පුරවැසි කොලම

අපි සමරමින් සිටින්නේ වෙසක් පිළිබඳ වූ උත්සවයයි. වෙසක් සහ මැයි යනු එකක් නොවේ. දෙකකි. ඇතැමුන් මෙය හඳුන්වන්නේ 2021 වෙසක් සැමරුම යැයි කියාය. එහෙත් මෙය ශාස්ත්‍රීයව ප්‍රකාශයක් හැටියට වැරැදිය. මක්නිසාදයත් වෙසක් සහ මැයි යනු සමාන්තර සමරේඛීය ප්‍රකාශන දෙකක් නොවන බැවිනි. මැයි නමැති මාසය ව්‍යවහාර වෙන්නේ ක්‍රිස්තු වර්ෂ ගණනය කිරීමේදීය. ක්‍රිස්තු වර්ෂ ගණනය කරන්නේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තියේ සිටය. ක්‍රිස්තු වර්ෂවලදී මාස ගණනය කරන්නේ ජනවාරි, පෙබරවාරි, මාර්තු ආදී වශයෙනි. අප සමරන බුද්ධ වර්ෂ ආරම්භ වන්නේ මීට වසර 2565 කට පෙර බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙනි.

එදා සිට ගණනය කිරීම් ලංකාවට සංගත වූ කාල ගණනය වන්නේ දුරුතු, නවම්, මැදින් ආදී වශයෙනි. මේ වූ කලී ලෝකයේ කාල ගණනයෙහි චක්‍ර විශේෂ අතරෙන් දෙකකි. ලෝකයේ කාල ගණනයෙහි එක් ක්‍රමයක් වන්නේ තප්පරයෙන් ආරම්භ කර මිනිත්තු පැය දින සති මාස අවුරුදු දශක සියවස් වශයෙනි. මේ වනවිට ලෝකයේ බහුතරයක් දෙනා පිළිගන්නා ක්‍රමය එයයි. එය බටහිර කාල ගණනයේ එක් මානකයකි. අද වනවිට ශාස්ත්‍රීය භාවිතයෙහි පමණක් ඉතිරි වී තිබෙන මායා කැලැන්ඩරය ඉතා ගැඹුරු හා ශාස්ත්‍රීය කාල ගණනයකි. ඊට අමතරව ශක රජුගෙන් ආරම්භ වූ ශක රාජවර්ෂ කාල ගණනයක් ද ඇත. එය සිදුවන්නේ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුවය. ජ්‍යෝතිෂ්‍ය යනු ආලෝකයයි. ඒ අනුව ආලෝකයේ ශාස්ත්‍රයට අනුව කාල ගණනය වන්නේ ඉර හඳ තරු මුල් කරගෙනය. ශක රජු යනු ඉතා දියුණු මනසක් තිබූ අයෙකි. ඔහුගේ කාල ගණනය අතිශය ශාස්ත්‍රීය නමුත් ක්‍රමය වෙනස්ය. එහිදී දිනයක් පැය ගණනකින් බෙදයි. එහෙත් පැය ගණන තප්පර ගණනේ දශමස්ථාන දක්වා බෙදේ. අදටත් දියුණු ශාස්ත්‍රඥයෝ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයට එය යොදා ගනිති.

