පුරවැසි කොලම

වෙළෙඳපොළ ආර්ථීකය විසින් ශ්‍රී ලාංකේය සමාජය තුළ ඇති කළ සමාජ විපර්යාසයේ එක් සුවිශේෂ දර්ශකයක් වන්නේ සුපිරි වෙළෙඳසැල් ය. මුල් යුගයේ විශේෂයෙන් ම අගනුවර කේන්ද්‍ර කොටගෙන පැවති මෙම සුපිරි වෙළඳසැල් ආකෘතිය, පසු ව ප්‍රධාන නගරවලත් මේ වන විට එබඳු සීමාවකින් තොර ව අර්ධ නාගරික හා ගම් මට්ටම දක්වාමත් ව්‍යාප්ත වී තිබේ. එමගින් මෙරට පාරිභෝගික සමාජයේ නව පාරිභෝගික රටා සහිත පාරිභෝජන සංස්කෘතියක් නිර්මාණය වී තිබෙන බව හඳුනාගත හැකිය.

වර්තමානය වන විට විවිධ ”සුපිරි වෙළෙඳසැල්”, පාරිභෝගිකයාගේ වත්තේ හතර මායිම අසලට ම වාගේ පැමිණ තිබේ. මහා පරිමාණ ”ජාල” ආකාරයේ සුපිරි වෙළෙඳසැල් මේ වන විට වඩ වඩාත් අර්ධ නාගරික ප්‍රදේශ කරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත්තේ, එම වෙළෙඳසැල්හි පරිශ්‍ර සැකැස්මේ පටන් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගන්නා විවිධ වෙනස්කම් කරමිනි. ජන ඝනත්වය වැඩිවෙමින් පවතින අර්ධ නාගරික ප්‍රදේශ මේවායේ ප්‍රධාන ඉලක්කය වී තිබේ. ඊට අමතරව එදිනෙදා ජීවිතයට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අලෙවිකරන, ග්‍රාමීය මට්ටමේ සිල්ලර වෙළෙඳසැල් ද එහි අභ්‍යන්තර ආකෘතිය සුපිරි වෙළෙඳසැල්හි සැකැස්මට අඩු වැඩි වශයෙන් සමානව, ”ස්වයං සේවා” ලෙසින් වෙනස් කරගෙන තිබේ. වෙනස් කර ගනිමින් තිබේ.

පැරණි වෙළෙඳසැල් ආකෘතිය තුළ වූයේ ”මුදලාලි කේන්ද්‍රීය” සැකැස්මකි. මෙහිදී පාරිභෝගිකයාගේ කැමැත්ත, ඉල්ලුම මුදලාලිට අවශ්‍ය පරිදි පාලනය කළ හැකි විය. තමන්ට අවශ්‍ය භාණ්ඩය/ සන්නාමය එම පැරණි වෙළෙඳසැල් ආකෘතිය තුළදී තමන්ගේ අතින්ම තෝරා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාවක් නොවූ තරම්ය. භාණ්ඩයක් පාරිභෝගිකයා අතට පත් වූයේ මුදලාලිගේ අතිනි. පාරිභෝගිකයා තමන්ට අවශ්‍ය භාණ්ඩය මුදලාලිගෙන් ඉල්ලා සිටින අවස්ථාවේ සිට මුදලාලි එය පාරිභෝගිකයා අතට පත් කරන අවස්ථාව දක්වා කාලය, මුදලාලිට එකී භාණ්ඩය සම්බන්ධව පාරිභෝගිකයාගේ ඉල්ලුම/කැමැත්ත පාලනය කිරීමට හැකියාව තිබිණි. ”ඒකට වඩා මේ වර්ගය හොඳයි”,”අලුත් වර්ගයක් ඇවිත් තිබෙනවා.” ආදී වශයෙන් පාරිභෝගිකයාගේ ඉල්ලීම වෙනස් කළ හැකි – පාලනය කළ හැකි – අලුත් ඉල්ලුමක් ඇති කළ හැකි ඉඩක් එම පැරණි වෙළෙඳ සැල් ආකෘතිය තුළ මුදලාලිට තිබිණ. මෙහිදී පාරිභෝගිකයාගේ පාරිභෝජනය විෂයයෙහි තීරක බලයක් ”මුදලාලි” විසින් හිමි කරගෙන තිබිණ.

