පුරවැසි කොලම

මේ කොවිඩ් සමයේ අපට සතුටු වීමට හැකි කරුණක් තියෙනවා. ඒ මෙකල යහපාලන ආණ්ඩුවක් නො තිබීම. එක්තරා ස්වාමින් වහන්සේ නමක් ජනාධිපති ගෝඨාභයට කියල තිබුණ අපට දීපු රට ආපහු දෙන්න කියා. උන්වහන්සේ මොන අර්ථයකින් එසේ ප්‍රකාශ කළා ද කියන්න දන්නෙ නැහැ. ඒත් අපට යහපාලනය අවසන් වූ තැනට නම් ආපසු යන්න ඕන නැහැ. අද වන විට යහපාලන ආණ්ඩුවක් තිබුණ නම් මෙරට ඉන්දියාවටත් වඩා රෝගී වන්න තිබුණා.

මේ ආණ්ඩුව කරන කියන සියල්ල හරි යැයි මා කියන්නේ නැහැ. දේශපාලනඥයන්ට ගන්න වෙන්නෙ දේශපාලන තීන්දු. ඒ සඳහා ඔවුන්ට ඊනියා සෞඛ්‍ය විශේෂඥයන්ට ඊනියා ආර්ථික විද්‍යාඥයන්ට සහ තවත් අයට ඇහුම්කන් දෙන්න වෙනවා. ඒ සියල්ල සලකා බලා රටට යහපත් තීරණයක් ගැනීමයි දේශපාලනඥයන් කරන්න ඕන. මෙරට දේශපාලනඥයන් සමස්තයක් ලෙස ගත්තම එහෙම වැඩ කරන්නෙ නැහැ. ඔවුන් වැඩ කරන්නෙ ඡන්ද දිහා බලාගෙන හා තම පදවියෙන් ලබා ගන්න පුළුවන් අයුතු ප්‍රයෝජන දිහා බලාගෙන.

යහපාලන ආණ්ඩුව රටේ යහපත දිහා බලාගෙන වැඩ කෙළේ නැහැ. මෙරට නිෂ්පාදනය නගා සිටුවීමට ඔවුන් කළේ කුමක් ද? ඔවුන් තම පක්‍ෂය ගොඩ නගා ගැනීමට නම් ජනතාවගේ මුදල් කොල්ල කාල තියෙනවා. සාමාන්‍යයෙන් සමස්තයක් ලෙස දේශපාලනඥයන් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ජනතා මුදල් කොල්ල කනවා. රනිල් එහෙම අයකු නො වෙයි. එහෙත් ඔහු පක්‍ෂයේ මැතිවරණ වියදම සඳහා මහා බැංකුව කොල්ල කාපු අයකු ලෙස හඳුන්නන එක වරදක් නොවන්න පුළුවන්. එමෙන් ම පාස්කු ප්‍රහාරයේ දී මෛත්‍රිපාලට වගකීම පවරා නිදා සිටි අයෙක් කියන්නත් පුළුවන්.

මේ අවස්ථා දෙකේ දී ම රනිල්ටවත් යහපාලනයටවත් විරුද්ධ ව චෝදනා ගොනු කිරීම අසීරු කරුණක්. ඒ ඔවුන්ගේ දක්‍ෂතාව වෙන්න පුළුවන්. එයට වඩා නීතියේ දුර්වලකම වෙන්න පුළුවන්. මහා බැංකු කොල්ලය ගැනවත් පාස්කු ප්‍රහාරය ගැනවත් අපට කිසිවකුට දඬුවම් කිරීමට හැකි වේය කියා හිතන්න අමාරුයි. ඒ නිසා වාචාල දේශපාලනඥයන්ට කියව කියවා එකිනෙකාට ඇඟිල්ල දික් කිරීමේ හැකියාව තියෙනවා. පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ වැඩක් කියන්න තරම් වාචාල දේශපාලනඥයන් මෙරට ඉන්නවා. යහපාලන ආණ්ඩුවක් තිබූ කාලයක ගෝඨාභයට එවැනි දෙයක් කරන්න පුළුවන් නම් ඉන් කියැවෙන්නේ යහපාලනයේ දුර්වලකම මිස අනෙකක් නො වෙයි.
කොවිඩ් සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට ඇති ප්‍රශ්නය මෙරට බාග උගතුන් වැඩි වීම. එහෙමත් නැත්නම් කලින් දවසක කී අන්දමට පඬි අතිරික්තයක් තිබීම. මේ උගතුන් තමන්ගේ ක්‍ෂෙත්‍රවලවත් ප්‍රාමාණික උගතුන් නො වෙයි. මෙරට ප්‍රාමාණික උගතුන් ඉන්නෙ සිංහල හා බුදුදහම ක්‍ෂෙත්‍රවල පමණයි. එය ද බොහෝ විට විශ්වවිද්‍යාලවලින් පිට. වත්මන් සාහිත්‍යය වාග් විද්‍යාව වගේ ක්‍ෂෙත්‍රවල ප්‍රාමාණික උගතුන් නැහැ. අනෙක් ක්‍ෂෙත්‍රවල අප්‍රමාණික ව උගතුන් හිටියත් ඔවුන් ප්‍රාමාණික නැහැ.