කෙසේ වෙතත් ප්‍රස්තුත බුද්ධ වර්ෂය හඳුන්වා දුන් දින සිට ඒ වර්ෂ ක්‍රමය ගණනය වන්නේ ක්‍රිස්තු වර්ෂ හඳුනාගන්නා ක්‍රමවේදයට නොවේ. සරලව කිවහොත් සූර්ය මාස හා චන්ද්‍ර මාස ක්‍රමය යැයි කියන්නේ එයටය. සූර්ය මාස හා චන්ද්‍ර මාස ක්‍රමය සමාන්තර සමරේඛීය නැත. බුද්ධ වර්ෂ ක්‍රමයට අනුව මාසයක් ආරම්භ වන්නේ පෝය දිනයටය. ඊට අනුව වෙසක් පටන්ගන්නේ මැයි 26(අද) වැනිදාය. වෙසක් මාසය අවසන්වන්නේ පොසොන් පෝය ආරම්භ වන දිනයටය. ඒ අනුව දැන් ගෙවෙන්නේ 2021 වෙසක් නොවේ. 2021 මැයිය. 2021 මැයි 26 යනු 2565 වැනි බුද්ධ වර්ෂයේ වෙසක් මාසයේ 1 වැනිදාය. මේ පටලැවිල්ල අපට සමාන කළ හැක්කේ කිලෝමීටර් අස්සේ හැතැප්ම කණු තිබීමකටය. යමකු කිලෝමීටර් දෙකයි හැතැප්ම බාගයයි කීම ශාස්ත්‍රීය නැත. උස අඩි පහයි සෙන්ටිමීටර් දෙකයි කිව නොහැකිය. ඒ අනුව අප නිවැරැදිව කිවහොත් අපේ මේ සාකච්ඡාව සිදුවූයේ බුද්ධ වර්ෂ 2565 වැන්නේ වෙසක් මාසයට දින කීපයකට පෙරය. මා මෙම කාරණාව පැහැදිලි කරන්නේ වෙනත් දේශපාලන කාරණාවක් නිසාය.

බුද්ධ වර්ෂ යනු මේ වර්ගකිලෝමීටර් 65030කට වැඩි බිමේ අනන්‍ය භාවිතයකි. සාමාන්‍යයෙන් බුද්ධ වර්ෂ ලෝකයේ භාවිත කරන්නේ තායිලන්තයත් බුරුමයත් ශ්‍රී ලංකාවත් පමණි. අපි ළඟ 1815 වනතුරු තිබූ රාජ්‍යයේ බෞද්ධභාවය තුනී කර දිය කර හළ හෙයින් අප ළඟ ඒ අනන්‍යතාව දැන් නැත. දැන් ඇත්තේ සුද්දාගේ නීතියයි. සුද්දාගේ ආහාර සංස්කෘතියයි. සුද්දාගේ සෞඛ්‍ය ප්‍රතිපත්තියයි. කොටින්ම සුද්දාගේ ඉස්කෝල අධ්‍යාපන හා දැනුම් සම්ප්‍රදායයි. මෙය මා අතීතකාමයෙන් ස්වෝත්තමවාදය අගය කිරීමක් නොවේ. මා කතා කරන්නේ අපේ උරුමය ගැනයි. එසේය කියා බුද්ධ වර්ෂ භාවිතයට ගෙන ක්‍රිස්තු වර්ෂ අභාවිත කළ නොහැකිය. මන්දයත් අපට සුද්දාගේ රටින් තවමත් මිදිය නොහැකි නිසාත් අපට තවමත් නිදහසක් නොලැබුණු නිසාත් මෙය නිදහස් ස්වෛරී රාජ්‍යක් නොවන නිසාත් ය. එහෙත් අපට එවැනි තත්ත්වයක් නිර්මාණය වූයේ උරුමය හා සභ්‍යත්වය පිළිබඳ අමතක කිරීමේ කුමන්ත්‍රණකාරී ව්‍යාපෘතියක් හැටියට බව අවධාරණකටයුතුය. අද වනවිට බුද්ධ වර්ෂය ඉඳහිට පුවත්පතක පිටුවක ඉහළ කෙළවරේ සඳහන් කරන හෝ බුද්ධාගමේ සම්භාව්‍ය ලේඛනයක ඉඳහිට සඳහන් කරන දෙයක් පමණක් බවට පත්ව ඇත.

මේ අප සමරන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් 2645 වැනි වසරයි. එමෙන්ම සිද්ධාර්ථ බෝධිසත්වයන් සම්බුද්ධත්වයට පත්වීමෙන් 2610 වැනිවසරය. බුද්ධ පරිනිර්වාණයෙන් 2565 වැනි වසරය. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට බුද්ධ වර්ෂ ඇරඹෙද්දී ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තියේ සිට ක්‍රිස්තු වර්ෂ ආරම්භ විය. මේ ක්‍රිස්තු වර්ෂ 2021 සහ බුද්ධ වර්ෂ 2564 අතර වෙනස වසර 543 මාස 7ක පමණ වෙනසක් ඇත. එයින් කියන්නේ බුදු පියාණන් පිරිනිවන් පෑමෙන් වසර 543 කින් පසුව ජේසුස් වහන්සේ මෙලොව පහළ වූ බවයි. මීට වසර 64කට පෙර ක්‍රිස්තු වර්ෂ 1956 දී 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරුවේ එනිසාය. මීට අවුරුදු 14කට පෙර ක්‍රිස්තු වර්ෂ 2006 දී 2550 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සැමරීය. එනිසා ඉතා නිවැරැදිව අපි අපේ භාවිතයන් කරනවා නම් වෙසක් කූඩුවල වෙනත් සැරසිලිවල විද්‍යුත් හා තාක්ෂණික සැරසිලි හා සැමරුම්වල මේ භාවිත වන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2565 යැයි සටහන් කිරීම අත්‍යවශ්‍යය.

