පුරවැසි කොලම

ලොව විශාලතම ආහාර සමාගම වන නෙස්ලේ සමාගම සිය ප්‍රධාන ධාරාවේ ආහාර හා බීම නිෂ්පාදනවලින් සියයට 60 කට වඩා වැඩි ප්‍රමාණයක් පිළිගත් “ සෞඛ්‍යය පිළිබඳ නිර්වචනයන්” සපුරාලන්නේ නැති බවත් ඔවුන් කෙතරම් ඔවුන්ගේ උපකරණ සහ නිෂ්පාදන ක්‍රියාවලිය නව්‍යයකරණය කිරීමට උත්සහා කළද ඔවුන්ගේ “සමහර ප්‍රභේද සහ නිෂ්පාදන කිසි විටෙකත් සෞඛ්‍ය සම්පන්න නොවන” බවත් පිළිගෙන තිබේ.

“ෆයිනෑන්ෂල් ටෛම්ස්” පුවත් පත වෙත ලැබුණු නෙස්ලේ සමාගමේ ඉහළ කළමනාකාරිත්වය අතර හුවමාරු වූ එක්තරා අභ්‍යයන්තර ලියවිල්ලකට අනුව පැවසෙන්නේ සුරතල් සතුන්ගේ ආහාර සහ රෝගීන් සඳහා ලබාදෙන පෝෂණ අතිරේකයන් හැර නෙස්ලේ සමාගමේ ආදායමෙන් 37% කට වගකියන ආහාර ද්‍රව්‍යය ප්‍රමාණයක් පමණක් ඔස්ට්‍රේලියාවේ ආහාර වල ගුණාත්මකභාවය තක්සේරු කිරීමට ලබා දෙනු ලබන තරු සහතිකයේ 3.5 සීමාව පසුකර යාමට සමත්ව ඇති බවයි.

ඔස්ට්‍රේලියානු රජය ආහාර ද්‍රව්‍යයක ගුණාත්මකභාවය මැනීමට භාවිතා කරණ මෙම තරු පංති ක්‍රමය අනුව යම් ආහාර ද්‍රව්‍යයකට උපරිම වශයෙන් තරු පහක් ලබා ගත හැකි අතර ආහාර සහ ඖෂධ වල ගුණාත්මකභාවය පිළිබඳ සෙවිල්ලෙන් පසුවන ජාත්‍යයන්තර සංවිධානයක් වන “දි ඇක්සස් ටු ද නියුට්‍රිෂන් ෆෞන්ඩේෂන්” නම් සංවිධානය ඔවුන්ගේ විමර්ෂණ වලටද මෙම ඔස්ට්‍රේලියානු තරු පංති ක්‍රමය යොදා ගනී.ලෝක ප්‍රසිද්ධ කිට්කැට්, නෙස්කැෆේ, මැගී නූඩ්ල්ස් වැනි මනුෂ්‍යය අහාරවල නිෂ්පාදන සමාගම වන නෙස්ලේ සමාගම, ඔස්ට්‍රේලියානු රජයේ ආහාරයක ගුණාත්මකභාවය මනින “තරු ක්‍රමය” විසින් ඔවුනට ලැබුණු තරු 3.5 යන්න “සෞඛ්‍යය පිළිබඳ නිර්වචනයක” එලිපත්ත සීමාවට ළඟා වීම යනුවෙන් අර්ථ දැක්වා සිය මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකීනීමට කූට ප්‍රයෝගකාරී උපක්‍රම යොදන සමාගමක් බවට පත්ව ඇත.

