පුරවැසි කොලම

ලාංකේය ස්වභාෂා අධ්‍යාපනයට ඉහළින් නැවතත් කනකොක් හඬක්ද, කනකොක් පියාසැරියක්ද අසන්නට දකින්නට අපට සිදුවී තිබේ. එක් ආගමික සාහිත්‍යයක මෙබඳු පාඨයක් සඳහන්ව තිබෙනු අපි අසා ඇත්තෙමු. “වෙනස් කළ යුතු දේ වෙනස් කිරීමට දිරියද, වෙනස් නොකළ යුතු දේ නොවෙනස්ව තබා ගැනීමට සවියද ඒ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට නුවණද කරුණාවෙන් මට දානය කළ මැනව.”

මෙම ආගමික පාඨය ලියුම්කරුගේ සිහියට නැඟුණේ මෙරට ප්‍රාථමික පන්තිවල සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සැලසෙන ලෙස දීප ව්‍යාප්ත මට්ටමින් පාසල් ආරම්භ කරන බවට මෙරට අධ්‍යාපන බලධාරීන් වෙතින් හදිසියේ නැඟුණු කනකොක් හඬ හේතුවෙනි. ඒ සූදානමට අනුව පූර්වෝක්ත ආගමික පාඨය “වෙනස් කළ යුතු දේ වෙනස් කිරීමට දිරියද, වෙනස් නොකළ යුතු දේ නොවෙනස්ව තබා ගැනීමට සවිය ද, ඒ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට නුවණද කරුණාවෙන් ලංකාවේ අධ්‍යාපන බලධාරීන්ට දානය කළ මැනව.” වශයෙන් සංශෝධනය කිරීමට අපට සිදුවන්නේය.

භාෂා මාධ්‍යය පිළිබඳ කන්නන්ගර දැක්ම

 ගෙවුණු 20 වන සියවසේ 1940 ගණන් වන විට අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධව මතු වී තිබූ ගැටලු හා තත්ත්වයන් අධ්‍යයනය කොට, ඒවා විසඳාගැනීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීම පිණිස, එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති ධුරය දැරූ ක්‍රිස්ටෝපර විලියම් විජේකෝන් කන්නන්ගර හෙවත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සභාපතිත්වයෙන් යුතුව අධ්‍යාපනය හා සම්බන්ධ විවිධ වෘත්තිකයින් කණ්ඩායමකගෙන් සැදුම්ලත් විශේෂ කාරක සභාවක් පත්කර ගැනිණ. එහි ප්‍රතිඵලයක් ලෙස 1943 සැප්තැම්බරයේ මෙම විශේෂ කාරක සභාවේ වාර්තාව ආණ්ඩුකාරයාට භාර දෙන ලදී. පුළුල් අධ්‍යයනයක් වූ මෙම වාර්තාව තුළ ඒ වන විට මෙරට පැවති අධ්‍යාපන සන්දර්භය තියුණු විශ්ලේෂණයකට ලක් කර තිබුණු අතර, එවකට මෙරට පැවති අධ්‍යාපනය තුළ පැවති ගැටලු හඳුනාගෙන ඒවා මෙම වාර්තාව තුළ ‘මහා ඌනතා’ සහ ‘අඩු ඌනතා’ වශයෙන් කොටස්දෙකකට දක්වනු ලැබිණි.

