පුරවැසි කොලම

පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ දේශපාලන ගතිකයන් පටු සීමාවෙන් ඔබ්බට ගෙන පුළුල් චිත්‍රය තුළ තබා විමසා බලන විට නිදහසින් පසුව මේ රටේ සිදු වූ බොහෝ තීරණාත්මක දේශපාලන සංසිද්ධි සඳහා විදේශ ඔත්තු සේවාවන්හි මැදිහත්වීම් හා අතපෙවීම් තිබී ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි ඇත්තකි. මේ ඇතැම් සංසිද්ධි සඳහා සෘජුව ඇඟිල්ල දිගු වූ විවිධ දේශපාලන පක්ෂවල පුද්ගල චරිත සිටින නමුත් හුදු පුද්ගල චරිතවල ක්‍රියාකාරීත්වයන් ලෙස පමණක් ඔවුන්ගේ මැදිහත්වීම් කියවාගැනීම තුළ මේ සංසිද්ධි පිටුපස වන විශාල චිත්‍රයට අවධානය යොමුවීම වැළැකී ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ තීරණාත්මක දේශපාලන සංසිද්ධි බොහොමයක් සිදුව ඇත්තේ සී.අයි.ඒ. (ඇමරිකාව), මොසාඩ් (ඊශ්‍රායලය) හා රෝ (ඉන්දියාව) යන ඔත්තු සේවාවල වෙන් වෙන් හා /හෝ ඒකාබද්ධ උපායමාර්ගික සැලසුම් හා අතපෙවීම් හරහා බව මෙම දේශපාලන සංසිද්ධි පුළුල් චිත්‍රය තුළ තබා ප්‍රතිවිශ්ලේෂණය කිරීමේදී හඳුනාගත හැකිය. එම ඔත්තු සේවාවල පැත්තෙන් ගත්විට එම මෙහෙයුම් සාර්ථක කරගැනීම තුළ ඒ ඔත්තු සේවා පිටුපස වන රාජ්‍ය, කෙටිකාලීනව හා දීර්ඝකාලීනව ශ්‍රී ලංකාව තුළ දේශපාලන – ආර්ථික සාර්ථකත්වයන් අත්පත් කරගත් බව පැහැදිලිය.

‘නැඟෙනහිර පර්යන්තය අහිමිවීමෙන් පසු’ ඉන්දියානු භූමිකාව

මෑත ඉතිහාසය තුළ, කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය තම රටට හිමිකරගැනීමට නොහැකි වීම යනු ඉන්දියාවට පහසුවෙන් අමතක කර දැමිය හැකි තත්ත්වයක් නොවේ. ලංකාවේ වරායන්හි ආර්ථික හා දේශපාලනික උපායමාර්ගික වැදගත්කම හා සාපේක්ෂව සැලකීමේදී ඉන්දියානු වරායන්වලට ලැබෙන්නේ ඉතා පහළ වටිනාකමකි. මේ තත්ත්වය තුළ ඉන්දියාවට ලංකාව සම්බන්ධව පවතින්නේ කෙසේ හෝ සංසිඳුවා ගත යුතු ආර්ථික මනදොළකි. මෙරට වරායවල් අත්පත් කරගත නොහැකි නම්, මත්තල හා  යාපනය ගුවන්තොටුපොළවල් හෝ අත්පත් කරගැනීමට ඉන්දියාව සැලසුම් කරන්නේ මේවායේ භූ දේශපාලනික වශයෙන් වන උපාය මාර්ගික වටිනාකම ගැන නිසි අවබෝධයකිනි.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට නොදීමට මෙරට රජය තීරණය කිරීමෙන් පසු මෙරට ජාතික පුවත්පත්වල කතුවැකි පිටුවේ, ඉන්දියාවට මෙම පර්යන්තය ලබා නොදීමෙන් රටට විඳින්නට සිදුවන අනාගත පාඩු ගැන, එය ඉන්දියාවට දුන්නා නම් මෙරටට ඇති වාසි ගැන, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වන දීර්ඝකාලීන සම්බන්ධය නැවත සිහිකැඳවීම් ගැන, ප්‍රකට පුද්ගලයින් මෙන්ම, මීට පෙර නමක් වත් අසා නොමැති පුද්ගලයින් විසින් ද ලියන ලද ප්‍රධාන ලිපි පළ වී තිබිණ. කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය අහිමී වීමෙන් පසු ලංකාව සමග කරන ගනුදෙනුවේ හැඩය හා ගුණය සම්බන්ධව, ‘ශ්‍රී ලංකා ලිපිගොනුව’ සම්බන්ධව ඉන්දියාව පාර්ශ්වයෙන් නැවත විශ්ලේෂණය කරමින් සිටින බවට කිසිදු සැකයක් නැත.

