දේශීය පුවත්

“චීන ණය උගුලේ ඇත්ත සහ බොරුව” යන මාතෘකාව යටතේ කරුණු පැහැදිළි කරමින් අනාගතය අපි තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක ඉසුර ප්‍රසංග මහතා දීර්ඝ විස්තරයක් කරමින් කරුණු පැහැදිළි කිරීමක් කර ඇති අතර එය පහත පළවේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ කතාබහ මතුවීමත් සමග ලංකාවේ චීන මැදිහත්වීමක් සම්බන්ධ ප්‍රචාරයන් නැවත ඉස්මතුවී තිබෙනව. ඒ කතාබහ තුළ චීන අධිරාජ්‍යවාදයක් ගැන, චීන ණය උගුලක් ගැන, චීන ව්‍යාප්තවාදයක් ගැන, චීන කොළනි ඇති කිරීම ගැන ගමේ ගොඩේ පවා කතාබහ වෙන තත්වයක් මතුවී තිබෙනව.

මේක අළුත් දෙයක් නොවුනත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ කතාබහ මතුවීමත් සමග එය නැවතත් ඉස්මතු කරමින් තිබෙන බැවින් එහි ඇත්ත නැත්ත විමසා බැලීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කළා.

අපි කවුරුත් දන්නව බටහිර බළ කඳවුර, ඇමරිකානු බළ කඳවුර, චීන බළ කඳවුර, ඉන්දියානු බළ කඳවුර, රුසියානු බළ කඳවුර, අරාබි බළ කඳවුර වශයෙන් විශාල බළ කඳවුරු රාශියක් ලෝකයේ තියෙනව. ඒ අතරින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර බළ කඳවුර නිසා මහ දවාලේ, ඇස් පනාපිට මිහිපිට අපායවල් බවට පත්වූ රටවල් රාශියක් ලෝක සිතියමේ තියෙනව. ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, ඇෆ්ඝනිස්තානය, හයිටිය, කොංගෝව, සූඩානය, සෝමාලියාව වැනි රටවල් ගණනාවක් එම ලැයිස්තුවේ තියෙනව.

මහ දවල් රටවල් වලට කඩා පැනල මිනීමරු මිළිටරි ප්‍රහාර එල්ල කරපු අත්දැකීම් මතින් ඇමරිකාව වාර්තා ගණනාවක් පිහිටුවල තියෙනව. ඇමරිකාවෙම ක්‍රියාත්මක වන කෝඩ් පින්ක් (Code Pink) කියන යුධ විරෝධී කාන්තා සංවිධානය කියන ආකාරයට පසුගිය අවුරුදු 20 ඇතුලත ඇමරිකාව බෝම්බ සහ මිසයිල ප්‍රහාර 326,000ක් වෙනත් රටවලට විරුද්ධව එල්ල කර තිබෙනව.

හැබැයි කවුරුත් දන්න විදියට චීනය නිසා එවැනි තත්වයකට පත්වූ රටවල් ලෝක සිතියමේ නෑ.

ඊට අමතරව ලංකාව වැනි රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්ණ වලට ඇඟිලි ගහන, ආණ්ඩු පෙරළි වලට බළපෑම් කරණ එල්.ටී.ටී.ඊ, අයි.එස් වැනි ත්‍රස්තවාදී සංවිධාන පෝෂණය කරණ ඒ හරහා රටවල් අභ්‍යන්තර වශයෙන් අස්ථාවර කරණ කටයුතු චීනය කරළ නැහැ.

හැබැයි අපිට සාක්ෂි සහිතව පෙන්නල දෙන්න පුළුවන් ඇමරිකාව 1960 දශකයේ සිට 2015 දක්වා කාළය තුළ අපේ වැනි රටවල්වල ආණ්ඩුපෙරළි සඳහා මුදල් යොදවා ඇති බව. ඒව කරුණු සහිතව මේ වනවිට හෙළිදරව් වෙලා තියෙනව.