නෙස්ලේ සමාගමේ ඉහළ කළමනාකරිත්වය අතර බෙදා හැරුණු අභ්‍යයන්තර රහස් ලියවිල්ලෙන් වැඩිදුරටත් ප්‍රකාශ වන්නේ,නෙස්ලේ සමාගම නිෂ්පාදනය කරන සමස්ත ආහාර නිෂ්පාදන ගොනුවෙන් 70%ක්ම ඔස්ට්‍රේලියානු රජයේ “තරු පන්ති” ක්‍රමය තුළ වන 3.5 හෙවත් “සෞඛ්‍යය පිළිබඳ නිර්වචනයේ” එලිපත්ත සීමාවට ළඟා වීමට හැකියාව ලබාගෙන නැති බවයි. ඒ අනුව එම රහස් ලියවිල්ල මගින් පෙන්වා දෙන්නේ නෙස්ලේ සමාගමේ පානීය නිෂ්පාදන ගොනුවේ ඇති පානීය නිෂ්පාදන වලින් පිරිසිදු කෝපි හැර ඉතිරි 96%ක්ම වූ පානීය වර්ග ඔස්ට්‍රේලියානු තරුපන්ති ක්‍රමයේ 3.5 සීමාව හෙවත් “සෞඛ්‍යය පිළිබඳ නිර්වචනයේ” එලිපත්තට ළඟා වීමට හැකියාව ලබා ගෙන නැති බවයි. එලෙසම එම රහස් ලියවිල්ලට අනුව නෙස්ලේ සමාගමේ රසකැවිලි සහ අයිස් ක්‍රීම් ගොනුවේ නිෂ්පාදන වලින් 99%ක්ම ඉහත කී එලිපත්තට ලංවීමට හැකියාව ලබාගෙන නැත.

කෙසේ වුවද නෙස්ලේ සමාගම බෝතල් කර අලෙවි කරන පානීය ජලය අඩංගු සන්නාම වලින් 82%ක් මෙම ඔස්ට්‍රේලියානු “සෞඛ්‍යය පිළිබඳ නිර්වචනයේ” එලිපත්තට ළඟා වීමට හැකියාව ලබා ගෙන ඇත. එහෙත් නෙස්ලේ සමාගමේ කිරි නිෂ්පාදන සන්නාම වලින් 60% ක් පමණක් මෙම “සෞඛ්‍යය පිළිබඳ නිර්වචනයේ” එලිපත්තට ළඟා වීමට හැකියාව ලබා ගෙන තිබේ. ඒ අනුව නෙස්ලේ සමාගමේ කිරි නිෂ්පාදන සන්නාම වලින් 40% ක්ම මිනිස් පරිභෝජනයට නුසුදුසුය.

“අපි අපගේ නිෂ්පාදනවල සැලකිය යුතු වර්ධනයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.නමුත් අහස උසට නැඟෙමින් පවතින පාරිභෝගික ඉල්ලීම් නම් වූ යථාර්තය තුළ බාහිර සෞඛ්‍යය නියාමනයන්ගේ පීඩනයන් පුපුරුවා හැරීමට සහ සෞඛ්‍යය පිළිබඳ බාහිර අර්ථ දැක්වීම්වලට අනුකූලතාවය පෙන්වීමට තරම් අපගේ නිෂ්පාදන ගොනු තවමත් සමත්ව නැත” යනුවෙන් පෙරකී අභ්‍යයන්තර රහස් ලියවිල්ල අවධාරණය කර සිටී.

නෙස්ලේ සමාගමේ ඩොලර් බිලියන 102.8ක් වන සමස්ත ආදායමෙන් අඩකට පමණ වගකියන ළදරු ආහාර නිෂ්පාදන, සුරතල් සතුන්ගේ ආහාර,කෝපි සහ විශේෂිත සෞඛ්‍යය තත්ව යටතේ සිටින රෝගීන්ට ආහාර නිපදවන නෙස්ලේ සමාගමේ සෞඛ්‍යය අංශය මෙම ලියවිල්ලේ ඇති දත්ත වලට අයත් නැත.

අභ්‍යයන්තර ලියවිල්ල පිළිබඳ කතිකාවත ලෝක පරිමාණයෙන් කරලියට පැමිණෙන්නේ තරබාරුකමට එරෙහිව සටන සහ සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභවය සම්බන්ධ සටන ගෝලීය වශයෙන් කරලියට පැමිණෙමින් තිබෙන සහ එම ගෝලීය විපර්යාසයන්ට අනුගතව ආහාර නිෂ්පදන සමාගම් පොර බඳිමින් සිටින මොහොතක වීම විශේෂත්වයකි. නෙස්ලේ සමාගමේ විධායකයින් පෝෂණය සම්බන්ධයෙන් කළ යුතු නව සොයාගැනීම් මොනවාද යන්න පිළිබඳව සලකා බලමින් සිටින අතර මේ වසරේ සමාගමේ නව සැලසුම් එළිදැක්වීමටද අපේක්ෂා කරයි.