එහි ‘මහා ඌනතා’ යටතේ සඳහන්ව ඇති කාරණයක් මෙසේය. ඒ එවක මෙරට ඉංග්‍රීසි මාධ්‍ය පාසල් අධ්‍යාපනය සම්බන්ධවය. “ඉංග්‍රීසි අධ්‍යාපනය මහත් ආකර්ෂණයක්ව පවත්නේ හොඳ වැටුප් සහිත පදවි සියල්ලම සම්බන්ධයෙන් ඉංග්‍රීසි දැනීමක් අවශ්‍ය නිසාය.ඉංග්‍රීසි වනාහි ආණ්ඩුවේ භාෂාවද, දිවයිනේ වෙළෙඳ ව්‍යාපාරයන්ගෙන් වැඩි හරියක භාෂාවද වෙයි. එබැවින් එය ධනවත්භාවය ලැබීමට මාර්ගයද වන්නේය. වඩා ඉහළට ඉගෙනීම කරගෙන යනු කැමති අයට ඉංග්‍රීසි භාෂාව අවශ්‍යය. එහෙයින් ඉංග්‍රීසි පාඨශාලා පවත්නාතාක් ම ඒවාට විශේෂ සැලකිල්ල දැක්වීම නොවළකී. තවද ඉංග්‍රීසි පාඨශාලා වඩා හොඳ පාඨශාලා විය. ඒවායේ වඩා හොඳ ගොඩනැඟිලිද වඩා හොඳ උපකරණද, වඩා හොඳ ගුරුවරුද වෙති. සත්‍යය නම්, ඉංග්‍රීසි පාඨශාලා විවෘත කිරීම පටන්ගත් තැන් පටන් ඒ සඳහා වියදම් දැරිය හැකි අය ඒවාට දරුවන් යැවූ බවයි. ඒවා ආරම්භයේ සිටම ගාස්තු අය කරන ලදී. මේ සියලුම කරුණු නිසා වියදම් දැරිය හැකි අය දූ පුතුන් ඉංග්‍රීසි පාඨශාලාවලට යැවූහ. ඒවායේදී ඔවුහු තම අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යය හැටියට ඉංග්‍රීසි ව්‍යවහාර කිරීමට ඉගෙන ගත්හ.

ඇත්තෙන්ම ඔවුන්ගෙන් බොහෝ දෙනකුට නිවැරදිවවත්, පහසුවෙන් වත් සිංහල හෝ දෙමළ කතා කළ නොහැකිය. මෙසේ ඉංග්‍රීසිය, සමාජයේ උසස් බව දක්වන සංකේතයක් විය. මේ ස්වභාවය අවැඩදායක බැව් අපි සියලු දෙනාම සලකමු.එබැවින් අපේ යෝජනා ඒ උවදුර අඩු කිරීමට හේතු වෙතැයි සලකම්හ. ඉංග්‍රීසි උගත් අය තමන්ගේ භාෂාව නොසලකා හැරීම වූ කලී ඔවුන්ට තම සංස්කෘතිය දියුණු කර ගැනීමටත් ලෝකයේ සංස්කෘතියට තම කොටස පරිත්‍යාග කිරීමටත් බාධාවක් යැයි යනු අපේ මතයයි. සිංහල හෝ දෙමළ යන භාෂා සිංහල හෝ දෙමළ ජනයාට අදහස් ප්‍රකාශ කිරීමට ඇති ස්වාභාවික මාධ්‍යය බැව්ද, සාහිත්‍යය සහ කලා ලෝකයට සාර්ථක යමක් දීමට ඔවුන්ට ඇති එකම මාධ්‍යය බැව්ද අපට වැටහී තිබේ.”

මෙරට අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය තීරණය විය යුත්තේ සමකාලීන රැකියා වෙළෙඳපොළ ඉලක්ක කොටගෙන නොව, සමාජයීය වශයෙන් අධ්‍යාපනයේ පුළුල්තම පරමාර්ථ උදෙසා බවට වන ප්‍රගති චින්තනය මෙමගින් හඳුනාගත හැකිය. එය වඩාත් සුවිශේෂ වන්නේ මෙම විශ්ලේෂණය සිදුවන්නේ නිදහසින් පසු ලංකාවේ නොව, නිදහසට පෙර බ්‍රිතාන්‍ය යටත් විජිත අවධියේදීම වීමය. 1940 ගණන්වලදී පවා ස්වදේශික අධ්‍යාපනයේ පරමාර්ථය විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව කන්නන්ගර මහතා ප්‍රමුඛ කණ්ඩායමට තිබුණු දැක්ම “ඉංග්‍රීසි උගත් අය තමන්ගේ භාෂාව නොසලකා හැරීම වූ කලී ඔවුන්ට තම සංස්කෘතිය දියුණු කර ගැනීමටත් ලෝකයේ සංස්කෘතියට තම කොටස පරිත්‍යාග කිරීමටත් බාධාවක් යැයි යනු අපේ මතයයි. සිංහල හෝ දෙමළ යන භාෂා සිංහල හෝ දෙමළ ජනයාට අදහස් ප්‍රකාශ කිරීමට ඇති ස්වාභාවික මාධ්‍යය බැව්ද, සාහිත්‍යය සහ කලා ලෝකයට සාර්ථක යමක් දීමට ඔවුන්ට ඇති එකම මාධ්‍යය බැව්ද අපට වැටහී තිබේ.” යන ප්‍රකාශයෙහි සුපැහැදිලිව දක්නා ලැබේ. මේ දැක්ම හා චින්තනය මත පදනම්ව ‘ඉගැන්වීමේ භාෂාව’ සම්බන්ධව එම කමිටුවේ යෝජනා දක්වා ඇත්තේ මෙලෙසිනි. එම යෝජනා අදටත් වලංගු ඒවා බව පෙනේ.