නමුත් නූතන සුපිරි වෙළෙඳසැල් ආකෘතිය වන්නේ, ”පාරිභෝගිකයා කේන්ද්‍රීය” ස්වයං සේවා සැකැස්මකි. ”තෝරාගැනීමේ” පූර්ණ විධායක බලය මෙහිදී පාරිභෝගිකයාට හිමි වී තිබේ. වෙනත් ලෙසකින් කිවහොත් තමන්ට වුවමනා භාණ්ඩය /සන්නාමය තෝරාගෙන මිල දී ගැනීමේ ”පරමාධිපත්‍ය බලය” හිමි පාරිභෝගිකයකු බවට නූතන පාරිභෝගිකයා පත් කර තිබේ. ග්‍රාමීය මට්ටමේ සිල්ලර වෙළෙඳසැලක අලෙවිකරුවාට තවමත් අඩු වැඩි වශයෙන් පාරිභෝගිකයාගේ කැමැත්ත විෂයයෙහි බලපෑමක් කළ හැකි වන්නේ වී නමුදු, මහා පරිමාණ සුපිරි වෙළෙඳසැල්හි ඒ අවස්ථාව නොමැත. සුපිරි වෙළෙඳසැලේ වන පාරිභෝගික භාණ්ඩ යාය, පාරිභෝගිකයා තනිව තරණය කළ යුතුය. එහිදී පාරිභෝගිකයාට ”මඟ පෙන්වන තාරුකා” වන්නේ ඊට පෙර දැක ඇති වෙළෙඳ දැන්වීම් ය. ඒවායේදී භාණ්ඩවල නන් විධ රුව ගුණ ඉදිරිපත් කළ වෙළෙඳ දැන්වීම්කරුවන්ගේ නිර්දේශ, මෙහිදී පාරිභෝගිකයාට ඉසිවර වදන් හා සමාන වන්නේ ය.

පුද්ගලයන් නිසි සැලසුමකින් තොර ව මිල දී ගැනීම් සිදු කරන තත්ත්වයක් මෙම වෙළෙඳ ප්‍රචාරණය විසින් නිර්මාණය කරනු ලැබ තිබේ. උදාහරණයක් ලෙස, තමන් වෙළෙඳසලකින් මිල දී ගැනීමේ බලාපොරොත්තුවෙන් සටහන් කොට ගෙන යන බඩු ලයිස්තුවෙන් පිටත බොහෝ දේ මිල දී ගැනීමට ගෘහණියන් පෙළඹෙන බවත්, බලවත් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ එවැනි මිල දී ගැනීම්වලට බලපාන බවත් හඳුනාගෙන තිබේ.මේ තත්ත්වය තුළ ආදායමට ඔරොත්තු නො දෙන තරමට මිල දී ගැනීමට පාරිභෝගිකයා පෙළඹෙන අතර, විශේෂයෙන් ම සුපිරි වෙළෙඳසැල්හි භාණ්ඩ අසුරා ඇති ස්වභාවය එබඳු සැලසුමකින් තොර මිල දී ගැනීම් කිරීමට මානසික උත්තේජනයක් වන බව ප්‍රචාරණ විශේෂඥයෝ සදහන් කරති.අතීතයේ වෙළෙඳසැලකට ගියේ භාණ්ඩයට සරිලන මුදල අතේ ඇතිව බැවින් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ”අරපිරිමැස්මක්” සිදු විය. නමුත් නූතනයේ පාරිභෝගිකයාගේ ඉටු දෙවියා වන ”ණයවර කාඩ්පත” පසුම්බියේ ඇති බැවින් ”උදරයට ද සෞම්‍ය ය.”