අපේ වැනි රටවල් වලට ස්වාධීනව තීන්දු තීරණ ගන්න තියෙන හැකියාව අහිමි කරමින් බරපතළ කොන්දේසි යටතේ තමයි විශේෂයෙන් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ආධාර දෙන්නෙ, උදව් කරන්නෙ.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ජිනීවා මානව හිමිකම් ප්‍රශ්ණය වැනි ප්‍රශ්ණ හරහා අප වැනි රටවල ස්වාධීනත්වයට අතපොවන තැන් වලදි චීනය, රුසියාව වැනි රටවල් තමයි අපේ මිතුරු පාර්ශවයන් හැටියට ඉදිරිපත් වෙලා තියෙන්නෙ. සංස්කෘතික, ආගමික, මානසික වශයෙන් වන හැම පැත්තෙන්ම බටහිර රටවල් ලෝකය තුළ තම ආක්‍රමණය සිදු කරනවා.

ඒගොල්ලො අපේ රට ආක්‍රමණය කරත්දි අපට උරුම දනුම් පද්ධතිය විනාශ කරල, වෙහෙර විහාර, පන්සල් ගිනි තියල විනාශ කරල ඒගොල්ලන්ගෙ ආගම මෙහේ බළහත්කාරයෙන් පතුරවමින් රට පුරා කලු සුද්දො බෝ කරමින් තමයි බටහිර ව්‍යාප්තවාදය සිදු උනේ, සිද්ධ වෙන්නෙ.

හැබැයි චීන කොළනි, චින අධිරාජ්‍යවාදය ගැන කතා කරාට චීන සින්දුවක්වත් දන්න කෙනෙක් අපේ රටෙන් වත් වෙන රටවල සුලභව වත් දකින්න නැහැ.

ලෝක දේශපාළනය තුළ කවුරුන් හෝ 100%ක් නිවැරදියි, හරිම පිරිසිදුයි, අහිංසකයි කියා කිව නොහැකි උනත් සාපේක්ෂව අපට වඩා ගැලපෙන ප්‍රවේශය, වඩා ගැලපෙන පින්තූරය කුමක් ද කියා ප්‍රවේශමෙන් බේරාගැනීමට අපට හැකිවිය යුතුයි.

දැන් ලෝකය පුරා ප්‍රචලිත කරණ කතාවක් තමයි චීන ණය උගුල කියන මාතෘකාව. මේක අපේ රටේ පමණක් නොවෙයි ලෝක පරිමාණව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් විසින් පතුරුවාහරිමින් තිබෙන මතවාදයක් තමයි චීනය ණය උගුල් හරහා ලෝකයේ රටවල් ගිලගනිමින් සිටිනවාය කියන කාරණාව.

මෙම සන්දර්භය තුළ පෝට් සිටි මාතෘකාව සම්බන්ධයෙන් අප රටේ වාමාංශික යයි කියාගන්නා සමහර දේශපාළකයින් ඇතුළු බංකොලොත් දේශපාළන බළවේග මතුකරණ තර්කයක් තමයි ලංකාවෙ මහා විශාල ණය අර්බුධයක් තියෙනව එම ණය වලින් විශාල ප්‍රමාණයක් චීන ණය, ඒ චීන ණය අරන් තියෙන්නෙ වැඩක් නැති ව්‍යාපෘතීන්ට, ඒ ණය ගෙවාගන්න බැරුව ඒකට හිලව්වට අපේ ජාතික සම්පත් පවරා දෙනව කියන කාරණාව.