ඒ විශ්ලේෂණය ආශ්‍රිතව ගොඩනැඟෙන නව උපායික සැලසුම් තුළ ඉන්දියානු ‘රෝ’ ඔත්තු සේවාවේ මෙරට නියෝජිතයින්ට නව පැවරුම් ලැබී ඇති බවද නිසැකය. මෙම පසුබිම තුළ මෙරට ජනමාධ්‍ය හරහා ඉන්දියාවට පක්ෂපාතී ‘අහිංසක, ධාර්මික’ මතවාදී මෙහෙයුම ඉටු කරන මිලින්ද මොරගොඩ මහතා සහ තවත් අයට ලැබී ඇති අහිංසක, ධාර්මික පැවරුම ගැන හඳුනාගෙන තිබීමද ඉදිරියට බෙහෙවින් වැදගත් වනු ඇත.

දැනට සති කිහිපයකට පෙර මෙරට සති අන්ත ජාතික පුවත්පතක පළ වී තිබුනේ ඉන්දියානු ශිෂ්‍යයින්ට මෙරට බෞද්ධ විහාරස්ථාන හා බෞද්ධ අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වී බෞද්ධ සංස්කෘතිය හැදෑරීමට වැඩපිළිවෙළක් සැකසෙමින් පවතින බවයි. මතුපිටින් ගත් විට මේ සැලසුම ඉතා අහිංසක එකකි. මේ ඉන්දියානු ශිෂ්‍යයින් ‘ශිෂ්‍ය බබාලා’ නොවන බව අමුතුවෙන් කිය යුතු නැත. මේ ශිෂ්‍ය කණ්ඩායම් තුළට නිශ්චිතවම රෝ ඔත්තු සේවා නියෝජිතයින් ඇතුළත් කරනු ලබන අතර, ඔවුන් තමන්ට අදාළ පැවරුම් මේ තුළ ඉටු කරනු ඇත. මේ පිටුපස ඇති ඉන්දියානු වුවමනාව ඉන්දියාවට පාලනය කළ හැකි ‘නිල’, මෙරට බෞද්ධ ශාසනය තුළ ගොඩනඟාගැනීම සඳහාය.

මිලින්ද මොරගොඩ මහතා ථෙරවාදී බුදුදහම ගැන පතල මහා කරුණාවෙන් මෙරට විහාරස්ථාන වෙත ආධාර කරන්නට පටන් ගෙන ඇත්තේ ඉන් ලබන මහත් ඵල මහානිශංස තමන්ට සංසාර ගමන කෙළවර නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහා යොදාගැනීමට නොවේ. එසේම, මෙබඳු ‘ධාර්මික පැවරුමකට’ වඩා වෙනස් පැවරුමක් / පැවරුම් තවත් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට හෝ ලැබී ඇති බව නිසැකය. ඒ පැවරුම  එක්කෝ කෙටිකාලීන විය හැකිය. නැතිනම් දීර්ඝ කාලීන විය හැකිය. මෙබඳු මෙහෙයුම් තුළ විවිධ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව පාවිච්චි කිරීම ඔත්තු සේවා මෙහෙයුම් තුළ අලුත් දෙයක් නොවේ.

රාජ්‍ය නිලධාරීන් සියමෙහෙයුම්වලට ඈඳාගැනීම සඳහා ඔත්තු සේවා යොදාගන්නා ප්‍රධාන ක්‍රම අතර මුදල් සහ කාන්තාවන් සබැඳි ‘පැණි උගුල්’ තිබේ. එබඳු ඔත්තු සේවා මෙහෙයුමකට තමන් සම්බන්ධ බවවත් ඇතැම් විට රාජ්‍ය නිලධාරියා නොදනින අතර, සමස්ත දාමය තුළ නිලධාරියාට පැවරෙන කොටස ‘සුලු’ එකකි. අනුමැතියක් දීම පමණක් වුව හොඳටම ප්‍රමාණවත්ය. එබඳු සිදුවිම් අන්තර්ජාතික ඔත්තු සේවා සාහිත්‍යය තුළ විරල නැත.

