දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් බිලියන 15 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා 22 ක් යටතේ පවරා ඇති නඩුව එහි තුන්වන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා නමවන විත්තිකාර අජාහාන්ගාර්දිය පුංචිහේවා නොමැතිව ඉදිරියට පවත්වාගෙන යෑමට කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (29) දින නීතිපතිවරයාට අවසර ලබාදුන්හ.

එම විත්තිකරුවන් දෙදෙනා 2017 සහ 2018 වසරවලදී විදේශගතවූ පසුව මේ දක්වා යළි දිවයිනට පැමිණ නොමැති බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද සාක්‍ෂි සහ සාක්‍ෂි ලේඛන සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීම පිළිගත් අමල් රණරාජ, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල එම අවසරය ලබාදුන්හ.

එම නඩුව ඊයේ (29) දින කැඳවූ අවස්ථාවේදී එම විත්තිකරුවන් දෙදෙනා ශී‍්‍ර ලංකාවේ නොමැති බවට තහවුරු කිරීම සඳහා සාක්‍ෂි කැඳවීමට අවසර ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියාය.

එකී අවසරය පැමිණිල්ලට ලබාදීමෙන් පසුව ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් සාක්‍ෂි ලබාදුන් ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරි කැළුම් පි‍්‍රයන්ත තෙන්නකෝන් මහතා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් (37961) සමන් පි‍්‍රයන්ත නානායක්කාර මහතා එම විත්තිකරුවන් දෙදෙනා පිළිවෙළින් 2017.10.13 වන දින සහ 2018.6.23 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් විදේශගත වී ඇතත් මේ දක්වා යළි දිවයිනට පැමිණ නොමැති බව විනිසුරු මඬුල්ලට පැවසූහ.

එම විත්තිකරුවන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නිකුත් කරන ලද සිතාසි භාරදීම සඳහා ඔවුන් පදිංචි ස්ථිර ලිපිනයන් වෙත තමා ගිය බවත් ඔවුන් එම නිවාසවල නොසිටීම නිසා එකී සිතාසි නියෝග නිසියාකාරව කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වූ බවත් පොලිස් සැරයන් නානායක්කාර මහතා එහිදී සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය. කොළඹ 7 මල් පාරේ පිහිටි අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ නිවසට ගිය පසු එහි සිටි එම විත්තිකරුගේ දියණිය වන නටාෂා අංජලි මහේන්ද්‍රන් මහත්මිය ප‍්‍රකාශයක් ලබාදෙමින් ඔහු සිංගප්පූරුවේ පදිංචිව සිටින බව අනාවරණය කළ බව පොලිස් සැරයන්වරයා එහිදී අධිකරණයට කීවේය.

එම නඩුවේ 9 වන විත්තිකරු වන අජාන් ගාර්දිය පුංචිහේවා මහතා පදිංචිව සිටි කොළඹ නිදහස් මාවතේ පිහිටි නිවසට ගිය බවත් ඔහු මේ වනවිට මැලේසියාවේ පදිංචි බව ඔහුගේ මව වන අනෝමා නිශාන්ති පුංචිහේවා මහත්මිය ප‍්‍රකාශයක් ලබාදුන් බවත් පොලිස් සැරයන් නානායක්කාර මහතා එහිදී විනිසුරු මඬුල්ලට පැවසීය.

එම විත්තිකරුවන් දෙදෙනා රටින් බැහැර වූ පසු මේ දක්වා යළි දිවයිනට පැමිණ නොමැති බවට පැමිණිල්ල ඉදිරිපත් කළ වාචික හා ලිඛිත සාක්‍ෂි අනුව තම අධිකරණයට පැහැදිලි වන බැවින් නීතිපතිවරයා කළ ඉල්ලීම අනුව අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 450 වන වගන්තියේ අටවන අනු වගන්තිය අනුව එම විත්තිකරුවන් නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට තම අධිකරණය අවසර ලබාදෙන බව විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ.

එම නඩුවේ 9 වන විත්තිකාර අජාන් ගාර්දිය පුංචිහේවා මහතා වෙනුවෙන් පෙනී සිටීමට තමාට අවසර ලබාදෙන ලෙස නීතිඥ මහේන් සේනාරත්න මහතා එහිදී දීර්ඝ ලෙස කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් එම ඉල්ලීමට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියාය.

ඒ සම්බන්ධයෙන් නියෝගය ලබන මැයි 19 වැනිදා නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කරනු ලැබිණි. රජයේ අධිනීතිඥ චතුරි විජේසූරිය මෙනවිය, රජයේ අධිනීතිඥ ධනුෂ්ක රාහුබද්ධ මහතා සමග රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය පැමිණිල්ල මෙහෙය වූවාය. 2016 මාර්තු 31 වැනිදා පැවැති මහ බැංකු වෙන්දේසියකදී රජයට අයත් පොදු දේපළක් වන රුපියල් බිලියන 15 ක මුදලක් සාපරාධී සාවඉ පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම් සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරි කසුන් ඕෂධ පලිසේන ඇතුළු අටදෙනකු එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කොට තිබිණි.

(ඒ. ජේ. ඒ. අබේනායක – දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More