පුරවැසි කොලම

කොවිඞ් 19 වසංගතය මේ වනවිට ඉන්දියාව, බ‍්‍රසීලය ඇතුළු රටවල් කිහිපයක පාලනය කළ නොහැකි මට්ටමකට වර්ධනය වී ඇති අතර ශ‍්‍රී ලංකාව ද බරපතළ සමාජ පැතිරීමක් දක්වා ගමන් කරමින් සිටින බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි. එසේ වන නමුත් කොවිඞ් වෛරසයේ තිඹිරිගෙය ලෙසට සැලකෙන චීනය මෙන්ම තායිවානය, නවසීලන්තය, සිංගප්පූරුව, වියට්නාමය, අයිස්ලන්තය වැනි රටවල් කිහිපයක් මෙම තත්ත්වය සාර්ථක ලෙස පාලනය කර ගැනීමට සමත්ව ඇති බව පෙනී යයි.ඔවුන්ගේ පූර්වාදර්ශ අපට ද වැදගත් පාඩමක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අප කල්පනා කළෙමු. පහත දැක්වෙන්නේ ඒ හා සම්බන්ධ තොරතුරුය.

කොවිඞ් 19 වෛරසය පාලනය සඳහා හදිසි සහ අත්‍යවශ්‍ය ප‍්‍රතිකාර ක‍්‍රියාමාර්ගය ලෙසට චීනය විසින් අනුගමනය කළ ප‍්‍රධාන උපායමාර්ගය වූයේ මහා පරිමාණ න්‍යෂ්ඨික අම්ල විස්තාරණ පරීක්‍ෂණ (එන්.ඒ.ඒ.ටී.) ක‍්‍රමවේදය මගින් ජනගහනය තුළ සිටින සියලූ ආසාදිතයන් හඳුනාගෙන වෙන්කර ගැනීමයි. ඒ යටතේ වූහාන් හි 2021 මැයි 11 දින සිට දින 10 ක් තුළ මිලියන 10 කට අධික ජනතාවකගේ න්‍යෂ්ඨික අම්ල විස්තාරණ පරීක්‍ෂණ සම්පූර්ණ කර ඇති අතර එමගින් ආසාදිතයන් 300 දෙනකු සොයාගෙන ඇත. බීජිං හි මිලියන 12 ක ජනතාවක් පරීක්ෂණයට භාජනය කර ඇති අතර එමගින් 174 දෙනකු කොවිඞ් ආසාදිතයන් බව තහවුරු කරගෙන ඇත. මෙම ක‍්‍රියාවලිය තුළින් සොයාගන්නා ආසාදිතයන් සහ ආශ‍්‍රිතයන් වහාම ජනතාවගෙන් වෙන්කර හුදෙකලා ප‍්‍රතිකාර සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙනයනු ලබන අතර ඔවුන් නැවත සමාජයට මුදා හරින්නේ සම්පූර්ණ ලෙස සුවය ලැබීමෙන් අනතුරුව නැවත සිදු කරන පරීක්ෂණයක් මගින් කොවිඞ් වෛරසයෙන් තොර බවට සහතික කර ගැනීමෙන් පසුවයි. වැළැක්වීමේ ක‍්‍රියාමාර්ගය ලෙසට චීනය විසින් අනුගමනය කරන ලද්දේ දැඩි සංචාරක සහ සෞඛ්‍ය නීති සංග‍්‍රහයක් ක‍්‍රියාත්මක කිරීමයි. 2020 ජනවාරි මස සිට චීනය කොවිඞ් 19 නිල වශයෙන් බෝවන රෝගයක් ලෙස වර්ගීකරණය කරන ලද අතර පළමුවන මට්ටමේ මහජන සෞඛ්‍ය හදිසි ප‍්‍රතිචාරයක් දියත් කළේය.

