පුරවැසි කොලම

දීර්ඝ කාලයක් තිස්සේ මෙරට රසායනික තෙල් පොහොර භාවිතය නිසා අදවනවිට අපේ රටේ පාරිසරික පද්ධතියට පමණක් නොව මිනිසා ඇතුලු සත්ත්ව ප්‍රජාවටද සුවිසල් බලපෑමක් එල්ලවී ඇති බව අවිවාදිතය. මීට දශක 6 කට පෙරාතුව මෙරටේ තිබූ පාරිසරික වෙනස්වීම හා ජනතාවගේ සමස්ථ නිරෝගී සම්පන්න භාවය පිලිබදව විමර්ශනය කලවිට එය මැනවින් පෙන්නුම් කෙරේ.

මෙරට තුබූ ජෛව විවිධත්වය වෙනස්වීම කෙරෙහිත්, පසේ සක්‍රීය නිෂ්ක්‍රිය භාවය කෙරෙහිත් රසායනික තෙල් පොහොර සෘජු බලපෑමක් එල්ල කර ඇත. අදවනවිට වගාකරන සෑම බවභෝගයක් සදහාම රසායනික තෙල් පොහොර වල අවශ්‍යතාවය අඩුවැඩි ලෙස පසේ පෝෂ්‍ය සංඝටක සදහා බාහිරින් යෙදවිය යුතු තත්වයන් පවතින අතර මෙකි තත්ත්වය නිසා පසේ බැරලෝහ ප්‍රමාණය වැඩිවී ඇත. අපේ රටේ වාර්ෂිකව භාවිතා කරන තෙල් පොහොර ප්‍රමාණය දළවශයෙන් මෙට්ට්‍රික් ටොන් අට ලක්ෂයත් (800000) දොළොස් ලක්ෂයත් (1200000) අතර අගයක් නිල වශයෙන් පැවතුනද එය බොහෝවිට වැඩිවිය හැකිය. මේ රසායනික තෙල් පොහොර භාවිතය නිසාවෙන් පසට වාර්ෂිකව එකතු වන අතිශය හානිකර බැරලෝහ ප්‍රමාණය දළවශයෙන්;
ක්‍රෝඩියම් කිලෝ ග්‍රෑම් 50000 ක්
ආසනික් කිලෝ ග්‍රෑම් 30000 ක්
ඊයම් කිලෝ ග්‍රෑම් 30000ක් පමණ වන අතර එමගින් අදවන විට සියලු ගංගාවල ජලය ඇතුලුව භූගත ජලයටද මෙහි අහිතකර බැරලෝහ මිශ්‍රණය වී ඇති බව සත්‍යකි.

විශේෂයෙන්ම අඩි 3000 ට වඩා උස් වූ ඉහල ගංගාධාර ප්‍රදේශයන්හී තේ වගාව ඇතුලු අනෙකුත් බහුවාර්ෂික මෙන්ම උඩරට එළවලු වගාවන් සදහා යොදන රසායනික තෙල් පොහොර අධිභාවිතාවය නිසාවෙන් මෙකී තත්ත්වය වඩාත් දරුණු වී ඇත. විශේෂයෙන්ම මහවැලි ගග පාදක කරගනිමින් ඉදිකරන ලද මහවැලි ජලාශයන්හි ජලයේ ඇති බැරලෝහ ප්‍රමාණය අති මහත්‍ ය. මෙකී තත්ත්වය නිසාවෙන් අදවන මහවැලි ජලාශ මුල්කොටගනිමින් කෘෂිකර්මාන්තයේ නියැලෙන රජරට ඇතුලු අනෙකුත් ප්‍රදේශ වල ගොවිජනතාව වකුගඩු ලෙඩරෝග වල ප්‍රධානතම ගොදුර බවට පත්ව ඇත. අදවනවිට උග්‍ර ලෙස රසායනික තෙල් පොහොර භාවිතා කරන කලාපය ලෙස නුවරඑළිය,වැලිමඩ, බණ්ඩාරවෙල ප්‍රදේශයන් වන අතර එම කලාපයන් ජලපෝෂක ප්‍රදේශ වල ජල උල්පත් වල මෙන්ම ඒ ඔස්සේ ගලා බසින සියලු ජල ධාරාවන්හි ජලයෙහි උග්‍ර ලෙස වසවිස අන්තර්ගතව ඇති බව අවිවාදිතය.
මෙසේ දීර්ඝකාලීන ලෙස රසායනික තෙල් පොහොර භාවිතාව නිසාවෙන් අප රටේ ජනී ජනයාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට එල්ල වූ බලපෑම ද ඉතාමත්ම ශෝචනීය වේ.

