ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව වෙනුවෙන් සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එහි ලේකම් නීතිඥ රජිව් අමරසූරිය මහත්වරුන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනය කරන ලද මෙලන් මබුලා නොහොත් ‘ඌරු ජුවා’ සහ තාරක පෙරේරා විජේසේකර නොහොත් ‘කොස්ගොඩ තාරක’ යන දෙදෙනාගේ ඝාතනයන් දැඩි ලෙස හෙලා දැක තිබේ.
එම නිවේදනය සම්පුර්ණයෙන්ම පහත පළවේ.
මෑතදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු වන මෙලන් මබුලා නොහොත් ‘ඌරු ජුවා’ සහ තාරක පෙරේරා විජේසේකර නොහොත් ‘කොස්ගොඩ තාරක’ ආසන්න දින දෙකක් තුළදී ඝාතනය කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව දැඩි ලෙස හෙළා දකී. මෙම මරණවලට අධිකරණමය නොවන (Extra-judicial killings) ඝාතනවල සියලු ලක්‍ෂණ ඇති අතර සිය භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.
2021 මැයි 12 වන දින, තාරක පෙරේරා විජේසේකර වන තම සේවාදායකයා හදිසියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයේ සිට පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයකට මාරු කර ඇති බවත් තම සේවාදායකයා අත්අඩංගුවේ දී මරා දමනු ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) වෙත විද්‍යුත් තැපෑලෙන් දන්වා සිටියේ ය.
නීතිඥවරයාගේ පැමිණිල්ලට අනුව කටයුතු කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙහි සභාපතිවරයා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට 2021.05.12 වන දින පැය 20.00 ත් 21.00 ත් අතර igp@police.lk විද්‍යුත් ලිපිනය හරහා විද්‍යුත් තැපෑලෙන් ද කෙටි පණිවුඩ හා වට්ස්ඇප් (whatsapp) මගින් ද එකී නීතිඥවරයාගේ සාධාරණ බිය සම්බන්ධයෙන් දැනුම් දෙන ලදී. තම භාරයේ සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම පොලීසියේ සහ රජයට පැවරුණු යුතුකමක් බව නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයාට අවධාරණය කරන ලදී. තවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහෝ තීන්දු වලදී තම භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය වෙත වගකීමක් පැවරී ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති බවද පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කරන ලදී.
එම නීතිඥවරයා විසින් පොලිස්පතිවරයාට, අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉහත සඳහන් සාධාරණ බිය සම්බන්ධයෙන් අවධානයට යොමු කර ඇත.
තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකු වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කරන ලද දැනුම්දීම් නොතකා, ජනමාධ්‍ය දැන් වාර්තා කර ඇත්තේ, තාරක විජේසේකර පෑලියගොඩ විශේෂ අපරාධ අංශයේ රඳවාගෙන සිටියදී සැකකරු සමඟ ආයුධ සොයා ගැනීමට යන අවස්ථාවේදී සැකකරු පොලීසියට පහරදීමට උත්සහ ගත් අවස්ථාවේදී ඝාතනය කර ඇති බවයි. මෙය සිදු වූයේ පොලිස්පතිවරයා ඇතුළු පොලීසියට සැකකරුගේ ආරක්ෂාව පිළිබඳව දැනුම් දී තිබූ අවස්ථාවක ය.
2021 මැයි 11 වන දින මෙලොන් මබුලා නොහොත් ‘ඌරු ජුවා’ නම් තවත් සැකකරුවෙකුගේ මරණයද මෙයට සමාන ආකාරයකින් සිදුවී ඇත. ඔහුගේ මරණයට පෙර ඔහු වෙනුවෙන් පොලීසිය වෙත නීතිඥ නියෝජනයක් කරන ලද බවටද අප වෙත දන්වා ඇත. පුද්ගලයින්ගේ ස්වභාවය සහ ඒ ඒ පුද්ගලයින්ට එරෙහි චෝදනාවල ස්වභාවය සහ ඒවායේ බැරෑරුම්කම නොසලකා තමන් භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට පොලිසියට මෙන්ම රජයට අත්හල නොහැකි වගකීමක් පැවරී ඇත.
එවැනි මරණ නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් වනු ඇත. මිනීමැරීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින් නිසි අධිකරණයක් ඉදිරියේ නඩු පවරා වරදකරු කිරීමෙන් අනතුරුව පමණක් එකී අපරාධවලට දඩුවම් ලබා දිය යුතු බවත්, එවැනි ක්‍රියාකාරකම්වලට සහාය වූ සහ අනුබල දුන් ජාලවලට එරෙහිව ද ඒ ආකාරයෙන්ම නඩු පවරා එම ජාලයන් මුළින් උපුටා දැමීමත් අපරාධ යුක්තියේ අත්‍යවශ්‍ය අංගයකි. බලය ඉක්මවා කටයුතු කිරීමකින් තොරව තමන් සමඟ කැටුව ගිය නිරායුධ සැකකරුවකු පාලනය කිරීමට පොලිස් නිලධාරීන් අපොහොසත් වීම නිසා ඉහත සඳහන් අවශ්‍යතාව පරාජය වේ. තම අත්අඩංගුවේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කිරීමට පොලිසියට අවස්ථා කිහිපයකදීම නොහැකි වී තිබීම තේරුම්ගත නොහැකිය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙහි විධායක කමිටුව මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය බරපතල කනස්සල්ල පල කරන අතර පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය තම අත්අඩංගුවේ සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හෙළා දකී.
මෙම සිදුවීම් පිළිබඳව බැරෑරුම් ලෙස අවධානය යොමු කරන ලෙසත් එවැනි සිදුවීම් වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටී. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
2013 තරම් ඈත කාලයක සිටම පොලිස් භාරයේ සිටින සැකකරුවන් ඝාතනය කිරීම පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉස්මතු කර ඇති අතර, අනාගතයේ දී රාජ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් මෙවැනිම අතපසු කිරීම් සහ ක්‍රියා වැළැක්වීම සඳහා සියළුම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගන්නා බවට අවධාරණය කර සිටිමු.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...