මෙවර වෙසක් උළෙලේදී මෙම ශාස්ත්‍රීය කරුණ සමග ධර්ම කාරණාවක් ද කතා කළ යුතුය. ඒ වෙසක් සැමරුම ගැනය. වෙසක් සමරන්නන් වර්ග ගණනාවකට බෙදිය හැකිය. ඒ ශාස්ත්‍රීයව, ශ්‍රද්ධාවෙන්, ධාර්මිකව, උත්සවපූර්වකව ජනප්‍රිය බුද්ධාගමේ රැඳෙමින් සමරන පිරිස් වශයෙනි. අප මේ සාකච්ඡාව ආරම්භයේදී කරුණු සඳහන් කළේ වෙසක් ශාස්ත්‍රීයව සමරන පිරිසටය. දාන ශීල භාවනාදියෙහි නියුතු වන්නේ ශ්‍රද්ධාවෙන් සමරන අයයි. ජනප්‍රිය සංස්කෘතියට අදාළව වෙසක් සමරන පිරිස ඊළඟ පිරිසයි. මම මේ පිරිස පිරිහෙළා දැකිය යුතු කොටසක් හැටියට සලකන්නේ නැත. මන්දයත් රටක් හැටියට අප ඓතිහාසිකව වර්ධනය වූයේ මෙම සභ්‍යත්ව සංකේත සමගය. මව පියා දරුවන් සමග සාලේ බිම වාඩි වී සකසන වෙසක් කූඩුවෙන් තොරණෙන් සැරසිල්ලෙන් නිර්මාණය වන ආගමික හා සහජීවන ක්‍රියාවලිය අපට සභ්‍යත්වයක් කැඳවයි. වෙසක් කූඩුවකට විශාල පිරිවැයක් නොදැරුවත් විශාල පරිශ්‍රමයක් හා කාලයක් වැය කිරීමට සිදුවේ. මෙය සාමූහික කාල පරිශ්‍රමයකි. එකිනෙකා අතර සුහදතාව සංවර්ධනය වන්නා වූ ද පියා සමග කලකට පසු වැඩි කාලයක් ගත කරන්නාවූ ද මනස්කාන්ත අත්දැකීමක් මෙමගින් දරුවෝ ලබති. වෙසක් කූඩුවක වටිනාකම ඇත්තේ එය නිර්මාණය කර එල්ලනතුරුය. වෙසක් කූඩුව නිර්මාණය කළ පසු අපි ලබන්නේ ආශ්වාදයයි. පහුවැනිදා වැටෙන වැස්සෙන් එක්කෝ වෙසක් කූඩුවේ කඩදාසි හැලී වැලි අස්සේ සැඟවේ. නොඑසේව මහ සුළඟින් ගිනිගෙන දැවේ. මේ තත්ත්වය හමුවේ දරුවන් සුසුම් හෙළද්දී මවුපියෝ ඒ මන්දැයි විමසති. දරුවන්ගෙන් දුකදැයි අසති. දරුවන් හිස වනද්දී මවුපියන් උන්ගේ හිස අතගාමින් කියන්නේ “ඔව්වැයි හැටි ඔහොම තමයි” කියාය. ජීවිතය යනු සාමූහිකව ගොඩනගන්නාවූ ද සීරුවෙන් සීරුවට මනස්කාන්තව ඒකරාශීව ගොඩනැගිය යුත්තාවූ ද දෙයකි.