මේ යටතේ මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රියාමාර්ග ගණනාවක් අනිවාර්ය කර ඇත. චීනයේ මාර්ගයන්හි ගමන් කරන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සියලූ දෙනාම ගමන අතරතුර තමන් පසු කරන සෑම නගරයකදීම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම කළ යුතු අතර පෝරමයක් පුරවා සිය තොරතුරු වාර්තාගත කළ යුතුය. මෙයට අමතරව සංචාරක සෞඛ්‍ය කේතයන් හඳුන්වා දී ඇති අතර මෙයට පුරවැසියන්ගේ මූලික, සංචාරක සහ සෞඛ්‍ය තොරතුරු ඇතුළත් වේ. කේතය රතු, කහ සහ කොළ පැහැයන්ගෙන් යුක්ත වන අතර රතු පැහැයෙන් ආසාදිතයන් පෙන්නුම් කරනු ලබයි. කහ පැහැයෙන් ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් හෝ ආසාදනය සඳහා ශක්‍යතාවයක් ඇති අවදානම් කාණ්ඩයේ පුද්ගලයන් පෙන්නුම් කරනු ලබන අතර කොළ පැහැයෙන් අවදානම් රහිත කාණ්ඩයේ පුද්ගලයන් පෙන්නුම් කරයි. රතු සහ කහ කේතයන් දරන පුද්ගලයන් ප‍්‍රතික්ෂේප කිරීමට චීනයේ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ඇති අතර කොළ වර්ණයෙන් යුතු කේතය දරන පුද්ගලයන්ට අවහිරයකින් තොරව ගමන් කිරීමට හැකියාව ලැබේ. පොලිස් ස්ථාන ඇතුළු සියළුම රාජ්‍ය ආයතන විසින් යාවත්කාලීන කරනු ලබන පුරවැසියන්ගේ තොරතුරු එක් මධ්‍යගත පද්ධතියකට එක් කිරීම අනිවාර්ය කර ඇති අතර පළාත් පාලන ආයතන වලට ඒ සඳහා පිවිසීමට අවකාශ සලසා ඇති හෙයින් සියලූ පුරවැසියන්ගේ තොරතුරු ක්‍ෂණිකව ලබාගෙන අවස්ථා කළමනාකරණයට පළාත්පාලන ආයතන වලට හැකියාව ලැබේ. එබැවින් එකී ආයතන වල සහාය මෙම වැඩපිළිවෙළට හිමිව තිබේ. මෙමගින් ඒකාබද්ධ කේත ක‍්‍රමයක්, ඒකාබද්ධ දත්ත පද්ධතියක් සහ ඒකාබද්ධ පිවිසුම් අවකාශයක් සලසා ඇති බැවින් වැළැක්වීමේ ක‍්‍රියාමාර්ගය ඉතා ක‍්‍රමවත්ව කළමනාකරණය කර ගැනීමට චීනයට හැකියාව ලැබී තිබේ.

චීනය ඉතා දියුණු තාක්‍ෂණයක් සහිත රටක් බව අපි දනිමු. කොවිඞ් 19 වෛරසය සඳහා චීනය මේ වන විටත් ‘‘සයිනොෆාම්’’ සහ ‘‘සයිනොවැක්ට්’’ යනුවෙන් නම් කරන ලද එන්නත් වර්ග දෙකක් නිෂ්පාදනය කර වාණිජ වශයෙන් බෙදාහැරීම ද අරඹා ඇත. එසේ වන නමුත් ඔවුන් කිසිවිටෙකත් සිය ඓතිහාසික උරුමය වන දේශීය වෛද්‍ය ක‍්‍රම සහ සම්ප‍්‍රදායන් අවතක්සේරු කරමින් ඉවත දමන්නේ නැත. චීනයේ කොවිඞ් 19 වෛරස පාලනය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් භාවිතා කළ ප‍්‍රමුඛ උපායමාර්ගයක් ලෙසට බටහිර සහ දේශීය වෛද්‍ය ක‍්‍රම ඒකාබද්ධ කර ආසාදිතයන් සඳහා ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රමවේදය ඉහළ ප‍්‍රතිඵල අත්කර ගැනීමට සමත් වී තිබේ. චීන රෝහල්වල සායනික ප‍්‍රතිකාර සඳහා බටහිර වෛද්‍ය ක‍්‍රමයේ බහුල ලෙස භාවිතා වන ”ක්ලෝරෝක්වීන්, ඉන්ටර්ෆෙරොන්, ආදී ඖෂධ භාවිතා කරන අතරම සාම්ප‍්‍රදායික චීන ඖෂධ වන ”ක්විං ෆයි ඩූ කසාය’’ ඇතුළු දේශීය ඖෂධ කිහිපයක්ද භාවිතා කිරීම සිදු කරනු ලබයි. මෙම කරුණු අපේ රටේ තත්ත්වය සමග සංසන්දනය කර ගළපා ගැනීම උගත් පාඨකයන්ට අයිති කාර්යයකි.

