පුරවැසි කොලම

ඇත්තටම ලංකාවේ පුරවැසියෙක් විදිහට මම මේ කතාව කියන්නම ඕනි. ඒක අදාළ වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදන් පහලට. ඒක නිසා තොප්පිය කවුරු දාගත්තත් මට කමක් නෑ. හැබැයි මේ කියපු කිසිම වචනයක් මම ආපස්සට ගන්නේ නෑ. මොකද මමත් දැන් මේ රටේ අනිත් මිනිස්සු වගේම මරණයේ එළිපත්ත උඩ ඉන්න තවත් එක පුරවැසියෙක් විතරයි. ඇත්තටම මට අහන්ඩ තියෙන්නේ මෙච්චරයි. මොකද්ද මේ රටට ඔයාලා කරන්න හදන්නේ කියලා විතරයි.

අද මේ වසංගතය ඉස්සරහා මුළු ලෝකයම පරාදවෙලා ඉවරයි. මේ වගේ වෙලාවකම ලෝකයේ හැම රාජ්‍ය නායකයෙක්ම උත්සහ කරන්නේ තමන්ගේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න. ඒ නිසාම හැම රාජ්‍ය නායකයාම මුල්තැන දෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලට. මේ අර්බුදය ඉස්සරහා තමන්ගේ ආර්ථික,දේශපාලන උපායමාර්ග සකස්කර ගන්නේ සෞඛ්‍ය නිර්දේශවලට මූලිකත්වය දීලයි. ඒ නිහතමානීකම බොහෝ ලෝක නායකයන් තුළ තිබුණා. ඊට පිටින් ගිය උද්දච්ච නායකයෝ කීපදෙනෙකුත් පහුගිය කාලේ අපි දැක්කා. බොරු ජාතිකවාදය පෙන්නලා ඇමරිකාවේ බලය ගත්තු ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඒ ජාතියේ පිස්සෙක්. මිනිහා සෞඛ්‍ය නිර්දේශවලට පයින් ගැහුවා. තමන්ට කොරෝනා බෝවෙනකම් මාස්ක් එකක් දැමීම පවා ප්‍රතික්ෂේප කළ උද්දච්ච මනසක් තිබුණ පාලකයෙක්. ට්‍රම්ප් තමන්ගේ රටේ මැරෙන මිනිස්සු ගාන අවුරුද්දක් ඉස්සරහට ඇස්ටිමේට් කළා. කරලා ඒක සුළු දෙයක් කියලා ලෝකෙට කිව්වා. ට්‍රම්ප් කොරෝනාවලින් ඇමරිකාවට කරපු විනාශය සුළුපටු නෑ. බයිඩන් ඇවිත් ඒක නතර කළා. ඊළඟට ඉන්දියාවේ මෝදි. අද ඉන්දියාව මිනී කනත්තක් කරලා ඉවරයි. ඉන්දියාවේ කොරෝනා පාලනය කරලා තිබුණේ මෝදිගේ ටිවිටර් ගිණුමේ විතරයි.

අපටත් එහෙම නායකයෙක් නම් එපා. ඒක කෙළින්ම ජනාධිපතිතුමාට කියන්න ඕනි. පහුගිය කාලේ අපේ රටේ සෞඛ්‍ය නිර්දේශ සතපහකට ගනන් ගත්තේ නෑ ඔය කවුරුවත්. ජනාධිපතිතුමාගේ ඉඳන් පහලට ඒවා කඩ කළා. ඒ ආදර්ශය දෙන්න කාටවත් බැරි උනා. අඩුම ගානේ හමුදාවේ හිටපු විනය ගරුක නිළධාරියෙක් විදිහට ජනාධිපතිතුමාටත් ඒ ආදර්ශය දෙන්න බැරි වුනා. නායකයෝ හරහට යනකොට අපේ රටේ ජනතාවත් වැඩක් විදිහට සෞඛ්‍ය නිර්දේශ කඩ කළා. අඩුම ගානේ සිංහල,දෙමළ අළුත් අවුරුද්දෙන් පස්සේ රෝගය උත්සන්න වෙනවා කියලා සෞඛ්‍ය අංශ අනතුරු අඟවද්දීත් ආණ්ඩුව අත්දෙක බැදගෙන බලා හිටියා. නුවර,නුවර එළිය, අනුරාධපුර,සීගිරි,දඹුල්ල විතරක් නෙවෙයි යාපනේ කෝවිල්වලට ලක්ෂ ගාණන් සෙනග පොදි ගැහුණා. මිනිස්සු කවදාවත් තමන්ට ස්වයං වාරණ දාගන්නේ නෑ. දා ගත්තත් ඒවා කඩවෙනවා. ඒකට තමයි රටේ නීතිය තියෙන්නේ. හැබැයි ලැජ්ජයි කියන්න අපේ රටේ සෞඛ්‍ය නිර්දේශ සම්බන්ධ නීතිය වැඩියෙන්ම අවභාවිතා කළේ අපේ රටේ පාලකයෝ. හෙට මාව එල්ලලා මැරුවත් මම ඒක කියනවා.