“ප්‍රාථමික පාඨශාලාවේදී මව් භාෂාවෙන් ඉගැන්වීම් කළ යුතු බව අපි යෝජනා කරමු. (a) අනුමාන සහිත අවස්ථාවලදීත් දුෂ්කරතා ඉදිරිපත් වන අවස්ථාවලදීත් ප්‍රයෝජනවත් වීම පිණිස මව් භාෂාව යනු කුමක්දැයි මෙසේ පැහැදිලි කරමු. (1) මව් පිය දෙදෙනාම සිංහල නම්, නැතිනම් දෙමළ නම් සිංහල හා දෙමළ පිළිවෙළින් මව් භාෂාව වන්නේය. (2) මව් පිය දෙදෙනා ජාති දෙකකට අයත් නම් ඔවුන් හා ඔවුන්ගේ දරුවන් සාමාන්‍යයෙන් ගෙදරදී කථා කරන භාෂාව ඔවුන්ගේ මව් භාෂාව මෙන් සැලකිය යුතුයි. (3) අනිත් සියලු දෙනා සම්බන්ධයෙන් – මව්පියන් විසින් තෝරාගැනීමට කැමති වන ඉංග්‍රීසි, සිංහල, දෙමළ හෝ මැලේ යන මෙකී භාෂාවන්ගෙන් එකක් මව් භාෂාව මෙන් සැලකිය යුතුය.(b) ඉංග්‍රීසි භාෂාවෙන් නූගන්වන සෑම ප්‍රාථමික පාඨශාලාවකම ඉංග්‍රීසිය භාෂා විෂයයක් වශයෙන් ඉගැන්විය යුතුයි. එමෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන ප්‍රාථමික පාඨශාලාවල භාෂා විෂයයක් මෙන් සිංහල හෝ දෙමළ ඉගැන්විය යුතුයි. මුස්ලිම් ළමයින් සෑහෙන ගණනක් සිටින ප්‍රාථමික පාඨශාලාවල අරාබි භාෂාවද භාෂා විෂයයක් වශයෙන් ඉගැන්විය යුතුයි. (c) පශ්චාත් ප්‍රාථමික පාඨශාලාවල පහළ අංශයේ ඉගැන්වීමේ භාෂාව මව් භාෂාව හෝ (එක් භාෂාවක් ඉංග්‍රීසි වූ) ද්විභාෂා විය යුතුයි. ඉගැන්වීම ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ද්විභාෂාවෙන් නොවේ නම්, ඉංග්‍රීසි භාෂාව ඉගැන්විය යුතුම වූ දෙවැනි භාෂාව විය යුතුයි. ඉගැන්වීම ඉංග්‍රීසි භාෂාවෙන් නම්, සිංහල හෝ දෙමළ භාෂාව ඉගැන්විය යුතුම වූ දෙවැනි භාෂාව විය යුතුයි. (d) ද්විතීයික පාඨශාලාවල හෝ ජ්‍යෙෂ්ඨ පාඨශාලාවල ඉහළ අංශයේ ඉගැන්වීම ඉංග්‍රීසියෙන්, සිංහලෙන්, දෙමළෙන් හෝ ද්විභාෂාවෙන් විය යුතුයි. ඉගැන්වීම කරන්නේ ඉංග්‍රීසියෙන් හෝ ද්විභාෂාවෙන් නොවේ නම්, ඉංග්‍රීසිය ඉගැන්විය යුතුම වූ දෙවැනි භාෂාව විය යුතුයි. ඉගැන්වීම කරන්නේ ඉංග්‍රීසියෙන් නම් සිංහල හෝ දෙමළ ඉගැන්විය යුතුම වූ දෙවැනි භාෂාව විය යුතුයි. (e) උසස් කාරක ඉගැන්වීම කළ යුත්තේ මව් භාෂාව මගින් හෝ ද්විභාෂාව මගිනි.” (‘ලංකා අධ්‍යාපනයේ බ්‍රිතාන්‍ය යුගය’ 1796 -1947- රංජිත් රුබේරු)