1985 දී පමණ වාර්ෂික පිළිකා රෝගීන් සංඛ්‍යාව 5000 ක් වූ අතර එය අදවනවිට 35000 – 40000 ක් අතර අගයක් ගනී. එසේම 2016 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව රටේ සමස්ථ ජනගහනයෙන් 39% ක් අධි රුධිර පීඩනයෙන්ද, 30.4% ක් දියවැඩියාව වැනි බෝනොවන වසංගත ලෙඩ රෝග වලින්ද සමන්විත බවය. එසේම 2041 වනවිට රටේ ජනගහනයෙන් 04 දෙනෙක්ගෙන් එක් අයකුට බෝනොවන වසංගත ලෙඩ රෝග වැළදීමේ අවධානමක් ඇතිබව අවධාරණය කරයි.

එසේම රසායනික තෙල් පොහොර භාවිතාව ජාන විකෘති වීමට මෙන්ම හෝමෝන වෙනස්වීම කෙරෙහිද දැඩි බලපෑම් ඇති කරන බව පර්‍යේෂණ මගින් තහවුරු වී ඇත. අදවනවිට වැලිමඩ බණ්ඩාරවෙල හපුතලේ නුවරඑළිය වැනි ප්‍රදේශයන්හි ගැහැණු දරුවන්ගේ වැඩිවියට පත්වීමේ වයස අවුරුදු අට දක්වා අඩුවීම කෙරෙහි මෙන්ම මාසයකට අඩු බිළිදුන්ගේ අක්ෂි පිළිකා නිසාවෙන් ඇස් ඉවත් කිරීමේ ශල්‍ය කර්මද සිදුකරනු ලබන අතර මේ තත්ත්වය කෙරෙහි
” රෙටිනොබිලාස්ටෝමා ” නැමැති අක්ෂි පිළිකාවට හේතු වන බැරලෝහ නිසාවෙන් ගර්භනී සමයේදි සිදුවන ජාන විකෘතීන් බවද හෙළිවී ඇත. අදවනවිට මෙරට සිදුවන මරණවලින් 70% ක් පමණ සිදුවන්නේ බෝනොවන වසංගත ලෙඩ රෝග වලින් බවටද තහවුරු වී ඇත.

මේ ආකාරයට දීර්ඝකාලීනව ඉවක් බවක් හා කිසිදූ රාජ්‍ය හෝ පෞද්ගලික නියාමනයක් නොමැතිව රසායනික තෙල් පොහොර අධිභාවිතාවය නිසාවෙන් ඇති වූ බලපෑම ජාතික ඛේදවාචකයක්, ජාතික ව්‍යවසනයක් වේ. මේ නිසා වහ වහාම මේ ජාතික ව්‍යවසනයෙන් මුලුමහත් රටත් ජාතියත් මුදවාගැනිමේ වගකීම රජයට මෙන්ම පුද්ගලිකව අප හැමෝටම ඇත්තේය. එය හුදෙක් ක්ෂණයකින් කල නොහැකිවා සේම ක්‍රමාණුකූලව මනා සැලැස්මක් සහිතව ක්‍රමෝපායිකව කල යුත්තේය. එය හුදෙක් ජනප්‍රිය පන්නයේ හුදු මැතිවරණ පොරොන්දු ඉටු කිරීමේ ක්‍රියාවලියක් නොවී රටේත් මුලුමහත් ජාතීයේත් අනාගත ඉරණම සුභවාදි යහපත් දිශානතියකට හැරවීමේ මෙහෙයුම් ලක්ෂයක් විය යුතුය. ඒ සදහා උපායමාර්ගික සැලැස්මක් මෙන්ම රටේ ජනතාවගේ විශේෂයෙන්ම ගොවි ජනී ජනයාගේ ආකල්පමය වෙනසක් දක්වාම ක්‍රමවත් විධිමත් සැලැස්මක් ප්‍රායෝගිකව කියාවට නැංවිය යුත්තේය.

එය හුදෙක් “දැන් කපු – දැන් නූල්” පන්නයට කළ නොහැකිය. ඒ සදහා අධියර ගණනාවකින් ක්‍රියාවට නැංවිය යුතු ක්‍රමෝපායික සැලැස්මකි.
විශේෂයෙන්ම අප විසින් හදුනාගත යුතු ක්ෂේත්‍රයන් පහක් ඇත්තේය.