නූතන ලාංකේය පාරිභෝගිකයාට ”සුපිරි වෙළෙඳසැල” වෙතින් භාණ්ඩ මිල දී ගැනීමේ අත්දැකීම වෙනම ප්‍රමෝදයක් අත්කර දෙන්නක් බව නිරීක්ෂණය කළ හැකි ය. කරත්තය රැගෙන භාණ්ඩ ඇසුරුම් රාක්ක අතරින් සෙමින් ඇවිද යමින්, විවිධ සන්නාම සහිත භාණ්ඩ අත ගා බලමින්, ඒ සන්නාමය පිළිබඳ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සිහිකර ගනිමින්, කාර්යාලයේ මිතුරු මිතුරියන්ගේ නිර්දේශ සිහිකරමින් යන ඒ ගමන සංසාර ගමනට නොදෙවෙනි ගමනකි. භාණ්ඩය පරිභෝජනයේ සතුට, සුපිරි වෙළෙඳසැලේදී එය අතගෑමේ අවස්ථාවේ සිට ගොඩනඟා තිබේ.

සුපිරි වෙළෙඳසැල වෙත පිවිසෙන පාරිභෝගිකයාට හැකි ඉක්මනින් ඒ වෙතින් නික්ම යාම වෙනුවට, වැඩි කාලයක් ඒ තුළ රැඳී සිටීමට උපදින පෙළඹුම ඉහළ ය. එහි වඩ වඩාත් රැඳී සිටීම යනු අනෙක් අතට, මිල දී ගන්නා භාණ්ඩ වර්ග ද, මිල දී ගැනීම් ප්‍රමාණය ද වඩාත් ඉහළ යාමක් වේ. මෙය, මිල දී ගැනීම් සම්බන්ධ පාරිභෝගිකයාගේ ”ස්වයං පාලනය” නො දැනීම අහෝසි වී යාමකි.

සුපිරි වෙළෙඳසැල් අත්දැකීම නිසා සමාජයේ පංතිමය වශයෙන් පරිධියේ සිටින ජනකොටස් තුළ තම පංති වෙනස්කම් පිළිබඳ හැඟීම දිය වී යයි. එක ම සන්නාමය මිල දී ගැනීම හේතුවෙන් නව පාරිභෝගික අනන්‍යතාවක් ගොඩනැගී තිබේ. ඇත්ත සමාජය තුළ ධනවතුන් හා නිර්ධනයින් වශයෙන් විභේදනය එසේ ම පවතින බව ඔවුන් දැන සිටිය ද මේ දෙපිරිසට ම එක ම සන්නාමයේ භාණ්ඩ මිල දී ගැනීමේ ”පාරිභෝගික සමාජවාදී” අත්දැකීමක් සුපිරිවෙළෙඳසැල තුළ දී අත් විඳිය හැකි වේ. බහුජාතික සමාගම් විසින් පංති භේදයකින් තොර ව, ජාති භේදයකින් තොර ව, ආගම් භේදයකින් තොර ව, කුල භේදයකින් තොර ව, ප්‍රදේශ භේදයකින් තොර ව එක ම සන්නාමය මිල දී ගත හැකි ”පාරිභෝගික සමාජවාදයක්” ගොඩනඟා තිබේ. සුපිරි වෙළෙඳසැලින් පිටත දී පාරිභෝගිකයාගේ මනසෙහි බහුවිධ බෙදීම්, ඇදහිලි, විශ්වාස පැවතියේ වුව ද, සුපිරි වෙළඳසැල තුළ දී ඒ කිසිවක් අදාළ නො කර ගනිමින් වෙළෙඳ දැන්වීමේ නිර්දේශය පමණක් අදහමින් සිය මිල දී ගැනීම් සිදු කරයි.

බෞද්ධාගමික සංස්කෘතියට අනන්‍ය ”අල්පේච්ඡභාවය” බෞද්ධ පාරිභෝගිකයාට සුපිරි වෙළඳසැල තුළ දී අදාළ නො වේ. පන්සලේ හතර මායිම තුළ බෞද්ධයා, සුපිරි වෙළෙඳසැලේ හතර මායිම තුළ ”බහුභාණ්ඩික” අරමුණින් මෙහෙයවෙන අබුද්ධික – අවිචාරවත් පාරිභෝගිකයෙකි. විප්ලවවාදී දේශපාලන පක්ෂයේ හතර මායිම තුළ සවිඥානික – තාර්කික ක්‍රියාකාරිකයා, සුපිරි වෙළෙඳසැලේ හතර මායිම තුළ අබුද්ධික – අතාර්කික පාරිභෝගිකයෙකි. තම මාසික වැටුප වැඩි කරගැනීමට ආයතනයේ හතර මායිම තුළ අරගලකාරී – අකීකරු කම්කරුවා, සුපිරි වෙළෙඳ සැල තුළ දී සුවච කීකරු පාරිභෝගිකයෙකි. (ඒ කම්කරුවා වැටුප් අරගලයකින් වැඩි කරගන්නා සොච්චම අන්තිමේ පුදන්නේ බහුජාතික සන්නාමයක් පා මුල ය.)