චීනයට පක්ෂ ‘ජ.වි.පෙ.’සහ චීනයට ප්‍රතිපක්ෂ ‘ජ.වි.පෙ.’ එකක්ද? දෙකක්ද?

ඉන්දියාවේ සතුරා වන චීනය මෑත කාලීනව ලංකාවේ සිදු කරන ආර්ථික ක්‍රියාකාරකම් අතර, සමුද්‍ර ආර්ථික උපාය මාර්ගික කටයුතු ප්‍රධාන තැනක් ගනී. චීනය ලංකාව සමග කර ඇති ගනුදෙනු දෙපාර්ශ්වයටම වාසි සහගත (Win – Win) ඒවා බවට විවාදයක් නැත. එසේම, ලංකාව චීනය සමග පවත්වන මෙම මිත්‍රත්ව භූමිකාව තුළ අන්තර්ජාතික තලයේදී මෙරට ආරක්ෂාව වෙනුවෙන් ප්‍රබල රාජ්‍යයතාන්ත්‍රික මිතුරකු මෙරටට ලැබී තිබේ. මෙබඳු පසුබිමක ජනතා විමුක්ති පෙරමුණ අද මතුපිටට ගෙන ඇති චීන විරෝධය විසින් අවසාන විග්‍රහයේදී ඉෂ්ට කරන්නේ කෙබඳු රාජ්‍යයක අවශ්‍යතාවක්ද යන්න සැක සහිතය. පැහැදිලිවම එය ඉන්දියානු (හා ඇමරිකානු) අවශ්‍යතාව වෙනුවෙන් නිර්මාණය වූවක් බවට සැකයක් නැත.

මේ ලියුම්කරුගේ මතකය අනුව, දෙදහස් ගණන්වල මුල භාගයේ චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ප්‍රධානියකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කටයුතු කළ අතර, චීනය හා ලංකාව අතර පැවති ඓතිහාසික සම්බන්ධතාව සමරමින් එවක එක් සංවත්සරයක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාණ හා ශ්‍රම දායකත්වයෙන් සුවිශේෂ සමරු කලාපයක් පවා පළකිරීමට කටයුතු කෙරිණ. එසේම එවක චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර නායකයින් කණ්ඩායමකට එරටට සති කිහිපයක අධ්‍යයන චාරිකාවක් පවා ලබා දීමට කටයුතු කරන ලදී.

එදා තිබුනේත් අද චීනයම වන අතර, චීනය එදා ලංකාව සමග කටයුතු කළේද, අද ලංකාව සමග කටයුතු කරන්නේද එකම උපායමාර්ගික දැක්මක් – එකම උපාය මාර්ගික සැලසුමක් තුළය. මෙයට සාපේක්ෂව තබා බලන විට ජ.වි.පෙ. එදා චීනය සම්බන්ධව දැරූ ආස්ථානය නිවැරදි නම්, අද ඔවුන් චීනය සම්බන්ධව සිටින ආස්ථානය වැරදිය. අනෙක් අතට, ජ.වි.පෙ. අද චීනය සම්බන්ධව දරන විරෝධාත්මක ආස්ථානය නිවැරදි නම්, ජ.වි.පෙ. එදා චීනය සම්බන්ධව සිටි ආස්ථානය වැරදිය. එක්කෝ එදා තිබූ ජ.වි.පෙ. අද නැත. එසේත් නැතිනම්, ජ.වි.පෙ. අද චීනය සම්බන්ධව දරන විරෝධයේ වැරදි – නිවැරදිභාවය කියනු ඇත්තේ තව දශක කිහිපයකින් පසු කරන ස්වයං විවේචනයකදීය. (එසේත්නැත්නම් එදා තිබූ ජ.වි.පෙ. ගැනත් අද තිබෙන ජ.වි.පෙ. ගැනත්  සවිඥානිකව සංසන්දනය කරන අපට පිස්සුය !)