ආණ්ඩුවට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට හරි උපදෙසක් නොලැබෙන බව පැහැදිලියි. එන්නත් ලබා ගැනීමට මුදල් වෙන් කළ පසු එන්නත් මිළ දී ගැනීමේ වගකීම පැවරෙන්න ඕන අදාළ පරිපාලන නිලධාරීන්ට. එහෙත් ඒ සඳහාත් දේශපාලනඥයන්ට මැදිහත් වෙන්න වෙලා. එහෙත් මෙහි දී දේශපාලනඥයන්ටත් වරද පැටවෙනවා. එය ලංකාවට පමණක් සීමා වූවක් නො වෙයි. හැම රටක ම පාහේ දේශපාලනඥයන් අරකටයි මේකටයි අනෙක් එකටයි නිලධාරීන්ට උපදෙස් දෙනවා දකින්න පුළුවන්. ගංවතුර ගැලුවත් නාය ගියත් දේශපාලනඥයන් ඊනියා නිරීක්‍ෂණ චාරිකාවක ගිහින් නිලධාරීන්ට උපදෙස් දෙනවා. ඔවුන් ගඟට හරි කන්දට හරි පමණයි උපදෙස් නො දෙන්නෙ.

සංචරණ සීමා පැනවීම ආදියෙහි දී දේශපාලනඥයන්ට දේශපාලන තීන්දු ගන්න වෙන්නෙ. කොවිඩ් පැතිරීම වැළැක්වීම මෙන් ම එදිනෙදා වැඩක් කර ජීවිතය ගැට ගහගන්න අය ගැනත් සලකා බලන්න ඕන. එළවළු ගොවියා ගැන ධීවරයා ගැන කල්පනා කරන්න ඕන. බටහිර වෙද මහතුන්ට පේන්නෙ එක පැත්තක් පමණයි. ඒකවත් හරියට පේනව ද කියන එක ප්‍රශ්නයක්. ලොකු වචනයක් යොදා ගත්තට සංචරණ සීමා කියන්නෙ ගමන් බිමන්වලට සීමා දැමීම. ඒකෙත් අරමුණ පරෙස්සම් වීම මිසක් වෙන දහම් ගැටයක් විසඳීම නො වෙයි. අද බටහිර වෙද මහතුන් දන්නෙ පරෙස්සම් වෙන්න කියන්න විතරයි. අත හෝදන්න මුව ආවරණ පළඳින්න මීටර් දෙකක් දුරින් ඉන්න ආදී කතා විතරක් නො වෙයි එන්නත ගන්න කියන්නෙත් පරෙස්සම් වීම සඳහා. ප්‍රතිකාරයක් දන්නෙ නැහැ. තිස්ස විතාරණ වාතය ගැන කවුද කියන එකක් අපට කිවුවට අප පරෙස්සම් වෙන එක හොඳයි. ඔය එක එක ප්‍රභේද මොන විධියට පැතිරෙනව ද කියන එක කවුරුන්වත් නිශ්චිත ව දන්නෙ නැහැ.

දැන් සති දෙකක් පරෙස්සම් වෙන්න ආණ්ඩුව තීරණය කරල. අප දුප්පත් රටක් බව අමතක කරන්න බැහැ. එදිනෙදා වැඩ කරල කීයක් හරි හම්බකරන් කන අයගෙ ප්‍රශ්න විතරක් නො වෙයි බැංකුවට ගිහින් මුදල් ලබා ගන්න අයගෙත් ප්‍රශ්නය තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින්න වැඩ පිළිවෙළක් තියෙන්න ඕන. ඒ වගේ ම ඒ භාණ්ඩ මිළ දී ගන්න ජනතාවට මුදල් තියෙන්නත් ඕන. ඒවා සැලසුම් කරන්න ඕන කවුද? පරිපාලන නිලධාරීන් මිසක් දේශපාලනඥයන් නොවෙයි. ඒත් නිලධාරීන්ට ඒ සැලසුම් කර ගන්න බැහැ. ඔවුන්ට ඒක ප්‍රශ්නයක් නො වෙයි. බැණුම් අහන්න දේශපාලනඥයන් ඉන්නවා.

මෙරට පරිපාලන නිලධාරීන්ට බටහිර ක්‍රමයට සැලසුම් කරන එක අමාරුයි. ඔවුන්ට එය ගෝචර නැහැ. එන්නත් අවුල බලන්න. ගාල්ල ප්‍රදේශීය ලේකම්වරයා හරි ලේකම්වරිය හරි එය සැලසුම් කරල. ඒ බටහිර ක්‍රමයට. එසේ කරන්න පුළුවන් නිලධාරීන් අඩුයි. පෘතුගීසීන් පැමිණි දා සිට අප බටහිරයන්ගේ සැලසුම්වලට පරාද වුණා. ඒත් අපි ඔවුන්ගේ සැලසුම් ක්‍රම ඉගෙන ගත්තේ නැහැ. අද අපට චක්‍රලේඛයක් නිශ්චිත අර්ථයක් සහිත ව නිකුත් කර ගන්න බැහැ. ඔය ගමන් බිමන් සීමා ගැන ජනතාවට විවිධ ප්‍රශ්න ඇත්තේ චක්‍රලේඛ එක් එක් විධියට අර්ථනිරූපණය කරන්න පුළුවන් නිසා. මා අහල තියෙන විධියට ඉංගිරිසින් එකල නිලධාරීන් අශ්වයා පිටින් ගමන් බිමන් යෑමේ දී නවතින තැන අශ්වයා බඳින්න ඕන නිශ්චිත තැනත් අදාළ චක්‍රලේඛයේ සඳහන් කර තියෙනවා. සැලසුම් කිරීමට දුර පේන්න ඕන. බටහිර අධ්‍යපනය ලැබුවත් අපට ඔවුන් මෙන් සැලසුම් කරන්න ඉගෙන ගන්න බැරි වුණා.

නලින්ද සිල්වා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More