වැඩි වැඩියෙන් භාණ්ඩ අත්පත් කර ගැනීම, භාණ්ඩ මිල දී ගැනීම ”දියුණුව” ලෙස අර්ථගැන්වුණු නූතන සමාජයට බෞද්ධාගමික උගැන්මක් වන ”අණන සුඛය” හෙවත් ”ණය නො වීමේ සැපය” අදාළ නො වේ. දැන් ඇත්තේ ”ණය වී ලබන සැප ය.” ණයවර කාඩ්පත ඒ ”ණයට සැප ලබාදීමේ” නියෝජිතයා ය. රටක් ලෙස ණයට කෑමේ ප්‍රමෝදය අත් විඳීමට සමාන්තර ව, කුටුම්භ මට්ටමින් ද ණයට කෑමේ ප්‍රමෝදය මෙමගින් අත්විඳීමට අවස්ථාව ලැබී තිබේ.
වර්තමානයේ සකල දේශවාසී ජනතාව ම අඩු වැඩි වශයෙන් එක ම ”පාරිභෝගිකවාදයක” නැටවෙන රූකඩ වී තිබේ. දේශපාලන – ආගමික ආදී සියලු ම ”වාද” ඇත්තේ මෙම ”පාරිභෝගිකවාදයට” පහළිනි. ඒ අනෙකුත් වාද, ඒ අනෙකුත් භේද කෙතරම් විකාරයක්දැයි එයින් ම පෙනේ. සුපිරි වෙළෙඳසැලේ එක ම රාක්කයෙන්, එක ම බහුජාතික සන්නාමයක් මිල දී ගන්නා පාරිභෝගිකයින් දෙදෙනා, ඉන් පිටත දී ජාතිවාද දෙකක් හෝ ආගම්වාද දෙකක් හෝ දේශපාලන මතවාද දෙකක් හෝ වෙනුවෙන් මරාගැනීමේ විකාරරූපීත්වය තේරුම් ගැනීම අවශ්‍ය ය.
ලාංකේය සමාජය චණ්ඩ පාරිභෝජනවාදී සුළඟින් නිරතුරු ව සැලෙන එක ම පාරිභෝගික යායකි. දේශපාලන අන්තවාදියෝ ද, ආගමික අන්තවාදියෝ ද, විප්ලවවාදියෝ ද, දේශප්‍රේමියෝ ද, දේශද්‍රෝහියෝ ද කිසිදු ගැටුමකින් තොර ව ඒ පාරිභෝගික යාය තුළ අතාර්කික ව දිවි ගෙවති.

මේ නව ලිබරල්වාදී පාරිභෝජනවාදය සියලු විප්ලවවාදීන් ”කූල්මත්” කර ඇත. ඊට කිසිදු මතවාදී තර්කනයක් අදාළ නැත. ධනේශ්වර යාන්ත්‍රණය තුළ ”බහුජාතික / පාරජාතික සමාගම්” නිරූපණය කරන භූමිකාවේ ස්වභාවය පිළිබඳ සවිඥානික සියුම් කියැවීමක් සමාජ – දේශපාලන ව්‍යාපාර තුළ නො මැති තරම් ය.
ජීන් බවුද්රිලාද් පෙන්වා දෙන අන්දමට, ”අපේ මුළු ජීවිතය ම පරිභෝජනය විසින් ග්‍රහණයට හසුකරගත් අවස්ථාවක් කරා අපි ළඟා වී සිටිමු. අනුපිළිවෙළකින් යුත් සියල්ල ම එක ම බන්ධන රටාවකින් බැඳී ඇත්තේ සතුට කලින් ම අප ඉදිරියේ ලැයිස්තුගත කොට ඇත්තා සේ ය.”

ප්‍රභාත් චින්තක මීගොඩගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More