1. අඩි 3000 ට වඩා උස් වූ ඉහල ගංගාධාර ප්‍රදේශයන්හි වගාකොට ඇති තේ ඇතුලු අනෙකුත් එළවලු ඇතුලු බවභෝග සදහා යොදන රසායනික තෙල් පොහොර අධිභාවිතාවය වෙනුවට කාබනික පොහොර භාවිතා කිරිම. මේ නිසාවෙන් ඉහල ගංගාධාර ප්‍රදේශ වල ජල මූලාශ්‍ර හා ගංගා ඇල දොල වල ජලය බැරලෝහ ඇතුලු වසවිස වලින් මුදවාගැනිමේ පදනම සකස්වේ.

2. අඩි 1500 ත් 3000 අතර වූ උස් බිම්වල වගාකොට ඇති තේ පොල් රබර් කෝපි ඇතුලු සුලු අපනයන බෝග වැනි බහුවාර්ෂික මෙන්ම බවභෝග සදහා කාබනික පොහොර භාවිතාව

3. අඩි 1500 ට අඩු භූමි වල වගාකොට ඇති පොල් වැනි බහුවාර්ෂික බෝග මෙන්ම අතිරේක ආහාර බෝග වන බඩ ඉරිගු, කුරහන්, තල, මුං, කව්පි, රටකජු වැනි බවභෝග සදහා කාබනික පොහොර භාවිතය

4. අඩි 1500 ට අඩු සියලු වගා බිම් වන කුඹුරු ඉඩම් වල වගා කෙරෙන වී වගාව ඇතුලු අනෙකුත් බවභෝග සදහා කාබනික පොහොර භාවිතය.

5. දේශීය බීජ සංරක්ෂණය, පෝෂණය හා ප්‍රවර්ධන ක්‍රියාවලියක් යුහුසුලුව ආරම්භ කිරිම

අද වනවිට දෙමුහුන් විදෙස් බීජ මුලුමනින්ම පාහේ භාවිතය නිසාවෙන් අපේ වගාබිම් රසායනික තෙල් පොහොර වලට අධි සංවේදිතාවයක් දක්වන බැවින් කාබනික පොහොර භාවිතයට සමගාමිව ආහාර සුරක්ෂිතතාවය හා විවිධ ශාකමය ලෙඩරෝගයන්ට ඔරොත්තු දෙන හා ස්වාභාවික පෝෂණ කේන්ද්‍රීය දේශීය බීජ යලි වගාකිරිම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ දේශීය බීජ ප්‍රවර්ධන හා වගා කාර්‍යාංශයක් ස්ථාපනය කිරිම. කාබනික පොහොර නිෂ්පාදනයේදී සැලකිල්ලට ගත යුත්තේ ඒ ඒ බෝගයන්ගේ වර්ධනයන් කෙරෙහි සෘජුවම බලපාන්නාවූ පෝෂණ සංඝටකයන්‍ ය. මේ පිලිබදව විද්‍යාත්මක ප්‍රවේශයකින් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය නොවන්නේ නම් තේ, පොල්, රබර්, කුරුදු, ගම්මිරිස් වැනි බහුවාර්ෂික හා අතුරුබෝග වගාවන් හි අස්වනු ප්‍රමාණයන් බිද වැටීමේ අභියෝගය අපට ජයගත නොහැකිවා සේම එය ජාතික වශයෙන් නිෂ්පාදන ආර්ථිකයටද සෘජු බලපෑමක් එල්ල කරනු ඇත. විශේෂයෙන්ම රසායනික තෙල් පොහොර මෙන් දළවශයෙන් තුන් ගුණයක ප්‍රමාණයක් කාබනික පොහොර අවශ්‍ය වන බව කෘෂි විද්‍යාඥයන්ගේ මතයයි.

රසායනික තෙල් පොහොර ආනයනය කල පරිද්දෙන්ම කාබනික පොහොර ආනයනය නොකර රටතුල අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කල හැකිය. පලාත් පාලන ආයතනයන්හි දෛනික කුණු ප්‍රමාණය දළ වශයෙන් මෙට්ට්‍රික් ටොන් 800 ක් පමණ වන අතර එය වාර්ෂිකව මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 288000 ක් පමණ වේ. මෙකී ප්‍රමාණය බොහෝ සෙයින් රටතුල කාබනික පොහොර නිෂ්පාදනය ට ප්‍රමාණවත් වනු ඇති අතර සියලු පලාත් පාලන ආයතන වල කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය යුහුසුලුව ආරම්භ කිරිමේ වැඩපිලිවෙළක් ක්‍රියාවට නැගිය යුත්තේය. මේ වනවිටත් බොහෝ පලාත් පලන ආයතන වල දැනටමත් මෙම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන නමුදු එහි ගුණාත්මක තත්වයන් නියාමනය කල යුතුය.

