රනිල්, මෛත‍්‍රී හවුල් ආණ්ඩුව ගෙනා කොතලාවල ආරක්ෂක පීඨ පනත අකුරක්වත් වෙනස් නොකර වත්මන් ආණ්ඩුවද මේ වනවිට පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය අහෝසි කර අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට බව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප‍්‍රිය මහතා පෙරේදා (12 වැනිදා) චෝදනා කර කියා සිටියේය.
මේ පනත වහාම හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බල කර කියා සිටින බවත් මෙම ජනාධිපතිවරයා බලයට පත්වුණේ පසුගිය ආණ්ඩු ගෙන ආ ජනතා විරෝධී ක‍්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්නද දැයි ප‍්‍රශ්න කරන බවත් හෙතෙම කීවේය.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප‍්‍රිය මහතා පෙරේදා (12 වැනිදා) එම අදහස් පළ කළේ පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රංගන දේවප‍්‍රිය මහතා මෙසේද පැවසීය.
ජෙනාරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය නමින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. රනිල්, මෛත‍්‍රී හවුල් ආණ්ඩුව මේ පනත මුලින්ම හඳුන්වා දෙනවා. අද එහි අකුරක්වත් වෙනස් නොකර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එය පාර්ලිමේන්තුවට ගෙන එන්න කටයුතු කර තිබෙනවා.
මේ පනත් කෙටුම්පත ගෙනවිත් තිබෙන්නේ අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න හෝ සන්නද්ධ හමුදා ශක්තිමත් කරන්න හෝ අනාගත පරපුර සමෘද්ධිමත් කරන්න නෙවෙයි. අපේ රටේ සන්නද්ධ අංශ සහ ජාතික ආරක්ෂාව දඩමීමා කරගෙන පවතින අධ්‍යාපනයට බරපතළ ඛේදවාචකයක් අත්කර දෙන්නයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ස්ථාපිත කර තිබෙන්නේ 1981 අංක 68 දරන ශ‍්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විද්‍යායතනය කියන පනත මගිනුයි. එයට අවස්ථා කිහිපයකදී සංශෝධන සිදු කෙරුණා. 1988 සිදුකළ පළමු සංශෝධනයෙන් විශ්වවිද්‍යාලය කියන වචනය නොයොදා අධ්‍යාපන ආයතනය කියන නමින් සංශෝධනය කරනවා. විශ්වවිද්‍යාල පනත යටතේ තියෙන සියලූ වගන්තිවලින් මෙම ආයතනය නිදහස් කරනවා. ඉන් පසුව 2007 දී විශ්වවිද්‍යාලයක් හැටියට නම් කරන සංශෝධනය සිදු කරනවා.
අද මෙම පනත ගේන්නේ මේ ආයතනයේ උසස් අධ්‍යාපන අවස්ථාවන් පුළුල් කරන්න නෙවෙයිි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අද තියෙන පරිපාලනයට ඉහළින් වෙනම පාලක මණ්ඩලයක් ස්ථාපනය කර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සතු බලතල ලබාදෙන්නයි. සමහර විට ඊට වැඩිය බලතල ලබාදෙන්න සූදානමක් තිබෙනවා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ලබාදී තිබෙන බලතල මිලිටරි පරිපාලන ව්‍යුහයකට පවරන්න මෙම පනත ගෙනවිත් තිබෙනවා. මේ පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යාපන බලධාරීන්, නිලධාරීන්වත් දැනුවත් නැහැ. මේ වනවිට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට පැවරී තිබෙන බලතල අතර උපාධි ලබාදීමේ ආයතන නම් කිරීම සහ ඊට අදාළ ව්‍යුහයන් තීරණය කිරීමේ බලතල තිබෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම පෞද්ගලික ආයතනවලට උපාධි ලබාදෙන්න පුළුවන්ද කියන නිර්ණායක ලබාදෙන්නේ මෙම කොමිෂන් සභාවයි. ඒ වෙනුවෙන් කොමිෂන් සභාවට ආචාර්ය, මහාචාර්යවරුන් සම්බන්ධ වෙනවා. අද වෙනකොට මෙම කොමිෂන් සභාව දේශපාලන බලයට නතුවී තිබුණත් එම කොමිෂන් සභාවට පත්කර තිබෙන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්.