මෙරට ක්‍රියාත්මක විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව 1994න් පසුව 2008 වර්ෂය දක්වා තර්කානුකූල දැඩි විරෝධයක් හා විවේචනයක් සහිතව සිටි ජ.වි.පෙ., අද දවසේ එබඳු රාජ්‍ය නොවන සංවිධානවල (උදා – විකල්ප ප්‍රතිපත්ති කේන්‍ද්‍රය) මිතුරකු වීම හා චීනයට විරුද්ධව එම රාජ්‍ය නොවන සංවිධාන සමග එකම වේදිකාවක කටයුතු කිරීම තේරුම් ගත යුත්තේ කෙසේද? එම රාජ්‍ය නොවන සංවිධානවලට ශ්‍රී ලංකා රාජ්‍යය සම්බන්ධව ඇති මූලෝපායික පැවරුම කිසි විටෙක වෙනස් නොවී ඇති යථාර්ථයක (උපක්‍රම කලින් කල වෙනස් වුවද) ඔවුන් සමග ජ.වි.පෙ. කරන ගනුදෙනුවට අදාළ විශාල චිත්‍රය නිර්මාණය වී ඇත්තේ කෙබඳු විදේශ රාජ්‍යවල මැදිහත්වීමෙන්ද යන්න පැහැදිලිය. නිසැකවම ඒ විශාල චිත්‍රය අඳින විදේශයන් අතර ඇමරිකාව හා ඉන්දියාව සිටී. එබඳු පසුබිමක මිලින්ද මොරගොඩ හා තවත් අයට ලැබී ඇති පැවරුමට වඩා වෙනස් පැවරුමක් මේ මොහොතේ ජ.වි.පෙ. සහ තවත් අයට ලැබී තිබෙන බවට විවාදයක් නොමැත.

එක්ස්ප්‍රස් පර්ල් නැව යාත්‍රා කළ ‘භූ දේශපාලන සිතියම’

සමුද්‍ර ආර්ථික උපාය මාර්ගය කෙරෙහි විශේෂ නැඹුරුවක් සහිතව ලංකාව සමග චීනය ගනුදෙනු කරන යථාර්ථයක, ඉන්දියාවට (සහ ඇමරිකාවට) මෙරට සමුද්‍ර ආර්ථිකයට අදාළව දැවැන්ත භෞතික ආපදාවක් කිරීමේ උපායමාර්ගික අවශ්‍යතාවක් පවතින බව කිසි විටෙකත් ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. ඒ සඳහා බලපාන ආසන්න කර්මය වන්නේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට අහිමි වීමය. මෙතැනදී අවශ්‍යයෙන්ම සටහන් කළ යුතු අන්තර්ජාතික උදාහරණයක් තිබේ. මෑත කාලයේ ලෙබනනයේ වරායක් ආශ්‍රිත ගුදමක ගබඩාකර තිබූ රසායන ද්‍රව්‍ය ගිනිගෙන දැවැන්ත පුපුරා යාමක් සිදු විණි. මේ සිදුවීමට ආසන්න පෙර කාලයේ ලෙබනනය හා ඊශ්‍රායලය අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් තිබිණ. වරාය ආශ්‍රිත ඒ පිපිරුම සිදුවන්නේ මේ ගැටුම්කාරී සිදුවීම් දාමයේ යම් තැනකදීය. ඊශ්‍රායලය සිය මොසාඩ් ඔත්තු සේවය මගින් මැද පෙරදිග රාජ්‍ය තුළ ප්‍රබල ඔත්තු සේවා ජාලයක් ක්‍රියාත්මක කරගෙන යන්නේ සිය රටට එරෙහිව මැදපෙරදිග කලාපයේ රටවල් තුළ පවතින විරෝධය කළමනාකරණය කර ගැනීම සඳහාය. එබඳු පසුබිමක ලෙබනනයේ පිපිරුම පිටුපස ඇති ඔත්තු සේවා හස්ථය කුමක්දැයි අමුතුවෙන් කිය යුතු නැත. එම පිපිරීමෙන් ලෙබනනයට සිදු වූ හානිය ගණනය කළ නොහැකි තරම් යැයි එවක ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කර තිබිණ.