හම්බන්තොට වරාය ගැනත් කියන්නෙ චීන ණය උගුලක රට පටලවල ඒ ණය ගෙවාගන්න බැරි නිසා චීනට ඒක දෙන්න සිද්ධ උනා කියන එක තමයි තර්කය. ඒක ලංකාවෙ ඉන්න බංකොලොත් දේශපාලකයො විතරක් නෙවෙයි ඒ පිළිබඳ බටහිරයන් අතිශයෝක්තියෙන් ලියපු ලිපි ගණනාවක් අපි දැකල තියෙනව. ඔවුන් කියන්නෙත් චීනය අපේ රට ණය උගුලක හිර කරළ ලංකාවෙ වරායක් ඩැහැගත්ත කියන කාරණය තමයි.

ඒ නිසා මේ කතාවෙ ඇත්ත නැත්ත හොයා බලන එක වටිනව.

2020 අගෝස්තු මාසය වනවිට ලංකාවෙ සමස්ථ විදේශ ණය ප්‍රමාණයෙන් චීන ණය තියෙන්නෙ 10%ක් පමණ තමයි. ජපානයෙනුත් අරන් තියෙන්නෙ 10%ක පමණ ණය ප්‍රමාණයක් තමයි. හැබැයි කවුරුවත් කියන්නෙ නැහැ මේක ජපාන කොළනියක් කරන්න යනව කියල, හැබැයි එහෙම කියන්න අවශ්‍යත් නැහැ.

ඊලඟට මහ බැංකු වාර්තාව අනුව 2010 සිට 2019 දක්වා රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායන්ගෙන් ගත් ණය හැර ඉතුරු විදේශ ණය ප්‍රමාණයෙන් චීන ණය ප්‍රතිශතය; 2019 දි 10%ක වැනි ප්‍රමාණයක්, 2018දි 9%කට ආසන්න ප්‍රමාණයක්, 2016දි 9.2%, 2015දි 7.7%, 2014දි 2.8%.

චීනෙට රට ණය කරා කියන රාජපක්ෂ පාළන කාළය තුළ අපේ සමස්ථ ණයෙන් චීන ණය; 2010දි 2.1%, 2011දි 2.5%, 2012දි 2.4%, 2013දි 2.2%, 2014දි 2.8%.

අද මේ චීනය පතුරුගහන යහපාළන ආණ්ඩු කාළයේදි තමයි අසාමාන්‍ය ලෙස අපේ චීන ණය ප්‍රතිශතය වැඩි වෙලා තියෙන්නෙ. රාජ්‍ය ව්‍යවසායකයින් ගන්න ණය ගෙවන්නෙ ඒ ආයතන වලින්. ඒක රටේ සමස්ථ ණය බරට ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. ඒක එහෙම වෙන්න හේතුව ලෙස එය එම රාජ්‍ය ව්‍යවසායක ණය එකතු කර තිබුණ ද මෙම අගයන් මීට වඩා ඉහළ යන්නේ නැහැ.

ඒ අනුව මේ මහා චීන ණය උගුල කියන එක තියෙන්නෙ 10%ක වැනි ප්‍රමාණයක කියන එක ඉතා පැහැදිළියි.

හම්බන්තොට වරාය නිසා අපි මහා විශාල චීන ණය උගුලක වැටුනාය කියන කතාව අපේ රටේ විතරක් නෙවෙයි බටහිර ජනමාධ්‍ය විසින් මුළු ලෝකය පුරාම ප්‍රචළිත කරණ උදාහරණයක්.