තවද ගොවියාටද පුද්ගලිකව තම ගොවිබිම තුලදීද මෙම කාබනික පොහොර නිෂ්පාදන කටයුතු ආරම්භ කල හැකිය. අප රටේ සමස්ථ ගවයන් ප්‍රමාණය ලක්ෂ 16 කට ආසන්නය. එසේම එළුවන් ද බිත්තර කුකුල් පොහොරද භාවිතා කරමින් ද ග්ලිරිසීරියා වැනි ශාකද වගා කිරිම තුලින් අවශ්‍ය කොළ පොහොරද නිෂ්පාදනය කල යුතුය. මෙය හුදෙක් රජයකට පමණක් දෙපාර්තමේන්තුවකට පමණක් කල නොහැක්කකි. එය මේ රටේ ජීවත්වන ළදරුවාගේ සිට මහල්ලා දක්වාම තම දෙවුර මත පැටවුනු ජාතික වගකීමක්, පූජනීය යුතුකමක් සේ සලකා කලයුතු ජාතික සද්කාර්යකි. එය ආකල්පමය වෙනසක් සමග කල යුත්තේය . ග්‍රාමසේවා වසමක සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීමෙන් මෙය පහසුවෙන් ක්‍රියාවට නැගිය හැක්කේය. ග්‍රාම සේවා වසමකට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය කෘෂිකර්ම පර්‍යේෂණ නිලධාරි සහයකයින්ට ගණනය කල හැකිය. රට තුල ගම්බිම් පුරා රාජ්‍ය යාන්ත්‍රණ පද්ධතියක් ඇත්තේය. අවශ්‍ය වන්නේ රජයේ හා අදාල දෙපාර්තමේන්තුවේ සෘජු නියාමනය හා මගපෙන්වීමයි.

කාබනික පොහොර භාවිතයට අපේ කෘෂිකර්මාන්තය නැඹුරු කරවීම මෙන්ම පාංශු ජීවින්ගේ හා පාරිසරික හිතකර කෘමීන්ගේ ව්‍යාප්තිය ද ඉතාමත්ම වැදගත් සාධකයකි. දීර්ඝකාලීනව රසායනික තෙල් පොහොර භාවිතය නිසාවෙන් හායනයට පත් වූ ගැඩවිල්ලන් වැනි පාංශු ජීව්න් මෙන්ම වගාබිම් වල අස්වනු වර්ධනය කෙරෙහි විශේෂයෙන්ම පරාගන ක්‍රියාවලිය කෙරෙහි සෘජුව බලපෑම් ඇති කරන ලද්දාවූ මීමැස්සන්, සමනලයන්, බත්කූරන් ඇතුලු හිතකර ජීව කෘමි සන්තතිය ‍යලි යලිදු බිහිකරලීම හා ව්‍යාප්ත කිරිමේ ජෛව පද්ධතිය යලි ස්ථාපනය කරලීම අතිශයින් ම වැදගත්ය. මේ සම්බන්ධයෙන් රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ මී මැසි ගොවිපොලවල් තව තවත් ප්‍රවර්ධනය කිරිම කෙරෙහි වැඩි අවධානයක් යොමුකල යුතුවේ.

මේ ආකාරයට විධිමත් ක්‍රමෝපායික සැලසුම් ක්‍රමවේදයක් අනුගමනය නොකරන්නේ නම් රසායනික තෙල් පොහොර වලින් මිදීමේ රටත් මුලුමහත් ජාතියත් වසවිසෙන් මුදවාගැනිමේ ජාතික අභිලාෂය ඉටු කරගත නොහැකි වනවා පමණක් නොවී අපේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය මුලුමනින්ම බිදවැටී අප තව තවත් මුහුදට දත නියවීම මෙන්ම අබ ඇටේ ඉදන් හාල් ඇටේ දක්වාම පිටරටින් ගෙන්වා තව තවත් ණය බරින් මිරිකෙන රටක් මෙන්ම ලොව බොහෝ රටවලු මානසික මෙන්ම භොතික වහලුන් වීමේ ජාතික ඛේදවාචකයක අනාගත උරුමකරුවන් මෙන්ම කරුමක්කාරයන් විමේ අභාග්‍යසම්පන්න ඉරණම අත්වනු ඒකාන්තය.!

අනුරාධ තෙන්නකෝන්
ජාතික ගොවිජන එකමුතුවේ සභාපති
0715290629



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More