තායිවානය කොවිඞ් වෛරසය පාලනය සඳහා අනුගමනය කළ ක‍්‍රියාමාර්ග

2003 වසරේදී ලොව පුරා පැතිර ගිය සාර්ස් වසංගතය තායිවානයට දැඩි බලපෑමක් එල්ල කළ අතර එහිදී ලෝකයේ තුන්වැනි වැඩිම ආසාදිතයන් වාර්තා කළ රට බවට තායිවානය පත්විය. එහිදී ලද අත්දැකීම් හේතුවෙන් රට පුරා විහිදී ගිය බෝවන රෝග වැළැක්වීමේ ජාලයක් ස්ථාපිත කළ අතර කොවිඞ් වසංගතය පැමිණෙන විටදී මෙම ජාලය කාර්යක්‍ෂම ලෙස ක‍්‍රියාත්මක වීම හේතුවෙන් ආසාදිතයන් අවම කර ගැනීමට ඔවුන්ට හැකිවී තිබේ. 2021 මැයි 26 දින වනවිට තායිවානයේ සමස්ත කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව 6091 ක් වන අතර මරණ වාර්තා වන්නේ 46 ක් තරම් වන ඉතා අවම සංඛ්‍යාවකි. තායිවානය වසංගතය පාලනය කිරීම අසඳහා උපරිම වශයෙන් තාක්‍ෂණය යොදාගන්නා අතර කාර්යක්‍ෂම ලෙස නඩත්තු කරන ලද දත්ත පද්ධතිය සහ වැළැක්වීමේ උපායමාර්ගික වැඩසටහනක් ඔවුන් සතුය. තායිවානයේ වසංගත වැළැක්වීමේ උපාය මාර්ගය ලොව වඩාත්ම සාර්ථක ක‍්‍රමවේදයක් බව ඔප්පු කර ඇත. කොවිඞ් වසංගතය වැළැක්වීමේ උපායමාර්ගික වැඩසටහන, ආසාදිතයන් වේගයෙන් හඳුනාගැනීම, ආසාදිත පාලන ඇගැයීම, අවශ්‍ය විට හුදෙකලාකරණය, පහසුකම් සහ ප‍්‍රතිචාර කඩිනම් සම්බන්ධීකරණය, අඛණ්ඩ අධීක්‍ෂණය ඇගැයීම සහ හුදෙකලා කිරීම යන පියවරයන්ගෙන් සමන්විත වන අතර වසංගතය පාලනය වනතෙක් මෙම ක‍්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යෑම උපායමාර්ගයට ඇතුළත්ය. මෙවර වෛරසය පැතිරී යෑමටත් පෙරාතුවම තායිවානය රටෙහි සියලූ ජනතාවට ප‍්‍රමාණවත් වන ලෙසට මුහුණු ආවරණ, විද්‍යාගාර සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලය පවත්වාගෙන යෑමට කටයුතු කර තිබුණේ මෙම වැළැක්වීමේ ක‍්‍රියාමාර්ගයට අනුකූලවය. තායිවානයේ පුරවැසියකු වෛරසයට ධනාත්මක බව තහවුරු වූ විට රජය විසින් නිරෝධායනය සඳහා හෝටලයක් සහ කැබ් රථයක් ලබාදීම සිදුකරන අතර එය නිරෝධායනය සඳහා ජනතාව උනන්දු කිරීමට හේතු වී තිබේ. තායිවානයේ කොවිඞ් වැළැක්වීමේ කාර්යසාධක බළකායේ ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාවේ කොවිඞ් වැළැක්වීමේ කාර්යසාධක බළකායට ආදර්ශයට ගැනීමට තරම් වටිනා බව මෙහි සඳහන් නොකර බැරිය.