හරි ඔය ඔක්කොම පැත්තකින් තියමු. දැන් අපේ රටේ පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේදය මොකද්ද කියලා තහවුරු කරගෙන ඉවරයි. ඒ තමයි බ්‍රිතාන්‍ය B – 117 ප්‍රභේදය. ලෝකයට වැඩිම විනාශයක් කරපු වෛරස් ප්‍රභේදය. ඉන්දියාව මිනී කනත්තක් කරපු ප්‍රභේදය. අපේ රටේ පළමුව හදුනා ගත්තු ප්‍රභේදයට වඩා 50% ගුණයකින් පැතිරීමේ සීග්‍රතාවයක් තියනවා. අපේ රටේ මුලින් හදුනා ගත්ත ප්‍රභේදයට වඩා 55% ගුණයක් මාරාන්තිකයි. අද අපේ රටේ අහඹු PCR පරීක්ෂණ කරන හැම තැනකම වගේ කොරෝනා රෝගීන් 25% – 30% අතර සංඛ්‍යාවක් වාර්තා වෙනවා. දැන් අපේ රටේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන 1000 සීමාව පැනලා. මේ වෛරස් ප්‍රභේදයේ පැතිරීමේ හැකියාවත් එකක් හිතුවොත් ඔය තත්වය දස දහස් ගණකින් වැඩි වෙන්න යන්නේ දවස් දෙකක් තුනක් වෙන්නත් පුළුවන්.

මේ තත්වය හමුවේ නියම නිර්දේශ දෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. ඔවුන් තමයි මහ පොළොවේ ඉන්න ඇත්තම සෞඛ්‍ය බළධාරීන්. නමුත් ඔවුන්ගේ නිර්දේශ තුට්ටු දෙකකට සළකන්නේ නැති මහ උද්දච්ච තැනකට මේ ආණ්ඩුව පත්වෙලා. අද අපේ රටේ සෞඛ්‍ය අංශවල නිර්දේශය වෙලා තියෙන්නේ යම් කාලසීමාවකට රට Lock Down කරන්න කියන එක. මොකද Lock Down කරලා පැතිරීම නතර කරගන්න පුළුවන් අවසන් සීමාවේ අපි ඉන්නේ. දැනට මේ තියෙන 20% – 30% අතර සීමාව තවත් 15% – 20% කින් වැඩි උනොත් එතකොට මේක Lock Down කරලා නවත්තන්න බෑ. අද දිල්ලිය Lock Down කරලා මොකටද? අනිත් එක කවුද ඒ නීති පිළිපදින්නේ. කවුද ඒ මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න යන්නේ. අද එතන තියෙන්නේ මරණය විතරමයි.

පහුගිය දවසක අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය තමන්ගේ දේශපාලන නිරුවත ලෝකයටම පෙන්නුවා. ඇත්තටම අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් ලැජ්ජා වෙන්න ඕනි. මම දන්නේ නෑ එතුමාගේ ලැජ්ජා නහර දැන් වැඩකරනවද නැද්ද කියලා. අපේ රටේ පාසල් පද්ධතිය වහන්න කියන තීරණය ගන්න එතුමාට කොන්දක් තිබුනේ නෑ. අන්තිමට තටමලා තටමලා සමාජයෙන් ආපු විරෝධයට ඉස්කෝල ටික වැහුවා. ඒත් තුන්පාරකට.එ ක වෙලාවකට විශ්ව විද්‍යාලයි,උපකාරක පන්තීයි වහලා. ඉස්කෝල විතරක් ඇරලා. මම තව එක ප්‍රශ්නයක් අහන්නම්. වැදගත් වෙයි කියා හිතෙන නිසා. ඇත්තටම කෝ අර පහුගිය කාලේ තමන්ගේ ජාතිකත්වය ගැන කතා කරපු ඊනියා සිංහල,දෙමළ,මුස්ලිම් දේශප්‍රේමීයෝ ටික. අද කෝ එකෙක්වත් නෑ. මේ ප්‍රශ්නයේදී තමන්ගේ ජනතාව බේරගන්න රටේ ජනාධිපති එක්ක කතා කරන්න එකෙක් එන්නේ නෑ? උන් එන්නත විදගෙන හැංගිලා. මතක තියාගන්න මේ තත්වය නරකම අතට හැරුණොත් ඕකුන් ටික රටින් පැනලා යන්නේ එකම ගුවන් යානයෙන්.

ජනාධිපතිතුමා දැන්වත් මේ රටේ ජනතාවට ඇත්ත කතා කරන්න ඕනි. ඔබතුමාලා ඉන්න සදළුතලවලින් පහලට බහින්න. කොරෝනාවලින් ජනතාවත් ආරක්ෂා කර ගනිමින් ආර්ථිකයත් හදමු. ආර්ථික ගැන ඇත්ත ජනතාවට කියලා ප්‍රශ්නයට මුහුණ දෙමු. කවුරුත් කැප කිරීම් කරමු. කතාවෙන් නෙවෙයි මේ වගේ අවස්ථාවවලට මුහුණ දුන්න ලෝක නායකයන්ගේ ආදර්ශ ඕනි තරම් තියනවා. බොරු සරළකමයි ඇත්ත සරළකමයි නොතේරෙන තරම් අපි මෝඩයෝ නෙවෙයි. අපේ රටේ මානව ඛේදවාචකයක් උනොත් උදව් කරන්න ඔය කවුරුත් එන්නේ නෑ. ඉන්දියාවට වගේ ඇමරිකාව,එංගලන්තය,බටහිර රටවල් එන්නේ නෑ. ඔබතුමාලා හිතාගෙන ඉන්න චීනා එන්නෙත් නෑ. ඉන්දියාවේ වගේම මේ රටේ ධන කුවේරයෝ ටිකත් පිට රටවල්වලට පැනලා යයි. අපිට වෙන්නේ පස් කාලා මැරෙන්න. අපිට එහෙම උනත් කමක් නෑ. ඒත් මේ කිසිම දේකට සම්බන්ධ නැති අපේ අහිංසක පොඩි එවුන්ටත් වෙන්නේ ඒක. ඒක නිසා මගේ අවසන් ඉල්ලීම රට Lock Down කරන්න සති දෙකකට.

ප්‍රියන්ජිත් විතාරණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More