ඔවුන් සුරක්ෂිත වීමේ රහසයි. නමුත් අපේ රටේ සමහර නාලිකාවල 1 වැනි රැල්ලේ තරම් වත් දැන්වීම් ප‍්‍රචාරණය නොවේ. සමහරු සිතා සිටින්නේ රූපවාහිනි නාලිකාවල ප‍්‍රවෘත්තිවල සඳහන් වුවොත් එය ප‍්‍රමාණවත් ලෙසයි. නමුත් මේ රටේ බොහෝ වැඩිහිටි ජනතාව ප‍්‍රවෘත්ති නොබලති.

එයට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ ඒවා නිසා ඔළුව නරක් වෙන බවයි. තවද මේ රටේ තරුණ පරම්පරාව ද ප‍්‍රවෘත්ති නොබලති. ඔවුන් කරන්නේ දුරකථන කොට කොට සිටීමය. ගොවි ජනතාව ධීවර ජනතාව ද බොහෝ දෙනෙක් ප‍්‍රවෘත්ති නොබලති. ඔවුන්ට ඒ සඳහා කාල වේලා නොමැත. නමුත් බොහෝ දෙනෙක් ටෙලි නාට්‍ය නම් නොවලහා බලති. අඩුම ගණනේ එවන් අවස්ථාවක වත් ප‍්‍රචාරක දැන්වීම් දැමීමෙන් ජනතාව දැනුවත් කිරීමට අවකාශ තිබුණත් මෙම 2 වැනි 3 වැනි රැුලිවලදි එය ක‍්‍රියාත්මක වූයේ නැත. එසේ නම් ප‍්‍රවෘත්ති බලන සංඛ්‍යාව පමණක් දැනුවත් විමෙන් වැඩක් වේද? රටේ බොහෝ අත්‍යවශ්‍ය ස්ථානවල මෙම දැනුවත් කිරීම් නැත. ඡුන්ද කාලේ මූණත් තට්ටුව පෙනෙන්නට පාරේ තොටේ ඉදිකරන රූස්ස දැන්වීම් පුවරු මේ සඳහා නැත.

ඩිජිටල් බෝඞ් ද නැත. අඩුම ගණනේ රටේ සියලූම නාලිකා එක්ව එකම වේලාවක මේ පිළිබඳ වැඩසටහනක් දියත් කළොත් අගනා ප‍්‍රතිඵල ලබා ගත හැක. නමුත් එවැන්නක් සඳහා කිසිවෙකුගේ උනන්දුවක් නැත. ජනතාව මෙහි භයානකකම නොදැනීමම ඔවුන් මුහුණු ආවරණ නොපැලඳීමට සහ අනෙකුත් සෞඛ්‍ය පුරුදු නොපිළි පැළඳීමට හේතු වී ඇත. සංචරණ සීමා වගේ ම ජනතාව දැනුවත් කිරීම වැනි ඉතා වැදගත් කාර්යාවලියන් දෙකම එකට නොකළොත් එකකින්වත් අපේක්ෂිත ප‍්‍රතිඵල ලබා ගත නොහැක.

කාර්ය සාධක බලකායන්වල ක‍්‍රියාකාරිත්වය

කොවිඞ් 1 වැනි රැුල්ලේ සිටි කාර්ය සාධක බලකාය ඉතා විශිෂ්ට කාර්යක් ඉටු කළ බව කව්රුත් අවිවාදයෙන් පිළි ගනිති. ඒ අදාළ සමහර නිලධාරීන් ඉවත් කරන ලද්දේ කාගේ උවමනාවටදැයි දන්නෝ දනිති. එයින් වුණ පාඩුව එසේ මෙසේ නොවේ. මේ රටේ ජනතාවගේ සාමාන්‍ය හැසිරීම නොදන්නා කිසිවෙක් මේ කාර්ය සාධක බලකාවල නැත. රටේ හමුදාපති ඇතුළු සියල්ලන් මේ රටේ ජනතාවගේ හැසිරීම හොඳින් දනිති. අපේ ජනතාවට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති 2ක් බව ප‍්‍රකාශ කළේ ප‍්‍රභාකරන්ය එය එසේමය. එසේ නම් එම ජනතාවගේ ඒ හැසිරීම වළක්වන්නට තිබුණ ස්වර්ණමය අවස්ථාව වන අලූත් අවුරුද් සමයේදී දැඩි සංචරණ සීමා නොපැමිණුවේ කුමන හේතුවක් නිසාද? සමහරු කියන්නෙ පළාත් සභා මැතිවරණය ඉලක්කකොට ගෙන බවයි.