‘අධ්‍යාපන භාෂා මාධ්‍යය’ හා සබැඳි මෙම යෝජනාවල පදනම සමකාලීන වෙළෙඳපොළ ඉල්ලුමක් සම්බන්ධ කාරණයක් නොව, සිංහල වේවා – දෙමළ වේවා – මුස්ලිම් වේවා – බර්ගර් වේවා – මේ ජාතිකත්වයන්ට අදාළ භාෂා අනන්‍යතාව – භාෂා විවිධත්වය – භාෂා විචිත්‍රත්වය යන සමස්තයට ගරු කරමින්, තම සංස්කෘතියට – තම සභ්‍යත්වයට අනන්‍ය අනාගත ලාංකේය පුරවැසි පෞරුෂයක් නිර්මාණය කිරීම සඳහා පාසල් දරු පරම්පරාව ගොඩනැඟීම බව සුපැහැදිලිය. තමන්ගේ මව් භාෂාව හා සබැඳි සංස්කෘතික දැනුම් පද්ධතිය පූර්ණ පුද්ගල පෞරුෂයක් ගොඩනැඟීම සඳහා කෙතරම් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනවාද යන්න කන්නන්ගර මැතිතුමා ප්‍රමුඛ කමිටුව මනාව හඳුනාගෙන තිබිණ.

එසේම පාසල් අධ්‍යාපනය මව්බසට සීමා කොට දරුවා ‘දූපත්වාදියකු’ බවට සිරකිරීමේ චින්තනයකට සීමා නොවී ලෝකය ජයගැනීම සඳහා සන්නිවේදන මාධ්‍යය ලෙස ‘ඉංග්‍රීසි’ භාෂාව ‘ඉගැන්විය යුතුම’ භාෂාව ලෙස අවධාරණය කර ඇත. සැබැවින්ම මෙය අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය සම්බන්ධ සමබර ලෝක දැක්මක් බව අවිවාදිතය. අදින් දශක 8කට පමණ එහා පැවති මේ දුර දැක්ම අදටත් කිසිදු අධ්‍යාපන බලධාරියකුට අබිබවා යා හැකි හෝ ඊට වඩා හොඳ දැක්මක් ආදේශ කළ හැකි රික්තයක් සහිත දැක්මක් හෝ නොවේ.

මව්බස හා සබැඳි අධ්‍යාපනයේ මනෝ විද්‍යාත්මක පදනම

මූලික අධ්‍යාපනය සිය මව්බසින් ලබා දීම මුළුමනින්ම මනෝවිද්‍යාත්මක වූත්, සමාජ විද්‍යාත්මක වූත්, විද්‍යාත්මක වූත් අවශ්‍යතාවකි. එය එදා මෙදා තුර ළමා මනෝ විද්‍යාඥයින්, අධ්‍යාපන විද්‍යාඥයින් නැවත නැවත පෙන්වා දී තිබේ.මව්බස හා සබැඳි අධ්‍යාපනයේ මනෝ විද්‍යාත්මක පදනම

ආචාර්ය ලාදා අයිදාරොවා, ළමා අධ්‍යාපනයේදී භාෂාව සම්බන්ධ වැදගත්කම විශේෂයෙන් අවධාරණය කර ඇති සෝවියට් මනෝවිද්‍යාඥවරියකි. ඇය මෙසේ සඳහන් කරයි. “ළමයාගේ සමස්ත බුද්ධිමය වර්ධනයේදී භාෂා වර්ධනය විසින් ඉටුකළ යුතු මෙහෙය අති විශාලය. භාෂාවක් ඉගැන්වීමේදී පදනම දැමිය යුතු ආකාරය සම්බන්ධ ගැටලුව අද අධ්‍යාපනයේ ඉතාමත් තියුණු ගැටලුවලින් එකකි. ප්‍රකෘති විද්‍යාවන් සහ තාක්ෂණ විද්‍යාව පිළිබඳ අනවරතයෙන් වැඩෙන උනන්දුව සමගම සෑම පුද්ගලයකුටම කලා විෂයයන් (humanities) ගැනද පූර්ණ දැනුමක් දීම අත්‍යවශ්‍ය වේ. භාෂාව සම්පූර්ණයෙන් හැදෑරීමකින් තොරව ස්වීයත්වය වර්ධනය කිරීම පූර්ණ වටිනාකමකින් යුක්ත විය හැකිද? භාෂාව මගින් ළමයා ජාතික සහ ජගත් සංස්කෘතිය සොයාගෙන, වැළඳ ගනියි. භාෂා අධ්‍යාපනය දැනුම ස්වීකරණයේ ප්‍රධාන වාහකයක් ලෙස අප සලකන්නේ එහෙයිනි.”