නවසීලන්තයේදී සාර්ථක වූ කොවිඞ් පාලන උපායමාර්ග

covid22021 මැයි 26 වැනි දින වනවිට නවසීලන්තයේ කොවිඞ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2669 ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 26 ක් වේ.ලොව අනෙක් රටවලට වඩා වෙනස් ලෙස කොවිඞ් 19 වසංගතය සම්බන්ධයෙන් නවසීලන්තය අනුගමනය කරනු ලබන්නේ ආසාදිතයන් ප‍්‍රමාණය අඩු කිරීමේ ප‍්‍රතිපත්තියක් නොව වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වඩාත් ආක‍්‍රමණශීලී ප‍්‍රතිපත්තියක් බව පෙනෙන්නට තිබේ. මෙම උපාය මාර්ගය ක‍්‍රියාත්මක කිරීමේදී නවසීලන්තය මූලික ක‍්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කර ඇති අතර ඒවා පහත පරිදි හඳුනාගත හැකිය. රට තුළට පැමිණෙන්නන් සඳහා ඉහළ මට්ටමේ ප‍්‍රමිතිගත නිරෝධායනය සමග දේශසීමා පාලනය, පුළුල් පරීක්ෂණ ක‍්‍රමවේදයක් මගින් ආසාදිතයන් හඳුනාගැනීම, හුදෙකලා කිරීම, වේගවත් ලූහුබැඳීම සහ ආශ‍්‍රිතයන් කඩිනමින් නිරෝධායනයට යොමු කිරීම, දැඩි සෞඛ්‍යාරක්‍ෂිත පුරුදු අනිවාර්ය කිරීම සහ පොදු ස්ථානවල ප‍්‍රමාණවත් ලෙස සෞඛ්‍යාරක්‍ෂිත පහසුකම් සැලසීම, පාසල් සහ සේවා ස්ථාන වසා දැමීම සහ අගුලූ දැමීමේ ක‍්‍රියාමාර්ග සහ අන්තර් සම්බන්ධීකරණයකින් යුතු මධ්‍යගත පාලන සහ පසු විපරම් ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමයි.

ලොව බොහෝ රටවලට මෙන් නවසීලන්තයට මෑත ඉතිහාසයේ වසංගත සඳහා වන අත්දැකීම් නැති නමුත් 1918 වසරේ ඉන්ෆ්ලූවෙන්සා වසංගතයෙන් පසු ඇති කරන ලද ‘‘ජාතික ඉන්ෆ්ලූවෙන්සා වසංගත පාලන සැලැස්ම’’ කොවිඞ් වසංගතය පාලනය කිරීම සඳහා පදනමක් ලෙස ඔවුන් භාවිතා කර ඇත. කෙසේ වෙතත් කොවිඞ් වසංගතය පාලනය කිරීමේදී නවසීලන්තය අත්කරගත් සාර්ථකත්වය පිටුපස අගමැති ජසින්තා ආර්ඞ්න් ගේ සෘජු සහ අසීරු තීරණ ගැනීමේ දක්‍ෂතාවයත් නොපමාව කටයුතු කිරීමේ ගුණාංගයත් තිබූ බවට සැකයක් නැත.

කොවිඞ් පාලනයේ සිංගප්පූරු උපායමාර්ග

ලොව වඩාත් කාර්යක්‍ෂම පාලන තන්ත‍්‍රයක් සහිත රටක් ලෙස පිළිගැනීමක් ලබාගෙන ඇති සිංගප්පූරුව අපේක්‍ෂා කළ ලෙසම කොවිඞ් වසංගත පාලනයේදීත් සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. 2021 මැයි 26 වැනි දින වනවිට සිංගප්පූරුවේ කොවිඞ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 61916 ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 32 ක් වේ. මිලියන 5.89 ක් වන සාපේක්‍ෂව කුඩා ජනගහනය සමග සැසඳීමේදී වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව මදක් ඉහළ අගයක් ගන්නා නමුත් මරණ සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවත්වාගෙන යෑමට සිංගප්පූරුවට හැකිව තිබෙන්නේ ජනගහනයෙන් වැඩි ප‍්‍රතිශතයක් තරුණ සහ මැදි වයස් කාණ්ඩයන්ගෙන් යුතු වීම මෙන්ම දියුණු සෞඛ්‍ය පද්ධතිය වසංගතයට අදාළව මනාව කළමනාකරණය කිරීමට ඔවුන්ට හැකිව තිබෙන නිසාවෙනි.

