රජය විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පතට ඉදිරිපත් කර ඇති සංශෝධන කුමක් දැයි අධ්‍යයනය කර අද (23) දින නිශ්චිතව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) දින පස්වරුවේ නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විභාගයේදී සිය දේශනය පවත්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පර්සානා ජමීර් මහත්මිය විනිසුරු මඬුල්ල හමුවේ කීවේ පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී එකී පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කිරීමට රජය තීරණය කර ඇති බවය.
එකී සංශෝධන කුමක් දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී ලිපියක් මගින් අධිකරණයට දැන්වූවාය.
කෙසේ නමුත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස එම පෙත්සම් විභාගයට මැදිහත් වී තිබූ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් එකී පනත් කෙටුම්පත සංශෝධනයට ලක්කිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා උපදෙස් ලබා දී ඇතැයි අධිකරණයට දන්වා තිබිණි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා ඔහුගේ නීතිඥවරයාට ලබා දී ඇති උපදෙස් හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එකී සංශෝධන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු අතර යම්කිසි පරස්පරතාවක් ඇති විය හැකි බැවින් දෙපාර්ශ්වය විසින්ම ඉදිරිපත් කළ සංශෝධන අධ්‍යයනය කර තම අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසට විනිසුරු මඬුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුන්හ.
මේ අතර ඊයේ (22) දින පෙරවරුවේ අතරමැදි පාර්ශ්වකරුවන් වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඞ් ප‍්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් යෝජිත කොමිෂන් සභාවේ සාමාජිකයන් අතරින් බහුතරයක් ශ‍්‍රී ලාංකිකයන් පත්කළ හැකි පරිදි පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවට තමන්ට උපදෙස් ලැබී ඇතැයි අධිකරණයට කීවේය.
රජය විසින් එකී පනත් කෙටුම්පතට සංශෝධන එක් කරන්නේ නම් එකී සංශෝධන සම්බන්ධයෙන් ද පෙත්සම්කාර පාර්ශ්වයට කරුණු දැක්වීමට අවශ්‍ය බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා එහිදී විනිසුරු මඬුල්ලට පැවසීය.
එම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය අද (23) දින පෙරවරු 10.00 දක්වා කල් තැබීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප‍්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළහ.
(දිවයින)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...