හම්බන්තොට වරායෙ පළවෙනි අදියරට අපි ගත් ණය මුදළ ඩොලර් මිලියන 361. ඒ මුදළ මුළු රටම නන්නත්තාර වෙන මුදළක් නෙවෙයි. අපි කිසිම වැඩකට නැති කිරිපිටි ආනයනය කරන්න එක් වසරකට පමණක් ඒ හා සමාන මුදළක් වැය කරනව. දෙවන අදියර සඳහා ගත් ණය මුදළ පොළියත් සමගම ගෙවීමට තිබුණෙ ඩොලර් මිලියන 1,760ක මුදළක්. හම්බන්තොට වරාය චීනයට පවරා දෙන විට ඉන් ඩොලර් මිලියන 500ක් පමණ ගෙවා තිබුණා. හම්බන්තොට වරායෙ සම්පූර්ණ ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක් තමයි දෙවන අදියර අවසන් වෙනවිටත් ඉවර කරළ තිබුනෙ. 2018 වන විටත් බහාලුම් මෙහෙයුම් කළ හැකි තත්වයක් තිබුණේ නැහැ. ඒ වනවිට සිදු කරමින් තිබුණේ වාහන ප්‍රති අපනයනය සහ නැව් වලට ඉන්ධන සපයාදීම පමණයි. හැබැයි ඒ සුළු ප්‍රමාණය විතරක් කරල වරාය අධිකාරිය සෑහෙන විශාල මුදලක් සොයාගත්ත.

2012 ආදායම රුපියල් මිලියන 135, 2013දි රුපියල් මිලියන 585, 2014 වනවිට ආදායම කලින් වසරට වඩා දසගුණයකින් විතර වැඩිවී තිබුණා.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය රටට අතිශය ලාභ ලබමින් තිබූ අනාගතයේදී ලාභ ලැබිය හැකිව තිබූ ව්‍යාපාරයක් වුවත් අපේ රටේ බංකොලොත් දේශපාලන ව්‍යාපාර ඒ ගැන විවිධාකාර බොරු ප්‍රචාර පතුරුවා හැර වරාය විකුණාදැමීම හොඳම විකල්පය බවට පෙන්වා දෙමින් බොරු මතයක් ජනතාව අතර තහවුරු කරා.

මේකෙ ණය ගෙවාගන්න බැරුව වික්ක කියළ බොරු කිව්වට විකුණල ණය ගෙව්වෙත් නැහැ. මේක චීනයට විකුණන්න කලින් ඒ ණය රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් උනේ නැහැ. මොකද ඒ ණය ගෙව්වෙ වරාය අධිකාරිය. වරාය අධිකාරිය හම්බන්තොට වරායට චීනෙන් ණය ගත්ත. ඉන් විශාල ආදායමක් උපයමින් ඒ ණය ගෙවමින් සිටිය.

මේක චීනයට පැවරීමෙන් පස්සෙ වරාය අධිකාරියට එන ආදායම අහිමි කර ගත්ත. තිබුනු හිඟ ණය මුදළ රජයේ ණය බරට එකතු කර ගත්ත. ඒ නිසා තමයි 2015න් පස්සෙ අපේ චීන ණය ප්‍රතිශතය වැඩිවෙලා තියෙන්නෙ.

එතකොට චීනය අපිව ණය උගුලක හිර කරළ අපේ බෙල්ල මිරිකල හම්බන්තොට වරාය අපෙන් ගත්තෙ නෑ. ඒ දවස් වල අගමැති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව පැහැදිළි ලෙස ප්‍රකාශ කර තිබූ බව බී.බී.සී. සේවය පවා වාර්තා කර තිබුණා.

එතකොට චීනය හා හම්බන්තොට වරාය පිළිබඳව බටහිර මාධ්‍ය විසින් ලෝකය පුරා ප්‍රචාරය කරණ බොරු මතය මෙහෙම නම් චීනය හා අනෙක් රටවල් සම්බන්ධව ප්‍රචාරය කරණ අනෙක් මතයන් කොහොමද කියල විමසා බලන්න වටිනව.

වාමාංශික යයි කියන සමහර පක්ෂ, එක්සත් ජාතික පක්ෂය, සමහර සිවිල් සංවිධාන සහ සමහර රාජ්‍ය නොවන සංවිධාන ද අප්‍රිකාව චීන ණය උගුලේ හිරවෙලා වැනි කතා කියමින් ලංකාවේදී මේ මතයම ප්‍රචළිත කරමින් එම ක්‍රියාවළිය ඉදිරියට ගෙනයමින් තිබෙනවා.