එහෙත් එය සැනෙකින් විනාශ වී යා හැකිය. එය ස්වාභාවික උපද්‍රවයකින් හෝ අස්වාභාවික උපද්‍රවයකින් නැති විය හැකිය. එය වරදක් නොවේ. පාපයක් ද නොවේ. ඒ එහි ස්වභාවය හා ස්වලක්ෂණය වේ යන ධර්ම කාරණාව මවුපියෝ ශාස්ත්‍රීයවත් දාර්ශනිකවත් අපට කියාදෙති. මෙයට අපට සභ්‍යත්ව විඥානය හෝ උරුම විඥානය යැයි කිව හැකිය. වෙසක් කූඩුව භෞතික සංස්කෘතිය නම් මෙම මානසික ක්‍රියාවලියට භෞතික සංස්කෘතියේ අභෞතික සංස්කෘතිය යැයි කිවහැකිය. එය ශික්ෂණ උරුමයකි. මෙයට ඉංග්‍රීසියෙන් intangible heritage යැයි කියයි. අස්පෘෂ්ට උරුමය හෝ අස්පෘෂ්‍ය උරුමය යැයි කියයි. ජනතාව මෙහෙයවනු ලබන්නේ මෙම අස්පෘෂ්ට උරුමය විසිනි. මේ කොරෝනා වසංතය අස්සේ ද යම් වටිනාකමක් ජනතාව අතරෙහි යාන්තම් හෝ ඉතිරි වී තිබේ නම් ඒ මෙකී අස්පෘෂ්ට උරුමයයි. අස්පර්ශනීය උරුම විඥානයයි. මේ අස්පර්ශනීය උරුම විඥානය අපට අහිමි කරනු ලැබුවේ ඉස්කෝලේ සම්ප්‍රදායේ අධ්‍යාපනය විසිනි. එයින් අපට ලබාදුන්නේම දත්ත ඥානයකි. නොලේජ් හෙවත් දැනුම යනු එයයි.

දළඹුවාගේ සිට සමනලයාගේ ජීවන චක්‍රය පිළිබඳ දැනුමක් ලබන අපි මිනිසාගේ ජීවන චක්‍රය පිළිබඳ දැනීමක් හා හැඟීමක් තිබේ. සෞඛ්‍ය විද්‍යාවේ කායික විද්‍යාවේ ඇනටොමි විසින් දැනුම ලබා දෙනු ලැබේ. එහෙත් එයින් හැඟීමක් ලැබෙන්නේ නැත. කොරෝනා සමයේදී මේ දැනීම හා හැඟීම අතර වෙනස අපට ඉතා වැදගත්ය. විශේෂයෙන්ම මේ වසංගත සමයේදී එය යම් පමණකට පාලනය කරගත්තේ ජනතාවට හැඟීම දුන් රටවල්ය. නිදසුනකට බහුතරයක් බෞද්ධයන් වෙසෙන තායිවානයේ කොරෝනා වසංගතය සෑදුණු අවස්ථාවේ රූපවාහිනීවල රජය විසින් දැන්වීමක් පළ කරනු ලැබිණි. එහි අන්තර්ගත වූයේ කොරෝනාහි විනාශකාරීත්වය ගැනය. ඒ දැන්වීම සමගම තායිවානයේ සියලු වීදි හිස් විය. ඒ ඔවුන්ගේ අධ්‍යාපනයේ දත්ත ඥානය නිසා නොවේ. ශික්ෂණය නිසාය. ජපානය කළේත් ඒ වැඩේය. මා දන්නා එක්තරා බල්ලන් ඇති දැඩි කරන තැනක් තිබේ. දිවා ආහාරය අවස්ථාවේදී බල්ලන්ගේ හිමිකරු විසින් තහඩුවකට ශබ්දයක් කරනු ලැබේ. එවිට අර බල්ලෝ සිය පිඟාන කටින් ගෙන පෝලිමකට එති. මේ බල්ලන්ට ඇත්තේ පුරුද්දක්ද දැනුමක්ද? එය ඉතා වැදගත්ය. මා කියන්නේ අපට පුහුණුවක් නැති ඉගැන්වීම් ලැබුණු නිසා ඉගැන්වීමක් නැතිව පුහුණුවක් පමණක් දුන් බල්ලන්ටත් වෙනස් තැනකට වැටී සිටින බවය. 1815 දී සුද්දන් විසින් දිය කොට දමන ලද අධ්‍යාපනය නැවත කැන්දාගෙන එනතුරු නැවත මේ රටේ සීලාචාර සමාජයක් ගොඩනැගිය හැකි බවය. මේ සීලාචාර නොවන සමාජය හමුදා අණසකින් මාර්ග බාධක දමා තහනම් නියෝග පනවා ඇඳිරි නීති හා සංචරණ සීමා පැනවීමෙන් හැර පාලනය කළ නොහැකිය.