මේ කිසිදු තැනක අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය ගැන අවධාරණය වන්නේ එය සමකාලීන ජාතික හෝ අන්තර්ජාතික වෙළෙඳපොළ අවශ්‍යතා වෙනුවෙන් සන්දර්භගත කිරීමකින් නොව, ඒ ඒ දේශයට අනන්‍ය පූර්ණ මිනිසකු – පූර්ණ සංස්කෘතික මිනිසකු නිර්මාණය කිරීමේ ඉලක්කය වෙත ස්ථානගත කිරීමේ විෂයමූලික පදනමකිනි. එහි අවසාන ඉලක්කය වන්නේ ස්වකීය සංස්කෘතික අනන්‍යතාව සහිතව, ලෝකය හමුවේ පෙනී සිටින පෘථිවි වැසියකු නිර්මාණය කිරීම මිස, කෙතරම් කුඩා ජාතියක – සංස්කෘතියක වුව අනන්‍යතා සිඳගෙන වෙනත් සංස්කෘතික අනන්‍යතාවක් ආරෝපණය කරගත් මානව යන්ත්‍රයක් ගොඩනැඟීම නොවේ.

19 වන සියවසේ ශ්‍රේෂ්ඨ අධ්‍යාපනවේදියකු ලෙස සැලකන කොන්ස්තන්තීන් උෂින්ස්කිගේ අධ්‍යාපනය හා භාෂාව සම්බන්ධ මෙම දැක්ම බලන්න. “භාෂාව ජනයාගේ අතීත, වර්තමාන සහ අනාගත පරම්පරා එක් විශාල, ඉතිහාසමය සහ සජීවී, අස්තිත්වයකට එක් කරන ඉතාමත් ජෛවී, පොහොසත් සහ ස්ථාවර පුරුකය. එය ජනයාගේ ජීව්‍යතාව මූර්තිමත් කරනවා පමණක් නොවේ. එය ජීවයම වෙයි… මේ අනන්ත අප්‍රමාණ මුතුන් මිත්තන් පරම්පරාවල් දුටු, අත්දැකීම් ලැබූ, මුහුණ දුන් සහ සිතූ සෑම දෙයක්ම ළමයා විසින් පහසුවෙන් ග්‍රහණය කරගනු ලැබේ… තම මව් භාෂාව ප්‍රගුණ කිරීමේදී ළමයා හුදෙක් වචන,ඒවායේ සංයෝජන සහ පරිණාමන පමණක් නොව වස්තු පිළිබඳ අදහස් සහ සංකල්ප අනන්ත ප්‍රමාණයක්, සිතුවිලි, හැඟීම් සහ කලාත්මක ප්‍රතිරූප රාශියක්, භාෂාවේ තර්කය සහ දර්ශනය ප්‍රගුණ කරයි.”