මේ කරුණුවල සත්‍ය අසත්‍යතාවය කුමක් වුවද මේ මහා ව්‍යසනයට ප‍්‍රධාන හේතුව එය බව කව්රුත් අවිවාදයෙන් පිළිගනිති. රටේ මෙවැනි බිහිසුණු වසංගතයක් තිබියදී අත්හදා බැලීම් කරන්නට ඉඩක් නැත. තීරණ ගැනීම් ප‍්‍රමාද කිරීමට ඉඩක් නැත. එක වැරදි තීරණයකින් වන්දි ගෙවන්න වන්නේ අසරණ ජනතාවගේ ජීවිතවලිනි. අද සිදු වී තිබෙන්නේ එයමය. මේවාට නිදසුන් ඇමරිකාව, බ‍්‍රසීලය පමණක් නොව අපේ අසල්වැසි ඉන්දියාවෙන් පවා ගත හැක. සමාජ ජාලාවල විශේෂයෙන් මුහුණු පොතෙහි සුප‍්‍රසිද්ධ වෛද්‍යවරයකු වන නිහාල් රාජපක්ෂ මහතා ඉතා අගනා ලිපි සමුහයක් පළ කළේය. නමුත් ඒවා පිළිබඳ කිසිවෙක් අවධානය යොමු කළේ නැත. මේ සමහර නිලධාරින්ගේ උද්ධච්චකම නිසා කිසිවකුගෙන් උපදෙස් ගැනීමට කැමති නැත. නායකයන් වටා ප‍්‍රශස්ත ගී ගායනා කරන්නන් රටේ සත්‍ය තත්ත්වය නායකයන්ට වටහා නොදීම අපේ රටේ පුරුද්දකි.

එන්නත්කරණය ක‍්‍රමානුකුලව ක‍්‍රියාත්මක නොවීම

එන්නත්කරණය මෙම වසංගතය පරාජය කිරීමට හැකි එකම ක‍්‍රමය බව ලොව පිළිගෙන ඇත. නමුත් එය ක‍්‍රමවත්ව කිරීමට මේ වන තුරු රජයට හැකියාවක් ලැබී නැත. දේශපාලන වාසි ලබා ගැනීමට පිරිසක් ජනතාව අතර වැරදි මතයන් පතුරා මෙම වැඩ සටහන කඩාකප්පල් කිරීමට කටයුතු කරති. ඇස්ට‍්‍රාසෙනිකා පළමු මාත‍්‍රාව පළමුව වයස 60 න් ඉහළ පුද්ගලයන්ට දෙන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබුණි. මෙලෙස අවු. 60ට වැඩි අයට මෙම එන්නත ලබාදිය යුතු බවට ඔවුන් තීරණය කළේ එම ඛාණ්ඩයේ ජනතාව වැඩි වශයෙන් මෙම රෝගයට ගොදුරු වීම නිසා සිදු වන මරණ සංඛ්‍යාව අවම කර ගැනීමටය. ලොව බොහෝ රටවල් එලෙස ක‍්‍රියා කළහ.

නමුත් මෙහි එය ක‍්‍රියාත්මක වූයේ නැත. පළමුව එය වැඩිහිටියන්ට දුන්න ද පසුව එය 30- 60 දක්වා පුද්ගලයන්ට ලබා දීමට කටයුතු කළහ. එයින් වූයේ 60ට වැඩි අයට 2 වන මාත‍්‍රාව ලබා දීමට ප‍්‍රමාණවත් එන්නත් නොමැතිවීමයි. මෙම වසංගතය ආශිර්වාදයක් වී ඇත්තේ පෞද්ගලික රෝහල්වලටය. ඔවුන් අසරණ කොවිඞ් රෝගින් ගෙන් අසාධාරණ ලෙස මුදල් ගරාගන්නා නින්දිත ක‍්‍රියාවලියක යෙදී සිටීම ඉතා කනගාටුදායක කරුණකි. මේ වන විට වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ද ඉහළ නංවා ඇත. අද වන විට පී.සී.ආර්. පරීක්ෂණවල තදබදය නිසා නිරෝධායනය කර ඇති පුද්ගලයන්ට පෞද්ගලිකව පී.සී.ආර් පරීක්ෂනය කරගන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙති. පෞද්ගලික රෝහල් ඒ සඳහා රු. 8500 ක් පමණ ගනිති. දුප්පත් ආසාදිතයන්ට මෙතරම් මුදලක් වැය කළ නොහැකිය. එවිට සිදුවන්නේ කවදා හෝ රජයෙන් පී. සී. ආර්. කරන තෙක් බලා සිටීමය.

නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් වැඩි කිරීම

මේ වන විට සියලූම ආසාදිතයන් නිවෙස්වල නිරෝධායනය කිරීමට වැඩ පිළිවෙළක් දියත් කර ඇත. එවිට එකම කාමරයක් සහිත නිවසක ඒ අය නිරෝධායනය කරන්නේ කෙසේද? ඒ නිසා මුළු නිවැසියන්ටම රෝගය බෝනොවන්නේද? ඒ තත්ත්ව අධීක්ෂණය කිරීමට ප‍්‍රමාණවත් නිලධාරීන් අපට සිටින්නේද? සමහර නිරෝධායන මධ්‍යස්ථානවල සිදුවන දේවල් ගැන ඇසූ විට නිවසේම සිටීම හොඳ යැයි ජනතාව සිතන්නට ඉඩ ඇත. රජයට පහසුකම් සැපයිය නොහැකි නම් එම ස්ථානවල ආහාර සැපයිම වැනි දෑ පෞද්ගලික අංශයට හෝ ස්වේචඡුා සේවයකට භාර දිය යුතුය. වැසිකිළි කැසිකිළි පහසුකම් වැඩි කළ යුතුය. හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන හැර අන් බොහෝ ඒවායේ ඇත්තේ ඉතා කනගාටුදායක තත්ත්වයක් බව පැවසේ . බොහෝ සෞඛ්‍ය සේවා නිලධාරින් දෙවිවරුන් මෙන් හැසිරෙද්දි සමහරු යක්ෂයන් මෙන් හැසිරෙන බවද දැනගන්නට ලැබී ඇත. මේ අසරණ වී ජීවිතයත් මරණයත් අතර සිටින රෝගීන්ට කරුණාව මහඟු ඖෂධයකි. අද රජය විසින් කොවිඞ් වසංගතය පිළිබඳ එළි දක්වන දත්ත පිළිබඳ තිබූ විශ්වාසය ජනතාව තුළින් තුරන් වී ඇත. මෙය ඉතා භයානක තත්ත්වයකි.

රජය දැන් කාලවකවානුවක සිදු වූ මරණ නිවේදනය කරයි. මෙය දිනපතා සිදුවන මරණ සංඛ්‍යාවක් ලෙස නොදක්වන්නේ ඇයි? මේ නිසා අසත්‍ය ප‍්‍රචාර පිළිගැනීමට ජනතාව යොමු විය හැක. මේ වන විට නිරෝධායන පහසුකම් වැඩි කිරීමට අමතර රෝහල් ඉදිකිරීමට ගන්නා උත්සාහය ඉතා වැදගත්ය. ජනතාව තවමත් ආසාදිත වූ විට රෝහලකට යෑමේ බලාපොරොත්තුවෙන් සිටිති. නමුත් මේවායේ ඇඳන් මෙන්ම වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල සැපයීමේ තත්ත්වයක අපේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පවතින්නේ ද යන්න ගැටලූවකි. සමාජ ජාලාවලට කොතරම් දොස් කීව ද මුහුණු පොත වැනි සමාජ මාධ්‍ය මේ අවස්ථාවේ කරන ප‍්‍රචාරක ව්‍යාපාරය විශිෂ්ටය. රජයක් විසින් කළ යුතු දේ ඔවුන් එක්ව කරති. බොහෝ රටවල නායකයන් නිතරම රූපවාහිනියේ පෙනී සිටිමින් ඒ ඒ රටවල ජනතාව ධෛර්යමත් කරති. ජනතාව තුළ විශ්වාසය ජනිත කරති. අපේ සමහර නිලධාරීන් ජනතාව අමතන විට ඔවුන් රූපවාහිනිය ක‍්‍රියාවිරහිත කරති. සමහර නිලධාරින් ජනතාව අමතන්නේ කැඳ බී ආවක් මෙනි. කොතරම් සුදුසුකම් තිබුණද ජනතාව ඇමතීමේදී පෞරුෂත්වය ඉතා වැදගත් වේ. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට එය අත්‍යවශ්‍යවේ. අපේ හමුදාපතිතුමා සහ නියෝජ්‍ය පොලිස්පතිතුමන් මෙතරම් ජනප‍්‍රිය වීමට හේතුව ඔවුන්ගේ ඒ පෞරුෂත්වයමය. හමුදාපතිතුමන් පොලිසිය ඇතුළු ත‍්‍රිවිධ හමුදාව වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්, හෙද නිලධාරි නිලධාරිනියන් සහ සුව සේවකයන් පමණක් නොව ග‍්‍රාම නිලධාරින් සහ සංවර්ධන නිලධාරින්ද ඉතා අඩු පහසුකම් යටතේ කරන මෙම සේවය අති විශිෂ්ටය.