මෙබඳු ලෝක දේශපාලන යථාර්ථයක කොළඹ වරාය වෙත යාත්‍රා කරන ‘එක්ස්ප්‍රස් පර්ල් නැවට’, නාවික සිතියමට වඩා බරපතළ භූ දේශපාලන සිතියමක් ඔස්සේ යාත්‍රා කිරීමට සිදුව තිබුනේ නැතැයි කිසිවකුටත් කිව හැකිද? ඒ සැලසුමට අනුව ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැව ගිනි ගත යුතුව තිබුණේ කොළඹ වරාය තුළ බවට සැකයක් නැත. මෙබඳු පසුබිමක මෙම ‘පශ්චාත් නැඟෙනහිර පර්යන්ත අවධිය’ තුළ ඉන්දියාව ලංකාව අඩපණ කිරීම සඳහා සිදු කළ මෙහෙයුමක් ලෙස මෙම ‘එක්ස්ප්‍රස් පර්ල්’ මෙහෙයුම හඳුනාගත හැකිය. මෙම නැව ගිනිගෙන පුපුරා යමින් තිබෙන හා එහි තිබුණු ද්‍රව්‍ය මුහුදු වෙරළ වෙත ගොඩගසමින් තිබෙන දිනවල ඉන්දියාව මෙරට සිටින ඉන්දියානු ජාතිකයින්ට දැනුම් දීමක් කරමින්, ඔවුන්ට කිසිදු අවස්ථාවක එම ප්‍රදේශ වෙත නොයන ලෙස දන්වා සිටියේය. මේ දැනුම්දීම තුළ හුදු දැනුම්දීමකට වඩා යමක් තිබෙන බව ද හඳුනාගත හැකිය.

මෙම ලිපිය ලියන මොහොත වන විට ඉන්දියානු නාවික හමුදාපතිවරයා හා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා අතර මේ නැව ගිනිගැනීමෙන් සිදුව ඇති විනාශය සම්බන්ධව දුරකතන සාකච්ඡාවක් පැවතී ඇති අතර, ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල ඉදිරියේදී ඉන්දියාව හැසිරෙන ආකාරය තුළ දැකගත හැකි වනු ඇත. එසේම, මෙම නැව පිපිරීමෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබාගැනීමට අසාමාන්‍ය උනන්දුවක් පෙන්වමින් හැසිරෙන පුද්ගලයින්ගේ අරමුණ හා කොන්ත්‍රාත්තුව කුමක්ද යන්නද තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. මෙම හානිය සම්බන්ධව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ගය ක්ෂණිකව ‘වන්දි මුදලකට’ ලඝු කර ගැනීමෙන් මේ සම්බන්ධව කරන විමර්ශන මගින් අනාවරණය විය යුතු තොරතුරු හා සම්බන්ධතා රාශියක් සඟවා තැබීමට හැකියාව ලැබේ. ඒ සඟවාලීමට බලාපොරොත්තු වන තොරතුරුවලින් අනාවරණය වනු ඇත්තේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැව යාත්‍රා කළ නාවික සිතියම ගැන නොව, එය යාත්‍රා කළ ‘සැබෑ භූ දේශපාලන සිතියම’ ගැනය.

අන්තර්ජාතික ඔත්තු සේවාවල සේවය කොට විශ්‍රාම ගත් ඇතැම් නිලධාරීන් පසුකාලීනව, තමන් රාජකාරි කාලය තුළ සම්බන්ධ වූ මෙහෙයුම් පිළිබඳව අනාවරණය කරමින් ලියූ පොත පත ඔත්තු සේවා සාහිත්‍යය තුළ විරල නැත. අනාගතයේ මතු යම් දිනෙක එබඳු කලාපීය ඔත්තු සේවා සාහිත්‍ය කෘතියක පරිච්ඡේදයක් ‘එක්ස්ප්‍රස් පර්ල්’ මෙහෙයුමට අදාළව සටහන් නොවනු ඇත්ද? නොඑසේ නම් එය සදාකාලිකව මෙරට පුරවැසියාට අනාවරණය නොවූ රහසක් වනු ඇත්ද? ගිනි ගෙන අවසන්ව ගිලෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ දර්ශන දෙස බලා හිඳින විට, ශ්‍රී ලාංකේය පුරවැසියකු වශයෙන් මෙබඳු සිතිවිලි නැඟෙන්නේ මේ ලියුම්කරුගේ සිතේ පමණද?

ප්‍රභාත් චින්තක මීගොඩගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More