පුරවැසි කොලම

ලංකාවේ ඇතැම් විද්වතුන් කියන පරිදි මෙරට තවමත් බොහෝ අයට ඉංග්‍රීසි බැරිවී ඇත්තේ 1956 බණ්ඩාරනායක ක්‍රියාත්මක කළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තිය නිසාය.
ඔවුන් කියන ආකාරයට කළ යුතුව තිබුණේ ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව කොට සියලු දෙනාට ඉංග්‍රීසියෙන් උගන්වා ලෝකය ජයගැනීමට ඉනිමං බැඳීම වන අතර, එසේ කළේ නම් ඉංග්‍රීසි බැරිකමේ ප්‍රශ්නයක් ඇති වී අතන මෙතන කොන් වීමට අපට සිදුවන්නේ නැත.
ලෝකයේ වෙනත් බලවත් රටවල් තම තමන්ගේ භාෂාවලින් කටයුතු කළද, ජනගහනය අඩු, භූමි ප්‍රමාණයෙන් කුඩා අසරණ දුප්පත් රටක් වන ලංකාවට ලෝකය ජය ගැනීමට නම් තම ඓතිහාසික භාෂා උරුමය මුළුමනින්ම මරා දමා පරබසක් වූ ඉංග්‍රීසිය වැළඳගත යුතු බව ඔවුහු පෙන්වා දෙති.
මේ මතය කෙතරම් සාධාරණ එකක්දැයි ලෝක අත්දැකීම් ඇසුරෙන් විමසා බලමු.
ලෝක අත්දැකීම් අනුව පෙනී යන ආකාරයට කිසියම් රටක භූමි ප්‍රමාණය, ජනගහනය හා භාෂා උරුමය රැකගැනීම අතර කිසිදු සම්බන්ධයක් නැත.
ලංකාව කුඩා රටක් නිසා තම භාෂා උරුමය අත් හළ යුතු යැයි ඔවුහු පවසන නමුදු ලංකාවට වඩා කුඩා රටවල් 74ක් ලෝකය පුරා ඇත. මේ රටවල් අතරින් 13ක්ම ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය, බෙල්ජියම, සයිප්‍රසය, නෙදර්ලන්තය, ලැට්වියාව, ස්ලෝවැකියාව වැනි දියුණු යුරෝපා රටවල්ය. සිංගප්පූරුව, ඊශ්‍රායලය වැනි ප්‍රබල රටවල්ද මේ අතර වන අතර, ඒ සෑම රටකම ජනගහනයද ලංකාවට වඩා අඩුය. එහෙත් මේ කිසිම රටක් කුඩා බව හෝ ජනගහනය ගැන සිතා තම භාෂා උරුමය ඉංග්‍රීසිය වෙනුවෙන් පාවා දී නැති අතර, ඔවුහු ස්වභාෂාවන් තම නිල රාජ්‍ය භාෂා සහ අධ්‍යාපන මාධ්‍ය ලෙස සලකති.
එසේම ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, රුසියාව, චීනය, යුරෝපා රටවල් ඇතුළු ලංකාවට වඩා විශාල හෝ කුඩා කිසිදු රටක් තම භාෂා උරුමය අතහැර රටවැසියන් ඉංග්‍රීසි කාරයන් බවට පත් කර නැත.
ඊනියා ජාත්‍යන්තරය ජය ගැනීමට එම රටවලට භාෂාව කිසිදු බාධාවක් වී නැති අතර, ඔවුහු ඉංග්‍රීසිය හුදු දෙවන බසක් ලෙස පමණක් හදාරති. විදේශිකයන් හමුවේ හැකි ආකාරයෙන් අදහස් හුවමාරු කරගැනීම මිස ඉංග්‍රීසි දැනුමේ අඩුපාඩු ගැන ලැජ්ජා වීමේ දීන පුරුද්දක්ද ඔවුන් අතර නැත.