ජනතාව එකම අරමුණකට ඒකරාශි කිරීම

මේ දිනවල අවධානය යොමු කරනුයේ වසංගතයට වඩා අනෙකුත් දේවලටය. ජනතාවගේ අවධානය වෙනත් දේ ට යොමුවීම මේ අවස්ථාවේ නුසුදුසු කාර්යයකි. ඒ අතර ජනතාව ප‍්‍රකෝප කරන ක‍්‍රියාවන්ද සිදුවේ. මේ සියලූ ජනතාව එකා මෙන් එක්රැුස් කළ යුතු කාලයක් මිස බෙදී වෙන් කළ යුතු කාලයක් නොවේ. දැන් අප වහාම කළ යුත්තේ ජනතාවගේ අවධානය එකම අරමුණක් කරා වහා යොමු කිරීමයි. එනම් මේ වසංගතයෙන් ආරක්ෂාවීමයි. ඒ සඳහා කළ යුතු කාර්යන්ටයි.

අපේ රටේ සාක්ෂරතාවය ඉහළ නමුත් අවබෝධය ඉතා පහළ මට්ටමේ පවතී. එබැවින් මේ සඳහා ප‍්‍රචාරණය ඉතා වැදගත් වේ. වියට්නාමය මේ සඳහා එම රටේ ඉතා ජනප‍්‍රිය ගීතයක් යොදා ගත්හ. සියලූම මාධ්‍යයන් මේ සඳහා එකාවන්ව එක්විය යුතුය. අප තවමත් ප‍්‍රමාද වැඩි නැත. මේ සඳහා මුලසුන ගත යුතු වන්නේ අපේ ආගමික නායකයන්ය. ජනතාව තුළ කිසිම විශ්වාසයක් නැති දේශපාලකයන් මෙයට අත නොගැසිය යුතුය. පසුගිය යුද සමයේ මෙන් පක්ෂ ජාති ආගම් භේදයෙන් තොරව එකාවන්ව අප එක්නොවුණොත් ජීවිතයෙන් වන්දි ගෙවන්න වන්නේ අපටම බවත් මතක තබා ගත යුතුය.

ශ‍්‍රියානි ද සේරම්

දිවයින පුවත් පතින් උපුටා ගැණුනි…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොවිඩ් වැළඳුනු දරුවන්ට අලුත් රෝගයක්; දිවයින පුරා පැතිරී ඇති දැයි සැකයි- විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපත...


Read More

මහ බැංකුව හා භාන්ඩාගාරය එක්ව දේශීය කර්මාන්ත වල පල්ලට යවන කුමන්ත්‍රණයක

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන ...


Read More

කොරෝනාවට මුවාවී සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගරානාවක්; ජෛව ඉන්ජිනේරු ඒකකයේ ප්‍රධානියා සහ අමාත්‍යාංශ ප්‍රභලයෙකුගේ වැඩක් බව සෞඛ්‍යය අංශ බලධාරින් පවසයි

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාං...


Read More