දේශීය පුවත්

රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැතිවීම අරමුණට ළඟාවීමට බාධාවක් නොවෙන බවත් කථා කර කර නොසිට ගොවියා දැනුවත් කර වගා බිමට බැස නිරෝගීමත් පරපුරක් බිහි කිරීමට එක්වැන්නැයි ද ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටී.

රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

“නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය. ” යන්න “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව විය.

එය යතාර්ථයක් බවට පත්කිරිමේ අඩිතාලම දමමින් දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ – ආර්ථික රටාවක් අරමුණු කර ගනිමින් විසි වැදෑරුම් අමාත්‍ය මණ්ඩල සංදේශය පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණ.

ශ්‍රී ලංකාව රාසයනික පොහොර ආනයන සඳහා 2019 දී ඩොලර් මිලියන් 221ක් වැය කළේය. තෙල් මිල වැඩිවීම සමඟ එම වියදම ඩොලර් මිලියන 300 – 400 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. රසායනික පොහොර, වල් නාශක සහ පලිබෝධ නාශක සඳහා අතිවිශාල වියදමක් කළද කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි ගුණාත්මක වර්ධනයක් සිදුව නැතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

පස නිසරු වී අස්වන්න අඩුවීමත්, ජෛව විවිධත්වය විනාශවීමත් දක්නට තිබේ. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය ගංගා, ඇල දොල ජලය දූෂනය කරන අතර ගුණාත්මක පානීය ජල සම්පාදනයට ප්‍රබල අභියෝගයක් වී ඇත. වකුගඩු, පිළිකා ඇතුළු බෝ නොවන රෝග රැසකට රජය විසින් දරන වියදම වාර්ෂිකව ඉහළ යමින් පවති. ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමිවීම, සෞඛ්‍ය තත්ත්වය දුර්වලවීම සහ ජනතාවගේ ඵලදායීතාව අඩුවීම රට මුහුණදෙන අභියෝගක් බවට පත්වී ඇත.

වැඩසටහන ආරම්භයේදී ගැටලු ඇතිවිය හැක. එහෙත් තිරසර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම පමා කළ යුතු නැත. මතුවන ගැටලුවලට නිවැරදි විසඳුම් හඳුනාගත යුතුය. රසායනික පොහොර භාවිතය අත්හැරීමෙන් නිෂ්පාදනය අඩුවනු ඇතැයි ගොවින් කල්පනා කිරීමට පිළිවන. එසේ වන්නේනම් රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් බිලියන 50ක මුදලින් අඩුවන ආදායම ගෙවන බවට ජනාධිපතිතුමා සහතික වෙයි.

විධිමත් පුහුණුවක්, නිසි අධ්‍යයනයක් සහිත පිරිසක් වැඩසටහන ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වේ. රට සහ පරිසරය පිළිබඳ හැගීම ඒ හා සමානය. වැඩසටහනට අකමැත්තක් දක්වන හෝ වෙනස්ව හිතන පිරිසට ආරම්භයේ දීම ඉවත්වීමට බාධාවක් නැති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. අභියෝගය ජය ගැනීමට තමා පෞද්ගලිකව ගොවි ජනතාව අතරට පැමිණීමට සූදානම් යැයි ද ජනාධිපතිතුමා පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන දිරි ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් නිෂ්පාදකයන්ට සැපයීමට රජය ඝෘජුව මැදිහත්වන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

කෘෂි ක්ෂේත්‍රයේ නිරත බොහෝ පිරිසකට සංවේදි විෂයයක් බැවින් විරෝධතා පැමිණිය හැකිය. ආගමික නායකයන්, ගොවි සංවිධාන, වෘත්තිකයන්, පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය සහාය සහ සියලු පාර්ශ්ව එක්වීමෙන් අරමුණට පහසුවෙන් ළගාවිය හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ගොවියාට පහසුවන ආකාරයෙන් කාබනික පොහොර වෙළෙඳපොළ සුලබ කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.
(අරුණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More