තම භාෂා උරුමය අතහැර ඉංග්‍රීසි, ප්‍රංශ වැනි යටත්විජිතවාදීන්ගේ භාෂා රාජ්‍ය භාෂා බවට පත් කරගත් රටවල්ද ලෝකයේ ඇති බව සැබෑය. එහෙත් එවැනි තීරණ ගෙන ඇත්තේ දියුණු ජාතික භාෂාවක් නැති, අක්ෂර මාලා ආදියෙන් තොර නොදියුණු ගෝත්‍රික භාෂා සිය ගණනක් සහිත සමහර අප්‍රිකානු රටවල පමණි. සැම්බියාව, කැමරූන්, බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකාව, ගැම්බියාව, ගැබෝන්, කෙන්යාව, ඝානාව වැනි රටවල් තම ප්‍රධාන භාෂා හා අධ්‍යාපන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි, ප්‍රංශ වැනි භාෂා තෝරාගෙන ඇත්තේ ඒ අනුවය.
එහෙත් ලංකාව එවැනි අනාථ රටක්ද? ඇතැම් කසිකබල් උගතුන් මොරගාන පරිදි අපි අප්‍රිකානු ගෝත්‍රිකයන් මෙන් අපේ භාෂා උරුමය බිලිදී පරබසක් වැළඳ ගත යුතුද?
සියවස් ගණනාවක කාලයක් තිස්සේ පරිණාමය වූ, ප්‍රබල ප්‍රකාශන ශක්තියකින් සමන්විත, ලෝකයේ ඉතා දියුණු භාෂාවකට අපි උරුමකම් කියමු. සියවස් ගණනාවකට පෙර සිට අප මේ භාෂාවෙන් ඉතා දියුණු ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයක් නිර්මාණය කළෙමු.
අපගේ සංස්කෘතිය, ඉතිහාසය, සාහිත්‍ය, ජනශ්‍රැතිය ආදිය සහ ඒ සියල්ල මත පදනම්ව ගොඩනැගෙන අපේ චින්තනය ප්‍රධාන වශයෙන්ම පදනම් වී ඇත්තේ අපේ බස වූ සිංහලය මතය. අපේ රස නහර පිනවිය හැක්කේ සිංහල වදන් මගිනි. අපේ භාව ලෝකය මෙන්ම ඥාන ලෝකයද අවදි කළ හැක්කේ, ඒ බස මගින් පමණි. ගුත්තිලය හෝ සැලලිහිණිය ඉංග්‍රීසියට හැරවිය හැකි කිසිදු ජගතෙක් ලෝකයේ කොතැනවත් සිටීද?
එසේ නම් ලංකාව වැනි රටක ඓතිහාසික භාෂා උරුමය විනාශ කිරීම යනු එම ජාතියේ සාමූහික මනස, සභ්‍යත්ව විඥානය දුර්වල කොට ඔවුන් අක්මුල් නැති, සිත් පිත් නැති, නන්නත්තාර පරම්පරාවක් බවට පත් කිරීමය. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය මගින් බිහිකළ හැක්කේ ඉංග්‍රීසියවත්, සිංහලයවත් හරියට නොදන්නා, අපේ ඓතිහාසිකත්වයට විවර නොවූ මනස් සහිත, අධ්‍යාත්මික හිස් බවින් යුත්, ලෝකයවත් රටවත් හරි හැටි නාඳුනන පුස්සන් පරම්පරාවක් බිහිකිරීම පමණි.
නොයෙක් ක්‍රමෝපායන් හරහා අධිරාජ්‍යවාදීන් එදා සිටම අපේ භාෂා උරුමය විනාශ කිරීමට උත්සාහ ගෙන ඇත්තේ මේ නිසාය. එවැනි උත්සාහයන් වර්තමානයේද ක්‍රියාත්මක වන අතර, අපි ඊට එරෙහිව අපේ භාෂා උරුමය සුරකිමින් ඒ උරුමය අනාගතයටද රැගෙන යා යුත්තෙමු.
ඉසුරු ප්‍රසංග
මේ වගේ තවත් අදහස් බෙදාගන්න. අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න.
අනාගතය අපි තරුණ ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More