නෙස්ලේ සමාගමේ හිටපු ප්‍රධාන විධායක පීටර් බ්‍රබෙක්-ලෙට්මාත් විසින් නෙස්ලේ සමාගම “පෝෂණ, සෞඛ්‍ය සහ සුවතා සමාගමක්” ලෙස නව නාමකරණයකට ලක් කළ අතර ඔහු විසින් පිහිටුවාලු නෙස්ලේ පෝෂණ පදනම විසින් හඳුන්වාදුන් අභ්‍යන්තර පෝෂණ ප්‍රමිතීන් සමූහය මේ වන විට නෙස්ලේ සමාගම යාවත්කාලීන කරමින් සිටී.

නෙස්ලේ සමාගමේ හැසිරීම් පිළිබඳ විශ්ලේෂකයෙකුට අනුව නෙස්ලේ සමාගම සතු එක් විකල්පයක් වනුයේ සංග්‍රහයන් පිණිස නිපදවන නෙස්ලේ නිෂ්පාදන වලට විශේෂයෙන් රසකැවිලි වැනි නිෂ්පාදන සඳහා මෙම ප්‍රමිතීන් අතහැර දැමීම හෝ වෙනත් ප්‍රමිතීන් ප්‍රතිස්ථාපනය කිරීම සිදු කිරීමට ඇති ඉඩ කඩ බොහෝය.

අභ්‍යයන්තර රහස් ලියවිල්ලට අනුව නෙස්ලේ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී මාක් ෂ්නයිඩර් පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අවශ්‍ය බව පිළිගෙන ඇති නමුත් බොහෝ අයවළුන් විසින් නෙස්ලේ සමාගම සහ අනෙකුත් බහුජාතික සමාගම් විසින් නිපදවන “සැකසූ” ආහාර සෞඛ්‍ය සම්පන්න නොවන බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත්, අභ්‍යයන්තර රහස් ලියවිල්ල මගින් නෙස්ලේ සමාගමේ නිෂ්පාදන වන “ඩිජියර්නෝ ක්‍රොසන්ට් පීසා” එකක පුද්ගලයෙකුට දෛනිකව නිර්දේශිත සෝඩියම් ප්‍රමාණයෙන් සියයට 40 ක් සහ “හොට් පොකට් පෙපෙරෝනි” පීසා වැනි නිෂ්පාදන තුළ එම ප්‍රමාණය සියයට 48 ක් පමණ අඩංගු බව ඉස්මතු කර පෙන්වා දෙයි.

නෙස්ලේ සමාගමේ තවත් නිෂ්පාදනයක් වන තැඹිලි රසයෙන් යුත් “සැන් පෙලෙග්‍රිනෝ පානය” “E” අගයන් වලින් අනූන වේ. ආහාරවල ගුණාත්මකභාවය මනින විවිධ ක්‍රමවේද තුළ “E” අගයන් ලබාදීමේ ක්‍රමවේදය යනු ලකුණු ක්‍රමයක් යටතේ ලබා ගත හැකි නරකම අගයන් ලැබෙන ක්‍රමවේදයයි. ඒ අනුව “සැන් පෙලෙග්‍රිනෝ පානය” තුළ “නියුට්‍රි-ස්කෝර්” අගය මිලි ලීටර් 100 කට සීනි ග්‍රෑම් 7.1 ට වඩා වැඩි බව ඉදිරිපත් කිරීම සම්බන්ධව අභ්‍යයන්තර ලියවිල්ල, “සෞඛ්‍ය සම්පන්න වෙළඳ නාමයක් තුළ “E” (ශ්‍රේණිගත කිරීමක්) තිබිය යුතුද?” යනුවෙන් විමසයි.