අධ්‍යාපනය යනු සංස්කෘතිය පවරාදීම වන්නේ නම් නිසැකවම එය කළ හැක්කේ සිය මව්බස මත පදනම් වූ අධ්‍යාපන මාධ්‍යයෙන් බව උෂින්ස්කිගේ මෙම ප්‍රකාශය තවදුරටත් ඔප්පු කර පෙන්වයි. භාෂාව මිනිසුන්ගේ සංස්කෘතිය ඓන්ද්‍රීය ලෙස පිළිබිඹු කරන්නක් ලෙස ඔහු දකී. මව්බස සම්බන්ධ කොන්ස්තන්තීන් උෂින්ස්කිගේ මතය වැඩිදුරටත් විවරණය කරමින් ආචාර්ය ලාදා අයිදාරොවා දක්වන අදහස අධ්‍යාපන මනෝවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත්ය. “ඇත්තෙන්ම මෙහිදී අවධානය යොමු වන්නේ ව්‍යාකරණ හෝ ප්‍රකාශන මාධ්‍ය කෙරෙහි නොව, භාෂාවේ අන්තර්ගත දේ සහ එමගින් හුවමාරුවන අදහස් හා එය බිහිකරන ජනයා සමග ඒකත්වය පිළිබඳ හැඟීම කෙරෙහි වන අතර, මෙය අයෙකුගේ මව්බිම පිළිබඳ හැඟීම යනුවෙන් හඳුන්වනු ලැබේ. භාෂාවක් ප්‍රගුණ කිරීම මගින් ළමයාට තමාගේම අත්දැකීම්වල සීමාවන්ගෙන් ඔබ්බෙහි වූ සාධනයක් ප්‍රගුණ කළ හැකිය. මෙය අතිශයින් වැදගත්ය. වෙනත් වචනවලින් කිවහොත්, ඔහුගේ පෞද්ගලික හැකියාවන්ගේ සහ සංජානනයේ සීමාවන් අතුරුදන් වී යයි. එසේම ඔහුගේ හැකියාවන් වර්ධනය වෙයි. මෙය භාෂාවක් ප්‍රගුණ කිරීමෙන් අදහස් කරන දෙයෙහි එක් අංශයකි. අනෙක් අංශය පුද්ගල විඥානය වර්ධනය කිරීම සම්බන්ධයෙනි. එයද මිනිසකු භාෂාවක් ප්‍රගුණ කරන ආකාරය මත විශාල වශයෙන් රඳා පවතී.

භාෂාව අදහස් හුවමාරු කිරීමේ මාධ්‍යයක් පමණක් නොව, බුද්ධිමය බල සංචායනයක් (ඇකියුමිලේටරයක්) සහ මිනිස් අත්දැකීම් ගබඩාවක්ද වේ. කොන්ස්තන්තීන් උෂින්ස්කි කී පරිදි, ‘ළමයා තම ස්වභාෂාව ඉගෙන ගැනීමේදී කරන්නේ සම්ප්‍රදායික ශබ්ද අධ්‍යයනය කිරීම පමණක් නොවේ, ඔහු ස්වභාෂාවේ හරයෙන්ම අධ්‍යාත්මික ජීවිතය සහ බලය උරාගනියි. එය ළමයාට සොබාදහම තේරුම්කර දෙයි. ළමයා සමාජයට, එහි ඉතිහාසයට සහ එහි අපේක්ෂාවන්ට හඳුන්වා දෙයි. එසේම එය කිසිම සෞන්දර්ය විද්‍යාඥයකුට වඩා හොඳින් ළමයා ජන විශ්වාසයන්ට සහ ජනප්‍රවාදයට ඇතුළත්කර ගනියි. අවසානයේ එය ළමයාට කිසිම දර්ශනවාදියකුට ඇත්තෙන්ම උගැන්විය නොහැකි වනු ඇති තාර්කික සංකල්ප සහ දාර්ශනික අදහස් ලබා දෙනු ඇත. ”පාසල් අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය සම්බන්ධ තර්කනය නිර්මාණය විය යුත්තේ මෙබඳු පුළුල් දැක්මක් තුළය. එය යුනෙස්කෝව පවා පිළිගත් කාරණයකි.

 ශිෂ්ටාචාරය සඳහා අධ්‍යාපනයද? වෙළෙඳපොළ සඳහා අධ්‍යාපනයද?

මෙබඳු පිළිගත් විද්‍යාත්මක පසුබිමක් නොතකා හැර අධ්‍යාපනයේ ඉලක්කය වෙළෙඳපොළ අවශ්‍යතාවලට සාපේක්ෂව තීරණය කරන්නට යාම අමණ හා බිහිසුණු පියවරක් බව අමුතුවෙන් කිය යුතු නැත. නූතන රැකියා වෙළෙඳපොළේ  සන්නිවේදන කටයුතු සඳහා ඉංග්‍රීසි අවශ්‍ය බවට විවාදයක් නැත. නූතන උසස් අධ්‍යාපන කටයුතු සඳහා නව දැනුම ගවේෂණය සඳහා ඉංග්‍රීසි අවශ්‍ය බවට විවාදයක් නැත. එසේම මේ අවශ්‍යතාව, අද අධ්‍යාපන හා දේශපාලන බලධාරීන් තමන් සොයාගත් දෙයක් සේ වදාරන්නට දශක 8කට පෙර කන්නන්ගර මහතා ප්‍රමුඛ කණ්ඩායම ‘ඉංග්‍රීසි ඉගැන්විය යුතු ම විෂයයක්’ ලෙස යෝජනා කර ඇත්තේ අනාගතවාදී දැක්මකින් බව වටහා ගත යුතුය.