ජනතාව හැම කෙනකුටම වගකීමක් තිබේ. එහෙත් ජනතාව සිතාගෙන සිටින්නේ ආණ්ඩුවෙන් දෙන දෙයක් කා ජීවත්වන්නටය. මේ වනවිට පොලිසිය කවරාකාරයේ දුකක් විඳිනවාද? ඊට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සිය නිවාඩු අවලංගු කරගෙන ජීවිතය නොතකා අවදානමක් ගෙන වැඩ කරනවාද? රජය වේවා විපක්ෂය වේවා ලෝක මෙන්ම ජාතික දේශපාලනය කරන හැම කෙනකුම රට වෙනුවෙන් මිස කොරෝනා වසංගතයට පක්ෂව කතා කරන්නේ නැත. වගකීමෙන් තොරව දේශපාලන පක්ෂ පවා කටයුතු කරන්නේ නැත. එසේ නම් වගකීමෙන් තොරව හැසිරෙන්නේ කවුද? ජනතාවයි. ජනතාව සිතා සිටින්නේ තමන් සිටින්නේ ආණ්ඩුව විවේචනයට කියාය. සියල්ල කළයුත්තේ ආණ්ඩුවය කියාය. සාම්ප්‍රදායිකව විවේචනය කළ ද මේ දිනවල ප්‍රාදේශීය දේශපාලකයෝ රාත්‍රී දොළහ එක වනතුරුම වැඩය. එන්නත්කරණය ඉතා පරෙස්සමින් කළ යුතුය. මේ සියල්ල විධිමත් කළමනාකරණයකින් කළ යුතුය. ජනමාධ්‍යවේදීන් පවා එසේය.

ජනතාවට තිබෙන්නේ පත්තරය මිලදී බැලීමය. රූපවාහිනී පුවත් නිවසේ සිට නැරඹීමය. එහෙත් මාධ්‍යවේදීහු සිය රාජකාරි කෙසේ හෝ කරති. මේ ආදී වශයෙන් විවිධ වෘත්තිකයෝ සීමාමායිම් මැද පවා සිය රාජකාරි කරති. ඉතින් ඔවුන් අපේ කෘතඥතාවයට ලක් නොවිය යුතුද? ඇතැමුන්ට මේ රටේ සේවාවක් නොකොට වැටුප් ලබාගත හැකි තත්ත්වයක් තිබෙ. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන මා හට සේවය නොකර වැටුපක් ගැනීමට හැකියාව ලැබී තිබේ. නොඑසේම සේවය අඩුවෙන් ලබා දී වැටුපක් ගැනීමට හැකියාව තිබේ. එහෙත් සෞඛ්‍ය සේවයට ආරක්ෂක හමුදාවලට දේශපාලන හා පරිපාලන නිලධාරින්ට ජනමාධ්‍යවේදීන්ට සිය රාජකාරිවල ස්වරූපය වෙනස් කරනු හැරුණු විට අඩුකිරීමට හැකියාවක් ලැබී නැත. එනිසා ජනතාව සිය වගකීම් භාරයේ බරසාරභාවය පිළිබඳ හැඟීමකින් තොරව කටයුතු කිරීම කනගාටුදායකය. එය අධ්‍යාපනයේ වරදකි. ලංකාව යනු විභාග පවත්වා ලකුණු දුන් රටකි. විභාගවලින් ලකුණු දිය හැකි නමුත් ප්‍රතිඵල දිය නොහැකිය. අධ්‍යාපනය ශික්ෂණයකි. එම වැරැද්ද දැන්වත් නිවැරැදි කරගත යුතුය.

(සංවාද සටහන – බිඟුන් මේනක ගමගේ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More