එක්සත් ජනපදයේ අලෙවි කරණු ලබන නෙස්ලේ සමාගමේ නිෂ්පාදනයක් වන “ස්ට්‍රෝබෙරි රසැති නෙස්ක්වික්”, පැකට්ටුවක සීනි ග්‍රෑම් 14 ක් අඩංගු වන අතර ඉතිරි ග්‍රැම් 14 තුළ වර්ණක හා රසකාරක අඩංගුවේ. නමුත් “ස්ට්‍රෝබෙරි රසැති නෙස්ක්වික්”හඳුන්වා දී ඇත්තේ “දරුවන්ට දවස ගත කිරීම කිරීම සඳහා පරිපූර්ණ උදේ ආහාරයයි” යනුවෙනි.

නෙස්ලේ සමාගම පවසා සිටියේ “ පුළුල් ලෙස පෝෂණ හා සෞඛ්‍ය උපායමාර්ගයන් යාවත්කාලීන කිරීම සඳහා පුරෝගාමී කර්තව්‍යයක් ඉටු කිරීමට සමාගම පුරා ව්‍යාප්ත ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා. අපගේ නිෂ්පාදන ලෝක ජනයාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට සහ සමබර ආහාර වේලක් සඳහා සහාය වන බව සහතික කිරීම සඳහා අපි මිනිසුන්ගේ ජීවිතයේ විවිධ අවධීන් සඳහා අත්‍යාවශ්‍යය වන අපගේ නිෂ්පාදන ගොනුවෙහි ගුණාත්මක භවය ඉහළ නැංවීම පිණිස අවධානය යොමු කරනවා.” යනුවෙනි.

“දශක ගණනාවක් තිස්සේ වැඩ කිරීමෙන් ලද ශක්තිමත් පන්නරය මත අපගේ නව ඉලක්කයන් ගොඩනගා ඇත්තෙමු. නිදසුනක් වශයෙන් ගෙනහැර දක්වන්නේ නම්, අපගේ නිෂ්පාදනවල ඇති සීනි සහ සෝඩියම් ප්‍රමාණය පසුගිය දශක දෙක තුළ සැලකිය යුතු ලෙස අඩු කර ඇති අතර එය පසුගිය වසර හත තුළ පමණක් සියයට 14-15 අතර ප්‍රමාණයකින් අඩුකර ගැනීමට අපි සමත් වුනෙමු.” යනුවෙන් නෙස්ලේ සමාගම වැඩිදුරටත් පවසා සිටී.

නිව්යෝක් සරසවියේ සම්මානනීය මහාචාර්යවරියක සහ කෝර්නෙල් විශ්ව විද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන මේරියන් නෙස්ලේ මහත්මිය (නෙස්ලේ සමාගම සමඟ කිසිදු සම්බන්ධයක් නැත) පවසා සිටියේ නෙස්ලේ ස්මාගම සහ එහි ප්‍රතිවාදීන් සමස්තයක් වශයෙන් ඔවුන්ගේ නිෂ්පාදන අංශ සෞඛ්‍ය සම්පන්න කිරීමට උත්සාහ කරන බවයි.

“ආහාර සමාගම්වල කාර්යය වන්නේ කොටස් හිමියන් සඳහා මුදල් උත්පාදනය කිරීම සහ හැකි ඉක්මනින් හා විශාල වශයෙන් ඔවුන් සඳහා මුදල් උත්පාදනය කිරීමයි. ඔවුන් විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් කරා ළඟා වන නිෂ්පාදන අලෙවි කිරීමට කටයුතු කරණ අතර හැකි තරම් මිනිසුන් විසින් ඒවා මිලදී ගනු ලැබේ. මිනිසුන්ට එම සමාගම් නිපදවන “කුණු රොඩු” මිලදී ගැනීමට අවශ්‍ය වන අතර එම ක්‍රියාවලිය “කුණු” අනුභවය කිරීමට සමාන වේ. ”මහාචාර්යවරිය අවධාරණය කළාය.