තමන්ගේ නොවන බසකින් අධ්‍යාපනය ලබන දරුවකුට සිය ජීවිතයෙන් දැවැන්ත සංස්කෘතික දැනුම් පද්ධතියක්, නිර්මාණශීලී චින්තන පදනමක් අහිමි වී යාම නොවැළැක්විය හැක්කකි. නූතන වෙළෙඳපොළ ඉල්ලා සිටින හුදු සන්නිවේදන මාධ්‍යයක අවශ්‍යතාව වෙනුවෙන්, මිනිස් පරම්පරාවකින් එබඳු සංස්කෘතික දැනුම් ප්‍රවාහයක් උදුරාගන්නේ නම් එය බිහිසුණු අපරාධයකි. එය නිසැකවම ජාතික අපරාධයක් නොව, මුළු මානව ශිෂ්ටාචාරයටම එරෙහි අපරාධයකි. මිනිසකුගේ මව්බස හා ගොඩනැඟුණු දැනුම් පද්ධතියක් යනු හුදු කිසියම් රටකට හෝ ජාතියකට අයත් වූවක් නොව සමස්ත මානව ශිෂ්ටාචාරයටම අයත් වන්නකි. එබැවින් අධ්‍යාපන මාධ්‍යය වෙනස් කිරීමේ නාමයෙන්, නූතන ලාංකේය මධ්‍යම පන්තියේ ලාබ ජනප්‍රියත්වය වෙනුවෙන් එවැනි පියවරක් තැබීම එකඟ විය හැක්කක් නොවේ. මෙතැනදී මේ ලියුම්කරුගේ සිහියට නැඟෙන්නේ මෙරට සිටි විශිෂ්ට අධ්‍යාපන වෘත්තිකයකු හා ලේඛකයකු වූ ලීලානන්ද ගමාච්චි මහතා වරෙක දක්වා තිබූ අදහසකි. “තම දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙර පාසල් අධ්‍යාපනය දෙන්නට අඳබාල මාපියන් අතර පවතින උනන්දුව ඔවුන්ගේ දරුවන් අනතුරේ හෙළනු ඒකාන්තය. දරුවන්ගේ පරිකල්පනය සහ සංයුක්ත චින්තනය වර්ධනය වන මේ අවධියේ ඔවුන්ගේ ආධ්‍යාත්ම වර්ධනයට අවශ්‍ය යෙන්ම පදනම් විය යුතු මව්බස වෙනුවට ගෙදර භාවිත නොවන පර බසක් උපයෝගී කර ගැනීමෙන්, ඒදරුවන්ගේ මානසික වර්ධනයට බාධා වන බව මේ අඥානයෝ නොදනිති.” පෙර පාසල් අධ්‍යාපනයට මතු නොව පාසල් අධ්‍යාපනය සම්බන්ධවද මේ අදහස එසේම වලංගුය.

තොරතුරු තාක්ෂණය අධිනිශ්චය වී ඇති ලංකාවක, තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළක් වෙනුවෙන් සියලු අධ්‍යාපනික ඉලක්ක සීරුමාරු කරන්නට යාමෙන් මෙරට බිහිවනු ඇත්තේ අන්තර්ජාතික සමාගම්වල ‘දත්ත ඇතුළත් කරන ශ්‍රමික පරම්පරාවක්’ මිස, ඒ තොරතුරු තාක්ෂණ ලෝකය තුළ පවා ලාංකේය අනන්‍යතාවක් සහිත සුවිශේෂ මැදිහත්වීම් කළ හැකි නිර්මාණශීලී පරපුරක් නොවන්නේය. අනෙක් අතට මෙලෙස පාසල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යය බවට පරිවර්තනය කළහොත් මෙමගින් මෙරට උසස් අධ්‍යාපන තලයේදී කලා විෂයයන් හා සබැඳි ශාස්ත්‍රීය අධ්‍යාපනයට අත්වන ඉරණම අමුතුවෙන් කිව මනා නොවේ.

මෙලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සම්බන්ධව මතුවන තාක්ෂණික ගැටලු (ගුරුවරුන් සම්බන්ධ ගැටලු) හා සමාජ ගැටලු (මෙරට බහුතරයක් දෙමව්පියන්ට එය බලපාන බහුවිධ ආකාර) ගැන අප මෙහිදී කිසිසේත්ම සාකච්ඡා නොකරන්නේ, මෙලෙස අධ්‍යාපන මාධ්‍යය වෙනස්කිරීමට සිතීමම, එම ප්‍රවේශයම සාපරාධී දෙයක් බැවිනි. අපේ රටේ පාසල් අධ්‍යාපනය සම්බන්ධව විසඳාගත යුතු අටෝරාශියක් ගැටලු තිබියදී, දුෂ්කර පළාත්වල නිසි අධ්‍යාපන පහසුකම් හා මානව සම්පත් නොමැති පාසල් කොතෙකුත් තිබියදී, සාමාන්‍ය පාසල් විෂයයක් ලෙස ඉංග්‍රීසි උගැන්වීම පවා ගැටලුවක්ව තිබියදී අගනාගරික දෙමාපියන් අතලොස්සකගේ ‘හීන’ වෙනුවෙන් අධ්‍යාපනය සමග අමණ පර්යේෂණ කිරීම, අත්හදාබැලීම් කිරීම පිළිගත හැක්කක් නොවේ.

මෙරට දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම ගොඩගැනීමට සැබෑ අවශ්‍යතාවක් තිබේනම්, ඉකුත් 40 දශකයේ කන්නන්ගර වැඩපිළි‍වෙළ තුළ ඇති යෝජනා අදටත් වලංගුය. එසේම අදටත් මෙරට දුෂ්කර පළාත්වල පාසල්හි නිර්මාණශීලී ඉංග්‍රීසි ගුරුවරුන් ජාතික අධ්‍යාපන ආයතනයේ පොතේ නැති විවිධ ක්‍රමවේද යොදාගනිමින් පාසල් දරුවන්ට මනා ඉංග්‍රීසි දැනුමක් හා සන්නිවේදන හැකියාවක් ලබා දෙන අවස්ථා රූපවාහිනි වැඩසටහන්වලින් පවා ඉදිරිපත් වේ. අවශ්‍ය වන්නේ එබඳු නිර්මාණශීලී මානව සම්පත් ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිසි තැන්වල ස්ථාපිත කොට ඔවුන්ගේ දැක්ම හා නිර්මාණශීලී හැකියාව සමස්ත රටේම පාසල් දරුවන්ට ලැබෙන පරිදි ක්‍රමවේද සකස් කිරීමය. එසේ නොවන්නේ නම්, නැවත නැවතත් කීමට සිදුවන්නේ මෙම ලියමනේ ආරම්භයේ සඳහන් කළ සංශෝධිත කියමනම ය.

“වෙනස් කළ යුතු දේ වෙනස් කිරීමට දිරියද, වෙනස් නොකළ යුතු දේ නොවෙනස්ව තබා ගැනීමට සවිය ද, ඒ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට නුවණද කරුණාවෙන් ලංකාවේ අධ්‍යාපන බලධාරීන්ට දානය කළ මැනව.”

ප්‍රභාත් චින්තක මීගොඩගේ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොවිඩ් වැළඳුනු දරුවන්ට අලුත් රෝගයක්; දිවයින පුරා පැතිරී ඇති දැයි සැකයි- විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපත...


Read More

මහ බැංකුව හා භාන්ඩාගාරය එක්ව දේශීය කර්මාන්ත වල පල්ලට යවන කුමන්ත්‍රණයක

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන ...


Read More

කොරෝනාවට මුවාවී සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගරානාවක්; ජෛව ඉන්ජිනේරු ඒකකයේ ප්‍රධානියා සහ අමාත්‍යාංශ ප්‍රභලයෙකුගේ වැඩක් බව සෞඛ්‍යය අංශ බලධාරින් පවසයි

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාං...


Read More