පූර්ව වසංගත සූදානම, ශීඝ‍්‍ර සහ පුළුල් පරීක්‍ෂණ ක‍්‍රමවේදයන් මගින් ආසාදිතයන් හඳුනාගැනීම, දේශ සීමා පාලනය සහ පැහැදිලි මහජන සන්නිවේදන ප‍්‍රතිපත්තියක් තුළින් ජනතාව දැනුවත්ව තබාගැනීමද සිංගප්පූරුව කොවිඞ් වසංගතය පාලනය සදහා අනුගමනය කරන ලද මූලික උපායමාර්ගයන් වන අතර 2003 වසරේදී ”සාර්ස් වසංගතයට මුහුණදීමෙන් ලබාගත් අත්දැකීම් ද ඒ සඳහා හොඳ පදනමක් සපයන්නට ඇති බව පෙනී යයි.

වියට්නාමය කොවිඞ් පාලනය කළේ කොහොමද?

කොවිඞ් වසංගතය පාලනය කරන ලද රටවල් සම්බන්ධයෙන් සලකා බැලීමේදී වියට්නාමය එහි මුල් පස්දෙනා අතර සිටී. එම තත්ත්වය ළ`ගාකර ගැනීම සඳහා ඔවුන් අනුගමනය කරන ලද මූලික උපාය මාර්ගයන් ලෙස වඩාත් කලින් සහ ඉක්මනින් ප‍්‍රතිචාර දැක්වීම, අඛණ්ඩ නිරීක්‍ෂණය, ආසාදිතයන් සහ ආශ‍්‍රිතයන් ලූහුබැඳයෑම සහ නිරෝධායනය, නිවැරදි සහ යාවත්කාලීන දත්ත පද්ධතියක් නඩත්තු කරලීම මෙන්ම දැඩි සෞඛ්‍යාරක්‍ෂිත නියමයන් අනිවාර්ය කිරීම ආදිය හඳුනාගත හැකිය. 2021 මැයි 26 වැනි දින වනවිට වියට්නාමයේ කොවිඞ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 6086 ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 45 ක් පමණක් වේ.

පුළුල් ලෙස සිදු කෙරෙන පරීක්ෂණ ක‍්‍රමවේදයන් මගින් හඳුනාගන්නා ආසාදිතයන් විශේෂ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබාදෙන අතර ආශ‍්‍රිතයන් ලූහුබැඳයෑමේ මෙහෙයුම වේගයෙන් ක‍්‍රියාත්මක වේ. එමගින් හඳුනාගන්නා පළමු පෙළ ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර නිරෝධානය කෙරෙන අතර දෙවන පෙළ ආසාදිතයන් අනිවාර්ය නිවෙස් නිරෝධායනයට යොමු කරනු ලැබේ. මෙසේ හඳුනාගන්නා ආශ‍්‍රිතයන් පැය 24 ක් තුළ පරීක්‍ෂණ දෙකකට යොමු කරනු ලබයි.

නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයන් අදාළ නිරෝධායන කාලය තුළ දෙවරක් පරීක්‍ෂාවන්ට ලක් කෙරෙන අතර නිරෝධායනයෙන් මුදා හැරීමෙන් සති දෙකකට පසුව ද නැවත පරීක්‍ෂාවන්ට ලක් කෙරෙනු ඇත. මේ හා සමාන ක‍්‍රියාමාර්ගයන් වසංගතයේ මුල් අදියරේදී ශ‍්‍රී ලංකාවේද ක‍්‍රියාත්මක වූ නමුත් දෙවැනි රැල්ලේදී මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට බලධාරීන් අපොහොසත් වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