“නෙස්ලේ සමාගම ඉතා කාර්යක්ෂම සමාගමක්, මට අවම වශයෙන් ඔවුන්ගේ නිෂ්පාදන අංශවල (දෙපාර්තමේන්තු වල ) පුද්ගලයින්ව හමුවීමට පාලන අධිකාරිය ඉඩ දුන්න. නමුත් ඔවුන්ට සැබෑ ගැටලුවක් තිබෙනවා. ඔවුන්ගේ නිෂ්පාදනවල මුහුණුවරෙහි රසකාරක පැතිකඩ වෙනස් නොකර ලුණු සහ සීනි ප්‍රමාණය අඩු කර ගන්නේ කෙසේදැයි සොයා බැලීමට විද්‍යාඥයින් වසර ගණනාවක් තිස්සේ පර්යේෂණ කටයුතු කරමින් සිටිනවා.”යැයි මහාචාර්යවරිය පැවසුවාය.

නෙස්ලේ සමාගමේ සමහර නිෂ්පාදන සෞඛ්‍යය සම්පන්න යැයි පිළිගැනීමක් තිබේ. උදාහරණයක් ලෙස ශාක පදනම් කරගත් විකල්ප සත්ව මාංශ ඒවා අතර ඉදිරියෙන් සිටී. එලෙස සෞඛ්‍ය සම්පන්න යැයි සැලකෙන සමහර නිෂ්පාදන ආහාර නිෂ්පාදන සමාගම්වල ශක්තිමත් වර්ධන අංශ වේ. 2019 දී නෙස්ලේ සමාගම විසින් අඩු සෞඛ්‍ය සම්පන්න ආහාරමය නිෂ්පාදන නිපදවූ එම සමාගමේ අංශ කිහිපයක් විකුණා දැමීය. “හර්ටා චාර්කූටරි ” නම් නෙස්ලේ සමාගමේ පරිවාර සමාගමේ කොටස් වලින් සියයට 60 ක කොටස් එලෙස විකුණා දැමීය.

2018 වසරේදී “දි ඇක්සස් ටු ද නියුට්‍රිෂන් ෆෞන්ඩේෂන්” ආයාතනය විසින් සම්පාදනය කරන “ලද වඩා හොඳ ආහාර වේලක් දිරිගැන්වීම සඳහා වූ දර්ශකයේ” ලොව දැවැන්ත ආහාර පාන නිෂ්පාදකයින් අතර නෙස්ලේ සමාගම ඉහළම ස්ථානයට පත්ව තිබුණි. නමුත් පදනම අනතුරු ඇඟවූයේ “සියලු සමාගම් මීට වඩා බොහෝ දේ කළ යුතු” බවයි.

නෙස්ලේ සමාගම , “මෑත වසරවලදී,ළමයින් සහ පවුල් සඳහා බාහිර පෝෂණ මිමි තෘප්ත කරලන නිෂ්පාදන දහස් ගණනක් වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ අතර අප සමාගම හඳුන්වා දුන් දැරිය හැකි මිළට නිකුත් කළ පෝෂ්‍යදායී නිෂ්පාදන හරහා ක්ෂුද්‍ර පෝෂක මාත්‍රාවන් බිලියන ගණනක් ලොව පුරා බෙදා හැර තිබෙනවා.” යනුවෙන් පවසා සිටියේය.

“සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යනු යහපැවැත්ම සහ තෘප්තිය අතර සමබරතාවයක් සොයා ගැනීම බව අපි විශ්වාස කරමු. සීමාව ඉක්මවා පරිභෝජනය කරන ආහාර සඳහා යම් ඉඩක් තිබීමද මෙයට ඇතුළත් ය.” යනුවෙන් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“අපගේ ගමන් දිශාව වෙනස් වී නැති අතර එහි ඉදිරිය පැහැදිලිය. අනාගතයේදී අපගේ නිෂ්පාදන ගොනුව වඩාත් රසවත් හා සෞඛ්‍ය සම්පන්න වනු ඇත.” යනුවෙන් නෙස්ලේ සමාගම අවසාන වශයෙන් අවධාරණය කර සිටියේය.

“ෆයිනෑන්ෂල් ටයිම්ස්” වෙබ් අඩවියේ 2021 මැයි 31 දා පලවූ ” Nestlé document says majority of its food portfolio is unhealthy”  ලිපියේ අනුවර්තනයයි.

අනුවර්තනය ජීවන්ත ජයතිස්ස

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More