එම දුර්මතය ප්‍රචලිත කරණ ජර්මනියේ කීල් ඉන්ස්ටිටියුට් ආයතනය (Kiel Institute for the World Economy) පෙන්නුම් කරණ දත්ත සටහන් වල පවා වැඩි රටවල් ප්‍රමාණයක තිබෙන්නේ චීන ණය ප්‍රතිශතය ඒ රටවල ජාතික ආදායමෙන් 5%ට වඩා අඩුවෙන්. ලංකාවත් තිබෙන්නේ එම කාණ්ඩයේ.

කේම්බ්‍රිජ්, මියුනිච් වැනි විශ්ව විද්‍යාලවල විද්වතුන් කිහිප දෙනෙක් එකතුව සාදා ඇති තවත් එවැනිම වාර්තාවකට අනුව චීනයේ ණය උගුලට බරපතළ ලෙස කොටු වූ රාජ්‍යයන් 50ක ලැයිස්තුවේ ලංකාව තිබෙන්නේ 34 වන ස්ථානයේ. නමුත් එම ලැයිස්තුවේ දත්ත අනුව බැලුව ද මහා පරිමාණයෙන් චීන ණය උගුලේ සිරවී සිටින්නේ ජිබූති නම් වූ රාජ්‍යය පමණයි. ඒ රට තමන්ගේ ආදායමට සම වන ණය ප්‍රමාණයක් අරගෙන තිබෙනවා.

මේ රටවල් 50න් 43කම චීන ණය ප්‍රමාණය තම ජාතික ආදායමෙන් 30%ට අඩුවෙන් තියෙන්නෙ. රටවල් 36ක චීන ණය ප්‍රමාණය ඔවුන්ගේ ජාතික ආදායමෙන් 20%ට අඩු ප්‍රමාණයක තියෙන්නෙ. ඒ වගේම රටවල් 16ක 10%යත් වඩා අඩු මට්ටමේ තියෙන්නෙ.

එහෙම බැලුවහම චීන ණය සම්බන්ධව විශාල වශයෙන් ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් පතුරුවා හැර ඇති මත සහ එහි සැබෑ යතාර්ථය අතර වෙනස ඒ ආකාරයි.

හැබැයි බොහෝ අය මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව මේ දුර්මත විශ්වාස කරණ එමෙන්ම ඒවා පිලිගන්නා තත්වයක් මතුවී තිබෙනව. දැන් ගමේ ගොඩේ අය පවා අපි චීන ණය උගුලක හිර වෙලා වැනි කතා කියන තත්වයක් මතුවී තියෙනව. නමුත් බොහෝ අය දන්නෙ නැහැ අපේ චීන ණය ප්‍රතිශතය තියෙන්නෙ 10%ක පමණ ප්‍රමාණයක කියන එක.

ඒකෙන් අපි උත්සාහ කරන්නෙ නැහැ චීනය හරිම හොඳයි කියන්න. අපි කිසිම රටකට ගැති විය යුතු හෝ කිසිම රටකට අපේ ස්වාධීනත්වය පාවා දිය යුතු නෑ. හැබැයි මේ ලෝක දේශපාළනයේ තියෙන ඇත්ත පින්තූරය බොරු වලින් තොරව අපි තේරුම්ගත යුතු බව අපි අවධාරණය කරන අතරම ලෝක භූ දේශපාළනය පිළිබඳ රටට සතුරු බළවේග විසින් පතුරුවා හරින බොරු වලින් නොරැවටී ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගැනීමත් ඉතාම වටිනව.

ඒ නිසා චීන ණය පිළිබඳව දුර්මතය නැවත නැවත මතුරමින් බංකොලොත් දේශපාළකයින් සහ බටහිර මාධ්‍ය විසින් කරණු ලබන ප්‍රචාරයන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More