මේ පනත මගින් ඒ සියලූ බලතල යෝජිත මිලිටරි ව්‍යුහයට ලබාදෙන්න සූදානම් වෙනවා. මේ පනත මගින් බලය ලබාදෙන්න යෝජිත පාලක මණ්ඩලය පිළිබඳව සඳහන් කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීන්, යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නාමිකයෙකු සහ
භාණ්ඩාගාර ලේකම්වරයාගේ නියෝජිතයෙක් යන අය මෙයට ඇතුළත්. මේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා බවට පත්වෙන්නේ ඉහළ හමුදා නිලධාරියෙක්. ඔහු ඇතුළු පාලක මණ්ඩලයේ 09 දෙනාගෙන් 07 දෙනෙක්ම මිලිටරි ආයතන හා සම්බන්ධයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් නම් කරන නියෝජිතයා පමණයි. ඔහු නාමික නියෝජිතයෙක්. ඊළඟට භාණ්ඩාගාර නියෝජිතයෙක් පත් කරන්නේ මහජන මුදල් ලබාගන්න.
පනතට අනුව මේ කියන විශ්වවිද්‍යාලයේ සියලූ බලතල පවරා තිබෙන්නේ මිලිටරි ව්‍යුහයටයි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 128වැනි වගන්තියේ උපාධි ලබාදීමේ සුදුසුකම් දක්වා තිබෙනවා. මේ වගත්තියට පිටින් ආරක්ෂක නිලධාරීන්ට සහ වෙනත් පුද්ගලයන්ට උපාධි ලබාදීමේ බලතල මෙම ආයතනයට ලබාදෙනවා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට එහා ගිය බලතලත් මේකට ලබාදෙන්න යෝජනා කරනවා. ශික්ෂණ රෝහලක් පවත්වාගෙන යාමේ බලතලත් මේ පනත මගින් අදාළ අධිකාරීන්ට ලබාදෙන්න යෝජනා කරනවා.
අපේ රටේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා පනත වගේ පනත් තියෙද්දී අලූතින් පනතක් ගෙන එන්නේ ඇයි? එහෙම තියෙද්දී මේ නව පනත ගෙන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ වේගය වැඩි කරන්නයි. ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධ පනත සම්මත කළේ අපේ රටේ ආරක්ෂක අංශවලට අදාළ කණ්ඩායම්වලට විශේෂ අධ්‍යාපනයක් ලබාදෙන්නයි. නමුත් අද ගෙන එන සංශෝධනවලින් වෙනත් තැනැත්තන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙන්නත් සූදානම් වෙනවා. අපේ රටේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ ඉඩ පහසුකම් පුළුල් කර වේගවත් කරන්න මේ පනත ගෙන එන බව ඉතා පැහැදිලියි. මහජනතාවට හෝ යම් ආයතනයකට සපයනු ලබන අධ්‍යාපනික හා වෘත්තීය පුහුණුවීම් ඇතුළු පාඨමාලා සඳහා ගාස්තු අයකිරීම සඳහා අවශ්‍ය කරන ඉඩකඩ මේ ආයතනයට නිර්මාණය කර දී තිබෙනවා. මේ ආයතනයට වැටුප් ගෙවන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලිවලින්. එවැනි ආයතනයකට උපාධි ලබාදීමේ බලතල ලබාදෙන්න යනවා. ශිෂ්‍යයින්ගේ, ආචාර්යවරුන්ගේ, අනධ්‍යයන කාර්යමණ්ඩවල අයිතීන් සහ නිදහස සීමා කිරීම මේ තුළ ඇතුළත් වෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණයට අමතරව අනාගතයේ මේ පනත යටතේ මිලිටරීකරණයට අදාළ ඉඩකඩ ලබාදෙනවා. විශ්වවිද්‍යාලයක් කියන්නේ නිදහස් භූමියක්. හුදෙක් පංති කාමරයක් නොවෙයි. නමුත් මේ පනත මගින් නිර්මාණය කෙරෙන ආයතන තුළ ශිෂ්‍යයින්ගේ නිදහස සම්පූර්ණයෙන් සීමා කර තිබෙනවා.
මෙවැනි ගැටලූ මගහරවා ගන්න විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පවරා ගැනීමෙන් හැකි වෙනවා. සිවිල් ශිෂ්‍යයන්ට වගේම සන්නද්ධ අංශවල ඉන්න අයටත් ලැබෙන උපාධියට සාධාරණ පිළිගැනීමක් හිමි වෙනවා. මහපොළ ශිෂ්‍යත්වය සහ ශිෂ්‍යාධාර ලබාගැනීමේ හැකියාවත් මේ ශිෂ්‍යයන්ට ලැබෙනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...