අයිස්ලන්තය කොවිඞ් පාලනය කළ හැටි

වෛද්‍ය විද්‍යාව, තාක්‍ෂණය සහ ආර්ථිකය අතින්ද බොහෝ දියුණු තත්ත්වයක සිටින යුරෝපීය සහ ඇමෙරිකානු රටවල් කොවිඞ් වසංගතය හමුවේ අන්ත අසරණ අඩියකට පත් වෙමින් තිබියදී ඒ සඳහා සාර්ථකව මුහුණ දුන් අටවල් අතර තිබෙන එකම යුරෝපා කලාපීය රට වන්නේ අයිස්ලන්තයයි. ( අන් සියලූ රටවල් ආසියානු කලාපයට අයත්වේ) 2021 මැයි 26 වැනි දින වනවිට අයිස්ලන්තයේ කොවිඞ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 6564 ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 30 ක් වේ. යුරෝපා කලාපයේ අනෙකුත් රටවල් සමග සසඳා බැලීමේදී මෙය ඉතා පහළ අගයක් බව පෙනී යන අතර මෙම තත්ත්වයට වසංගත පාලනය සදහා අයිස්ලන්ත ආණ්ඩුව අනුගමනය කළ ක‍්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය පමණක් නොව 368792 ක් වන අඩු ජනගහනයද හේතුවක් වන බව සැලකිය හැකිය. බිලියන ගණනක දැවැන්ත ජනතාවක් පාලනය කිරීමට වඩා ලක්‍ෂ කිහිපයක කුඩා ජනගහනයක් පාලනය කිරීම සාපේක්‍ෂව පහසු බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව අවම අගයක පවත්වා ගැනීම සඳහා රජය විසින් ගෙනගිය වැඩපිළිවෙළ හේතුවන්නට ඇත යන කාරණය පිළිබඳ විවාදයක් තිබිය නොහැක.

‘‘ප‍්‍රතිකාරයට වඩා පූර්වාරක්‍ෂාව අගනේය’’ යන කියමන ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරමින් අයිස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් ලොව පුරා වසංගතය පැතිර යෑමත් සමග කලාපයේ සෙසු රටවලට වඩා කලින් පූර්වාරක්‍ෂක ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කළ අතර ඒ හේතුවෙන්ම මේ දක්වා වන කාලයේ සම්පූර්ණයෙන්ම රට වසා දැමීමේ තත්ත්වයකට මුහුණ දීමට අයිස්ලන්ත වැසියන්ට සිදුවූයේ නැත. අයිස්ලන්තය විසින් ඉතා සාර්ථක ලෙස ආසාදිතයන් හඳුනාගැනීමේ හා ආශ‍්‍රිතයන් ලූහුබැඳයෑමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනු ලබයි. මේ යටතේ හඳුනාගැනීමේ කණ්ඩායම් විසින් ආසාදිතයන් සම්මුඛ සාකච්ඡාවලට බඳුන් කරමින් සියලූ ආශ‍්‍රිතයන් හඳුනාගැනීමට කටයුතු කරන අතර කිසියම් පුද්ගලයකුට කොවිඞ් වෛරසය වැළඳී ඇති බවට සැක කරන්නේ නම් ඔහු සම්පූර්ණයෙන් සුවය ලබන තෙක් වෙන්කර තැබීමට කටයුතු කරන අතර රජය විසින් ඔහුගේ සම්පූර්ණ වැටුපම ඔහුගේ බැංකු ගිණුමට බැර කරනු ලබයි. ඉතා සාර්ථක වූ මෙම ක‍්‍රියාමාර්ගය මගින් වෛරසය සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වීම වළක්වනු ලබයි. ශ‍්‍රී ලංකාවේ තත්ත්වයෙන් වෙනස්ව අයිස්ලන්තයේ මෙම සාර්ථකත්වයට බලපෑ ප‍්‍රබල හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහා අවනත වීමට එහි ජනතාව දක්වන ස්වයං දායකත්වයයි. අපේ ජනතාවට එවැනි ස්වයං විනයක් හුරුකරලීමට තවත් දශක ගණනාවක් හෝ ඇතැම් විට සියවස් ගණනක් ගතවනු ඇත.

නන්දජීව සූරියබණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More